වෙන කවරදාටත් වඩා දැන් ශ්‍රී ලංකාවේ පාලම් ගැන කතිකාවතක් ඇති වී තිබේ.
කැලණි ගඟ හරහා බ්‍රිතාන්‍යයන් විසින් ඔරුමත ලෑලි අතුරා ඉදිකරන ලද බෝට්ටු පාලම බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලීනව ඉදිවූ ප්‍රථම පාලමයි. ඉන් පසු ගඩොලින් ආරුක්කු පාලම් සෑදූ බ්‍රිතාන්‍යයෝ යකඩ පාලම් මෙරටට හඳුන්වා දුන්හ. කොන්ක්‍රීට් පාලම් ද මුල්වරට ඉදිකරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. ඒ පාලම් තාක්ෂණය දැන වඩාත් විකාශනය වී “කල්‍යාණී රන් පිවිසුම” වැනි විචිත්‍රවත් පාලම් බවට පත්ව ඇත. ඇතැම් රටවල නැව් මාර්ග හරහා අකුලා දැමිය හැකි පාලම් ද ඉදිවී තිබේ.
පාලම් තාක්ෂණය ඒ තරමට ම දියුණු වෙද්දී අදින් සියවස් ගණනාවකට පෙර මෙරට වැසියන් තැනූ පාලම් අදට ද දක්නට ලැබේ.
කැලණියේ “කාල්‍යාණි රන් දොරටුව” විවෘත වන දිනයේ කින්නියා පාලම් පාරුවක් පෙරැළී ගියේය. ඉන් පසු පානදුරේ ප්‍රදේශයේ ද පාලම් පාරුවක් පෙරැළිණි. මේ නිසා දැන් පාලම් ගැන කතා බහක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ පැරණිතම පාලම් නිර්මාණය කර ඇත්තේ ගල්වලිනි. අතීතයේ මෙරට ඉදිකර තිබූ පාලම් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වෙන්කළ හැකිය. බාල්ක සහිත ගල් පාලම් සහ ගල් පුවරු පාලම් ලෙස එම කොටස් දෙක පුරාවිද්‍යාඥයන් විසින් වෙන්කර දක්වයි.
මෙරට පැරණිතම පාලමක් පිළිබඳ ලිඛිත සාක්ෂියක් ලෙස ඇත්තේ තිසා වැව අසළ වූ ලී පාලමක් පිළිබඳවය. නමුත අද එවැන්නක් තිබූ බවට හෝ සාධකයක් සොයා ගැනීමට නැත. විසුද්ධි මාර්ගයේ මිනිසුන්ට ගමන් කිරීම සඳහා ඉදිකළ “ජංස සේතු” නමැති පාලම් ගැන ද කරත්ත යාමට තැනූ “සකට සේතු” නමැති පාලම් ගැන ද “සිලා සේතු” නමැති පාලම් ගැන ද සඳහන් ව ඇත.
එමෙන් ම මහා පරාක්‍රමබාහු රජුගේ සෙනවියකු විසින් කලා ඔය හරහා තැනූ ලී පාලමක් පිළිබඳ මහා වංශයේ දැක්වෙයි. අදටත් කලා ඔය හරහා ලී පාලම් කෙසේ වෙතත් ගල් පාලම් නම් දක්නට ඇත. ඉන් පසු පාලම් තැනීම් පිළිබඳ සඳහන් වන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලයේ දී ය. ශ්‍රී පාදයට යන මාර්ගයේ පාලම් කිහිපයක් ම තැනූ බවත් ඉන් එක් පාලමක් අඩි 1000ක පමණ දිගකින් යුතු වූ බවත් වංශකතා සාධක වල දැක්වේ. නමුත් දැවයෙන් තැනූ මේ පාලම් අද දක්නට නැත.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ දැනට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ගල් පාලම් තුනක් ම අනුරාධපුරයේ මල්වතු ඔය හරහා දක්නට ලැබෙන බවයි. එයින් දෙකක් නඛා වෙහෙර ආසන්නයේත් අනෙක් පාලම කිරිපත් වෙහෙර ආසන්නයේත් දක්නට ලැබෙයි. එමෙන් ම අනුරාධපුරයේ හාල්පාන් ඇළ හරහා ද තවතම් හොඳින් ආරක්ෂා වූ ගල්පාලමක් දක්නට ලැබේ. එමෙන්ම මිහින්තලයේ මහකන්දරා ඔය අසළ ද මීටර 03ක පළලින් යුතු මීටර 25ක් දිගැති ගල් පාලමක් තමත් දක්නට ලැබෙයි.
එක දිගට ගල් කණු පේලි වශයෙන් සිටුවා, ඒ මත ගලින් සෑදූ බාල්ක තබා නැවවත දිගු අතර ගල් පුවරු යෙදීමනේ මේ පාලම් නිර්මාණය කර තිබේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙවැනි ගල් පුවරුවක දිග මීටර දෙකක් පමණ වනබවයි. මෙම ගල් පුවරුවල යටි පැත්තේ සිදුරු සිටින සේ හාරා ගල් කණු මුදුණේ ඇති ඉහළට නෙරා ඇති කොටසට එය හිරවන ආකාරයෙන් පාලම සකසා ඇත.
