spot_img
spot_imgspot_img

දකුණු පළාතේ කාර්යාල සේවකයෝ නිරෝධායන නීති නොතකා අමාරුවේ වැටෙති

පුවත්

විදෙස්

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවක සේවිකාවන් අතරින් කොරෝන ආසාදිතයන් 08 දෙනකු වාර්තා වී ඇති බවත් නිරෝධායන නීති නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් අතර කොරෝනා පැතිරී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

පළමුවෙන් ම ආසාදිත බව හඳුනාගත් එම කාර්යාල සේවකයන් දෙදෙනා පීසීආර් පරීක්ෂණ කර තිබිය දී වාර්තා ලැබීමට පෙර සේවයට පැමිණ ඇත. ඔවුන් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ආශ්‍රිතවූ සේවකයන්ට නිවෙස්වල නිරෝධායනය වීමට උපදෙස් දී තිබිය දී ආරක්ෂක නිලධාරියකු සහ රියදුරකු තම නිවෙස්වලට නොගොස් කාර්යාලයේ ම නැවතී ඇති අතර පසුව ඔවුන් දෙදෙනාද කොරෝනා ආසාදිතයන් බව තහවුරු කරගෙන ඇත.

එමෙන් ම මෙම කාර්යාලයේ ගමනාගමන නිලධාරියා නිරෝදායනය නීති නොතකා සේවයට පැමිණ ඇති අතර පසුව ඔහු ද ආසාදිත බව තහවුරු කරගෙන තිබිණි. ආසාදිතයකු වූ රියදුරා ‍නිරෝධායනයට යොමුකර සිටින අතරතුර ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් ඇති බවට ද වාර්තා ලැබී ඇතත් ඒ බව මෙතෙක් තැපැල් කාර්යාලයට දැනුම් දී නැත.

‍සෞඛ්‍ය අංශ පවසන්නේ රෝගීන් දෙදෙනකු වාර්තා වූ අවස්ථාවේ දී මෙම නිලධාරීන් නිසි පරිදි නිරෝධායන නීති පිළිපැදීමට උනන්දුවූවේ නම් මෙතරම් පිරිසක් අතර ‍වයිරසය පැතිර නොයන බවයි.

මේ පිළිබඳ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රාජා මල්ලවආරච්චිගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

“ආසාදිතයන් වාර්තා වූ වහාම අපි සෞඛ්‍ය උපදෙස් අනුව අවශ්‍ය නිරෝධායන කටයුතු උපරිමයෙන් සිදුකළා. සෞඛ්‍ය අංශ ඇවිත් පීසීආර් පරීඛ්ෂණ සිදුකරනතුරු කල් ගත කරන්නේ නැතිව අපි සේවකයන් පීසීආර් පරීක්ෂණවලට යොමුකරමින් ඔවුන්ගේ තත්ත්වය හඳුනාගත්තා. ඒ වගේම පුද්ගලික අංශයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් කරවාගත්තා. සෞඛ්‍ය අංශ දින 14ක් ඉඳලා කරන පීසීආර් පරීක්ෂණ අපි ඉට පෙර කරලා සේකයයන් ආසාදිත ද නැද්ද කියලා හඳුනාගත්තා. ආසාදිත වූ අය ආසාදිත බව හඳුනාගත්තේ ඒ පරීක්ෂණවලින්.‍ අපේ සේවකයන් නිරෝධායන නීති කැඩුවා කියලා සෞඛ්‍ය අංශ චෝදනා කරනවානම් ඒක වැරදියි. අපේ කිහිප දෙනෙක් අතර රෝගය පැතිර තිබෙනවා. ඉන් වැඩි දෙනෙක් කාර්යාලයට එන අය නොවෙයි. මේ වනවිට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකරලා. ඒ අතර තවත් පිරිසක් නිරෝධායනයට යොමුකර සිටිනවා. කාර්යාලයත් වසා දැමීමට පවා සිදුවුණා. අපි ඉතා සුළු සේවක පිරිසක් සහභාගී කරගෙන අත්‍යවාශ්‍ය සේවා කටයුතු කරගෙන යනවා.”

සෞඛ්‍ය අංශ පවසන්නේ රජයේ කාර්යාලවල නිලධාරීන්ද නිරෝධායන නීති පිළිපැදීම අනිවාර්යවන අතර ඇතැම් සේවකයන් ඒවා මායිම් නොකිරීම හේතුවෙන් ගැටලු මතුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!