spot_img
spot_imgspot_img

හෙද තාත්තා ගෙදර දී එන්නත් දී පුතා මරු දකී. කරාපිටියේ ලොක්කෝ සිද්ධිය යට ගහයි

පුවත්

විදෙස්

නිවසේ දී හදිසියේ ම රෝගී වූ පුතාට හෙද නිලධාරී පියා විසින් වැරදි එන්නතක් ලබා දීමෙන් සිදුවූ සංකූලතා හේතුවෙන් පුතා මියගොස් ඇති අතර කරාපිටියේ ‍වෛද්‍යවරු ඇතුළු කර්ය මණ්ඩලය එම සිද්ධිය යටපත් කිරීමට දැඩි උත්සාහයක් දරන අතර මරණ පරීක්ෂණයක් පවා සිදු නොකර දේහය ඊයේ (12) සවස නිදහස් කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, වැලිපත ප්‍රදේශයේ පදිංචි රසිත මනුර කාකංනම් පතිරණ නමැති 25 හැවිරිදි තරුණයෙකි. ඔහු කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විෂය හැදෑරූ අයෙකි.

ඔහුගේ පියා කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ‍හා උරස් ශල්‍ය අංශයේ හෙද නිලධාරියකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් ඇති අතර මව ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙස සේවය කර විශ්‍රාම ලබා පුද්ගලික පාසලක සේවය කරයි.

මියගිය මනුර පතිරණට දින කිහිපයකට පෙර උදරයේ තදබල වේදනාවක් හටගෙන තිබිණි. මේ වේදනාව ඇති වූයේ ගැස්ට්‍රයිටීස් (ආමාශයේ ආම්ලික තත්වය) හේතුවෙන් යැයි සිතූ පියා කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් එහි සිටි තම මතුරු මිතුරියන් හමු වී හෘද හා උරස් ඒකකයෙන් Omeprazole නමැති ඖෂධය ඉල්ලා තිබේ. හෙදියන් විසින් ඔහු අතට ඖෂධ කුප්පියක් පත්කර ඇත. එම ඖෂධය ආමාශයේ තුවාල සහිත ගැස්ට්‍රයිටිස් ඇති පුද්ගලයන්ට ලබා දෙන ඖෂධයකි. මේ ඖෂධය රැගෙන ගිය පියා සේලයින් මාත්‍රාවක් සමඟ එය තම තරුණයාගේ ශරීරයට ඇතුළත් කර තිබේ.

නමුත් එදින ම රාත්‍රී වනවිට තරුණයාගේ  තත්වය වඩාත් අසාධ්‍ය වී ඇති අතර ඊට හේතුව පරීක්ෂා කිරීමේ දී දැනගෙන ඇත්තේ Omeprazole යැයි සිතා තරුණයාට ලබා දී ඇත්තේ Heparin නමැති ඖෂධය බවයි. එය රුධිරය කැටිගැසීම වළක්වන ඖෂධයක් වන අතර හෘද හා උරස් ඒකකයේ භාවිතා කරන්නකි.

කෙසේ වෙතත් Heparin නමැති ඖෂධය කරාපිටිය ශික්ෂණ රෝහලේ නොමැති අතර පුද්ගලික ඔසුසල්වලින් මිල දී ගැනීම ද පසුගිය කාලයේ සිදුකරන ලද ඖෂධයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ හෝ නොමැති Heparin නමැති ඖෂධය කරාපිටියේ හෙදියන් සතුව තිබී ඇත්තේ ඔවුන් විසින් එහි මාත්‍රා කිහිපයක් තමන්ගේ හිතවතුන්ට ලබා දීමට අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා සඟවාගෙන තිබූ බැවින් යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම Heparin නමැති ඖෂධය සහ විශ්‍රාමික හෙද නිලධාරියා ඉල්ලා සිටි Omeprazole නමැති ඖෂධය අඩංගු කුප්පි පෙනුමෙන් එක සමාන වෙයි. කරාපිටියේ වෙනත් වාට්ටුවල හෙදියන් පවසන්නේ Omeprazole නමැති ඖෂධය අඩංගු පෙට්ටිවල එම වාට්ටුවේ හෙදියන් විසින් Heparin නමැති ඖෂධය සඟවා තබා තිබෙන්නට ඇති බවයි.

මියගිය තරුණයාට පියා විසින් Heparin ලබා දී අසාධ්‍ය වීමෙන් පසු දින කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇතුළත් කර ඇත. එලෙස තරුණයා රෝහල්ගත කරන අවස්ථාවේ දී තමන්ට වැරදීමකින් Heparin ලබා දුන් බව හෙද පියා විසින් රෝහලට පවසා ඇත.

