spot_img
spot_imgspot_img

රූමස්සල මැදින් පාරක් කපන කතාවේ ඇත්ත මතුපිටින් නොව ගැඹුරින් දකිමු

පුවත්

විදෙස්

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ සිට බැලූ විට අති රමණීය දර්ශනයක් වූ රූමස්සල කන්ද ඕලන්ද ජාතිකයන් “බොනවිස්ටා” නමින් හැඳින්වූයේ එහි තිබූ සුන්දරත්වයෙන් වශීවීම හේතුවෙන් විය යුතුය. බොනවිස්ටා යන්නේ අර්ථය සොඳුරු දසුන යන්නයි. නමුත් අද එදා තිබූ සොඳුරු දර්ශනය එහි දක්නට නැත. රූමස්සල කන්දේ එක් කෙළවරක දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිවී තිබේ.

අරලිය හෝටලය මුහුදට දිස්වන අයුරු

රූමස්සල කන්ද ගාල්ල කොටුව ලෝක උරුමයට සෘජුවම සම්බන්ධය. පෘතුගීසීන් මුළින්ම ගොඩබැස්සේ ගාල්ල කොටුව ඇති ස්ථානයේ පිහිටි පැරණි වරායට නොව රූමස්සල ආසන්න උණවටුන වෙරළටය. පෘතුගීසීන් මෙරටට පැමිණීමටත් පෙර අරාබිය ඇතුළු රටවලින් පැමිණෙන නැව් වලට පානීය ජලය සපයා ඇත්තේ රූමස්සල කන්දේ ඇති ජල මාර්ගවලිනි. යුරෝපීයයෝ මෙරටට පැමිණි මුල් යුගයේ සිට රූමස්සල ඔවුන්ගේ ජනාවාස ප්‍රදේශයක් විය. එහි පල්ලි ඉදිකළ අතර පාසල් ද සුසානභූමි ද වසංගත රෝහල් ද පවත්වාගෙන ගියේය. වත්මන් බොනවිස්ටා විද්‍යාලය පවා ආරම්භ කර ඇත්තේ 1814 දී ය. මෙරට පළමු වසූරිය රෝහල අද වැඩිහිටි නිවාසයක් බවට පත්ව තිබේ. එසේනම් යුනෙස්කෝ ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව හා එහි පසෙකින් ඇති රූමස්සල අතර සෘජු සම්බන්ධයක් තිබේ. යුනෙස්කෝ රෙගුලාසි අනුව එවැනි සංස්කෘතික, සමාජයීය, දේශපාලනික හා පාරිසරික සම්බන්ධයක් ලෝක උරුමයක් සමඟ ඇති ස්ථානයක භූ දර්ශනය වෙනස් කළ නොහැක. එසේනම් යුනෙස්කෝ ලෝක උරුම කොන්දේසි අනුව මෙවැනි ගොඩනැගිල්ලක් තැනුවේ කෙසේ ද යන්න බරපතල ප්‍රශ්නාර්ථයකි.

අරලිය හෝටල් සමූහය විසින් ඉදිකරන ලද මේ ගොඩනැගිල්ල මහල් 16කින් සමන්විතය. එහි කාමර 304කි. මේ හෝටලයට පිවිසුම් මාර්ගයක් ලෙස රූමස්සල කන්ද හරහා අඩි 40ක් පළලැති පාරක් කපන බවට ඇති රාවය ගැන ජනතාව නිතරම කතා කරති. නමුත් නිවැරදි තොරතුරුවලට වඩා සමාජගත වී ඇත්තේ වැරදි තොරතුරුය. හෝටලයේ අලංකාර ඡායාරූප පළ කරමින්, ව්‍යාපාර ගොඩනැගිය යුතු ආකාරය ගැන උපදෙස් දෙමින් හෝටල් හිමිකරුවාගේ සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ තොරතුරු සමාජග ගත කරයි. පාර කපනවාට විරුද්ධව හඬ නගන අයට මුදල් ගෙවා නිහඬ කරන බවට ද ඇතැමුන් කියයි.

සැබැවින්ම රූමස්සල සිදුවන්න‍ේ කුමක් ද ? මේ හෝටලයට එවැනි පාරක් අවශ්‍ය ද ? හෝටලයට පාරක් නැද්ද ? රූමස්සලට අඩි 40ක පාරක් අවශ්‍ය ද ? මේ බොහෝ දෙනකුගේ සිත්හි ඇති ප්‍රශ්නාර්ථයයි. මෙවන් හෝටලයක් රූමස්සල අහස පරයමින් නැගී ආවේ කෙසේ ද ? මේවා අදට ද බොහෝ දෙනකු ප්‍රශ්න කරමින් සිටියි. මේ සියලු දෑ පිළිබඳ rata.lk අපි මාසයකට වැඩි කාලයක් පුරා කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයයි මේ.

