කියන්න යාළුවා මට නුඹ මේ වෙනකොට අවුරුදු එක හමාරක් යුද පෙරමුණේ සේවය කරල තියෙනව. ඒ කියන්නෙ සිය ගාණක් මිනිස්සුන්ව කපල කොටල ඇති” හමුදා ශල්‍ය වෛද්‍යවරයෙකු වන මීකෝලා දුස්කෝ ගෙන් මම විමසුවෙමි.
“දහස් ගණනක්” වෛද්‍යවරයා හිමින් සීරුවේ මා නිවැරදි කළේය.
දහස් වෙනක් ! ඔව්, දහස් ගණනක් වූ ඒ මිනිසුන්ගේ දුක් වේදනාවන් කෙඳිරිලි හඬ මවා ගැනීමේ අටියෙන්, මම මොහොතකට දෑස් පියා ගත්තෙමි. වෛද්‍යවරයා දෙසට යොමුවුණු ශෝකාකූල වේදනාකාරී දෙනෙත් දහස් ගණනත් මා ඉදිරියේ මැවී පෙනෙන්නට විය.
“මොන තරම් විශාල සේවයක්ද? මොන තරම් පීඩාකාරී හැඟීම් සමුදායක්ද?” මම සිහින් හඬකින් මට ම කියා ගත්තෙමි.
“පුරුද්ද”
”ඔව්, වෙන්න පුළුවන්. හොඳයි මට මේකට උත්තර දෙන්න. නුඹ දිනපතා මේ මිනිසුන්ගේ පීඩාකාරී හැඟීම් කල්දේරමේ පීනන ගමන් මොනවද සොයා ගත්තේ මේ විවිධාකාර වේදනාවන් සමූහය අතරින් මිනිසා පිළිබඳ අලුත් යමක් හොයා ගන්නට පුළුවන් වුණාද ? මම කියන්නෙ. යුද්ධය හා මිනිසා අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව. යුද පෙරමුණේදී මිනිසා හැසිරෙන ආකාරය පිළිබඳව. එහෙම නැතිනම් නුඹ නුඹේ ආයුධ කට්ටලයට එපිටින් කිසිවක් දැක්කෙ නැද්ද?”
“සොයා ගත්තා!” මා හට පිළිතුරු දුන් මිත්‍රයා, සිය අතීත මතකය අවදි කරන්නට මෙන් කාමරය පුරා සක්මන් කරන්නට විය.
ඔහු දෙස බලා සිටි මා තුළ සියුම් ඊර්ෂ්‍යාවක් ඇති විය. ඔහුගේ වෘත්තීය කෙරෙහි මා තුළ කවදත් විශාල ගෞරවයක් විය. මිනිසාගේ වේදනාවන් සමනය කිරීම හා මිනිස් ජීවික බේරා ගැනීම. මිනිසෙකුට සිය ජීවිත කාලය තුළ දී කළ හැකි වඩාත්ම චිත්‍රමාන්විත ක්‍රියාව ලෙස මම අදටත් පිළිගනිමි.
“අධිෂ්ඨානය” සිය ශක්තිමත් සුරත මීට මොලවා අසල වූ මේසයට පහරක් ගසමින් ශල්‍ය වෛද්‍යවරයා කීවේය.
“යුද්ධය හා මිනිසා අතර සම්බන්ධතාවය රඳා පවතින්නේ අධිෂ්ඨානය මත, අධිෂ්ඨානය ඇති තැන. මිනිසා ජීවත්වෙනව. අධිෂ්ඨානයක් නැති තැන මිනිසා නැතුව යනව. මන්න ඕකයි මම හොයා ගත්තේ.”
