spot_img
spot_imgspot_img

කැකිල්ලේ තීන්දුවක් දුන් පල්ලෙකැලේ පොලිසිය. අපරාධයක් ගැන කී පුද්ගලයා අත්අඩංගුවට

පුවත්

විදෙස්

අපරාධමය වරදක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් තැනැත්තකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදාහැර පොලිසිය අපරාධකරුවා යැයි සැකකරන පුද්ගලයාගේ පාර්ශවයේ වුවමනාව ඉටුකිරීමේ සිද්ධියක් මහනුවර පල්ලේකැලේ පොලිසියෙන් වාර්තා වෙයි.

මේ අපරාධමය වරද සිදුකර ඇතැයි සැකකරනු ලබන්නේ පල්ලේකැලේ ප්‍රදේශයේ කෙංගල්ල නමැති ගමේ පදිංචිව සිටින සුජිත් නිශාන්ත නමැති අයකු විිසිනි. ඔහුට එරෙහිව එම ගමේම පදිංචි ප්‍රමුඛ කුමාරසිරි නමැති අයකු විසින් පැමිණිල්ලක් කර තිබේ. සුජිත් නිශාන්ත ඒ අනුව අපරාධමය වරදක සැකකරුවෙකි.

ඔහු කාලයක සිට තමන් ඇතුළු පවුලේ අයට හිරිහැරයක් වන ආකාරයෙන් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන බවට කෙංගල්ල පදිංචි ප්‍රමුඛ කුමාරසිරි නමැති අයකු විසින් පොලිසියට පසුගිය ඉරිදා (19) පොලිසියට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල CIB (01) 305/138 ලෙස ලේඛන ගත කර ඇත.

මීට ඉහත කුමාරසිරිගේ පියා වන නිමල් කුමාරසිරි විසින් 2018-12-09 වැනි දින සුජිත් නිශාන්ත නීති විරෝධී ශබ්ද විකාශනයක් සිදුකරන බවට පල්ලෙකැලේ පොලිසියට පැමිණිලි කර ඇති අතර එය CIB (II) 379/77 ලස සටහන් කෙරිණි.

එම පැමිණිල්ල අනුව පවා නීතිය ක්‍රියාත්මක නොකළ පල්ලේකැලේ පොලිසිය පැමිණිලි කරු දෙවරක් පොලිසියට ගෙන්නුව ද අපරාධකරු පොලිසියට පැමිණ නැත. පොලිසිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති අතර අපරාධකරු විසින් දිගින් දිගටම වසර තුනකට වැඩි කාලයක් පොලිස් විභාගයකින් තොරවම එම අපරාධය සිදුකර තිබේ.

ඉරිදා (19) මේ සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිලි කිරීමට පෙර පැමිණිලිකරු අපරාධමය වරද සිදුකරන ස්ථානයට ගොස් එහි දායක සාභාව ලෙස හඳුන්වාගන්නා පුද්ගලයන්‍ සමඟ සාකච්ඡා කර කියා ඇත්තේ මෙම ශබ්දය අඩු කරන්නේ නැතිනම් තමන් පොලිසියට පැමිණිලි කරන බවයි.

නමුත් එහි දී ඔවුන් එම ශබ්දය අඩුකිරීමට එකඟවී නැත.

ඒ අනුව  පොලිසියට ගිය ප්‍රමුඛ කුමාරසිරි තම පැමිණිල්ල සටහන් කර නිවසට පැමිණ තිබේ.

අපරාධමය වරදක් පිළිබඳ තමන්ට තොරතුරක් ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ රාජකාරිය වුව ද පොලිසිය කුමාරසිරිට දැනුම් දී ඇත්තේ ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ලැබී ඇති බැවින් පොලිසියට පැමිණෙන ලෙසයි.

පොලිසියට ගිය කුමාරසිරිට දැනගන්නට ලැබී ඇත්තේ ඔහු සුජිත් නිශාන්ත‍ගේ පරිශ්‍රයට ඇතුළු වී එහි සිදුකරන ආගමකි කටයුතුවලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු බවට සුජිත් නිශාන්තගේ ආගමික යැයි කියාගන්නා වැඩසටහනකට සහභාගීවන අයකු විසින් පැමිණිල්ලක් තිබෙන බවයි.

මේ අවස්ථාවේ දී තම පැමිණිල්ල ගැන විමසූ විට පොලිසිය කුමාරසිරිගෙන් පෙරළා ප්‍රශ්න කර ඇත්තේ “මේක බෞද්ධ රටක්. පිරිත් ටිකක් ඇහුවාම මොනවද වෙන්නේ. එතුමාට ඒ පිරිත් විකාශය කරන්න පුළුවන්. අපි එයාට බලපත්‍රයක් ගන්න කියනවා. එතකන් පිරිත් දාන්නේ නෑ. බලපත්‍රයක් ගත්තට පස්සේ පිරිත් දාන්න පුළුවන්” යනුවෙනි.