අරලිය හෝටලය ඉදිකර ඇත්තේ රූමස්සල එක් බෑවුමක් ආසන්න‍යේ අක්කර 10කට මදක් වැඩි භූමියකය. ඒ සඳහා වගුරු පරිසයක්ද ගොඩකර දැමූ බව ප්‍රදේශවාසීහු කියති. හෝටලය ඉදිකිරීමට පෙර මේ සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් ද සකසා තිබිණි. මේ ඉදිකිරීම් සිදුවන ස්ථානය සංවේදී පරිසර පද්ධතියක් යැයි පාරිසරික අධ්‍යයන වාර්තාවේ ම දක්වා ඇත. විශාල මුදලක් ආයෝජනය කරමින් අනාගතයේ පරිසරය ආරක්ෂාකරනු ඇතැයි බලාපොරොත්තුවෙන් මේ හෝටලයේ ඉදිකිරීම් සාධාරණීකරණය කිරීමට එම වාර්තාව කටයුතු කර තිබේ.

මේ පාරිසරික බලපෑම් ඇගැයීම සිදුවූයේ ද හෝටල් හිමිකරුවාගේ සහෝදරයා වූ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබූ ආයතනයක් වන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවයි.

හෝටලයේ මළ අපද්‍රව්‍ය සහ ඝන අපද්‍රවය බැහැර කිරීම සම්බන්ධ ස්ථිර ක්‍රමවේදයක් හෝ නොමැතිව ‍අනාගතයේ දී සිදුකරන සැළසුම්වල බලාපොරොත්තුවෙන් මේ සඳහා අනුමැතිය දී තිබේ. හෝටලයේ ජල අවශ්‍යතාව ඉටුකරගන්නේ මුහුදු ජලය ලබාගෙන පිරිසිදු කිරිමෙනි. හෝටල් පාලන අධිකාරිය පවසන්නේ අප ජලය පිරිසිදු කර මුහුදට දමන බවයි. මුහුදු ජලය පානයට ගෙන අප ජලය මුහුදට දැමීමේ ක්‍රමය මෙහි ඇත.

ශ්‍රී ලංකාව අවට මහ මුහුදට අප ජලය පිරිසිදු කර හෝ දැමිය හැකි ද යන්න අපි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියෙන් විමසූවෙමු.

එම අධිකාරියේ දකුණු පළාත් කළමනාකාරිනී රේණුකා රණවීර මෙසේ කීවාය.

“දැනටමත් මුහුදු ජලය අරගෙන පිරිසිදු කරලා භාවිතා කරනවා. අප ජලය පිරිපහදු කරලා මුහුදට මුදාහැරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අප ජලය මුහුදට යැවිය හැකිද යන්න සම්බන්ධයෙන් හෝටල් බලධාරීන් පිළිගත් පුද්ගලික ආයතනයකින් පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කර දිය යුතුයි. එහි දී මේ පරිසරයේ පාරිසරික සංවේදීතාව ගැන සැළකිලිමත්ව මුහුදු ජලය ගමන්කරන රටාව පවා වාර්තාවේ අඩංගු විය යුතුයි. ඒ වාර්තාව ලැබුණු පසුවයි ‍ඒ සඳහා අවසර දීම හෝ නොදීම තීරණය වෙන්නේ. මුහුදු ජලයේ සංයුතියට වඩා වෙනස් ජලය මුදාහරින්න අවසර දෙන්න් නැහැ. එයට අවසර දුන්නත් පිරිපහදු කාර්යය සම්බන්ධයෙන් දිගටම අධීක්ෂණය කර එහි වාර්තාව අපට දිය යුතුයි. මේ වාර්තාවල වරදක් තිබේනම්  එය වහාම නවත්වනවා.”

පාරිසරික අධ්‍යයනය සිදුකරන පුද්ගලික ආයතනය තෝරාගන්නේ ද ඔවුන්ට මුදල් ගෙවන්නේ ද පසුව පිරිපහදු වීමේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ වාර්තාව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට ලබා දෙන්නේ ද හෝටල් බලධාරීන් විසිනි.

පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේ අප ජලය මුහුදට දමන හෝටලයකට අවසර ලබාදීම වරදක් බවයි.