මල්වතු ඔය හරහා ඇති මේ වනවිට සංරක්ෂණය කර ඇති පාලමත්, කන්දරා ඔය ගල් පාලමත්, හාල්පාණු ඇළ හරහා ඇති ගල් පාලමත් මෙරට පැරණි ගල් පාලම්වලට හොඳ උදාහරණ වෙයි. මීට අමතරව කලා ඔය, යාන් ඔය, දැදුරු ඔය සහ කනදරා ඔය ආශ්‍රිතව ද , අනුරාධපුරයේ ඇතුළු නුවර දිය අගල් හරහා තිබූ ගල් පාලම් කිහිපයක අවශේෂ ද තිරියාය වටදාගෙය අසළ ගල් පාළමක අවශේෂ ද දක්නට ලැබෙයි.
මේ පාලම් ඇති බොහෝ ස්ථානවල අද මාර්ග දක්නට නැත. නමුත් අපට ඉතාමත් හොඳින් තහවුරුවන කරුණක් නම් මේ පාලම් තිබූ තැන්වල අතීතයේ මාර්ග තිබෙන්නට ඇති බවයි. එදා පා ගමනින් යන ජනතාවට පමණක් නොව, ගව මහීෂාදී සතුන් ඔබ මොබ ගෙන යාමටත්, කරත්ත හා ගැල් මත භාණ්ඩ ප්‍රවාහනයටත් මේ පාලම් උපකාරී වන්නට ඇත. පාලම් සාදා තිබෙන ශක්තිමත් ආකාරය අනුවනම් මේ මතින් අලියකුට වා පහසුවෙන් ගමන් කරන්නට හැකියාව තිබෙන්නට ඇත.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ අනුරාධපුරයේ සිට කඳුකරයට සහ රුහුණු රට දෙසට විහිදුණු මාර්ගවල අවශේෂ ලෙසත්, නැගෙනහිර වෙරළ දෙසට විහිදුණු මාර්ගවල අවශේෂ ලෙසත් මේ පාලම් හඳුනාගත හැකි බවයි. මහකන්දරාව ඔය ආශ්‍රිිතව දක්නට ඇති ගල් පාලම අනුරාධපුරයේ සිට උතුරු දෙසට සහ වර්තමාන මන්නාරමේ පිහිටි අතීත මාතොට වරාය දක්වා විහිදුණු මාර්ගයක අවශේෂ ලෙස හඳුනාගත හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.
මෙවැනිම ගල් පාලම් කිහිපයක් ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශයේ කර්ණාටක හා තමිල්නාඩු බටහිර ප්‍රදේශයෙන් ද හමුවී තිබේ. නමුත් ඒ පාලම් ශ්‍රී ලංකාවේ දක්නට ඇති පාලම් තරම් පැරණි නැති බව පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇත. මෙරට පාලම් ක්‍රිස්තු වර්ෂ 11-12 සියවස් දක්වා කාලයට අයත් වුව ද ඉන්දියාවේ හමු වී ඇති පාලම් ක්‍රිස්තු වර්ෂ 15 වැනි සියවසෙන් පසු ඉදිකරන ලද ඒවා වෙයි.
මිහින්තලේ මහකනදරාව වැවට ආසන්නයේ කනදරාඔය හරහා ඇති ගල් පාලමේ දිග අඩි 78ක. පළල අඩි 8යි අඟල් 6 කි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙය ක්‍රිස්තු වර්ෂ 276 ත් 303ත් අතර කාලයේ රජ කළ මහසෙන් රජු විවිසන් මහකනදරාව වැව ඉදිකරන කාලයේ දී සාදා ඇත.
මෙය අනුරාධපුරයේ සිට උතුරට යන මාර්ගයේ අදටත් දැකිය හැකි අවශේෂයක් ලෙස පිළිගැනේ. මෙහි විශේෂත්වය වන්නේ පාළමේ ගල් කණු මත අතුරා ඇත් ගල් පතුරුවලින් කොටසක් තවමත් නොවෙනස්ව පැවතීමයි.
ශ්‍රී ලංකාවේ පාලම් තැනීමේ තාක්ෂණය පිළිබඳවත් ඒ පාලම් කවර අරමුණු පෙරදැරිව තැනුවේ ද යන්න පිළිබඳවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය කරන ලද විශේෂ ගවේෂණයකින් හෙළි වී තිබේ.
වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කායන්කේනි ග්‍රාම නිලධාරී වසමේ කායන්කේනි කළපුව හරහා මේ ගල්පාලම දක්නට ලැබෙයි. ප්‍රදේශයේ ජනතාව එය හදුන්වන්නේ සමනලයා යන අර්ථය ඇති චන්නාද්දිප් පූච්චි හෙවත් “චන්නදි පාලම” යනුවෙනි.