බිම නොවැටී නැගී සිටින්නට ඔහුට දැඩිලෙස අවශ්‍ය විය. තම අත වූ රයිෆලයට ගිලිහෙන්නට ඉඩ නොදී රැක ගැනීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් ඒ වන විට අතින් ගිලිහුණු තුවක්කුව බිම වැතිරි හමාරය. එය ඔසවන්නට තරම් ශක්තියක් ඔහු වෙත ඉතිරි වී තිබුණේ නැත. බිම් බෝම්බය පිපිරීමේ දී විසුරුණු මූනිස්සමක් වැදුණු දකුණත තුවාල වී ඇත්තේ යාන්තමටය. එහෙත් වමත ? දෙවියනේ රත්වන් ලෙයින් පැහැවුණු වම් හස්තය. භයානක ලෙස තුවාල වූ උරහිසෙන් කුඩා දිය ඇල්ලක් ලෙසින් රුධිරය ගලා එයි.
කුමක් කරන්නද? උරහිස වසා දමන්නද? කුමකින්ද ? දිගටම ගලයි !
ඉවාන් කර්මාලියක් දුවන්නට පටන් ගත්තේය. සිරුර පුරා පැතිරුණු දැඩි උණුසුම ඔහුව උමතු කරන්නට සමත් විය.
“ලේ ටික ඔක්කොම ගලල ඉවර වෙන්න කලියෙන් දුවන්න ඕනෙ. දෙවියනේ… වැටෙන්න නම් එපා ! වැටෙන්න නම් එපා!!”
තමාටම කියාගත් ඉවාන් දුවන්නට විය. දරුණු ක්‍රෝධයක් ඔහුව වෙළාගත් හෙයින් මුළු ඇඟම ගැහෙන්නට විය. සතුරාට ශාප කරනු හැරෙන්නට වෙනත් කළ හැකි යමක් ඔහුට නොවීය. එවේලේ සතුරෙකු හමුවී නම්. කටින් විකා කීතු කීතු කොට ඉරා දැමිය හැකි තරමේ ශක්තියක් ඉවාන් තුළ විය. යුද පෙරමුණේ අවදානම් කලාපයෙන් ඉවත් වීමත් සමග ඔහු තුළ වූ ක්‍රෝධය කෙමෙන් තුනී වන්නට විය. ඉවාන් නතර විය. අමුතු කතස්සලු බවක් ඔහුගේ සිත වෙළා ගත්තේය. හිරු රැස් ඉදිරියේ දියවී යන වෙඬරු පිඩක් මෙන් සිය ශරීරය දියවී යන බවත් ඉවාන්ට දැනුණේය. හේ ඇද වැටුණේය.
අනපේක්ෂිත ලෙස දිය පහරකට ඇද වැටුනු බවක් ඉවාන්ට හැඟුණේය. වලාකුළු අතර, ගස්වැල් අතර. ගම්මාන හරහා කරකැවෙමින්, ඒ දිය දහර තමාව සිය සුන්දර ගම්මානය කරා කැඳවා ගෙන යන බවක් ඉවාන්ට දැනුණේය. තාත්තා.. අම්මා සීයා… ආච්චි ….. අක්කලා ….නංගිලා ඒ දයාබරිත දෑස් තමාව වට කරගත් බවක් ඉවාන්ට හැඟුණේය.
“ඉවාන්… අපේ ආදරණීය ඉවාන්” සියල්ලන්ම මවිතයට පත්ව ඇතිවාක් මෙනි. ගම්මානය කෙළවර වූ සුන්දර ගේ පොඩිත්ත. ඒ වටා වූ වත්ත. වත්ත හරහා වූ දෙවට. ඒ සියල්ල ඉවාන් ඉදිරියේ මැවී පෙනෙන්නට විය.
දෙවට දිගේ දිව එන ගලීනා… තම පණටත් වඩා පෙම් කරන ගලීනා.
“ඉවාන් … ඉවාන් ආපහු ඇවිල්ලා ? ” ගලීනා සිය කටහඬට ඉවාන්ට ඇස් ඇරුණේය.
සිහිය නැතිවෙනව වගේ ඉඩාත් සෙමින් කොඳුරන්නට විය. ඔහු මහත් සේ බියට පත් විය.