ඔවුන් අප ජලය මුදාහරින මුහුදේ මෙරට වඩාත් සජීවී කොරල්පරය වූ බොනවිස්ටා කොරල්පරය පිහිටා තිබේ. විදෙස් පර්යේෂකයන් පවසන්නේ මේ කොරල්පරයෛ් මසුන් ඇතුළු සත්ත්ව විශේෂ 400කට වඩා ජීවත්වන බවයි. කොරල් පරයේ සජීවී තත්ත්වයට හොඳම සාධකයක් වන පනා මාළු විශේෂ පමණක් 40කට වැඩි ප්‍රමාණක් එහි දක්නට ලැබෙයි. එමෙන්ම ලෝකයේ සිටින කැස්බෑ විශේෂ 07 අතරින් විශේෂ 05ක් ම බොනවිස්ටා කොරල් පරය ආශ්‍රිත කුඩා වෙරළතීරයට බිජු ලෑම සඳහා පැමිණෙන බව තහවුරු වී ඇත. ඒ අතර ලෝක‍යේ වඳවී යාමේ තර්ජනයට ලක්වූ වඩාත් අන්තරාකාරී විශේෂය ලෙස නම්කර ඇති කොළ කැස්බෑවා නම් අතිශය දුර්ලභ සත්ත්වයා ද සිටියි. ජෛව විවිධත්වය අතින් මහා බාධක පරයට පමණක් දෙවැනි වන බොනවිස්ටා කොරල්පරය ඇති මුහුදට අප ජලය බැහැර කරන්නට අවසර දුන්නේ කෙසේ ද යන්න ගැටලුවකි. එමෙන්ම දහස් ගණනක් මුහුදු වෙරළේ විනෝදයෙන් ගත කරන ස්ථානයකට අපද්‍රව්‍ය බැහැර කරන්නට අවසර දීමට තරම් අපේ රාජ්‍ය අංශ කටයුතු කර තිබීම ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

රූමස්සල සුරැකීමේ සංවිධානය ඇතුළු පාරිසරික සංවිධාන ගණනාවක් සහ ප්‍රදේශවාසීන් බොහෝ දෙනකු ද චෝදනා කරන්නේ මේ හෝටල් හිමිකරුවාගේ වුවමනාවට රූමස්සල හරහා මාර්ගයක් තනන බවයි. මෙහි ඉතිහාස කතාව ඇරඹෙන්නේ හෝටලයට ‍ඉදිකිරීමෙට අවසර දීමේ පටන්ය.

මීටර 15කට වඩා උසැති බැවින් හෝටලය අධි උසැති ගොඩනැගිල්ලකි. නාගරික සංවර්ධන අධිකාරියේ 1986.03.10 අංක 392/9 දරන ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ පළලින් මීටර් 12කට හෙවත් අඩි 40කට නොඅඩු වීථියකට යාබදව භූමි භාගය පිහිටා ඇත්තේ නම් මිස එවැනි සැලැස්මක් අනුමත නොකළ යුතුය යනුවෙනි. ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් ද සනාථ කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ ගැසට් පත්‍රය

එහෙත් නාගරික සංවර්ධන අධිකාරියේ ද අනුමැතිය ඇතිව ඉදිකර ඇතැයි පවසන අරලිය බීච් හෝටලය වෙත යාමට ඇති යද්දෙහිමුල්ල වැල්ලේ දේවාල පාරෙහි පළල මීටර් 3.05කි. හෝටලයට පැමිණිය හැකි අනෙක් මාර්ගය වන බොනවිස්ටා මාර්ගයේ පළල ද මීටර් 3.66කි. මෙම පළල හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2009.08.28  දිනැති ගැසට් පත්‍ර මගින් නීතිගත කර ඇත. එවැනි තත්ත්වයක් තුළ මේ සඳහා අවසර දීම ගැටලුවකි.

හබරාදුව ප්‍රාදේශීය සබාව විසින් මාර්ගවල පළල ගැසට්කර ඇති අයුරු

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එස්.එස්.පී. රත්නායක මාධ්‍යවෙත කරුණු දක්වමින් 2018 වර්ෂයේ දී පවසා ඇත්තේ මෙම අනුමැතිය දුන්නේ මෙම හෝටලයට පිවිසෙන මාර්ගයේ පළල මාර්ග සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට නොගැලපුණත් එම මාර්ගයට ගොඩනැගිලි සීමාවක් බලපැවැත්වීම හා එක් දිශාවකට පමණක් ගමන් ගන්නා ප්‍රවේශයක් ලෙස සැළකීම, බරවාහන ඇතුළු නොකිරීම යන කරුණු සළකා බලමින් බවයි.

මාර්ගයේ පවතින ගොඩනැගිලි සීමාවක් පිළිබඳ හබරාදුව ප්‍රාදේශීය සභා ගැසට් පත්‍රයේ සඳහන් කර නැත. ගොඩනැගිලි සීමාවක් යනු අනාගත සංවර්ධනයක දී මාර්ගය දෙපස ඉඩම් හිමියන්ට වන්දි ගෙවා ලබාගන්නා ප්‍රදේශයයි. සඳහන් නැති සීමාවක් මුදල් ගෙවා හෝ පුද්ගලික හෝටලයක් වෙනුවෙන් පවරා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියට බලය ලැබෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්න කළ යුතුය. ඉහත කී පිවිසුම් මාර්ගය තනි ව්‍යාපාරිකයකුගේ වුවමනාවට එක් පසෙකට පමණක් වාහන ධාවනය කරන මාර්ග බවට පත්කළ හැකි ද ? මේ අවසර දීම නීති විරෝධී නොවන්නේ ද ?

