spot_img
spot_imgspot_img

දකුණු පළාතේ කාපට් නිෂ්පාදනාගාරය දිරා යයි. විකුණා දැමීමටත් සැළැස්මක් හදලා

පුවත්

විදෙස්

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු කෝටි ගණනක් වටිනා කාපට් නිෂ්පාදනාගාරයක් ප්‍රයෝජනයට නොගෙන දිරායන්නට සළස්වා විකුණාදැමීමේ උත්සාහයක් ඇතැයි එම අධිකාරියේ ම වෘත්තීය සමිති චෝදනා කරයි.  

ගාල්ල හික්කඩුව කහව හන්දියෙන් හැරී අලුත්වල දෙසට යනවිට හමුවන ගලබොඩ ප්‍රදේශයේ පිහිටි මෙම කාපට් නිෂ්පාදනාගාරය 2013 වර්ෂයේ දී රජය විසින් ස්ථාපිත කර ඇත්තේ දකුණු පළාතේ මාර්ග සංවර්ධනයේ දී අවශ්‍ය කාපට් සකස් කිරීමේ අපේක්ෂාවෙනි. එවකට පැවති රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මේ සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇත.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පවසන්නේ එම අධිකාරියේ නිලධාරීන්ට කාපට් මිලදී ගැනීමේ දී ලැබෙන කොමිස් මුදල් මෙම නිෂ්පාදනාගාරය හේතුවෙන් අහිමිවන බැවින් උපක්‍රමශීලීව එම නිෂ්පාදනාගාරය ප්‍රයෝජනයට නොගෙන දිරායාමට සැළැස්වූ බවයි.

කාපට් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙම නිෂ්පාදනාගාරයට ගෙන ඒමේ දී ඒවා ගණනය කළ හැකි ආකාරයෙන් ‍ගොඩ ගැසීම සඳහා සැපයුම්කරුවන්ට ගෙවීම් කර ඇතත් එලෙස ගොඩ ගැසීමකින් තොරව භාර ගැනීම හේතුවෙන් අමුද්‍රව්‍ය තොග පොත්වල සටහන් කර නොමැති ගැටලුවක් ද ආරම්භක වර්ෂයේ සිටම තිබී ඇත. එමෙන්ම තාර ගබඩා කළ හැකි ලීටර 40,000ක සහ 20,000 ටැංකි ඇතත් එහි අඩංගු තාර ප්‍රමාණය භෞතිකව පරීක්ෂා කිරීමේ උපකරණ හෝ විධිමත් ක්‍රමයක් නොමැතිවීමෙන් ද බරපතල අක්‍රමිකතා සිදුව ඇති බව සේවකයෝ චෝදනා කරති. මුල් කාලයේ නිෂ්පාදනය කළ කාපට් ප්‍රමාණ මැනීම් කර ලේඛන ගත කර නැත. කෝටි ගණන් වටිනා යන්ත්‍ර සූත්‍ර භාවිතයට නොගෙන වසර ගණනක් තිස්සේ අව් වැසිවලට නිරාවරණය වී දිරා යාමට සළස්වා තිබේ.

එමෙන්ම මෙහි තිබූ කිලෝවොට් 400ක සහ 600ක ඩීසල් විදුලි ජනන යන්ත්‍ර දෙකක් අනාරක්ෂිතව  එළිමහනේ තබා තිබීමෙන් දිරාපත්ව ඇති ඇති අතර ඒවායේ ඩීසල් ටැංකි පොළොව සමඟ සර්පර්ශවන ආකාරයෙන් තිබීම නිසාම දිරාගොස් තිබේ.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය පවසන්නේ මෙම කාපට් නිෂ්පාදනාගාරය පුද්ගලික අංශයට විකුණා දැමීම ජාතික අපරාධයක් බවයි. එම නිෂ්පාදනාගාරය පිළිබඳ 2018 වර්ෂයේ දී රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇති CSS/10/5/33/G/03 (II) නමැති විගණන වාර්තාවක මේ සියලු අඩුපාඩු දක්වා ඇති බවත් ඒ පිළිබඳ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇති බවත් හෙතෙම පවසයි.

එම විගණන වාර්තාවේ දැක්වෙන්නේ කිලෝ වොට් 400 විදුලි ජනක යන්ත්‍රය කාර්මික දෝෂයක් බව කියමින් වසර ගණනක් අලුත්වැඩියා නොකර භාවිතයෙන් ඉවත්කර කිලෝ වොට් 600 විදුලි ජනකය භාවිතා කිරීම හේතුවෙන් පිරිවැය ඉහළ යාමෙන් රාජ්‍ය මුදල් නාස්ති වී ඇති බවයි.

අති නවීන තාක්ෂණයෙන් යුතුව 2013 වර්ෂයේ ස්ථාපිත කරන ලද මෙම කාපට් නිෂ්පාදනාගාරය ප්‍රයෝජනයට ගන්නේ නම් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරයට වාර්ෂිකව දකුණු පළාත සඳහාම අවශ්‍යකරනු ලබන කාපට් නිෂ්පාදනය කරගත හැකිව තිබිය දී එය ප්‍රයේජනයට නොගෙන පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් කාපට් මිලදී ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති චෝදනා කරයි.