ඉවොත් කර්මාලියුක් සාමාන්‍ය යුද සෙබළෙකු විය. ඒ වන විටත් පැසිස්ට්වාදී සතුරන් විස්සකටත් වඩා වෙඩි තබා මරා දමා තිබුණ ද, විශේෂයෙන් සඳහන් කරන්නට තරමේ වික්‍රමාන්විත ක්‍රියාවකට ඔහු සම්බන්ධ වී නොතිබිණ. ඉවාන්ගේ බාහිර පෙනුමද සුවිශේෂ වීරවරයෙකුට සමාන නොවීය. උසත් නැති මිටිත් නැති හීන්දෑරී, කඩවසම් තරුණයෙකු වු හෙතෙම පදෝලිය ප්‍රදේශයේ උපත ලැබුවෙකි. ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. යුද්ධයට පෙරාතුව සිය ශ්‍රමයෙන් ජීවිතය ගොඩනගා ගත් මිලියන ගණනක් වූ සෝවියට් තරුණයන් අතුරින් කෙනෙකි.
ඉවාන් කර්මාලියුක් හෙතෙම, ඉලක්කයට වෙඩි තැබීමේ තරගයකින් හෝ එසේත් නැතිනම් බොක්සිං තරගයකින් ජය ලබා සම්මාන දිනු අයෙක් නොවීය. ඔහු සිය ශ්‍රමයෙන් ගමටත් රටටත් කීර්තියක් ලබා දුන් තරුණයෙකි. ඉවාන්, වාර්ෂිකව මොස්කව්හි පැවැත්වෙන සමස්ත සෝවියට් කෘෂිකාර්මික ප්‍රදර්ශනයේදී රන් පදක්කමක් දිනා ගත් අයෙකි. පදෝලිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සමූහ ගොවිපළක සේවය කළ සැබෑ ගොවියෙකි.
තම සිහි කල්පනාව හීන වන බව ඉවාන්ට දැනුන ද, තවදුරටත් අවදියෙන් සිටීමට ඔහුට අවශ්‍ය විය.
” නවතින්න… නවතින්න, මම යටත් වෙන්න සූදානම් නැහැ.” අසල වූ ගසක් වෙත රූටා ගිය ඉවාන් තම තුවාලය එහි කඳට තබා තද කළේය. බිඳී ගිය රුධිර නාලිකාව තදින් මිරිකු හෙතෙම දත් මිටිකමින් හැකිතාක් පුළුල් ලෙස දෙනෙත් විවර කළේය.
” මම ජීවත් වෙනව.” ඔහුගේ කෙඳිරිලි හඬ අසන්නට අසල කිසිවෙකුත් නොවීය. මුහුණත් – ශරීරයත් කෙතරම් සුදුමැලි වීද යත් මළ සිරුරකට දෙවෙනි වූයේ නැත. යුද්ධයේ ගිගුරුම් හඬ දහවලේත් රාත්‍රියේත් නොකඩවා ඇසෙන්නට විය.
සුදු ඇඳ ඇතිරිලි වලින් වසනා ලද කුඩා නිවසක, ශල්‍ය වෛද්‍ය මිකෝලා දූස්කෝ දින කිහිපයක් තිස්සේ එක දිගට රාජකාරියේ නිරතව සිටියේය. බෝම්බ පිපිරීම් හේතුවෙන් කුඩා ශල්‍යාගාරය නිරතුරුව සෙලවෙන්නට විය. ඒ තුළ පොළොව මත පේළි තුනකට තුවාලකරුවෝ වැතිර සිටියහ.
ශල්‍ය වෛද්‍යාවරයා වෙහෙසට පත්ව සිටියේය. කාලය පිරිමැසීම සඳහා ඔහුගේ ආහාරපාන, ශල්‍ය කර්මයන් කරන ලද මේසය ළඟට ම සපයා දෙන ලදී. වෛද්‍යවරයා සාමාන්‍යයෙන් නිරෝගී හා ශක්තිමත් පුද්ගලයෙකු වුවද, ඒ වන විට ඔහුගේ සියලු ශක්තීන් වැයවී තිබුණි. ඔහු කෙතරම් විඩාවට පත්ව සිටියේද යත් අමුතු තාන්සියක්ද දැනෙහේකට විය. පාන්දරත්, දහවලේත්, රාත්‍රියේත් එක දිගට වූ තුවාල කරුවන්ගේ දර්ශනයන් නිසා හෙතෙම හෙම්බත්ව සිටියේය.
