spot_img
spot_imgspot_img

සිවුරට මුවා වී කුරුවිට පොලිසිය අධිකරණයට අපහාස කරයි. ‍පැමිණිලිකරුට තර්ජන. නීතිය දන්නේ නැතැයි විවිධ පැමිණිලි OIC කියයි

පුවත්

විදෙස්

නීති විරෝධී ශබ්ද විකාශනය සම්බන්ධයෙන් පැමිණිලි කළ විට පැමිණිලි කරු සහ විත්තිකාර පාර්ශවය පොලිසිට ගෙන්වා පැමිණිලිකරුට අමානුෂික ලෙස බැන වැදී තර්ජනය කළ සිද්ධියක් කුරුවිට පොලිසියෙන් වාර්තා වෙයි.

පොලිසිය මෙහි දී ක්‍රියාකර ඇත්තේ 2007 ‍නොවැම්බබර් මස 22 වැනි දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07ට පරිභාහිරව සහ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට පටහැනිව යමිනි.

ඒ අනුව පොලිසිය පොලිස්පතිවරයාගේ නියෝගය කඩකර ඇති අතර ම නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ද අපහාස කර තිබේ.

කුරුවිට, කිතුල්පේ නන්දාරාම විහාරස්ථානයේ දිනපතාම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඝෝෂාකාරී ලෙස පිරිත් විකාශය කිරීම තමන්ට පීඩාකාරී බවත් එය අනවසර පිරිත් විකාශය කිරීමක් බැවින් එය නවතා දැමීමට කටයුතු කරන ලෙස ඉල්ලා කිතුල්පේ පදිංචි කරුවෙකු විසින් 119 වෙත පැමිණිලි කිහිපයක් ම කර තිබිණි.

එම පැමිණිලි කරු එලෙස පොලිසියට පැමිණිලිකිරීමට පෙර මෙම පීඩාකාරී ශබ්ද විකාශනය නවතා දමන ලෙස එම  විහාරස්ථානයේ සිටින කිතුල්පේ වංශපාල නමැති භික්ෂුවකගෙන් ඉල්ලීමක් කර තිබිණි. නමුත් එම අවස්ථාවේ දී වෛරී ප්‍රකාශ කරමින් අසභ්‍ය වචනයෙන් ඒ හිමියන් ඔහුට බැණ වැදී ඇත. ඉන් පසු ඔහු පොලිසියට පැමිණිලි කර තිබිණි.

එම පුද්ගලයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු විහාරස්ථ හිමියන් ද පොලිසියට දන්වා ඇත්තේ ඔහු තමන්ට තර්ජනය කළ බවයි.

නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍රවලට එරෙහිව ක්‍රියාත්මක නොවූ පොලිසිය අද (29) උදෑසන 10.00ට දෙපාර්ශවය කුරුවිට පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කැඳවා තිබිණි. එලෙස කැඳවා තිබුණේ ඔහු විසින් විහාරස්ථ හිමියන්ට තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පවසමිනි. නමුත් පැමිණිල්ල විභායට පැමිණි විහාරස්ථ විහාරස්ථ හිමියන් එම පුද්ගලයා තමන්ට තර්ජනය නොකළ බව ප්‍රකාශ කර කියා ඇත්තේ ඔහු පිරිත් දැමීමට විරුද්ධ බවයි.

මේ අවස්ථාවේ දී කුරුවිට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර විසින් පිරිත් දැමීමට විරුද්ධව පොලිසිය පැමිණිලි කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාට පොලිසියේ දී බැණ තර්ජනය කර ඇත.

“තමුන් ඇඟිල්ලේ ගානට ඉදිමෙනවා. පිරිත් ටිකක් ඇහුවම මොනවා වෙනවද ? හාමුදුරුවන්ගේ වැඩවලට විරුද්ධ වෙලා අමාරුවේ වැටෙන්න එපා” යනුවෙන් පොලිස් නිලධාරියා පොලිස්පති චක්‍රලේඛ සහ අධිකරණ නියෝගය නොතකමින් ඔහුට තර්ජනය කර තිබේ.