ඉන් පසු සුජිත් නිශාන්තගේ හිතවතකු විසින් කුමාරසිරිට එරෙහිව කරන ලද පැමිණිල්ලට අනුව ප‍ොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ. එමෙන්ම ලබන 28 වැනි දා මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අධිිකරණයට ඉදිරිපත්වන ලෙස ද ප්‍රමුඛ කුමාරසිරිට පොලිසියෙන් දැනුම් දී ඇත.

පොලිසිය මෙහි දී ක්‍රියා කර ඇත්තේ නීතිය නොදැන ද යන්න අපට ගැටලුවකි. 2018 වර්ෂයේ දී ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලට පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැත.

ඉරිදා කරන කුමාරසිරි විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ද පොලිසිය රටේ සාමාන්‍ය නීතිය සහ පොලිස්පතිගේ චක්‍රලේඛ අනුව කටයුතු කර නොතබීම ගැටලුවකි.

2007 නොවැම්බර් මස 09 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් SC FR 38/2005 නඩුව සඳහා ලබා දී ඇති තීන්දුව අනුවත්, 2007 ‍නොවැම්බර් 22 වැනි දින පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07 මෙන්ම, 2007 නොවැම්බර් මස 28 වැනි දින එවකට නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුවත් යම් ස්ථානක ශබ්ද විකාශන යන්ත්‍ර (ලවුඩ්ස්පීකර්, බෆල්, ඇම්ප්ලිෆයර්) භාවිතා කරන්නේ නම් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුය. එමෙන් ම නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකළ යුතු ක්‍රියාකළ යුතු ආකාරය ද එම චක්‍රලේඛවල දක්වා තිබේ.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (04) වගන්තියේ ද ඇම්ප්ලිෆයර් භාවිතා කිරීමෙන් ශබ්දය විමෝචනය කිරීම සම්බන්ධ දැක්වෙයි.

ඒ අනුව සුජිත් නිශාන්ත නැමැත්තා විසින් සිදුකරනු ලබන ශබ්ද උත්පාදනය නීති විරෝධීය

සුජිත් නිශාන්ත

ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් උපකරණ හෝ මහනජතයාට හෝ එහි සිටින ජනතාවට කරදර ඇතිකරන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය අනුව එය අපරාධමය වරදකි. ඒ අනුව මෙලෙස ආගමික ස්ථානයක් නමින් පුද්ගලික පරිශ්‍රයක් පවත්වාගෙන යමින් ශබ්දය උත්පාදනය කරනු ලබන සුජිත් නිශාන්ත නැමැත්තා ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව අපරාධමය වරදක් සිදුකරනු ලබයි.

ශබ්ද විකාශන බලපත්‍රයක් නැතිව මෙම විකාශන කටයුතු කරන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හා පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය අනුව පොලිසිය කළ යුත්තේ පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ වහාම එම නීති විරෝධී සහ පීඩාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් ඇතුළු ඊට අදාල සියලු උපකරණ අත්අඩංගුවට ගෙන පොලිස් ආඥා පනතේ 80 (4) වගන්තිය අනුව ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමයි.

නමුත් පොලිසිය 2018 වර්ෂයේ දී කරන ලද පැමිණිල්ලට හෝ පසුගිය ඉරිදා (19) කරන ලද පැමිණිල්ලට හෝ එසේ ක්‍රියාකර නැත.

එලෙස ‍නීත්‍යානුකූලව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා පොලිසියේ පල්ලේකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කර ඇත. එය අධිකරණයට කරනු ලබන අපහාසකි. එමෙන්ම ඔවුන් පොලිස්පති චක්‍රලේඛ අනුව ක්‍රියාකර නැත. එය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පල්ලේකැලේ පොලිසියේ නිලධාරීන් සිය රාජකාරිය පැහැර හැරීමකි.

අපරාධමය වරදක් සම්බන්ධයෙන් දැනුම් දුන්විට ඒ බව අපරාධකරුට පවසා අපරාධකරු සහ තොරතුරු දුන් පුද්ලයා පොලිසියට කැදවා තොරතුරු දුන් පුද්ගලයා අපරාධකරුට නිරාවරණය කිරීමෙන් පොලිසිය එම පුද්ගලයාගේ ජීවිතයට තර්ජනයක් එල්ලවිය හැකි අවදානමකට පත්කර තිබේ.

එමෙන් ම පොලිසියට පැමිණිලි කළ පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් ද පොලිසිය විසින් අමු අමුවේ ම උල්ලංඝනය කර තිබේ.