“පුදුමාකාර ඉවසීමක්… මාස දාහතරක් තිස්සේ එක දිගට දිනපතා ම කපනව මහනව. ඒත් අඩුම තරමින් එක් කෙනෙක්වත් කෑ ගැහුව ද, මරණයට ශාප කළාද, වෛර කළාද? නැහැ… යටහත් පහත්ව බැගෑපත්ව ඉවසාගෙන ඉන්නව. පුදුමාකාර ඉවසීමක්” වෛද්‍යවරයාගේ සිතට සැනසීමක් නොවීය. ඉරුණු සම් කැබළි එකට කැටි කොට මසන සෑම වතාවක් පාසාම ඔහුගේ සිතට ඒ සිතුවිලි වද දෙන්නට විය.
“ඊළඟ රෝගියා..” ඉවාන් කර්මාලියුක් ශල්‍ය වෛද්‍යවරයා ඉදිරිපිට වැතිර සිටියේය.
ඒ වන විට ඔහු තුවාල ලබා දින තුනක් ගත වී තිබුණි. දිනෙන් දින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරෙන්නට විය. රුධිරයෙන් තොරවු සුදුමැලි සිරුරෙහි උෂ්ණත්වය අංශක හතළිහත් ඉක්මවා තිබුණි. වමතේ තුවාලය නරක් වී මස් කුණුවන්නට පටන් ගෙන ඇත. මහත් සේ ඉදිමුණු, තැන තැන රතු පැහැති පැල්ලම් වලින් යුත් අඳුරු හස්තය ඔහු අසල විය. ඒ තුළින් නිකුත් වූ දුර්ගන්ධය ඉවසිය නොහැකි තරම් විය. දින තුනක් තිස්සේ ඉවාන් සිය දෙනෙත් ඒ වෙතින් ඉවතට නොගත්තේය. ඔහු සිය වමත දුටුවේ. හිමින් සීරුවේ තමා වෙත මරණය රැගෙන එන දරුණු සතුරෙකු ලෙසය. ඉවාන්ගේ අත බේරා ගත නොහැකි බව ඒ දුටු සැණෙකින්ම වෛද්‍යවරයාට අවබෝධ විය.
“පරක්කු වැඩියි. අත කපල අයින් කරන්න වෙයි වගේ” වෛද්‍යවරයා සිහින් හඬකින් සිය සහායක වෛද්‍යවරියට කීවේය.
“කපල දාන්න, කපල අයින් කරන්න” ඉඩාත් තිර අදිටනකින් යුතුව වේගයෙන් පැවසීය.
පුදුමයට පත් වෛද්‍යවරයා හිස හරවා ඉවාන් දෙස බැලුවේය. පුළුල් ලෙස විවර වුණු අළු පැහැති දෙනෙක් යුගලය වෛද්‍යවරයා වෙත එල්ල විය. ඉක්මණට කපල දාන්න ඉවාන්ගේ කටහඬ නියෝගයක් බඳු විය.
අත කපා ඉවත් කොට කරනා ලද ශල්‍ය කර්මය ඉවාන් කර්මාලියුක් හට පිහිට වූයේ නැත. මස් කුණු වීම නැතහොත් කෝථ රෝගය වෙනුවෙන් ලබා දෙන ලද එන්නතින්ද ඵලක් නොවීය. ලබා දුන් රුධිරයෙන්ද ප්‍රයෝජනයක් නොවීය. වේළුණු රුධිර නාලිකා දැඩි ලෙස හැකිළී තිබුණු අතර ඒවා රුධිර සංසරණයට එරෙහි විය. උරහිස් සන්ධියෙන් පටන් ගත් කෝථය ගෙල දක්වාම පැතිරෙන්නට විය. ඉඳිමුණු උරහිස අප්‍රිය උපදවන සුළු භයානක දර්ශනයක් විය. සුදුරෙදි වලින් වැසුණු කුඩා ශල්‍යාගාරයේ සිට ඉවාන්ව හමුදා රෝහල වෙත කැඳවාගෙන යන විට, ඔහුගේ හෘද ස්පන්දනය මුළුමනින්ම නතර වූ අයුරුය.