හෝටලය ඉදිවෙමින් පවතින කාලයේ දී මාර්ගය ද වෙනස් විය. හෝටල් හිමිකරු ඩඩ්ලි සිරිසේනගේ පුද්ගලික ධනයෙන් මේ මාර්ග සංවර්ධනය කෙරිණි. මාර්ගය දෙපස පදිංචි ඇතැම් පිරිස් මාර්ගය පටු තැන්වලින් පළල් කිරීමට ඉඩම් පරිත්‍යාග කර ඇත. එය සිදුවූයේ ප්‍රාදේශීය සභාවේ ද අධීක්ෂණයෙනි. ඩඩ්ලි සිරිසේන මහතා පවසනනේ මේ මාර්ගය ඉන්ටර්ලොක් කිරීමට ලක්ෂ 370ක් වයැ වූ බවයි. එවැනි සංවර්ධනයකට ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් ලැබී නැත.

තරු පහේ හෝටලයක් ලෙස ඉදිවූ මෙයට පිවිසුම් මාර්ගයක ගැටලුව තවමත් තිබේ. මේ සඳහා හොඳම විකල්පය වන්නේ හෝටලයේ ඉදිරිපස හරවා ඇති යද්දෙහිමුල්ල මාර්ගය, කුළුණුකන්ද මාර්ගය හා ‍බොනවිස්ටා මාර්ගය සංවර්ධනය කර මේ මාර්ග එකිනෙකට යා කිරීමයි. කුළුණුකන්ද මාර්ගය ඔස්සේ ගිය කෙනෙකුට එම පාර මේ හෝටලය සඳහා ප්‍රායෝගිකව යොදාගත නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිවනු ඇත. ඉතාමත් පටු තැන තැන දළ බෑවුම් සහිත ‍ඒ මාර්ගයේ වෑන් රථයක් හෝ ධාවනය කිරීම අසීරු කටයුත්තකි. නමුත් මෙහි එක් පැත්තකට හැරී ගියවිට රූමස්සල සාම චෛත්‍යය පැත්තෙන් අවසන්වන මාර්ග කොටසක් තිබේ. සාම චෛත්‍යයත් ජන්ගල් බීච් නමින් හඳුන්වන කොටසත් අතර ඇති පීල්ල හන්දිය එකිනෙක යා කරමින් දැනට අඩි පාරක් දැකිය හැකිය. අඩි 40ක පාරක් කපන්නට සැළසුම් කර ඇත්තේ මේ අඩි මාර්ගය මහා මාර්ගයක් බවට පත්කරමිනි. එවිට හෝටලය එන අයෙකුට ‍උණවටුනේ සිමෙන්ති කර්මානතශාලාව අසළින් බොනවිස්ටා මාර්ගයට ප්‍රවේශ වී ජපන් සාම චෛත්‍යය දක්වා කාපට් අතුරා ඇති සුව පහසු මාවතේ ලෙහෙසියෙන් ම පැමිණිය හැකිය. ඉන් පසු මේ මාර්ග කොටස කාපට් අතුරා සකස් කළ විට හෝටලය දක්වාම පහසුවෙන් පැමිණය හැකිය. මේ අනුව බැලූ බැල්මට පාර අවශ්‍ය වන්නේ අරලිය හෝටලයට යැයි බොහෝ දෙනකු චෝදනා කරන්නේ එබැවිනි. ‍

මාර්ගය ඉදිකිරීමට යෝජිත ස්ථානය රතු පැහැයෙන් දක්වා ඇත.

එම මාර්ගය ඉදිකළවිට නම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් එක් පැත්තකට පමණක් වාහන ධාවනය කිරීමේ මාවතක් ලෙස සංවර්ධනය කිරීමට හැකියැයි උපකල්පනය කරමින් මේ හෝටලයට අනුමැතිය දීම සම්පූර්ණ කරගත හැකිවනු ඇත.

එවැනි මාර්ගයක් සාදාගත නොහැකි වුවහොත් අරලිය හෝටලයට තරු 05ක් ලැබෙන්නේ නැත. ඉලක්කය වන්නේ අරලිය හෝටලය තරු 05 හෝටලයක් බවට පත්කිරීමයි.

1936 දී මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මූලික මිනුමක මේ ස්ථානයේ මාර්ගයක් සළකුණු කර ඇත. මිනුම අනුවනම් එය අඩි 10කි. ගාල්ල මාතර පාරවත් අඩි 40ක් පළලට නොමැති එකළ අඩි 40ක පාරක් රූමස්සල කැලේ තිබුණා යැයි කීම විහිළුවකි.

මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ මූලික මිනුම

අද දක්වාම එවැනි පාරක් භෞතිකව එතැන නැත. ඇත්තේ ගලින් ගලට පැන යා හැකි අඩි පාරක් පමණි. 2009 වර්ෂය දක්වාම හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාර්ග ගැසට් කර ඇතත් එවැනි මාර්ගයක් ගැසට් කර නැත. ප්‍රාදේශීය ලේකම්ගේ ගම් සිතියමේ ද එවැනි මාර්ගයක් සළකුණු කර නැත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති ගම් සිතියම. එහි මෙම යෝජිත මාර්ගය දක්වා නැත

තොරතුරු දැනගැනීමේ පනත අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන විමසීමක දී තහවුරු වන්නේ මේ මාර්ගය ගැන ඉල්ලීම කර ඇත්තේ ප්‍රාදේශීය සභාව බවයි.

ප්‍රාදේශීය සභාවේ දිල්ශාන් විදානගමගේ පවසන්නේ මෙවැනි අදහසකි.  

“මේ මාර්ගය ඇත්තටම සිතියම්වල ලකුණු කරලා තියෙනවා. නමුත් එය ප්‍රාදේශීය ලේකම් සතුව තිබෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කළා මේ මාර්ග කොටස සභාවට පවරන්න කියලා. ගමේ අයගෙත් ඉල්ලීමක් තිබෙනවා මේක සංවර්ධනය කර දෙන්න කියා. මේ නිසා අපිට හැකියාව තිබෙනවා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාල ආයතනවලින් විමසා බැලීමෙන් අනතුරුව මේ මාර්ගය සංවර්ධනය කරනවා ද නැද්ද කියා තීරණය ගන්නවා.”

ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ

මේ මාර්ගය ඉල්ලා එදා මෙදාතුර ඉතිහාසයේ කිසිම අවස්ථාවක ප්‍රාදේශීය සභාවේ යෝජනාවක් සම්මත වී නැත. ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට හෝ එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැත. එසේනම් පාර අවශ්‍ය වන්නේ කවරකුට ද යන්න ගැටලුවකි.

රූමස්සල පීල්ල පාර. මෙය පීල්ල අසළින් අවසන්වන අඩි පාරකි. ඇතුළුවන ස්ථානය මෙතරම් පළල් වුව ද ඇතුලට යනවිට එවැනි පළලක් නැත. අඩි 40ක් දක්වා පළල් කිරීමට යෝජනා කර ඇත්තේ මේ මාර්ගයයි.

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ මේ පාර සාදා දෙන්න යැයි ඉල්ලීමක් කළේ උණවටුන හෝටල්කරුවන්ගේ සංගමය විසින් බවයි. එම සංගමයේ අනුශාසකවරයා ලෙස කටයුතු කරන්නේ ඩඩ්ලි සිරිසේනය.  

මෙම වැට සකස් කරමින් සිටින්නේ වරාය සංවර්ධන අධිකාරිය විසිනි. එයට යාබදව මාර්ගය සෑදීමට යෝජනා කර ඇත.

අරලිය හෝටලයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන රූපවානී සාකච්ඡාවක දී රූමස්සල හරහා ඉදිවන මාර්ගය ගැන මෙසේ කීවේය.

“ගෙඩනැගිල්ලක් ඉදිකරන්න ගන්න නිර්ණායක වෙන්නේ භූමි ප්‍රමාණය හා එහි වපසරිය. මේ හෝටලය හැදුවේ අදාල සියලුම ආයතනවල අවසරය අරගෙන. වගුරක් ගොඩකළා කියන කතා බොරු. ගොඩකිරීම තහනම් අක්කරයක පමණ ප්‍රදේශයක් තිබුණා. ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන් අදටත් එම ස්ථානය ජලජ පරිසරයක්. මේ ස්ථානයට යන්න මම මිල්ටන් හෝටලය ගත්තා. එතන ඉදලා බෝට්ටු සේවයක් දානවා හෝටලයට. ගමේ මිනිස්සු මට එයාලගේ ඉඩම් වලින් මට පාරක් දීලා තියෙනවා. අඩි හතලිහක පාරක්. මම දැන් ඒ පාර හදන්න ඕනෑ. මට එතකෙට මේ හෝටලයට පිවිසුම් මාර්ග තුනක් තියෙනවා. මේ පාර හදන්න උදව් කළොත් නරක ද ?”

අරලිය හෝටල් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන

උණවටුනේ ඇතිවී තිබෙන ගැටලු විසඳීමට පැවැති සාකච්ඡාවක දී ඩඩ්ලි සිරිසේන පවසන්නේ ‍මේ මාර්ගය ගැන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඇති සැළැස්ම පිළිබඳ ප්‍රාදේශීය ලේකම් සමඟ සාකච්ඡා කළ බවයි. ඒ පිළිබඳ පසුව විමසීමක් කළ බවද ඒ කතාව වැරදි ලෙස අවබෝධ කරගෙන ඇති බව ද ඔහු කියයි. මේ මාර්ගය ගැන තමන් කතා කළේ තම වුවමනාවට නොව ගමේ වුවමනාවට බව ද ඔහු එහි දී පවසන වීඩියෝ දර්ශන තිබේ. සෑම දෙයක්ම අල්ලාගෙන තමන්ට චෝදනා කිරීම වැරදි බව ද කියමින් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ද දිගින් දිගටම ප්‍රචාරය කරමින් සිටින්නේ මේ මාර්ගය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ගම් වැසියන් විසින් බවයි.

