spot_img
spot_imgspot_img

දකුණේ මාර්ග සංවර්ධන ලොක්කෝ, ඉන්ධනවලින් ලක්ෂ ගණන් ගසා කාලා

පුවත්

විදෙස්

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළම නිලධාරීන් විසින් වාහන අවභාවිතා කිරීමේ සහ මහා පරිමානයෙන් ඉන්ධන වංචාකිරීමේ සිද්ධියක් අනාවරණය වී තිබේ.

රජයේ වාහන නීත්‍යානුකූලව හිමිකමක් නොමැති නිලධාරීන් කිහිප දෙනකුට ද දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් වාහන සපයා ඇති අතර ඔවුන් ඇතුළු ඉහළම නිලධාරීන් සියලු දෙනා තමන්ට නිලවශයෙන් හිමි ඉන්ධන සීමාව ඉක්මවා විශාල වශයෙන් ඉන්ධන ලබාගනිමින් ලක්ෂ ගණනක වංචාවක් සිදුකර තිබේ.

එලෙස ඉන්ධන සීමාව ඉක්මවා වැඩිපුර ඉන්ධන භාවිතා කළ නිලධාරීන්ගෙන් එම වියදම් අයකරගැනීමටත්, ඉන් පසු චක්‍රලේඛ ප්‍රකාරව පමණක් ඉන්ධන ලබාදෙන ලෙසත් 2018 දෙසැම්බර් මස 17 වැනි දින පැවැති පළාත් අරමුදල් සහ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවේ නියෝග අංක 17 මගින් නියෝග කර ඇතත් එම නියෝග මෙතෙක් ක්‍රියාත්මක කර නැත. එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යම් නිලධාරියකුට වැඩිපුර ඉන්ධන අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ අනුමැතිය ලබාගන්නා ලෙසයි.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරිය ඇතුළු ඉහළම නිලධාරීන් එම නියෝගයෙන් පසුව ද සීමාව ඉක්මවා ඉන්ධන ලබාගනිමින් සිටිය ද මේ දක්වා ම පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් අවසර ලබාගෙන නැත.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති PED 1/2015 අංක සහිත 2015-05-25 දිනැති චක්‍රලෙඛය අනුව සාමාන්‍යාධිකාරී ඇතුළු දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ වාහන හිමි නිලධාරීන්ට මසකට හිමිවිය යුතු ඉන්ධන සීමාවන් නියම කර ඇත.

ඒ අනුව සාමාන්‍යාධිකාරීවරිය භාවිතා කරන ඩීසල් වාහනයට ඩීසල් ලීටර 150ක් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග හා පාලම්) හට ඩීසල් ලීටර් 120ක් හිමිවෙයි.

එසේ වුව ද සාමාන්‍යාධිකාරීවරිය මාසිකව රුපියල් 40,000.00ක පමණ මුදලක් වැඩිපුර ඉන්ධනවලට යැයි කියමින් ලබාගෙන ඇති අතර නියේාජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මාසයකට රුපියල් 25,000.00ක පමණ වැඩිපුර ඉන්ධනවලට යැයි පවසමින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් මුදල් ලබාගෙන තිබේ.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරිය ලෙස කටයුතු කරන්නේ පුෂ්පා වික්‍රමසිංහ නමැති කාන්තාවකි. ඇය මීට පෙර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියක ලෙස කටයුතු කළාය.

2015 වර්ෂයේ සිට 2021 දෙසැම්බර් 20 දක්වා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරේ සිටි නිලධාරී නිලධාරිනියන්ට හිමි ඉන්ධන ප්‍රමාණයන් සහ ඔවුන් විසින් වැඩිපුර භාවිතා කර ඇති ඉන්ධන ප්‍රමාණයන් යැයි කියමින් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය පහත වගුවේ දක්වා ඇත.

එම මුදල රුපියල් 2,071,668.33කි.

පුෂ්පා වික්‍රමසිංහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරේ සිටිය දී සහ වර්තමානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග සහ පාලම්) ලෙස කටයුතු කරන ඒ.එච්.ඒ.එස්.ගුණවර්ධන යන දෙදෙනා විසින් 2015 වර්ෂයේ සිට 2021 දෙසැම්බර් 20 වැනි දා දක්වා  පමණක් සීමාව ඉක්මවා ලබාගත් ඉන්ධන පිළිබඳ සවිස්තර වාර්තාවක් පහත වගුවේ දක්වා ඇත.

ඒ අනුව ඉහත කාලයට අදාලව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරේ සිටි දෙදෙනකු විසින් පමණක් ඉන්ධනවලට යැයි කියමින් රුපියල් 1,037,301.33 ක මුදලක් වැඩිපුර ලබාගෙන තිබේ.

