spot_img
spot_imgspot_img

“ශාක්‍ය ජනපදය” දශක කිහිපයක් ම දේශපාලන ගරානාවක් ද ? අතීත කතා මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ම විවිධ ව්‍යාපෘත හඳුන්වාදෙමින් කෝටි ගණනක් මුදල් විනාශ කර දැමූ පිළියන්දල රෙජිඩේල් නමැති ඉඩමේ යහපාලන රජය කාලයේ ඉදිකරන ලද ශාක්‍ය ජනපදය දැන් වල් බිහිවී අභාවයට ගොස් තිබේ.

වත්මන් රජය ද යළිත් වතාවක් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට සැළසුම් කර ඇති බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ එහි නිරීක්ෂණ චාරිකාවක් ගොස් පැමිණි පසු කරන ලද මාධ්‍ය ප්‍රකාශ අනුව පැහැදිළි වෙයි.

වසර ගණනාවක සිට විවිධ කාර්යයන්ට බව පවසමින් මේ භූමිය වෙනුවෙන් මුදල් වියදම් කර තිබූ අතර ඇතැම් අවස්ථාවල දී එය ව්‍යාපාරිකයන්ට ද ලබා දී තිබිණි. නමුත් අවසන් වරට රුපියල් කෝටි 50ක මුදල් ආයෝජනයකින් 2017 වර්ෂයේ මාර්තු මාසයේ දී එහි ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ විජේදාස රාජපක්ෂ බුද්ධ ශාසන අමාත්‍යවරයා ව සිටිය දී ය. 2017 මැයි මස 11 වැනි දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශාක්‍ය ජනපදය විවෘත කිරීමක් බව කියමින් සමරු ඵලකයක් නිරාවරණය කර සල් පැලයක් ද රෝපණය කර තිබේ.

දඹදිව ඇති සියලු ආගමික ස්ථානවල අනුරූ, භාෂා 10කින් ධර්ම ප්‍රචාරය කිරීමේ පහසුකම් සහිත සන්නිවේදන මධ්‍යස්ථාන, එකවර දහසකට භාවනා කිරීමේ පහසුකම් ඇති ගොඩනැගිළි ද සහිතව ශාඛ්‍ය ජනපදය  ඉදිකිරීමට සැලසුම්කර ඇති බව 2017 දී මේ ස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළ අමාත්‍යවරු කීහ. 2019 වර්ෂයේ වෙසක් උත්සවයට සමගාමීව එය විවෘතකිරීමට එකල සැළසුම් කර තිබිණි.

නමුත් දැනට එහි ඇත්තේ දැවැන්ත ප්‍රාකාරයක් හා සුද්දෝධන රජුගේ මාළිගයේ අනුරුවක් යැයි පවසන ගොඩනැගිල්ලක් පමණි.

එදා මහත් උත්වශ්‍රීයෙන් ඉදිකිරීම් ආරම්භ කළ භූමිය අද වල් බිහිවී විවිධ අපචාර කරන පුද්ගලයන්ගේ තිප්පලක් බවට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු චෝකනා කරති.

මෙලෙස අතහැර දමා ඇති ව්‍යාපෘතිය නැරඹීමට අද එහි ගිය විජිත බේරුගොඩ අමාත්‍යවරයා පවසන්නේ මෙම ගොඩනැගිලි භාවිතා කරමින් එහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ඉදිකිරීමට කටයුතු කරන බවයි.

පිළියන්දල රෙජිඩේල් වත්ත යනු කැසැබෑව ප්‍රදේශයේ ධානපතියකු වූ සමරකෝන් මුදලි විසින් මහා භාරකාරවරයාට පවරන ලද අක්කර 78ක භූමියකි. සමරකෝන් මුදලි තමන් සතුව තිබූ දේපළ රැසක් මහා භාරකාරවරයා වෙත පවරා ඇති අතර ඒ ඒ ඉඩම් අනාගතයේ දී කවර කටයුතු සඳහා යෙදවිය යුතු ද යන්නත් ඔහු ලිඛිතව සටහන් කර ඇති බව ද වාර්තා වෙයි. ඒ අනුව මෙම භූමිය බෞද්ධාගමික කටයුතු සඳහා භාවිතා කළ යුතුයැයි සඳහන්ව තිබී ඇත.

