spot_img
spot_imgspot_img

දේශපාලන බලයෙන් කොරෝනා මළ සිරුරක් ගෙදර ගෙනියයි. බිරිඳ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්. සිරුර පුද්ගලික ඉඩමක භූමදානයට

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සෞඛ්‍ය චක්‍රලේඛවලට පටහැනිව දේශපාලන බලය යොදා නිවසට ගෙන යාමේ පුවතක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වේ.

කොරෝනා ආසාදිතව තිබිය දී මෙලෙස නිවසට ගෙන ගොස් ඇත්තේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නියෝජිත කාංචනා මදනායකගේ සැමියාගේ මළ සිරුරයි. ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවට පත්ව සිටින්නීය.

පසුගිය දෙසැම්බර් මාසයේ ඔහු ගාල්ල දෙවට සහ පින්නදූව අතර අධිවේගී මාර්ග පිවිසුමේ දී රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබිණි.

ඉන් පසු ඔහු නිවසට පිටත්කර යවා තිබුණ ද යළි අසාධ්‍යවීම හේතුවෙන් රෝහල්ගත කර තිබිණි. පසුගිය පෙබරවාරි 16 වැනි දා රෝහලේ දී කරන ලද පරීක්ෂණයක දී ද ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි.

එසේ කොරෝනා ආසාදිතව සිටි මෙම පුද්ගලයා ඊයේ (21) උදෑසන කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇත. කෙරෝනා ආසාදිත බවට 16 වැනි දා කරන ලද පරීක්ෂණයකින් තහවුරු වූ බැවින් ඞ හදිසි අනතුර ද මෙම මරණයට හේතුවක් වී ඇති බැවින් එම සිරුර ඔට්ටමාවඩි යවා තැන්පත් කිරීමට තීරණය කර තිබිණි.

නමුත් දිගින් දිගටම සිදුවූ දේශපාලන බලපෑම් හේතුවෙන් වෛද්‍යවරු 05 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් එක්වී මෙම මළ සිරුරේ අඩංගු කොරෝනා වයිරස සාන්ද්‍රණය අවම යැයි තීරණය කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හදිසි මරණ පරීක්ෂකවරයාට දැනුම් දී තිබේ.

ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න පවසන්නේ වෛද්‍යවරු 05 දෙනකුගෙන් යුතු කමිටුවක් විසින් ලබාදුන් තීරණය අනුව තමන් එම පුද්ගලයාගේ මළ සිරුර මුද්‍රා තබා නිවසට ගෙන ගොස් පුද්ගලික ඉඩමක තැන්පත් කිරීම සඳහා අවසර ලබාදුන් බවයි.

මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛවලට පටහැනිව දේශපාලන බලපෑමෙන් ගන්නා ලද තීරණයක් බව තතු දන්නෝ කියති.

ගාල්ලේ ප්‍රකට හිමිනමක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළ බද්දේගම සමිත හිමියන් කොරෝනා සෑදී ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව තම විහාරස්ථානයට ගොස් සති කිහිපයකට පසු නැවත රෝහල්ගත වී අපවත්වූ අතර එම අවස්ථාවේ දී ද කොරෝනා ආසාදිත මළ සිරුරක් ලෙස සළකා පැය 24ක් ඇතුළත ආදාහනය කෙරිණි. සිරුර විහාරස්ථානයට ගෙන ගියේ නැත.

කොරෝනා ආසාදිතව මාසයකට වැඩිි කාලයක් එක්මෝ යන්ත්‍රයක් ආධාරයෙන් ජීවත් වූ රාගම වෛද්‍යවරයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය අතර ඔහුගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් සේ සළකා ආදාහනය කළ ද එම සිරුර රාගම ආදාහනාගාරයකට ගෙන යාමට අවසර දෙන ලෙස ඥාතීන් ඉල්ලා සිටිය ද කරාපිටිය ‍අධිකරණ වෛද්‍ය අංශයෙන් ඊට අවසර ලැබුණේ නැත.

හිටපු කතානායක වි.ජ.මු.ලොකුබණ්ඩාර, හිටපු අමාත්‍ය මංගල සමරවීර, ගායක සුනිල් පෙරේරා වැනි පුද්ගලයන්ගේ මළ සිරුරු පවා කොරෝනා ආසාදිත බව පවසමින් පැය 24ක් ඇතුළත ආදාහනය කිරීමට රජය කටයුතු කර තිබිණි.

පසුගිය සතියේ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයකු කොරෝනා ආසාදනය වී සිටිය දී මියගියේය. දහස් සංඛ්‍යාත වෛද්‍යවරුන්ගේ ගුරුවරයකු වූ ඔහුගේ සිරුර ද කොරෝනා නීති අනුව ආදාහනය කළ ද ඔහු කතෝලිකයෙකි. නමුත් කතෝලිකයන්ගේ විශ්වාසය එහි දී තුට්ටුවකට මායිම් කළේ නැත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී මියයන හෝ මියගිය පසු රෝහලට ලැබෙන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මීට පෙර ඥාතීන්ගේ විරෝධය පවා නොතකා ආදාහනය කළ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය දැන් මුස්ලිම් ජාතිකයන්ගේ කොරෝනා ආසාදිත මළ සිරුරු සියල්ල ඔට්ටමාවඩි යවයි. ඒවායේ වයිරස සාන්ද්‍රණය සොයා බලා ගමේ පල්ලියේ භූමදාන කිරීමට ඔවුන්ට ඉඩ දෙන්නේ නැත.

නමුත් මන්ත්‍රීවරියකගේ සැමියා කොරෝනා ආසාදිතව මියගිය විට දේශපාලන බලයට යට වී එම සිරු මුද්‍රා තබා නිවසට ගෙන ‍ගොස් නිවසේ දී ම භූමදානය කිරීමට අවසර දී ඇත.

දැන් එම සිරුර පෙට්ටියක බහා මුහුණ වීදුරුවකින් පෙනෙන සේ තබා ඇති අතර නිවසට නිරන්තරවම සිය ගණනක් මිනිසුන්ගෙන් පිරී පවතී.

දේශපාලන බලය හමුවේ සෞඛ්‍ය නීති වළ පල්ලට ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එක රටක එක නීතියක් නොමැති බව නැවත වතාවක් සනාථ කරමින් එම සිරුර අද (22) සවස 4.00ට මියගිය පුද්ගලයාට හිමි ව තිබූ පුද්ගලික ඉඩමක භූමදාන කිරීමට සූදානම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!