ඉන් පසු පොලිසිය ක්‍රියාකර ඇත්තේ යෝගීවරයකු ලෙස පෙනී සිටින සුජිත් නිශාන්තගේ වුවමනාවන් ඉටු කිරීමයි.

පොලිසිය එ‍සේ කිරීම ගැන අපටනම් පුදුමයක් ද නැත.

යෝගීවරයකු ලෙස පෙනී සිටින සුජිත් නිශාන්ත පැමිණිලිකරුට තර්ජනය කරමින් කියා ඇත්තේ “මට විශාල බලයක් තියෙනවා. මම තමුසෙට කරන දේ බලාගන්නවා” යනුවෙනි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ද යෝගී වරයකු ලෙස පෙනී සිටිමින් විවිධ මත ප්‍රකාශ කරන සුජිත් නිශාන්ත ගෙන්වා පොලිස් නිලධාරීන්ට දේශන පවත්වා තිබේ. පහත ඇති ඡායාරූප ඊට සාක්ෂි දරයි.

ඒ අනුව පල්ලෙකැලේ පොලිසිය සුජිත් නිශාන්තගේ හිතවතකු විසින් දැමූ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇත. රටේ යුක්තිය හා සාධාරණය ඉල්ලූ සාමාන්‍ය මිනිසකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ ඔහු කරන ලද පැමිණිල්ල අනුව ක්‍රියාත්මක නොවෙමිනි.

මේ සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිස් ස්ථානාධිපිතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන විමසූ විට ඔහු මෙසේ කීවේය.

“අපි ප්‍රශ්නය විසඳුවා. මෙතැන තියෙන්නේ බලපත්‍රයක් නැති ප්‍රශ්නයක්නේ. අපි සුජිත් නිශාන්ත මහත්මයාට කිව්වා බලපත්‍රයක් ගන්න කියලා. එතකොට ඒ ප්‍රශ්නය ඉවරයි. එතකම් පිරිත් දාන්න එපා කියලා අපි උපදෙස් දුන්නා.”

අනවසර ශබ්ද විකාශන යන්ත්‍ර ගැන තොරතුරක් ලැබුණේ නම් ඒ ශබ්ද විකාශන යන්ත්‍ර අධිකරණයට ඉදිරිපත් කළ යුතු නේදැයි අප ඇසූ විට ස්ථානාධිපතිවරයා කීවේ මෙවැනි කතාවකි.

“රටේ මොන නීතිය තිබුණත් මේක බෞද්ධ රටක්නේ. ඔබතුමාටත් උදේ හවස පිරිත් ඇහෙනවානේ. අපි කොහොමද පිරිත් නවත්වන්නේ. අපි ඒකේ ශබ්දය අඩුකරන්න කියනවා.”

ශබ්ද විකාශනය නොකරන ලෙස පොලිසිය සුජිත් නිශාන්තට දැන්වූ බව කීව ද අද (21) සවස ද සුජිත් නිශාන්තගේ පරිශ්‍රයේ මහ හඬින් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබිණි.

පොලිස් ස්ථානාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතිය අනුව නොව ඔහු අදහන ආගම අනුව බවනම් අපිට පැහැදිලිය. එසේනම් මිනිසුන්ට මෙවැනි පොලිසියකින් යුක්තියක් ඉටුවනු ඇත්ද ?

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අපි යෝගීවරයකු ලෙස පෙනී සිටින සුජිත් නිශාන්ත නැමැත්තාගේ Facebook පිටුවක සඳහන් දුරකථන අංකයකට ඇමතුම් ගත්ත ද ඔහු ඒවාට ප්‍රතිචාර දැක්වූවේ නැත.

(මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යෝගියකු ලෙස පෙනී සිටින සුජිත් නිශාන්තට හෝ වෙනත් පාර්ශවයකට යම් අගතියක් සිදුව ඇතැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ අදහස් දැක්වීම් ද අපි මෙවැනිම ඉඩක් ලබාදෙමින් පළකරන බව දන්වා සිටිමු)

සජීව විජේවීර

2 COMMENTS

  1. මොවුන් ජනගත කරන්නේ මොනවාද? තමන් යම් කිසි දහමක් හො මාර්ග පලයක් ලබා ගත්තා යයි සිතනවා නම් ඒවා මෙ ආකාරයෙන් ජනතාව ට හිරිහැර කරමින් කරන්නේ මන්ද… මෙවන් පුද්ගලික ස්ථාන රට පුරා විවෘත කර ඇති අතර මෙමගින් සිදුවන හිරිහැර හා කරදර විදින්නට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවට යි.මෙවා පිළිබඳ වගකිවයුතු රාජ්‍ය ආයතනවල අවධානය යොමු විය යුතු බව මගෙ අදහස.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!