ඉන් පසු අළුයම 5.30 සිට පිරිත් විකාශය කරන්න යැයි විහාරස්ථ හිමියන්ට උපදෙස් දුන් මෙම නිලධාරියා පැමිණිලිකරුට පවසා ඇත්තේ එයට එකඟ වී පොලිස් පොතේ අත්සන් තැබිය යුතු බවයි. එසේ අතසන් නොතබන්නේ නම් වැඩ වරදින බවට ද ඔහුට තර්ජනය කර අත්සන බලෙන් ලබාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් rata.lk අපි කුරුවිට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේනගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන විමසුවෙමු. (හඬ පටිගතව ඇත) එවිට ඔහු කියා සිටියේ හාමුදුරුවන්ට පිරිත් දාන්න කිව්වා යනුවෙනි.

ඕනෑම ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබාගත යුතු බවත් එසේ නැතිව ශබ්ද විකාශනය කිරීමේ දී ගත යුතු ක්‍රියාමාර්ග ගැන පොලිස්පති චක්‍රලේඛ සහ අධිකරණ නියෝගයක් ඇති බවත් කියූ විට ඔහු මෙසේ කීවේය.

“මම පොලිස්පති චක්‍රලේඛ ගැන දන්නේ නෑ. අධිකරණ නියෝගයක් ගැනත් දන්නේ නෑ. දාන්නේ පිරිත්. ඒක වැරැද්දක් නෙවෙයි. ඕව ගැන මගෙන් අහන්න එපා ඕඅයිසීගෙන් අහන්න.”

මේ පිළිබඳ කුරුවිට පොලිසියේ වැඩබලන ස්ථානාධිපිවරයාගෙන් විමසූ විට ඔහු සමඟ ඇති වූ සංවාදය මෙසේය. (හඬ පටිගතව ඇත)

rata.lk – කිතුල්පේ නන්දාරාම විහාරස්ථානයේ පිරිත් විකාශය කිරීමේ සිද්ධියක් ගැන පැමිණිලි කරපු පුද්ගලයෙක් සහ හාමුදුරුවන් අද පොලිසියට ගෙන්වලා ඔබතුමාගේ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා පැමිණිලිකරුට බැනලා තර්ජනය කරලා තියෙනවා. ශබ්ද විකාශන යන්ත්‍ර දාගන්න කියලා හාමදුරුවන්ට උපදෙස් දීලා. අර පැමිණිලිකරුගෙනුත් තර්ජනය කරලා ඒකට විරුද්ධ නෑ කියලා අත්සන් අරගෙන.

ස්ථානාධිපති – පැමිණිල්ලක් විභාග කිරීම නම් කළා. වුණේ කුමක් ද කියා මම දන්නේ නැහැ.

rata.lk –  කුරුවිට පොලිසියෙන් ශබ්ද විකාශන බලපත්‍ර මොනවා හරි දීලා තියෙනවා ද ?

ස්ථානාධිපති – නැහැ

rata.lk – මේ පන්සලේ ශබ්ද විකාශන යන්ත්‍රවලට බලපත්‍රයක් නෑ. ඔබ දන්නවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියෙනවා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන. 2007 පොලිස්පති චක්‍රලේඛයක් තියෙනවා. ඒ අනුව සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති කරලා තියෙන්න් වරදක්.

ස්ථානාධිපති – ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්න බැරි බව මම පිළිගන්නවා.

rata.lk – විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති කියනවා එයා ‍පොලිස්පතිගේ චක්‍රලේඛය ගැන දන්නේ නැහැ කියනවා. එයා කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්.

ස්ථානාධිපති – මේ ගැන සොයා බලා මම අදම පන්සලට ගිහින් ඔය ශබ්ද විකාශන යන්ත්‍ර ගලවන්නම්.

මෙලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පිළිබඳ අපි නන්දාරාම විහාරස්ථානයේ සිටින කුත්ලපේ වංශපාල හිමියන්ගෙන් විවසූ විට මෙසේ කීහ.