ගමේ පදිංචිකරුවන් තමන්ගේ ඉඩම්වලින් මේ මාර්ගය ලබාදෙන බව ඩඩ්ලි සිරිසේන කීවද තො‍රතුරු දැනැනීමේ පනත යටතේ එම ප්‍රදේශයේ ඉඩම්වල හිමිකාරීත්වය පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට තහවුරු වූයේ මෙම මාර්ගය ගමේ පදිංචිකරුවන්ගේ ඉඩම්වලින් ලබාදීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. ඒ අවට සිටින කිසිදු අයකු ඉඩම්වල නීත්‍යානුකූළ හිමිකරුවෝ නොවෙති. සියල්ලෝම බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන සිටින්නන් වන අතර ඇතැම් පිරිස් රජයේ හිමිකම් ඔප්පු මත පදිංචිව සිටින්නෝය.

යෝජිත මාර්ගය ඉදිකිරීමට අවසර ලැබීමටත් පෙර කිසියම් පිරිසක් විසින් ගස් කපා දමා එළි පෙහෙළි කර ඇති අයුරු

නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජනා කළ මහ ගාල්ල සංවර්ධන ව්‍යාපෘතියේ දී රූමස්සල කලාප හතරක් යටතේ සංවර්ධනය කිරීමට ගැසට් කර ඇතත් නව රජය බලයට පත්වීමත් සමඟ 2020 එම ගැසට් නිවේදනය අවලංගු කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ අනුර මැදවලගෙන් විමසූ විට කියා සිටියේ ගැසට් නිවේදනය දැනට තාවකාලිකව අවලංගු කර ඇතත් එහි රෙගුලාසි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවයි. එමෙන් ම මෙම යෝජනා කර ඇතැයි කියන මාර්ගය හරිත කලාපය ඔස්සේ වැටී ඇති බැවින් එවැනි ඉදිකිරීමක් සඳහා අවසර ලබා දී නැතැයි ද හෙතෙම කීවේය.

ප්‍රාදේශීය ලේකම් තරංගා වික්‍රමරත්න මෙසේ කීවාය.

“මේ මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරා දෙන්න කියා ඉල්ලීමක් කළා. ඒ සඳහා අවශ්‍ය පියවර අපි ගනිමින් පවතිනවා. මේ මාර්ගය ඉදිකිරීමට දැනට කිසිම ව්‍යාපෘතියක් හෝ මුදලක් හෝ ලැබී නැහැ.”  

මාර්ග සංවර්ධනය අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු ක්‍රිෂානිකා බන්දුලා මෙසේ පවසන්නීය.

“මාර්ගය ඉදිකරීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කර තිබූ නිසා අපි අවශ්‍ය කටයුතු ගැන සොයා බැලුවා. නමුත් දැඩි විරෝධයක් මතුවුණා. ඒ නිසා ඒ මාර්ගය ඉදිනොකිරීමට අපි තීරණය කර තිබෙනවා.”

උණවටුන වැල්ලේ දේවාල මාර්ගය විධිමත් අවසරයකින් තොරව පුද්ගලික වියදමින් සංවර්ධනය කළ ආකාරයට මේ මාර්ගය ද ඉදිකරනු ඇත්දැයි සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ යම් පුද්ගලයකු පොදු කටයුත්තක් තම ධන පරිත්‍යාගයෙන් ඉටුකර දෙන්නේ නම් එය ප්‍රාදේශීය සභාවෙන් ප්‍රතික්ෂේප නොකරන බවයි.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මෙසේ කීවේය.

“ 1936 මූලික මිනුමක මේ ස්ථානයේ පාරක් තිබෙනවා. දැන් පරිසරය වෙනස් වෙලා, නීති අණ පනත් වෙනස් වෙලා, අවශ්‍යතා වෙනස් වෙලා. මෙම මාර්ගය යෝජනා කර තිබෙන ස්ථානය අපි නිරීක්ෂණය කළා. එතැන අඩි පාරක් තිබෙනවා. නමුත් අපේ තක්සේරුව එතැනට පාරක් අවශ්‍ය නෑ කියන එක. ඒ නිසා මේ පාරට අපි අනුමැතිය දෙන්නේ නැහැ. නමුත් එතැන ඇති අඩි පාරේ යාමට ඒමට බාධාවක් නැහැ.”