ශ්‍රී ලංකාවේ පිළියන්දල කේන්ද්‍ර කරගමින් ශාක්‍ය ජනපදයක් ඉදිකිරීමට සැළසුම් කළ ද අතීත දඹදිව පවා එවැනි ශාක්‍ය ජනපදයක් නැත. කපිලවස්තු පුරවරයේ ද ඇත්තේ මාලිගායැයි සිතන ගොඩනැගිලි කිහිපයක පාදම් පමණි. එසේනම් සුද්දෝධන මාලිගාවේ ආකෘතියක් මෙරට තනා ඇත්තේ කෙසේ ද යන්න ගැටලුවකි.

‍ලුම්බිණි සල් උයන, විල් සහ පොකුණුවලින් සමන්විත රාජකීය උද්‍යානයේ රම්‍ය සුරම්‍ය සුබ මාලිගා සහිත පිළියන්දල ශාක්‍ය ජනපදයේ වීඩියෝවක් නම් අදටත් අන්තර්ජාලයේ දක්නට ලැබේ. අප දන්නා තරමින් මේ ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාගශීලීන් ද මුදල් ලබා දී ඇත.

කහපොල සමාධි නිකේතනාධිපති කහපොල නන්දරතන හිමියෝ මේ පිළිබඳ කීහ.

මේ භූමිය යොදාගෙන වංචා කළා. මෙතැන පුදබිමක් කරනවා කියලා බෝධි ප්‍රාකාරයක් හැදුවා. ඒත් හිටවපු බෝධියක් නැහැ. කෝටි තුනහමාරක් ඒකට වැය කළා. ඊට පස්සේ මෙතැනට සත්තු වත්තේ කොටසක් ගේන්න හැදුවා. අපි ඒකට විරුද්ධ වුණා. ඒ පරිසරය විනාශ කරන නිසා.  දැන් මෙතැන විවිධ අපචාර සිදුවෙනවා ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කළා මේක ප්‍රයෝජනවත් දේකට යොදාගන්න කියලා.”

නන්දරතන හිමියන් පවසන්නේ මෙයට සංඝයාවහන්සේලාගේ  විරෝධය මතුවූ විට නාලන්දා විශ්වවිද්‍යාලයක් සෑදිමේ යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. එයට මුල්ගල් තැබුව ද ඉදිවූ විශ්වවිද්‍යාලයක් නොමැති බව පෙන්වාදෙන නන්දරතන හිමියන් පවසන්නේ එලෙස මුල්ගල් තැබූ දිනයේ දී කොරියන් ජාතික හිමිනමක් ඒ සඳහා රුපියල් මිලියන 20ක පරිත්‍යාගයක් කළ බවයි. ඒ පරිත්‍යාගවලට සිදුවූ දෙයක් නැතැයි ද නන්දරතන හිමියෝ කියති.

රෙජිඬේල් වත්ත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන කාලයේ දි අයෝජන මණ්ඩලයට පවරා තිබිණි. පසුව ව්‍යාපාරික ලලිත් කොතලාවලට නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉඩම ලබාදී දුන්න ද ගම්වැසියන්ගේ විරෝධතාව නිසා එය අතරමග නවතාදැමිණි.

2007 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංකල්පයකට අනුව පළාත් නවයට දාගැබ් නවයක් සහිත පූජා භූමි නවයක් ඉදිකිරිමේ සැලැස්ම අනුව බස්නාහිර පළාත් පූජ භූමිය ලෙස මෙය යොදා ගැනීමට තීරණය විය. එම ව්‍යාපෘතිය අනුව මෙහි රන් වැට ද සහිත බෝධි ප්‍රාකාරයක් ඉදිකිරිම ඇරඹිණි. ප්‍රාකාරය ඉදිකළ ද බෝධියක් රෝපණය කිරීම හෝ දාගැබේ ඉදිකිරිම් ආරම්භ කිරිම හෝ නොකරම ව්‍යාපෘතිය නතරවිය.

ඉන් පසු හිටපු වනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මෙම ඉඩම වනජීවි සත්ත්ව සංරක්ෂණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමට සැළසුම්කළේය. එය ද ක්‍රියාත්මක නොවූ සැළසුමට පමණක් සීමා වූ ව්‍යාපෘතියකි.