ජීවිතය පිළිබඳ වූ අපේක්ෂාවන් ඉවාන් වෙතින් ඉවත් වන්නට විය. ජීවිතය වෙනුවට මරණය ඔහු වෙත පියවර මනිමින් සිටියේය. ඉවාන් මුනිවත රැක්කේය. ඒ අතිශයින් දුෂ්කර, වේදනාකාරි නිහඬතාවය හා මරණයට එරෙහි වූ සටන, ඔහු තුළ ශේෂ වී තිබුණු ශක්තියද ඩැහැ ගත්තේය.
කොහොමද ඔබේ සැප සනීප රෝගීන් පරීක්ෂාවට වාට්ටුවට පැමිණි ශල්‍ය වෛද්‍යවරයා ඉවාන්ගේ දකුණතින් අල්ලමින් විමසුවේය. නාඩි වැටෙනා බවක් පෙනෙන්නට නොවීය.
” වරදක් නැහැ හොඳයි. කියන්න දොස්තර මහත්තයා මම ජීවත් වෙයිද?” ඉවාන් සිහින් හඬින් කෙඳිරුවේය. ඒ වදන් පෙළ වෛද්‍යවරයාගේ හදවත පසාරු කරන්නාක් මෙන් විය.
“ජීවත් වෙන්න ? අනිවාර්යයෙන්ම” වෛද්‍යවරයා සිය සුපුරුදු සැනසිලිදායක, එහෙත් අසත්‍ය වදන් පෙළ ඉවාන් ඉදිරියේ තැබීය.
ඉවාන් කර්මාලියුක් පණ අදිමින් සිටිනා බවත් ඔහුට ඉතිරිව ඇත්තේ තව පැය කිහිපයක් පමණක් බවත් වටහා ගත් වෛද්‍යවරයා, ඔහු වෙනුවෙන් කිසිදු ප්‍රතිකර්මයක් නියම නොකොට ඊළඟ රෝගියා වෙත ගියේය. සියලු බලාපො රොත්තු ඉවත්ව යන බව ඉවාන්ට වැටහුණේය.
“දොස්තර මහත්තයා… පොඩකට නවතින්න. “
ශල්‍ය වෛද්‍ය දුද්දෝ අන්දුන්කුන්දුන්ව හැරි බැලුවේය. වෛද්‍යවරයාගේ මුහුණින් කියැවුණු හැගීම් ඉවාන් වටහා ගත්තේය.
“අලුත් වෙළුම් පටි ඕනෙ නැතිද?”
ඉදිමි කුණුවෙමින් පවත්නා උරහිසෙන් නැගුණු උණුසුමින් දැවෙමින් සිටි ඉවාන් ප්‍රශ්න කළේය. ඔහු වෙතින් නික්ම ආ රශ්මියෙන් තමාද දැවෙනා බවක් වෛද්‍යවරයාට හැඟුණේය. එහෙත්. ඉවාන්ට සැනසීමට තවත් යමක් කියන්නට වෛද්‍යවරයාට නොහැකිය. දිනපතා රෝහල් ඇඳන් මත මියැදෙන හැම කෙනෙකුවම සැකසීමට වෛද්‍යවරයාට නොහැකිය.
” නැහැ….. නැහැ… ඔබට තව ජීවත් වීමේ වාසනාව තියෙනවා.”
එසේ කී වෛද්‍යවරයා සෙසු වෛද්‍යවරුන් හා හෙදියන් සමග ශල්‍යාගාරය වෙතට පියවර මැන්නේය. කොට්ටය මත හාන්සි වු ඉවාන් ඉකිබිඳින්නට විය. පදෝලිය ප්‍රදේශය, සිය ගම්මානය. ඒ අසළින් ගලන බුග් ගංගාව. නිල්වන් තණ පිට්ටනිය. තම පෙම්වතිය ගලීනා. මේ හැමකක්ම හැම කෙනෙක්ම ඉවාන්ගේ මතකයට නැගෙන්නට විය.