කින්නියා කලපුවේ පාලම් පාරුවක් පෙරැළී පාසල් දරුවන් මියයාමේ සිද්ධියත් මේ පාලම ඉදිකිරීම පිළිබඳ ඇති ජනප්‍රවාදයත් එකිනෙකට සම්බන්ධය. එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ අතීතයේ මේ ප්‍රදේශයේ විසූ ප්‍රාදේශීය රජ කෙනකු විසින් තම දියණිය ඇතුළු දරුවන් කිහිප දෙනෙකුට අධ්‍යාපන කටයුතු සඳහා ගුරු ගෙදරට යාමට මේ පාලම ඉදිකර තිබූ බවයි.
එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මේ පාලම කලපුවක් හරහා ඉදිකරන ලද පැරණි ගල්පාලමකට වඩා ඔබ්බට ගිය නිර්මාණයක් බව පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් තහවුරු වී තිබේ. වර්තමාන කායන්කේනි ප්‍රදේශය අතීත පොළොන්නරුව රාජධානියට ආසන්නත ම වෙරළ තීරයයි. පොළොන්නරුව රාජධානියත්, කායන්කේනි මුහුදු බොක්කත් එකිනෙක යාවන පරිදි රේඛාවක් ඇඳි විට මේ ගල් පාලම එම රේඛාවේ එක් කොටසකි.
ඒ අනුව අතීත පොළොන්නරු රාජධානියේ සිට වෙළඳ ගනුදෙනු සඳහා මුහුදු වෙරළට පැමිණීමේ මාර්ගයක් ලෙස මේ පාලම භාවිතා කරන්නට ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂකයන්ගේ අදහසයි.
එම ප්‍රදේශය ගවේෂණය කිරීමේ දී ගල් පාලමේ සිට කිලෝ මීටර දෙකක් කායන්කේනි මුහුදු තීරය දෙසට වන්නට පුරාවිද්‍යාත්මක අවශේෂ සහිත භූමියක් ද හමුවී තිබේ. එමෙන්ම ගල් පාලමට බටහිර දෙසට ආසන්නව ද තවත් නටඹුන් රැසක් දක්නට ඇත.
මේවා අතර කැඩී බිඳී ගිය ගොඩනැගිලි කොටස්, දැගැබ් සහිත බෞද්ධ ආරාම සංකීර්ණක් ද දක්නට ලැබේ. ඇතැම් විට මේ පැරණි වෙළඳ නගරයක අවශේෂ හෝ වෙළඳ මධ්‍යස්ථානයක් විය හැකිය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ ඇතැම් විට කායන්කේනි ප්‍රදේශයේ පැරණි වරායක් ද තිබෙන්නට ඇති බවයි. නමුත් ඒ ගැන නිශ්චිතව කරුණු පැවසීමට ප්‍රමාණවත් තරම් පුරාවිද්‍යාත්මක ගවේෂණ මෙතෙක් සිදුව නැත.
ශ්‍රී ලංකාවේ දැවයෙන් නිම වූ පාලම් ගැන මහාවංශයේ ඇතුළු ඓතිහාසික සාධක රැසක් ඇතත් බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි බෝගොඩ පාලම වැනි පාලමක් වෙනත් කිසිම ස්ථානයකින් හමුවන්නේ නැත.
ගල්ලන්දාව ඔය හෙවත් ජන වහරේ බෝගොඩ ඔය හරහා මේ පාලම ඉදිකර ඇත. එය පිහිටා ඇත්තේ බෝගොඩ විහරය ආශ්‍රිතව බැවින් බෝගොඩ පාලම යන නම වඩාත් ප්‍රචලිත වන්නට ඇත.
බෝගොඩ පාලම වසර 400කට වඩා පැරණියැයි පිළිගැනේ. ජන වහරේ එන්නේ මේ පාලම තනා ඇත්තේ එක් ගසක දැවයෙන් බවයි. මීටර 15ක් දිගැති මීටර 1.5ක් පළලැති මේ පාලමේ මීටර 2.4ක් උසැති ව සම්බන්ධ කළ අපූරු වහළක් ද දක්නට ලැබෙයි. දැව කුළුණු මත කැටයම් නෙලා අලංකාර කර ඇති මේ පාලම මීිටර 11 ක් උසැති විශාල දැව කඳන් දෙකක් මත සවිකර තිබේ.
පාලම ඉදිකළ වර්ෂය පිළිබඳ නිශ්චිත සඳහනක් නැතත් මහනුවර රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් බෝගොඩ විහාරයත් පාලමත් ප්‍රතිසංස්කරණය කරවා විහාරස්ථානයට ගම්වරයක් ද පිදූ බව සඳහන් වේ.
ඉන් පසු 1964 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ පාලම යළි ප්‍රතිසංස්කරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ පාලම් ඉදිකිරීමේ තාක්ෂණය හා ඒ ආශ්‍රිතව ගොඩනැගී තිබූ මාර්ග පද්ධතියත්, ජනවාස විකාශනය වූ ආකාරයත් පිළිබඳ අධ්‍යයනයේ දී මේ මනරම් බොල්ගොඩ පාලම මෙන්ම තැන තැන ඇති ගල් පාලම් සමුදායත් ඉතාමත් වැදගත් ඓතිහාසික සාක්ෂි සපයයි.