නැවතත් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මෙම භූමියෙහි 2014 වර්ෂයේ දී එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරිම සඳහා මුල්ගල් තැබුවේය.

ඉදිකරන ලද එළිමහන් සත්වෝද්‍යානයක් නැතත් දෙහිවළ සත්වෝද්‍යානයේ අපද්‍රව්‍ය එදා මහින්ද රාජපක්ෂ විසින් බස්නාහිර පළාත් පූජා භූමිය ලෙස නම් කළ මෙතැනට ගෙනවිත් දැමිණි. ප්‍රදේශවාසින් විසින් ඊට එරෙහිව කරන ලද උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස එය නතර කෙරිණි.

මේ භූමියේ දී සිදුවූ අපචාරවල තරම පැහැදිලිවන්නේ එතැන කාන්තාවක් හා තරුණයකු ද ඝාතනය වීමේ සිද්ධීන් ද හේතුවෙනි.

මෙය නවතා දෙන ලෙස රජයෙන් කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලය වූයේ විවිධ යෝජනා ඉදිරිපත්වීමයි.

අනුරාධපුර අටමස්ථානවල ආකෘති මෙතැනි සෑදීමට එක් යෝජනාවක් ඉදිරිපත් වූ අතර හිටපු අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් “Light of Asia” නමැති සංවිධානය මේ භූමියේ ශාක්‍ය ජනපදයක් පිහිටුවීම් ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය හා එම සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබේ.

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවෙයේ දී සිදුකරන ලද පැහැදිළිකිරීම්වලින් අනාවරණය වූයේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව “Light of Asia” සංවිධානය මෙය ක්‍රියාත්මක කළ ද මේ සඳහා මුදල් යොදවන්නේ ඇමෙරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකික වෛද්‍ය දෙපළක් වූ වෝල්ටර් ජයසිංහ හා අයේෂා ජයසිංහ විසින් බවයි. එම මුදල රුපියල් මිලියන 500ක් හෙවත් රුපියල් කෝටි 50කි. වෝල්ටර් ජයසිංහ යනු ඇමෙරිකාවේ ඇති ශ්‍රී ලංකා පදනමේ එවකට සභාපිතවරයා වූ අතර මේ සඳහා උපදේශකත්වය මෙරට මහාචාර්යවරයකු විසින් සිදුකරන බවත් අධීක්ෂණය නේපාල ජාතික පුරාවිද්‍යාඥයකු විසින් සිදුකරන බවත් ශාක්‍ය ජනපදය වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙබ් අවියක දක්වා තිබිණි.

2017 මැයි 11 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැමිණි උත්සවයට ඉන්දියාව නේපාලය, ජපානය, කොරියාව වැනි රටවල නියෝජිතයෝද එක්ව සිටියහ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බස්නාහිර පූජා භූමිය යන සංකල්පය අනුව ඉදිවූ බෝධි ප්‍රාකාරයේ රන්වැටවල් දෙක කපා ඉවත් කර එහි මැද කොටසේ කණු සිටුවා සෙවිලි තහඩුවලින් සෙවිලි කළ වහලයක් සහිත විවෘත ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර එය සුද්දෝධන මාළිගාව ලෙස හඳුන්වා තිබේ. බෝධි ප්‍රාකාරය සඳහා සිවුපසින් ඉදිකරන ලද සඳකඩපහන, මුරගල් අද සුද්දෝධන මාලිගාවේ අංගයන් වී ඇත. නමුත් කපිලවස්තු පුරයේ සුද්දෝධන මාලිගාවේ යැයි කියන නටඹුන් වූ පාදම අතර එවැනි අංග දක්නට නැත.

මැයි මාසයේ විවෘත කිරීමෙන් පසු නාලන්දා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට යැයි කියා ලැබුණ පරිත්‍යාගයකින් පසු මුල්ගල් තැබීමට වළවල් හතරක් හාරා දමා ඇති අතර තැබූ මුල්ගලක් හෝ නැත.

මේ භූමියට පැමිණි සියලු ව්‍යාපෘති මුදල් විනාශ කරන ව්‍යාපෘති බව අමුතුවෙන් කිව යුතු නැත. ඉදිරියේ දී ද එසේ වන්නේ ද යන්න අපට ඇති ගැටලුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!