ඔවුන් මේ බව ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යාංශයට හා ආරක්ෂක ලේකම්වරයාට ද ලිඛිතව දැනුම් දී ඇත.

දකුණු පළාත් අභ්‍යන්තර විගණන වාර්තා සහ විගණන දෙපාර්තමේන්තුවේ 2018 විගණන වාර්තා අනුව මෙම කාපට් නිෂ්පාදනාගාරය සම්බන්ධ අක්‍රමිකතා අනාවරණය වී තිබිය දී ඒ සඳහා අවශ්‍ය පියවර නොගෙන එම නිෂ්පාදනාගාරය විකුණා දැමීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඔවුන් එල්ලකරන චෝදනාවකි.  

මේ පිලිබඳ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහගෙන් විමසූ විට ඇය කියා සිටියේ ගලබොඩ කාපට් නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් විගණන වාර්තාවක් නොමැති බවයි. එය විකිණීමට කටයුතු කරමින් සිටින බව ද ඇය කීවාය.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සුනිල් පෝද්දිවෙලගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මේ කාපට් නිෂ්පාදනාගාරයේ දැනට දිරාපත්වී තිබීම ඇත්තටම අපරාධයක්. ගැටලුව තියෙන්නේ අපේ දකුණු පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරිය සෘජු ශ්‍රම දායකත්වයෙන් පාරවල් කාපට් කිරීම කරන්නේ ඉතාමත් අඩුවෙන්. වැඩියෙන්ම සිදුවන්නේ කොන්ත්‍රාත් දීම මෙහි කාපට් නිෂ්පාදනය කරනවානම් එය මහා පරිමාණයෙන් සිදුවනවා. ඉතින් ඒ තරම් කාපට් ප්‍රමාණයක් නිෂ්පාදනය කළාට ගැනුම් කරුවන් නැහැ. පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අවශ්‍ය කාපට් ප්‍රමාණය මෙහිි නිෂ්පාදනය කිරීම් දී දරන්න සිදුවන පිරිවැය ඉතාමත් අධිකයි. අපි මේ ගැන සොයා බැලුවා. පිටතින් කාපට් ගන්නවාට වඩා තුන්ගුණයක් වියදමක් දරන්න වෙනවා මෙම නිෂ්පාදනාගාරයෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය නිපදවනවානම්. නමුත් අපේ යෝජනාවක් තිබෙනවා මේ නිෂ්පාදනාගාරය රජයේ මාර්ග සංවර්ධන අධිකාරියට බදු දීලා පවත්වාගෙන යාමට. මෙය විකුණා දැමීමේ ගැටලුවක් තිබෙනවා. ඒ ඉඩම ප්‍රාදේශීය ලේකම් සතුයි. තුන්වැනි පාර්ශවයකට විකුණන්න බැහැ. කළ හැකිවන්නේ බදුදීම පමණයි. අපි මේ ගැන ආණ්ඩුකාරතුමාට දැනුම් දී තිබෙනවා. හොඳම විකල්පය මාර්ග සංවර්ධන අධිකාරියට බදු දීම. නැතිනම් වෙනත් ආයතනයකට බදු දීමට සිදුවනවා. විකුණා දැමුවහොත් ගැනුම් කරුවාට සිදුවනවා යන්ත්‍ර ගලවාගෙන ගිහින් වෙනත් තැනක සවිකරන්න.”

මේ පිළිබඳ දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.ඒ.ඩී.සොයිසාගෙන් විමසූ විට කියා සිටියේ එම කාපට් නිෂ්පාදනාගාරය විකිණීම සඳහා ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි. දකුණු පළාතට අවශ්‍ය කාපට් නිෂ්පාදනය කිරීම සඳහා මෙම නිෂ්පාදනාගාරය මාසයකට දින 02ක් ක්‍රියාත්මක කරවීම ප්‍රමාණවත් බවත්, අනෙක් දින 28ම එය වසා තැබීමට සිදුවීම හේතුවෙන් සේවක වැටුප් හා දීමනා ඇතුළු පිරිවැය අධික වී තිබීම නිසා මේ තත්ත්වය උදාවී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

ඔවුන් එසේ කීව ද විගණන වාර්තාවේ දැක්වෙන්නේ මෙම නිෂ්පාදනාගාරයේ කාපට් ඇස්ෆෝල්ට් නිපදවිය හැකි වුවත් ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සතුව විධිමත් සැලැස්මක් නොතිබීමෙන් එය මඟහැරී ගොස් ඇති බව නිරීක්ෂණය කළ බවයි. ආරම්භයේ සිට ම මාර්ග සංවර්ධන අධිකාරිය ඇස්ෆෝල්ට් පිටතින් මිලදී ගැනීමට යොමුවීමත්, යන්ත්‍රයේ ධාරිතාව උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනෙන ආකාරයෙන් නිෂ්පාදනයට හා එය බෙදාහැරිය හැකි ස්ථාවර විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමත් නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බව විගණන වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇත.