“මම දාන්නේ පිරිත්. කාටවත් ඒවා වැඩක් නෑ. ගමේ මිනිස්සුන්ට ඇහෙන්න දානවා. පොලිසි බැරිනම් ඕන තැනකට කියන්න. මට කමක් නෑ. මම ඕන විදියට මම වැඩකරන්නේ. එක එක්කෙනාට ඕන විදියට මම වැඩ කරන්නේ නෑ. පොලිසි පැමිණිලි දැම්මට වැඩක් නෑ. මම නේ පොලිසයත් එක්ක ඒක බේරගන්නේ.”

හාමුදුරුවන් සිටින්නේ රටේ නීතියට ඉහළින්යැයි සිතා සිටින බවක් ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දීමටත්, පොලිස් නිලධාරියා අධිකරණ නියෝගයට පරිභාහිරව කටයුතු කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවටත් දැනුම් දීමට “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” සංවිධානය කටයුතු කරන බව පවසයි.

අප පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් දුරකථනයෙන් කරුණු විමසීමෙන් පසු අදාල පැමිණිලි පාර්ශවයට කතා කළ පොලිස් සැරයන් වරයකු මෙසේ පවසා ඇත.

“අපි මේක දුර දිග යන්නේ නැතිව බේරාගනිමු. හැම තැනම පිරිත් දානවානේ. ඉතින් ඕවට විරුද්ධ වෙන්නත් බැහැනේ”

පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නේ නැත.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පවතින නීතිය

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 09 වැනි දා ලබා දී ඇති තීන්දුවක දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

“කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කිරීමක් හෝ දේශනා කිරීමක් කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ඨ සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම් හිමිදිරියේ හෝ දිවා කාලයේ දී හෝ නිදා සිටින විට දී හෝ දරුවන් හෝ වෙනත් අයගේ කටයුතු කරගෙගන යාමට බාධාවක් විය නොහැක. අසල්වැසි ජනතාවට ඔවුන්ගේ ස්වභාවික අයිතිය භුක්ති විඳීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනාවට සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම, එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ ස්ජ්ජායනාවකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.”‍

එලෙස ලබා දී ඇති නියෝගය අනුව එවකට අපරාධ හා මෙහෙයුම් නියේාජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් 2007 නොවැම්බර් මස 28 දිනැතිව සියලුම දිසාභාර ‍නියෝජ්‍ය පොලිස්තිවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත්කර එම නඩු තීන්දුව ප්‍රකාරව 2007-11-22 දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07 අනුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (04) වගන්තියේ

  • ඇම්ප්ලිෆයර් භාවිතා කිරීමෙන් ශබ්දය විමෝචනය කිරීම සම්බන්ධ දැක්වෙයි.

ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් උඵකරණ හෝ මහජනයාට හෝ එහි සිටින ජනතාවට කරදර ඇතිකරන්නේ නම් (අවට වාසය කරන හෝ දේපළ හිමි සාමාන්‍ය අයට) දණ්ඩ නීති සංග්‍රයේ 261 වගන්තිය අනුව එය පොදු කරදරයක් ලෙස සැළකේ.

ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම පොලිසියට පැවරී ඇති රාජකාරියකි. ඒ සඳහා මුදල් අයකිරීමක් ද සිදුකළ යුතුය.

විශේෂ ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ සිදුවීම් සඳහා වුව ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ හැකි වන්නේ අවට සිටින පුද්ගලයන්ගේ කැමැත්ත විමසීමෙන් පසු අවට ඇති ඉඩම් පරිශ්‍රයන් පිළිබඳ වාර්තාවක් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමෙන් පමණි.

ගැටලුව ඇත්තේ පොලිසිය නීතිය දැන දැන ම නීතිය උල්ලංඝනය කිරීමයි.

ශබ්ද විකාශන බලපත්‍රයක් නැතිව මෙම විකාශන කටයුතු කරන බව පොලිසිය හොඳින්ම දනී. එවිට කළ යුතුව ඇත්තේ මේ ආකාරයටය.  

 පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ වහාම එම නීති විරෝධී සහ පීඩාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් උඵකරණ අත්අඩංගුවට ගෙන පොලිස් ආඥා පනතේ 80 (4) වගන්තිය අනුව ඒවා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

මේ සියල්ලට ම අමතරව 2013 සැප්තැම්බර් මාසයේ දී පොලිස් මූලස්ථානය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ කරුණු 13කින් සමන්විත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ 2007 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සෑම ශබ්ද විකාශන යන්ත්‍රයක් සඳහාම වෙන වෙනම බලපත්‍ර ලබාගත යුතු බවයි.

එම උපදෙස් අනුව ශබ්ද විකාශන බලපත්‍රයක් නිකුත් කරනු ලබන යම් පරිශ්‍රයක් තිබේනම් එහි සීමාවෙන් පිටතට ශබ්දය විස්තාරණය නොවිය යුතුය.

ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකීරීමට බලපත්‍ර නිකුත් කරන්නේ නැත. නමුත් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට අනුව ශබ්දයක් ඩෙසිබල් 70 නොඉක්මවිය යුතුය.

තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමේ දී ද එය නිකුත් කරන්නේ උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයකට පමණි. නමුත් මේ විහාරස්ථානයේ ශබ්ද විකාශනය ආරම්භ වන්නේ අළුයම 4.30ට බව එහි විහාරාධිපිත හිමයෝ අප සමඟ පැවසූහ. එමෙන් ම පොලිස්පති උපදෙස් අනුව සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර අදාල බලපත්‍රය ගත් පරිශ්‍රය දෙසට හරවා සවිකර තිබිය යුතු ය

මීට අමතරව පොලිසියට සිහි කැඳවිය යුතු වැදගත් කරුණු කිහිපයක් ද අපි සඳහන් කරන්නෙමු.

2017 ජනවාරි 25 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී උඩුවේ ධම්මාලෝක හිමි වැඩ සිටින ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර මහජනතාවට පීඩාවක් බවට තීන්දුවක් දී ඇත.

එමෙන් ම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් 2018 ජනාවරි 17 වැනි දින 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරනු ලබන පැමිණිල්ලකට අනුව නඩු අංක 85293 – 2018 තීන්දුව ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතය වළක්වමින් නිකුත් කර ඇත.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත අනුව එහි 32 වැනි වගන්තිය අනුව 1996 අංක 01 දරණ ජාතික පාරිසරික (ඝෝෂා පාලන) නියෝග මෙයට අමතර වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය.

3 COMMENTS

  1. ලැජ්ජා වෙනවා ⁣රටතොට පුවත් ගැනත්. මෙි ප්‍රවෘත්තිය වාර්ථා කරන ආකාරයටම පැහැදිළිදියි ඔබත් පිරිත් දැමීමට විරුද්ධ බව. ඇත්තටම ගමක පන්සලේ උදේ හවස පිරිත් ටීකක් විකාශණය කරාම මොකද වෙන්නෙ. රටෙි නීතියට ඉහලින් තමයි බුදු දහම පවතින්ඩ ඔීන. පල්ලියේ දවසට පස්වතාවක් මහා හඬින් දාන ශබ්දය ඔබලාට ගැටළුවක් නැත්තං, පිරිත් ටික⁣ට ඇති ගැටළුව මොකක්ද

    • පිරිත් දාන්න පුළුවන් පංසල ඇතුලට විතරක් ඇහෙන්න.මිනිස්සුන්ට ඕනි නම් ගෙදර ටී වී රේඩියෝ භාවිතා කරල පුළුවන්.කණ පැලෙන්න පීකර් මොකටද

  2. ලැජ්ජ වෙන්න ඔනේ ඔහේල මෙ වගෙ පල් හැලි ලියනවට.
    නිතියක්තියෙන්න ඔනෙ තමයි.
    එත් මෙ වෙලා තියෙන්නේ කාට හරි කඩේ යැමක් විතරයි.
    එකහොදටමපෙනවා.

Leave a Reply to Imal Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!