මීට අමතරව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග සහ පාලම්) ඒ.එච්.ඒ.එස්.ගුණවර්ධන ව්‍යාපෘතියක තනතුරක් දරමින් මාසිකව තවත් ඩීසල් තොගයක් ලබාගෙන ඇති අතර 2021 වර්ෂයේ ජනවාරි සිට 2022 වර්ෂයේ ජනවාරි අවසානය දක්වා ලබාගත් ඉන්ධනවල වටිනාකම රුපියල් 275,631.75කි. එම දත්ත අනුව පෙනී යන්නේ එම ව්‍යාපඵෘතියෙන් පමණක් ඔහු 2021 පෙබරවාරි මාසයේ දී අමතර ඉන්ධන ලීටර 528.5ක් ලබාගෙන ඇති බවයි. එවකට ඩීසල් ලීටරයක් රුපියල් 104.00ක් බැවින් එම මාසයේ දී ඔහු ව්‍යාපෘතියෙන් ලබාගත් අමතර ඉන්ධනවල වටිනාකම පමණක් රුපියල් 442,484කි.  ඔහු අවම අමතර ඉන්ධන ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ 2021 සැප්තැම්බර් මාසයේ දී වන අතර එය ඉන්ධන ලීටර 21.5 කි. එම වර්ෂයේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගුණවර්ධන විසින් ලබාගත් ඉන්ධන ප්‍රමාණය පිළිබඳ අපට තොරතුරු ලැබී නැත.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුකාව යාන්ත්‍රික ඉංජිනේරු අංශය භාර යාන්ත්‍රික ඉංජිිනේරු එම්.ඒ.සී.පී.මාභරණ හට නිල රථයක හිමිකමක් නැත. නමුත් ඔහුට නිල වාහනයක් ලබා දී ඇති අතර එම රථය ලබා දී ඇත්තේ රාජකාරී කටයුතුවල නිරතවීම සඳහා උපරිම රුපියල් 22,500.00ක මාසික ඉන්ධන සීමාවක් යටතේ වුව ද පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ කිසිදු අනුමැතියකින් තොරව එම ඉන්ධන සීමාවරුපියල් 10,000.00ක් දක්වා ඉහළ නංවා තිබේ. ඒ සාමාන්‍යාධිකාරීවරියගේ ආශිර්වාදය ඇතිවය.

ඔහුට අමතරව නිල වාහන හිමිකමක් නොමැති දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරී එම්.ටී.ආර්.ටී.ලක්මාල්, අභ්‍යන්තර විගණක එච්.බී.ආර්.ඩී.කරුණාරත්න, වැඩමූලික ඊ.එන්.ජී.අනුර ප්‍රියන්ත යන අයටත් වරින් වර අනුමැතියකින් තොරව නි‍වසේ සිට රාජකාරී ස්ථානයට පැමිණීමටත්, නැවත නිවෙස වෙත යාමටත් වාහන හා ඉන්ධන ලබා දී ඇතැත් එහි වාහනවල ධාවන සටහන් ද අසත්‍ය දත්ත අනුව සකස්කර එම වාහන ධාවනය වූ ප්‍රදේශ පිළිබඳ ‍තොරතුරු වසන්කර ඇත.

මේ කරුණු විගණන පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

මේ වංචා හා දූෂණ නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙසත්, ආයතනයේ විනාශයට මේ නිලධාරීන් වගකිව යුතු බවත් සඳහන් කරමින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියේජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා පරිපාලන) ජේ.ඒ.දයානන්ද සිරිවර්ධන විසින් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේට 2022 මාර්තු 11 වැනි දා ආයතනික ලිපි ශීර්ෂයක් ම භාවිතා කරමින් ලිඛිතව දැනුම් දී තිබේ.

නමුත් මේ දක්වාම එම ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා ක්‍රියා මාර්ගයක් ගෙන නැත.

ආයතන සංග්‍රහය අනුව “රජයේ සම්පත් සාවද්‍ය ලෙස හෝ අයතා ලෙස පරිහරණය කිරීම හෝ එසේ කිරීමට ඉඩ හැරීම හෝ අවධානයෙන්, අනවධානයෙන් හෝ ඒවා විනාශවීඹට හෝ වටිනාකම අඩුවීමට හෝ ඉඩහැරීම, රජයේ මුදල් සාවද්‍ය ලෙස හෝ අයතා ලෙස පරිහරණය කිරීම හෝ වෙනත් අයකුට එසේ කිරීමට ඉඩ හැරීම පවා වරදක් වෙයි.

එමෙන් ම එවැනි නිලධාරීන්ට එරෙහිව විධිමත් විනය පියවර අදාල විනය බලධාරීයා විසින් අනිවර්යයෙන් ම ගත යුතුය යන්න ද සඳහන් වෙයි. ඒ අනුව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය අයත්වන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙවැනි දූෂිතයන් සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් ඔහු කරන්නේ ද ඊට අනුබල දීමකි. රාජ්‍ය දේපල සාවද්‍ය ලෙස හෝ අයතා ලෙස පරිහරණය කිරීමට අවස්ථාව සළසා දීමකි.