“ගලීනා…..ඔයා කොහෙද? පේන්නේ නැද්ද නුඹේ ඉවාන්ට වෙලා තියෙන දේ. එන්න. මා සොයාගෙන එන්න.”
ඉවාන් වටපිට බැලුවේය. ඔහු වටා සිටියේ තුවාලකරුවන් පමණය.
” ඔව්. මම හමුදා රෝහලක… මියැදෙමින් සිටිනවා.”
තමාට මරණය ළඟා කර දෙන ඇඳ මත, ඉවාන් ඒ මේ අත පෙරළෙන්නට විය. පහර කෑ කුරුළු පැටවෙකු මෙන් වෙව්ලන්නට ද විය. යළි යුද පෙරමුණට එක් වී සතුරාට පහර දෙන්නට ඔහුට අවශ්‍ය විය. ඉවාන්ගේ කෙඳිරිය වැඩි විය. දත් දෙපළ එකට එක තද කර ගත් ඉවාන් කර්මාලියුක් ශේෂ වී තිබුණු සියලු ශක්තීන් කැටි කර ගත්තේය.
වාට්ටු පරීක්ෂාවෙන් පසුව ශල්‍යාගාරයට ඇතුළු වූ වෛද්‍යවරයා නියෝගයන් කිහිපයක් ලබා දුන්නේය. අනතුරුව කෙටි විවේකයක් ලබා ගැනීමේ අටියෙන් ජනේල් කවුළුව අසළ අසුන් ගත්තේය. හිමිදිරිය වළාකුළු වලින් බර අඳුරු එකක් විය. සිය දෑත් මතට හිසෙහි බර දුන් මිකෝලා දුක්කෝ කිරා වැටෙන්නට විය.
දොර මත එල්ල වූ දරුණු පහරින් ඔහු තිගැස්සුණේය. ඉවාන් කර්මාලියුක් ඒ අසළ සිටගෙන සිටියේය. ඔහුගේ සිරුර වසා සිටි සුදු ඇඳ ඇතිරිලි සැබැවින්ම රතු පැහැයක් ගත්තේය. වම් උරහිස පෙදෙස සැරව ගැලීම නිසා කහ පැහැ ගැන්වී තිබුණි.
“අලුත් වෙළුම් පටි.” වෛද්‍යවරයා වෙත දකුණත දිගු කරමින් ඉවාන් කෙඳිරි ගෑවේය.”
“මට ජීවත් වෙන්න අවශ්‍යයයි. අලුතින් වෙළුම් පටි නියම කරන්න. අනෙක් අවශ්‍ය හැම බේතක්ම මට ඕනෙ.” කුණාටුවකට හසු වූ නැවක උඩ තට්ටුවේ ගමන් කරන්නෙකු මෙන්ඒ මේ අත වැනෙමින්, ඉවාන් ශල්‍යාගාරයට ඇතුළට පියවර මැන්නේය.
ඒ නුහුරු නුපුරුදු දර්ශනයෙන් විමතියට පත් වෛද්‍යවරයාගේ ඇඟ කිළිපොළා ගියේය. කර්මාලියුක්ගේ පෙනුම භයංකර එක්ක වුවද, මුහු වෙතින් අමුතු තේජස් බවක් දිස් විය.
“ඔබ හිතාගෙන හිටියේ මම මැරුණා කියල නේද ? නැහැ. මම තවම ජීවත් වෙනව. තවදුරටත් සිටගෙන සිටිය නොහැකිව දකුණතට වාරුවක් සොයමින් ඉවාන් කීවේය. කරුණාකරල මේ වෙළුම් පටි ඉවත් කරල අලුතින් වෙළන්න. දෙයියන්ගේ නාමෙට මට උදව් කරන්න. මට ජීවත් වෙන්න අවශ්‍යයි. කරුණා කරල ඇයි මබ තවත් හිටගෙන ඉන්නෙ.”
