spot_img
spot_imgspot_img

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර, ඉහළම ජාත්‍යන්තර සිනමා උළෙලක ජූරියට පත්වේ

පුවත්

විදෙස්

ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙලක් වන බර්ලින් ජාත්‍යන්තර සිනමා ‍උළෙලේ නිල ජූරියකට මෙරට ප්‍රකට ජාත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර පත්ව සිටියි.

“විශේෂීකරණය නොවූ තරඟකාරී සිනමා උළෙල” (Non-Specialized Competitive Film Festivals) නමැති මෙම සිනමා උළෙල ලෝකයේ වඩාත් තරඟකාරීම සිනමා උළෙල තුන අතරින් එකක් ලෙස සැළකෙයි.

1951 වර්ෂයේ ආරම්භ වූ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙල මෙවර පැවැත්වෙන්නේ 72 වැනි වරටය. තරඟකාරී සහ තරඟකාරී නොවන කාණ්ඩ දෙකක් යටතේ ජර්මනියේ බර්ලින් සිනමා උළෙලේ තිරගත කරන කුළුඳුල් චිත්‍රපට අතරින් විශිෂ්ඨත ම කුළුඳුල් වෘතාන්ත සිනමා නිර්මාණය තේරීම සඳහා වූ නිල ජූරිය නියෝජනය කිරීමේ අවස්ථාව විමුක්ති ජයසුන්දරට හිමිව ඇත.

විමුක්තිට අමතරව ඉතාලි ජාතික ගයියා ෆේරා සහ ඇෆ්ගනිස්තාන ජාතික ශර්බානෝ සදාත් යන දෙදෙනා ද එම ජූරිය නියෝජනය කරති.

ජර්මනියේ බර්ලින් සිනමා උළෙලේ නිල ජූරියක් නියෝජනය කිරීමට අවස්ථාව ලද පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ විමුක්ති ජයසුන්දරයි. මීට පෙර ෆෙලික්ස් ප්‍රේමවර්ධන 1994 දී ක්‍රිස්තියානි ජූරියත්, ඈෂ්ලි රත්නවිභූෂණ 1998 දී සහ 2005 වර්ෂයේ දී නෙට්පැක් ජූරියත් ශ්‍රී ලාංකීය ජූරි සභිකයන් ලෙසින් නියෝජනය කර තිබිණි. එම ජූරීන් බර්ලින් අන්තර්ජාතික සිනමා ‍උළෙලේ නිල ජූරිය නොවන අතර ස්වාධීන ජූරීන් ලෙස සැළකිණි.

වසර 90කට පෙර ආරම්භ වූ වෙනිස් සිනමා උළෙල, වසර 76කට පෙර ආරම්භ වූ කාන්ස් සිනමා උළෙල හා වසර 72කට පෙර ආරම්භ වූ බර්ලින් සිනමා උළෙල යන ලොව ප්‍රධානතම සිනමා උළෙල ත්‍රිත්වයෙන්  නිල ජූරියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේ 1992 වර්ෂයේ දී කාන්ස් සිනමා උළෙලේ ප්‍රධාන අන්තර්ජාතික නිල ජූරිය නියෝජනය කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පමණි. ඒ අනුව විමුක්ති ජයසුන්දර එවැනි උළෙලක නිල ජූරියක් නියෝජනය කරන දෙවැනි ශ්‍රී ලාංකිකයා මෙන්ම බර්ලින් සිනමා උළෙලේ නිල ජූරිය නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද ඉතිහාසයට එක්වෙයි.

ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පාසල් අධ්‍යාපනයෙන් පසු සිනමා නිර්මාණකරුවකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භකළ විමුක්ති ජයසුන්දර කාන්ස් සිනමා උළෙලේ දී ජාත්‍යන්තර සම්මානයට ද පත්වූයේය.

විමුක්ති ජයසුන්දර ප්‍රථම වරට ජාත්‍යන්තර සිනමා උළෙලක දී ප්‍රධානතම ජූරිය නියෝජනය කළ ප්‍රථම අවස්ථාව වන්නේ 2005 වර්ෂයේ දී ප්‍රංශයේ පැවැති මර්සෙයි අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරිය නියෝජනය කිරීමයි.  ඔහු මෙවර බර්ලින් සිනමා උළෙලේ නිල ජූරිය නියෝජනය කිරීමත් සමඟ ජූරියක් නියෝජනය කරනු ලබන 17 වැනි අවස්ථාව බවට පත්වෙයි.

උදිත ලක්මාල් කහඳවආරච්චි විසින් තැබූ සටහක් ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!