පළාත් සභාව විසුරුවා හැර ඇති අවස්ථාවක දී නිසි බලධාරියා තමා යැයි කියාගන්නා ආණ්ඩුකාර විලී ගමගේ ද මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම රටේ නීතිය උල්ලංඝනය කිරීමකි.

අපි මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පුෂ්පා වික්‍රමසිංහට කතා කළෙමු.

“ඔයා කවුද මගෙන් ප්‍රශ්න කරන්න. මම කරන්නේ මට ඕන දේ. ඔයාට කොහෙන් ද ගිණුම් කාරක සභාවේ වාර්තා. ඔයාලට කොහෙන්ද මගේ කාර්යාලයේ ඉන්ධන භාවිතය ගැන විස්තර  හමුවුණේ. ඔයාට කවුද ඔය තොරතුරු කියන්නේ. හැමදාම මගේ කාර්යාලය ගැන හොයන්නේ වෙන වැඩක් නැද්ද ? අනික ඔයාට මගෙන් ප්‍රශ්න කරන්න කිසිම අයිතියක් නෑ.” යනුවෙන් ඇය කියාගෙන කියාගෙන ගියාය.

එවිට අපි ඇයට මෙසේ කීවෙමු.

“මම මාධ්‍යවේදියෙක්. මාධ්‍යවේදි‍යෙකුට තොරතුරු හොයන්න, තොරතුරු ලබාගන්න, ඒ වගේ ම අනාවරණය කරන්නත් අයිතියක් තියෙනවා. මේ චෝදනා අපි ලියන්නේ ඒවා නැවත නැවතත් තහවුරු කරගැනීමෙන් පස්සේ. නමුත් ඒ චෝදනා සම්බන්ධයෙන් ඔබ හෝ ඔබේ කාර්යාලයේ වෙනත් අයකු හෝ අගතියට පත්වනවානම් ඔබේ හෝ ඒ අයගේ පිළිතුරු දීමේ අයිතියට අපි ගරු කරනවා. ඒ නිසා තමයි මම මේ ගැන ඔබෙන් ඇහුවේ. නමුත්, ඔබට මගෙන් අහන්න අයිතියක් නෑ මට තොරතුරු ලැබෙන ආකාරය. අපි ඒවා කිසිම ආකාරයකින් හෙළිදරව් කරන්නේ නෑ”

එවිට ඇය මෙසේ කීවාය.

“ඔය චෝදනා ඔක්කොම බොරු. මට ඉස්සෙල්ලා හිටපු මිනිස්සු කරපු දේවල් තමයි ගිණුම් කාරක සභාවේ තියෙන්නේ ඒවා ගැන මට කරන්න දෙයක් නෑ, අපි අරගෙන තියෙන්නේ අපිට හිමිදේවල්. ඔයාලට ඕන දෙයක් ලියන්න. ලිව්වට පස්සේ අපිත් ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නම්”

ඇය පවසන්නේ මේ ලිපියේ නම් සඳහන් අනෙක් අය ද නිර්දෝෂි බවයි. එබැවින් ඔවුන්ගෙන් අහන්න දෙයක් නැති බවත් ඇය පැවසූ දේ මතක තබාගන්නා ලෙසත් සාමාන්‍යාධිකාරීවරිය කීවාය.

මීට පෙර අපි දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරි‍ය සම්බන්ධයෙන් අනාවරණය කරන ලද කරුණවලට එරෙහිව ඇය විවිධ ක්‍රියාමාර්ග ගන්නට උත්සාහගත් බව අපි දන්නා කරුණකි. නමුත් මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට ඇයට හැකියාවක් ලැබුණේ නැත.

ජාතික ධනය කොල්ලකන මෙවැනි දූෂිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නේ නම් පළාත් අමාත්‍යාංශයේ ලේකම්වරායටත්, ආණ්ඩුකාරවරයාටත් එරෙහිව ක්‍රියාකාරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. යුතුකමකි.

(rata.lk වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරන පිළිතුරු දීමේ අයිතිය සුරක්ෂිත කර ඇති වෙබ් අඩවියකි. මේ පුවත සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ සංවිධානයකට අගතියක් වන්නේ යැයි හැ‍ඟෙන්නේ නම් මෙම වෙබ් අඩවියේ පහතින් දක්වා ඇති අපගේ දුරකථන අංකයකට කතා කිරීමෙන්, පණිවිඩයක් එවීමෙන් හෝ ඊමේල් පණිවිඩයක් යොමු කිරීමෙන් අප ඇමතීමට හැකියාව ඇත. එලෙස ඔවුන් දක්වන අදහස් ද හැකි ඉක්මණින් මෙවැනිම ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින බව ද දන්වා සිටිමු)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!