spot_img
spot_imgspot_img

ගාලු කොටුවේ තෙල් පෝළිමේ ජරමර. වෛද්‍යවරු සහ ජනතාව අතර ගැටලුවක් (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ අද (01) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

මෙම පිරවුම්හළට පෙට්‍රල් රැගත් බවුසරයක් පැමිණෙන බැවින් එහි ප්‍රමුඛතාව සෞඛ්‍ය සේවකයන්ට හිමිවන බවට ලැබුණු දැනුම් දීමකට අනුව ඊයේ (30) සවස සිට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන් එහි පෝළිම්වල රැඳී සිටියහ. මේ අතර මීට පෙර පෝළිම්වල සිට ටෝකන් ලැබුණු 250කට වැඩි පිරිසක් ද එම ඉන්ධන පිරවුම්හළට පැමිණ ඔවුන්ට ඉන්ධන ලබාදීමෙන් පසු වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන ලෙස බලපෑම් කිරීමත් සමඟ මේ ආරවුල හටගෙන තිබේ.

රජය පසුගිය දා නිවේදනය කළේ අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් ලබන 10 වැනි දා දක්වා ඉන්ධන ලබාදෙන බවයි. එසේ පවසා එතෙක් පෝළිම්වල සිටි සාමාන්‍ය ජනතාවට ටෝකන් ලබා දී ඔවුන් ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉවත්කෙරිණි.

ගාල්ල කොටුව සමූපකාර ඉන්ධන පිරවුම්හළේ පෝළිමේ රැඳී සිටින වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන් පවසන්නේ සෞඛ්‍ය සේවය ඉන්ධන නොමැතිව අඩපණ වෙමින් පවතින බැවින් වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය සේවයට අදාල වෘත්තීය සමිති රජය සමඟ සාකච්ඡා කර ඔවුන්ටම වෙන්කරගත් ඉන්ධන බවුසරයක් අද (01) ගාල්ල කොටුව පිරවුම්හළට රැගෙන එන බවයි.

සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හේතුවෙන් එම තෙල් වෙනත් සේවාවන්ට ලබාදිය නොහැකි බව ද සෞඛ්‍ය සේවකයෝ කියති.

නමුත්, එම ස්ථානයට පැමිණ සිටින සාමාන්‍ය ජනතාව පවසන්නේ සෞඛ්‍ය සේවකයන් සිටිය ද මැරෙන පුද්ලයා මියයාම වැළැක්විය නොහැකි බවයි. එමෙන් ම සෞඛ්‍ය සේවයට තවත් ඉන්ධන පිරවුම්හල්වලින් තෙල් ලබාදෙන බැවින් මේ ස්ථානයේ ටෝකන් ලබාගත් අයට දීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවකයන්ට දිය යුතු බවත්, නැතිනම් තෙල් ලබාදීමට ඉඩ නොදෙන බවත් ඔවුන් පවසයි.

අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ ගාල්ලේ වෙනත් කිසිම ඉන්ධන පිරවුම්හළකින් සෞඛ්‍ය සේවකයන්ට පමණක් ඉන්ධන නිකුත්කර නොමැති බවයි. කරාපිටිය, බෙලිගහ, කහදූවත්ත සහ අධිවේගී මාර්ග පිවිසුමේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හල්වලින් පසුගිය දින කිහිපයේ ම ‍අවස්ථාකිහිපය ක දී තෙල් නිකුත්කර ඇතත් ඒවායේ දී ටෝකන් ලබාදුන් අයට ප්‍රමුඛත්වය හිමිව ඇති අතර අත්‍යාවශ්‍ය සේවා යන‍ුවෙන් සඳහන් පෝළිමට ලබා දී ඇත්තේ ද සාමාන්‍ය ජනතාවට තෙල් නිකුත්කරන අතරතුර දී ය.

වෛද්‍යවරු පවසන්නේ මෙම තෙල් බවුසරය ගෙන එන්නේ සෞඛ්‍ය අංශ සඳහාම පමණක් බැවින් එය සාමාන්‍ය ජනතාවට ලබාදෙන්නේ නම් සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි බවයි.

කෙසේ වෙතත් ඊයේ (30) වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති වාහන සංචිතයේ කිසිදු වාහනයක් ධාවනය කිරීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන තිබුණේ නැත. ගිලන් රථ 15ක් රථ ගාලේ නවතා තිබුණු අතර හදිසි රෝගියකු ප්‍රවාහණය කිරීමට ද නොහැකි තත්වයක් උදා වී තිබිණි.

පොලිසිය සහ නාවික හමුදාව පැමිණ තත්වය පාලන කිරීටම උත්සාහ ගනිමින් සිටියි.

මෙම තෙල් තොග වෙන්කර ඇත්තේ සෞඛ්‍ය සේවාවට බව දැක්වෙන ලේඛනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කර ඇති ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සඳහන් ලේඛනය පහතින් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!