මහු වෙත දිව ආ ශල්‍ය වෛද්‍යවරයාගේ දෑත් මත ඉවාන් ඇද වැටුණේය. කලබලයට පත් වෛද්‍යවරයා ඔහුව ඔසවා ඇඳක් මත තැබීය.
“ඔබ සිතනවද, ඔහුව බේරගන්න අපට පුළුවන් වෙයි කියල” කඩිනමින් ශල්‍ය වෛද්‍යවරයා වෙත ආ සහායිකාව, ශල්‍ය උපකරණ ලබා දෙමින් විමසුවාය. “ඔහු තමාව බේරාගෙන ඉවරයි.” පැහැදිලි, තිර හඬකින් වෛද්‍යවරයා පැවසීය.
“හොඳින් අල්ලගෙන ඉන්න. ඉවසන්න දෙයියන්ගේ නාමෙට ඉවසන්න.” වෛද්‍යවරයා තුළ පුදුමාකාර විපරියාසයක් සිදු විය. කලින් නොතිබුණු තරම් ශක්තියක්, ප්‍රබෝධයක් ඔහු තුළ ඇති විය. ඔහු ප්‍රීතිමත්ව රාජකාරියේ නිරත විය. කර්මාලියුක්ගේ ශරීරය දෙස බලමින් කුඩා දරුවෙකු මෙන් සතුටු වන්නට වූවේය.
“බලන්න මේ තරුණයාගේ ශරීරය දිනා මොන තරම් කඩවසම් යෞවනයෙක්ද?” පපුව උරහිස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දියරයෙන් සැරව බේරෙන තුවාලය සේදූ හෙතෙම නව වෙළුම් පටි ඒ මත ඔතන්නට නියෝග කළේය.
“මොන තරම් ලස්සන කකුල්ද ….ඕ… ඔබලා දැක්ක නම් ඔහු කාමරයට ඇතුළු වුණ හැටි..”
“එයා කොහොමද ඇවිදගෙන ආවේ. ඇඳෙන් නැගිටින්නට තරම් හයියක් ඔහුට තිබුණෙ නැහැ නොවැ.” හෙදිය පුදුමයට පත් වූවාය.
“ඒ ගැන මොනවද ඔබට වැටහෙන්නෙ. “
“මේ තරම් විශාල ශක්තියක් කොහෙන්ද ඔහුට ලැබුණේ. එයාගේ නාඩි වැටුණෙත් නැහැනෙ හරියකට” අනෙක් හෙදිය ප්‍රශ්න කළාය.
“ඔහු තුළ දැඩි අධිෂ්ඨානයක්, ධෛර්යයක් තිබුණා.”
” ඔහු ජීවත් වෙයි කියල ඔබට විශ්වාසද”
“ඔව්. අපි ඔබට වඩා වැඩි කාලයක් ඔහු ජීවත් වේවි. විශ්වාස කරන්න. ඔහු තමන්ගේ ජීවිතය බේරගන්න කරපු ටික. අපි මේ කරන බේත් හේත් වලට වඩා බොහොම බලගතුයි.”
වෛද්‍යවරයා ඊට පෙර කිසි දිනෙක නුවූ විරූ තරමේ විශාල ආස්වාදයකින් හා ප්‍රබෝධයකින් සිය රාජකාරිය ඉටු කළේය. මිනිසෙකුගේ ජීවිතය බේරීමට මෙතරම් තදබල ආශාවක් ඔහු තුළ මීට පෙර ඇති වී තිබුණේ නැත.