වෛද්‍යවරු පවසන්නේ Heparin ශරීරගත වූයේ වැරදීමකින් නම් ඊට ප්‍රතිකාර වශයෙන් ප්‍රති ඖෂධයක් ශරීගත කළ යුතු බවයි. නමුත් පැය 02කට වඩා වැඩි කාලයක් ගත වී ඇත්නම් එලෙස ප්‍රතිකාර දීමෙන් පළක් නොමැති බවත් එවිට රෝගියා පිළිබඳ නිරීක්ෂණය කරමින් අවශ්‍ය සත්කාරක සේවා ලබා දෙන බවත් ඔවුහු කියති. තරුණයා රෝහල්ගත කරන විට වැරදි ඖෂධය ලබා දී පැය දෙකක් ඉක්ම ගොස් තිබී ඇත.

මේ අනුව රෝගියා 16 වාට්ටුවට ඇතුළත් කෙරිණි. එම වාට්ටුවේ අසාධ්‍ය තත්වයෙන් පසු වූ මනුර පතිරණ දින කිහිපයකින් තව දුරටත් දුර්වල වීම හේතුවෙන් කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔහුට යාකෘත් ප්‍රදාහය හෙයවත් සෙංගමාල තත්වයක් (හෙපටයිටිස්) ඇති වී තිබෙන බවයි. මෙහි අතුරු ආබාධයක් ලෙස ඔහුගේ පිත්ත ප්‍රණාලයක් අවහිර වී ඇති බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබිණි. එසේ පිත්ත ප්‍රණාලය අවහිරවීමේ ප්‍රතිඵලය වී ඇත්තේ රුධිරයට විෂබීජයක් එකතුවීම (Sepsis) යන තත්වයට පත්වීමයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධානන දැඩි සත්කාර ඒකකයට ඔහු ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්න ද ඊයේ (12) සවස මනුර පතිරණ මියගියේය.

ඔහුගේ රුධිරයට විෂබීජයක් එකතුවීමෙන් ඔහු මියගියා ද ? වැරදි එන්නත හේතුවෙන් ඔහු මියගියා ද ? පිත්ත ප්‍රණාල අවහිරවීමෙන් ඔහු මියගියා ද ? නැතිනම් ඇති වූ වෙනත් ‍සංකූලතා හේතුවෙන් හටගත් ආබාධයක් හේතුවෙන් ඔහු මියගියා ද යන්න අනිවාර්යයෙන් ම තීරණය කළ යුතු ව තිබේ. එය කළ හැකි වන්නේ හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් පොලිසියේ ද සහය ඇතිව සිද්ධියට අදාල පුද්ගලයන්ගේ සාක්ෂි විභාගයක් පවත්වා සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පමණි.

මෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයකට දේහය යොමු කළහොත් කරාපිටියේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් පමණක් නොව මියගිය තරුණයාගේ පියා ද අමාරුවේ වැටෙන බව දන්නා කරාපිටිය ශික්ෂණ රෝහලේ පාලන අධිකාරිය මේ තරුණයාගේ දේහය කිසිදු ආකාරයක මරණ පරීක්ෂණයකට යොමු නොකර වාට්ටුවෙන් ම නිදහස් කර තිබේ. මේ සඳහා වෛද්‍යවරුන්ට විවිධ පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වූ බව ද වාර්තා වෙයි.

අනතුරුව එම දේහය ආදාහනය කිරීමට අවසර දෙන්නයැයි විශාල පිරිසක් විසින් ඉල්ලීම් කර ඇතත් රෙජිස්ට්‍රාර්වරයා විසින් හෙට (14) සවස දඩල්ල පොදු සුසාන භූමියේ දී දේහය භූමදාන කිරීමට පමණක් අවසර දී ඇත. එසේ වුව ද අප වෙත වාර්තා වන්නේ මේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් වැලැක්වීම සඳහා විවිධ පාර්ශවයන් එම දේහය හෙට (14) සවස දඩල්ලේ දී අදාාහනය කිරීමට දැඩි උත්සායක නිරත වන බවයි.

මේ පිළිබඳ කරාපිටිය ශිික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්.රංග අමතා විස්තර ඇසූ විට ඔහු කියා සිටියේ මාධ්‍යයට කිසිදු තොරතුරක් ලබාදිය නොහැකි බවයි.

“මේ මරණය ගැන මම දන්නවා. මට වැඩි විස්තරයක් කියන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ අවසරයක්  නැතිව. ඒ නිසා ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ ගැන අහන්න. මට එක දෙයක් කියන්න පුළුවන්. මේ මරණය සම්බන්ධයෙන් වරදක් තිබෙනවා කියා මා දන්නේ නෑ. ඒ වගේම කිසිම පැමිණිල්ලක් මේ දක්වා ලැබී නැහැ. වැඩි විස්තර අවශ්‍යනම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්න. අපිට දැන් කිසිම දෙයක් කියන්න බෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!