රූමස්සල මාර්ගය ඉදිකිරීමට ප්‍රාදේශීය සභාවේ සූදානමක් පවතින නමුත් හබරාදුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලාල් වල්පිට මෙම මාර්ගය සෑදීම නුසුදුසු බව සඳහන් කරමින් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ත‍ිබේ. එම යෝජනාව ඉදිරිිපත් කළ අවස්ථාවේ දී කිසිවකු එම යෝජනාව සඳහා බෙදීමක් ඉල්ලා නැත. එබැවින් එවැනි යෝජනාවක් ඡන්ද විමසීමකින් තොරව සම්මත වූවා සේ සැළකීම සම්ප්‍රදායයි. නමුත් සභා වාර්තාවේ සඳහන් කර ඇත්තේ එය පසුව සළකා බලන බවකි. මේ පිළිබඳ ලාල් වල්පිට මන්ත්‍රීවරයා මෙසේ කීවේය.

“මම යෝජනාව ඉදිරිපත් කළේ මේ මාර්ගය ඉදිකිරීම නුසුදුසුයි කියලා. යෝජනාවට කිසිම කෙනෙක් ඡන්දයක් හෙවත් බෙදීමක් ඉල්ලුවේ නෑ, ඒ අනුව යෝජනාව සම්මත වෙනවා. නමුත් පසුව සභා වාර්තාවේ දක්වා තියෙනවා ඒ යෝජනාව පසුව සළකා බලනවා කියලා. මේ මාර්ගය ඉදිකරීම විශාල මුදලක් එහා මෙහා හුවමාරුවන කුමන්ත්‍රණයක්. හැමෝම වැඩකරන්නේ සල්ලි සහ දේශපාලන බලයට යටත්වෙලා. කොහොම වුණත් මම දැන් නැවත එම යෝජනාවට සංශෝධනයක් එකතු කරලා තියෙනවා.”

‍පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමියෝ මෙසේ කීහ.

“මේ වෙලාවේ රට පුරාම විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. පරිසරය සුරක්ෂිත කරන්න රකින්න පෙරොන්දු ව බලධාරීන් තමයි මේ විනාශයකරන්නේ. ගාල්ල නගරය ආසන්නයේ තිබෙන ලෝකයේ අවධානය දිනාගත් රූමස්සල පරිසර පද්ධතිය මේ ආකාරයට විනාශ කරන්න දෙන්න බැහැ. අරලිය හෝටලය ඉදිකළේ අනවසරයෙන්. ඒ ඉදිකිරීම් කරලා දැන් අවට පරිසරය විනාශ කරන්න හදනවා. වගුරු භූමියක් ගොඩකළා. දැන් හෝටලයට යන්න රූමස්සල හරහා අඩි 40ක පාරක් කපලා ඒක සාධාරණීකරනය කරන්න විවිධ කතා කරනවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අවධානම තේරුම් ගන්න. මේ මුදලාලිලාට, මේ පාලකයන්ට වන සම්පත වැඩක් නැහැ. පරිසරය වැඩක් නැහැ. ඔවුන් සියලු දේ විනාශ කරනවා. මීට එරෙහිව අපි පෙළ ගැසිය යුතුයි.”

අඳුරත්විල චන්ද්‍රජෝති හිමි

දැන් තවත් ගැටලුවක් මේ ප්‍රදේශයේ නිර්මාණය වෙමින් තිබේ අරලිය හෝටලය අසළින් ඕලන්ද ඇල ගලා බසී. මෝයකට වැලිවලින් වැසී යාම හේතුවෙන් වතුර පල් වී තිබූ ඇල හදිසියේම වාර්මාර්ග දෙපාර්තමේන්තුව පිරිසිදු කළේ ගැමියන් පවා පුදුමයට පත්කරමිනි. පසුගිය දිනවල එම ඇළේ දෙපස මීටර තුනක රක්ෂිතයක් හදිසියේම ගැසට් කර ඇත. මේ සැරසෙන්නේ ඩඩ්ලි සිරිසේන මහතා පවසන පරිදි ඔහු විසින් මිලදී ගෙන ඇති මිල්ටන් හෝටලයේ සිට සංචාරකයන් රැගත් බෝට්ටු වැල්ලේ දේවලාය අසළින් ඕලන්ද ඇළට ඇතුළු කර අරලිය හෝටලය ආසන්නයටම ගෙන ඒමට බව ගැමියෝ සැකකරති.

හෝටලය අසළම ඇත්තේ 2010 වසරේ දී අංක 1681/3 දරණ ගැස්ට් පත්‍රය මගින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කළ වැල්ලේ දේවාලයයි. හෝටලයට අවසර දෙද්දී පූජා භූමිය සැළකිල්ලට නොගත් බව ද ගැමියෝ කියති.