සිහි මූර්ජා වූ ඉවාන් කර්මාලියුක් මහු ඉදිරිපිට නිහඬව වැතිර සිටියේය. ජීවත් වීම පිළිබඳව ඉවාත් තුළ වූ අධිෂ්ඨානය වෛද්‍යවරයා වෙත පිරිනැමුණේය. ඔහුගේ විඩාව තුනී විය. දින ගණනක් එක දිගට නිදිවරමින් සේවය කිරීම නිසා පත්ව සිටි තත්ත්වය වෛද්‍යවරයාට අමතක විය. සුවදායක නින්දකින් අනතුරුව උණු දිය ස්නානය කරන ලද පුද්ගලයෙකුගේ තරමට ප්‍රබෝධයක් වෛද්‍යවරයා තුළ ඇතිවිය. වළාකුළු අතරින් ශල්‍යාගාරයට එබිකම් කළ හිරු සිනාසෙන්නට විය. ඉවාන් කර්මාදියුක් හට ජීවත්වීමේ වාසනාව ඇති බව හිරු සිහින් හඬින් කොඳුරන්නට විය.
මෙයාකාරයට. මියැදෙමින් සිටී පුද්ගලයෙකු මරණයට එරෙහිව කරනා ලද සවනින් නිකුත් වූ ශක්ති ධාරාවන් වෛද්‍යවරයා වෙත ළඟා විය. ඔහු එම ශක්තිය යළිත් රෝගියා වෙත ලබා දුන්නේය. යළිත් වරක් ප්‍රබල එන්නත් ලබාදුන් ශල්‍ය වෛද්‍යවරයා. ලේ ලීටර් භාගයක් ද ඉවාන්ට එන්නත් කිරීමට නියම කළේය. පසුව උණුදිය බෝතල් ආධාරයෙන් ඔහුගේ ශරීරය උණුසුම් කිරීමට ද නියෝග කළේය. ටිකෙන් ටික නාඩි වැටෙන්නට විය. දෙකම්මුල රෝස පැහැ ගැනෙන්නට විය. ඉවාන් කර්මාලියුක් දෙනෙත් විවර කළේය.
හතර දෙනාම ශල්‍ය වෛද්‍යවරයා, සනායක වෛද්‍යවරිය, හෙදියන් දෙදෙනා එකවරම හිස වනා ඔහුව ධෛර්යවත් කළහ. වෛද්‍යවරයා වෙත සිය අඳුරු දෑස් යොමු කළ ඉවාන් ස්තූති පූර්වක සිනාවක් පෑවේය.
“කිසිම ආයුධයක් අත නැතිව ඔබ විශාල සටනක් ජය ගත්තා. ඔබට බොහොම ස්තූතියි. මරණයට එරෙහිව සටන් වැදිය යුතු බව. ජීවිතය ජයගත යුතු බව. ජීවත්විය යුතු ආකාරය ඔබ මට ඉගැන්වුවා. ඔබේ අධිෂ්ඨානයට මම ආචාර කරනව.” වෛද්‍යවරයා පැවසුවේ අවංක සිතකිනි.
ඉවාන්ව ශල්‍යාගාරයේ සිට වාට්ටුව වෙත කැඳවාගෙන ආ විට එහි සිටි සියලු රෝගීහු අත්පොළසන් දී ඔහුව පිළිගත්හ. තම සඟයා දෙස ආඩම්බරයෙන් බැලූ තුවාලකරුවෝ ඔහුට ආශිර්වාද කළහ. ජීවිතය පිළිබඳ වූ ආශාව, ධෛර්යය, අධිෂ්ඨෂ්ඨානය ඔවුන් වෙත ද පැතිර ගියාක් මෙන් විය.
ඉතින්, මාගේ සහෝදරයිනි. යුද පෙරමුණේදී ඔබට කිසියම් අනතුරක් සිදුවුවොත් (යුද පෙරමුණ අනතුරු වලින් බහුලය. ඔබ වෙත ද එවැනි අනතුරු ළඟාවීමේ නිරන්තර අවදානමක් පවතී) පරාජය පිළිගෙන රෝහලේ ඇඳ මත වැතිර නොසිට ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කර ගන්න. මනුෂ්‍ය ජීවිතයේ පදනම – අධිෂ්ඨානය, අවදි කරවන්න. එය ඔබේ උදව්වට එනු නොඅනුමානය.
රුසියානු ලේඛකයකු වූ ඇලෙක්සැන්දර් දව්ෂෙන්කෝ විසින් රචිත කෙටි කතාවකි. ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර කරන ලද අනුවාදයකි