spot_img
spot_imgspot_img

හැමදේටම කට දැමූ GMOA, වෛද්‍යවරුන්ගේ කට වහද්දී නිහඬවෙයි

පුවත්

විදෙස්

තම වෘත්තියට කිසිසේත් ම අදාල නොවන කරුණු සම්බන්ධයෙන් පවා මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්තමාන රජය වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම වාරණය කරමින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකර නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය වර්තමාන රජය බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙවරක් කළ සංවිධානයක් ලෙස දකුණේ ආණ්ඩුකාර විලී ගමගේ විසින් හඳුන්වාදීමේ යථාර්ථය එයින් මනාව පිළිබිඹු වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය දා නිකුත් කරන ලද නියෝගයක් මගින් වෛද්‍යවරුන් ඇතුළු සියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම වළක්වා තිබෙන අතර එම නියෝගය නිකුත්කිරීමට පෙර දිනක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය චමල් සංජීවට ‍එරෙහිව විනය පරීක්ෂණයක් ද ‍ආරම්භ කර තිබේ.

වෛද්‍ය චමල් සංජීව යනු රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයට වාර්ෂික සාමාජික මුදල් රුපියල් 17,500.00ක් ගෙවනු ලබන ඔවුන්ගේ ම සාමාජිකයෙකි. තම සාමාජිකත්වය ඇති වෛද්‍යවරයකු වුව ද සංගමයේ පටු අරමුණු වෙනුවෙන් පෙනී නොසිටින බැවින් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය ඔහු හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයකු ලෙස සිටිය දී ඉන් ඉවත් කිරීමට විශාල වෙහෙසක් ගත්තේය. ඉන් පසු වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටිය දී ඔහුගේ සුදුසුකම් හා හැකියාවන් අනුව නිසි වගකීමක් භාර දීම වැළැක්වීමට කටයුතු කළ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය ඔහු දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස පත්ව පැමිණි පසු මාසයක්වත් එම ධූරයේ රැඳී සිටීමට ඉඩ දුන්නේ නැත.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ඕනෑම ඉල්ලීමක් ඉටුකිරීමට තරම් බංකොලොත්බාවයට පත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම බිල්ල වී ඇත්තේ සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු සරල සිංහල බසින් ජනතාව වෙත සන්නිවේදනය කරනු ලබන විද්වතකු මෙන්ම සන්නිවේදන පිළිබඳ මනා ප්‍රාගුණ්‍යයකින් හෙබි වෛද්‍ය චමල් සංජීවයි.

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය තම සාමාජිකයා වෙනුවෙන් හෝ පෙනී සිටින්නේ නැත. එයින් ඔවුන් වක්‍රා කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ කට වැසීම අනුමත කර තිබේ. මේ සංගමය සිතා සිටින්නේ තමන් පමණක් මාධ්‍ය හමුවේ අදහස් දැක්විය යුතුයැයි යනුවෙනි.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ මාධ්‍ය සාකච්ඡා පිළිබඳ පසුගිය දිනක කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් කියා සිටියේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති කොවිඩ් මර්ධන කමිටුවට පැමිණ ප්‍රකාශ නොකරන දේ එළියට ‍ගොස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බවයි. මෙය බරපතල වරදක් බව ද හමුදාපතිවරයා කියා සිටියේය.

තම වෘත්තියට අදාල නොවන කරුණු වෙනුවෙන් පවා අදහස් දක්වමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය තම වෘත්තීය සඟයන් වෙනුවෙන් පෙනී නොසිටින සංවිධානයක් බව වෛද්‍යවරුන්ගේ අදහස් දැක්වීම වාරණය කළ සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගය පිළිබඳ අදහස් නොදැක්වීමෙන්ම පෙනී යයි.

එසේ වුව ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරිකයන් පවසන්නේ කොරෝනා වැනි වසංගත තත්ත්වයක් තුළ ජනතාවට නිවැරදි සෞඛ්‍ය තොරතුරු දැනගැනීමේ අයිතියක් තිබෙන බවයි. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර ඇති මූලිික අයිතිවාසිකමකි. එමෙන් ම මෙවැනි වසංගත තත්ත්වය ක දී රජය කළ යුත්තේ නිවැරදි සෞඛ්‍ය තොරතුරු හැකිතාක් ජනගත කිරීමට සෞඛ්‍ය සේවකයන්ට අවස්ථාව ලබාදීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ එම නියෝගයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබිය දී පවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ආකාරය පුදුම සහගතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!