spot_img
spot_imgspot_img

කබ්රාල්ගේ ඉලක්කම් විජ්ජාව සහ රට බංකොලොත් වීම

පුවත්

විදෙස්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (29) උදෑසන තම නිල twitter ගිනුමේ සටහනක් තබමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුදල් සංචිතය ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගිය බවයි.

ඊයේ සවස් වනතරු මෙරට සමස්ත විදේශ විනිමය සංචිතය (රත්තරං සංචිතය ද සහිතව) ඇමෙරිකානු ඩොලර් බිලින 1.6ට අඩු අගයක තිබී හදිසියේම එය ‍අද (29) උදෑසන දෙගුණයක් වූයේ කෙසේ ද යන්න මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළේ නැත.

නමුත් ඔහුගේ මේ ප්‍රකාශයට අද දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලැබිණි. මහ බැංකු අධිපතිවරයා එලෙස නිල දැනුම් දීමක් කරනවිට එය රටට වැදගත් ප්‍රවෘත්තියක් බැවින් ඊට බොහෝ මාධ්‍ය ආයතන ප්‍රචාරයක් දීමට දෙවරක් සිතන්නේ නැත.

නමුත් හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ මෙය අජිත් නිවාඩ් කබ්රාල්ලගේ ඉලක්කම් විජ්ජාවක් බවයි.

චීනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කට සමානව ඔවුන්ගේ මුදල් ඒකකය වන යුවාන්වලින් ශ්‍රී ලංකා මහ බැංකුවට අතමාරුවක් (SWAP පහසුකම) ලබා දී තිබේ. එය මෙරටට ඩොලර් ලැබීමක් නොවේ. එමේනම එය ණය ගෙවීමට හෝ භාණ්ඩ ආනයනයට හෝ ලබාදුන් පහසුකමක් නොවන බව ද හිටපු ආණ්ඩුකාරවරයා පවසයි.

චීනය විසින් ලබා දී ඇති මේ මුදල් ඩොලර්වලට හුවමාරු කිරීමට හැකියාවක් නැත. එලෙස මුදල් ලබාදීමේ කොන්දේසිය වන්නේ ශ්‍රී ලංකාව විසින් නැවත එම මුදල චීනයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ආයේාජනය කළ යුතු බවයි. චීනය සමඟ සිදුකරන ගනුදෙනු සඳහා හැර වෙනත් කිසිම කාර්යයකට එම මුදල් භාවිතා කිරීමට හැකියාවක් නැත. නමුත් එම මුදල ඩොලර්වලට හරවා ගැනීමටත් ණය ගෙවීම සඳහා යොදා ගැනීමත් ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වේ. ඒ සඳහා මෙතක් අනුමැතියක් ලැබී නැත.

ශ්‍රී ලංකාව 2022 ජනවාරි 18 වැනි දා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ලෙස ඩොලර් මිලියන 500ක් ගෙවිය යුතුය. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතළු ආයතන සඳහා ගෙවිය යුතු ණය හා පොළිය සැළකූ විට ශ්‍රී ලංකාව ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 1,380ක් ගෙවිය යුතුය. නමුත් තවමත් ශ්‍රී ලංකාවේ ඇත්තේ ජනවාරි මාසයේ දී ගෙවිය හැකි මුදල් ලෙස ඩොලර් මිලියන 1,100කට ආසන්න මුදලක් පමණි.

ඉන්දියාව සමඟ ලහි ලහියේ තෙල් ටැංකි ගිවිසුමක් අත්සන් කිරීමටත්, ඒ සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමටත් කටයුතු කරන්නේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක අතමාරුවක් ලබාගැනීමේ අපෙක්ෂාවෙන් බව රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ඉන්දියාවෙන් එලෙස ඩොලර් 400ක් හෝ චීනයෙන් ලැබුණු යුවාන් ඩොලර් බවට හැරවීම හෝ ජනවාරි මාසයේ දී සිදු නොවුණහොත් ශ්‍රී ලංකාව ණය ගෙවීම අතපසු කළ අසමත් හා බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙයි.

ග්‍රීසිය ද මීට පෙර බංකොලොත් රාජ්‍යයක් විය. එම බංකොලොත්බවින් මිදීමට ග්‍රීසියට ජර්මනියේ මුදල් සමඟ සහන ලබාගැනීමේ ක්‍රියාන්විතයකට යාමට සිදුවූ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ද ඉන්දියාව සමඟ යම් යම් එකඟතා සඳහා යාමට සිදුවනු ඇත. මේ නිසාම ඉන්දියාවෙන් ඩොලර් මිලින 400ක අතමාරුවක් ගන්නේ නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමේ කොන්දේසියට එකඟ විය යුතුව තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (29) උදෑසන මාධ්‍යයට දුන් උණුසුම් සහ සිත්ගන්නා සුළු ප්‍රවෘත්තිය අනුව විධිමත් පරිදි මෙරට විදෙස් මුදල් සංචිතය වැඩි වී ඇත්නම් එය වෙනත් පාර්ශව වෙත ලබාදීම (ණය ගෙවීම් වැනි) සහ භාණ්ඩ ආනයනය සඳහා යොදා ගැනීමට හැකිවිය යුතුය.

නමුත් චීනයෙන් ලබාගත් බව පවසන මුදල් එලෙස භාවිතා කිරීමට හැකියාවක් නැත. එබැවින් එය විධිමත් සංචිත වැඩිවීමක් නොවේ.

චීනය තම මුදල් භාවිතා කර ණය ගෙවීම වළක්වා ඇති අතර චීන නොවන භාණ්ඩ ආනයනය ද අවහිර කර තිබේ. එබැවින් 2022 ජනවාරි මාසයේ දී රට බංකොලොත්වීමේ අවධානමට මෙම චීන මුදල්වලින් පිටිවහලක් ලැබෙන්නේ නැත. එය ඉලක්කම් විජ්ජාවක් පමණි.

(මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ කරුණු දැක්වීම් හෝ පැහැදිළිකිරීම් මෙයට සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට rata.lk බැඳී සිටියි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!