මාතර වෛද්‍යවරයා නිවසේ දී ම නිරෝධායනයට

0
113

මාතර පදිංචි කොරෝනා ආසාදිත බවට අද (26) වාර්තා වූ පුද්ගලයකු ගේ සමීපතමයකු බවට පත්වූ මාතර මහ රෝහලේ වෛද්‍යවරයකු අද (26) දිනයේ ද සේවයට වාර්තා කර ඇතැයි මාතර රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

එම ආසාදිතයා වෛද්‍යවරයාගේ පුද්ගලික බෙහෙත් ශාලාවකින් පසුගිය සිකුරාදා (23) ප්‍රතිකාර ලබාගෙන තිබේ. ඉන් අනතුරුව ඉරිදා ලබාගත් ජෛව සාම්පලවලින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිත තහවුරු වී තිබේ. මේ බව නොදත් වෛද්‍යවරයා සෙනසුරාදා සහ ඉරිදා දිනයේදී ද රෝහලේ සේවය කර ඇති අතර ඔහු පුද්ගලික බෙහෙත් ශාලාව ද පවත්වාගෙන ගොස් ඇත.

අද දිනයේ රෝහලේ සේවය කරමින් සිටිය දී තමන්ගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගියකු ආසාදිතයකු වී ඇතැයි වෛද්‍යවරයාට සෞඛ්‍ය අංශ වෙතින් දැනුම් දී තිබේ. මේ බව දැනගැනීමත් සමග මාතර රෝහලේ අනිකුත් සේවකයන් ද දැඩි නොසන්සුන්තාවකට පත්ව තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට අදාල වෛද්‍යවරයා තම නිවසේම ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. වෛද්‍යවරයා ආසාදිතයා හා ස්පර්ශ වී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේ බැවින් වෛද්‍යවරයාගේ පීසීආර් පරීක්ෂණය ලබන සිකුරාදා (30) සිදුකරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here