මේ හෝටලය සහ මාර්ගය නීති විරෝධීයැයි විවිධ සංවිධාන හා පුද්ගලයන් කොතෙක් හඬ නැගුව ද කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් නීතිය හමුවට ගොස් නැත. උනවටුනේ ව්‍යාපාරිකයකු වන නීතිඥ රූපසේන කොස්වත්ත මහතා පවසන්නේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන සියල්ල නීති විරෝධී ලෙස මේ සඳහා අවසර දී ඇති බවයි. සංවිධානයක් හෝ පුද්ගලයකු මීට එරෙහි වන්නේනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවත් අධික මුදලක් වැය වන බැවින් එය සාර්ථක ‍නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම හෝටලය සහ මාර්ගය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ තොරතුරු විමසීමට ඩඩ්ලි සිරිසේනට ඇමතුම් ගත්ත ද ඔහු පිළිතුරු දෙන්නේ නැත. ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන කාවින්ද ගමගේ ඔහු වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ පීල්ල හන්දියේ සිට ඉදිකරන බව පවසන මාර්ගය ඩඩ්ලි සිරිසේනට හෝ හෝටලයට හෝ කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. දැනටමත් ප්‍රමාණවත් මාර්ග ඇති බවත් සංචාරකයන් ගෙන්වාගැනීම සඳහා ප්‍රවාහන වැඩපිළිවෙලක් සකසා ඇති බවත් ඔහු කීවේය. ගම‍ගේ වැඩිදුරටත් කියා සිටියේ මේ මාර්ගය සෑදීම හෝටලය සඳහා අවශ්‍ය නොවූව ද වැල්ලේ දේවාලේ උත්සව කාලයට වන්දනාකරුවන්ට ප්‍රයෝජනවත් බැවින් එය සෑදීම සුදුසු යැයි ඩඩ්ලි සිරිසේනගේ ද අදහස බවයි.

රූමස්සල හනුමා පිළිමය අසළට දැන් ඉන්දි‍යාවෙන් පැමිණ හනුමා පූජා පැවැත්වෙයි.

“කාලෙකට ඉන්දියාවෙන් කට්ටියක් මේ පිළිමය ළඟට එනවා. ඇවිත් එතැන පූජාවක් කරනවා. එදාට මේ රටේ කිසිම කෙනෙකුට ඒ පූජාව පැවැත්වෙන තැනට යන්න දෙන්නේ නැහැ ඉන්නේ ඉන්දියන් කාරයෝ විතරයි. ඉස්සරහට මෙතන හනුමන්තා දේවාලයක් හදනවා කියලා කතාවක් තියෙනවා. අපි දන්නේ නෑ මොනවායින් මොනවා වෙනවද කියලා”

ඉදිරියේ දී ඉන්දියානු සංචාරකයන් මෙහි ආකර්ශනය කරගැනීමට රූමස්සල කඳු මුදුනේ හනුමා දේවාලයක් ඉදිවන බවටද රාවයක් ඇත. ඉන්දියාවේ සිටි ප්‍රකට සාහිත්‍යදරයකු වූ වාල්මිකී විසින් රචනා කරන ලද අපූරු දේව කතාවක් ලෙස සැළකෙන රාම රාවණා සාහිත්‍ය කෘතියේ ඇති රාවණ ශ්‍රී ලංකාවේ විසුවේ යැයි මෙරට ඇතැමුන්ගේ විශ්වාසයක් ඇත. ඒ විශ්වාසයේ එල්බගෙන සිටින අය පවසන්නේ රාම රාවණ යුද්ධයේ දී රාමගේ සොයුරු ලක්ෂම්නට වැදුණු ඊතලයකින් ඇති වූ තුවාලයක් සුවකිරීමටම බෙහෙත් පැලෑටියක් සොයා හිමාලයට ගිය හනුමාට එම පැළෑටිය අමතකවීම නිසා හිමාල කන්දේ කොටසක් කඩාගෙන පැමිණි බවයි. ඒ පැමිණෙද්දී මේ කඩා වැටුණු කොටස රූමස්සල කන්ද යැයි කතාවක් ඇත.

හනුමා තම වල්ගයට ගිනි තබාගෙන එමගින් සම්පූර්ණ ලංකාවම ගිනිබත් කළේ යැයි ද රාමයණයේ දැක්වේ. එදා සිරිලක විනාශ කිරීමට මූලික වූයේ යැයි සැළකෙන හනුමාගේ දැවැන්ත පිළිරුවක් දැන් රූමස්සල කඳු මුදුනේ ඉදිවී තිබේ. එතැන ඉදිරියේ දී ඉන්දීය සංචාරකයන් ආකර්ශනය කරගැනීම සඳහා හනුමා දේවාලයක් ද ඉදිකරන බවට පැවසේ.

හනුමා අතීත ලංකාව ගිනි තැබූ බව කීව ද රූමස්සල ගිනිගෙන ඇත්තේ දැන්ය.

(සජීව විජේවීර)

අරලිය හෝටලය ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසළට දිස්වන ආකාරය

2 COMMENTS

  1. Good investigation. ගොඩාක් වටිනා කරුණු ඇතුළත් කර තිබෙනවා වගේම කවුරුත් මෙතරම් දුරට විස්තරයක් ඇතුළත් කර තිබ්බේ නෑ අඩුම තරමින් media side එකේ වත් මෙහෙම විස්තරයක් දීලා තිබ්බේ නෑ. Keep going ☝

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!