එමෙන්ම අමුද්‍රව්‍ය ප්‍රමාණ ගණනය කළ නොහැකි ආකාරයෙන් ගෙනවිත් තිබීම හා එම අමුද්‍රව්‍ය ගුණාත්මක තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතුව ලබා නොගැනීම නිසා නිෂ්පාදන කාර්යයේ දී වැඩි අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවීමත් මෙම ගැටලුකාරී තත්ත්වයට හේතුවී ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් කර ඇත. එමෙන්ම විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ මෙම යන්ත්‍ර නඩත්තු කිරීමට කිසිදු විධිමත් ක්‍රමවේදයක් විගණනය සිදුවන අවස්ථාව වනවිටත් අනුගමනය කර නැති බවයි.

මෙහි තවත් ගැටලු සහගත තත්ත්වයක් වන්නේ තාක්ෂණ නිලධාරියකු විසින් පවත්වාගෙන ගොස් ඇති මෙම නිෂ්පාදනාගාරය ඔහුට ඉහළ කිසිදු නිලධාරියකු විසින් නිෂ්පාදන කටයුතු පිළිබඳ විධිමත් අධීක්ෂණයක් සිදුකර නොකරන අතර ලොග් සටහන් පොත් ද කිසිදු නිලධාරියකු විසින් අධීක්ෂණය කර ඇති බවක් පෙනෙන්නට නොමැති වීමයි.

පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රධාන ලේකම්වරයා විසින් පවසන පරිදි නිෂ්පාදනය අධික වීම හා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම සම්බන්ධ ගැටලුවට ද විගණන වාර්තාව මගින් 2018 දී විසඳුමක් යෝජනා කරතිබේ. එහි දැක්වෙන්නේ මෙම නිෂ්පාදනාගාරයේ ධාරිතාව ඉතා ඉහළ මට්ටමක ඇති බැවින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා‍ගත හැක්කේ ඉහළ නිෂ්පාදනයක් සඳහා යොමු වීමෙන් බවයි. ඒ අනුව ඉලක්කගත වැඩ පිළිවෙලක් ඔස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය සැළසුම් කළ යුතු බවත් නිෂ්පාදන ධාරිතාව අඩුවනවිට යන්ත්‍රයට දැරීමට සිදුවන අනිවාර්ය වියදම් දරා ගැනීමට නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කළ යුතු බවත් එම වාර්තාවේ යෝජනා කර ඇත. ඒ සඳහා යන්ත්‍රයේ නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කර ඒවා හඳුනාගෙන සුදුසු නිලධාරීන් පත්කර විධිමත් අධීක්ෂණයක් යටතේ ක්‍රමවත්ව අඛණ්ඩව නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එසේ වුව ද මේ ස්ථානයේ ලොග් වාර්තා අනුව කිසිම දිනකක ස්ථානීය පරීක්ෂාවක් හෝ සිදු නොකළ පළාත් බලධාරීන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට තම පාර්ශවයේ කරුණු දක්වා මෙම නිෂ්පාදනාගාරය විකුණා දැමීමට අවසර ද ලබාගෙන ඇත.  

පළාත් බලධාරීන් පවසන ආකාරයට මේ කාපට් නිෂ්පාදනාගාරය පළාත් සභාවට සුදු අලියකු වී තිබේ. ඒ ගැන අප දන්නේ නැත. නමුත් විගණන දෙපාර්තමේන්තුව පවසන්නේ නිසි සැළැස්මක් නොමැතිවීම හේතුවෙන් කාපට් නිෂ්පාදනාගාරයට මේ ඉරණම අත්ව තිබෙන බවයි.

කවර ආකාරයකින් වුව ද කෝටි ගණනක් වටිනා රාජ්‍ය දේපලක් දැන් දිරාපත්වෙමින් තිබේ. දකුණු පළාතට අනවශ්‍ය කර්මාන්තශාලාවක් ලැබී දිරාපත්වූවා ද නැතිනම් එය පිටුපස වෙනත් අදිසි හස්තයක් ක්‍රියාත්මක වී එය හිතාමතාම දිරාපත් කළා ද යන්න සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි.

3 COMMENTS

  1. නියම ආණ්ඩුකාරයෙක් ඉන්නේ..අපිවෙනුවෙන් අපි අරමුදලට මොකද වුණේ කියලා එයා දන්නවා…

  2. මෙම යන්ත්‍රාගාරයේ කාපට් හදන්න අමු ‍ ‍ ද්‍රව්‍ය ලෙසට ගන්නා ගල් වැලි මුට්ට කරල මාර ගන්න ඕන.එහෙම මුට්ට කරල තමයි මේවයේ ප්‍රමාණ ගණනය කරගන්න පුළුවන් වෙන්නේ. පස්සේ ඒවා තොග පොත් වලට ඇතුළත් කරන්න ඕන. විගණන වාර්තාවෙන් කියලා තියෙන්නේ මුුට්ට කරලත් නෑ, තොග පොත්වල ඇතුලත් කරලත් නෑ කියන එක. මේ යන්ත්‍රයට ඉන්ධන ගන්න ඒක භාරව හිටපු ඉංජිනේරුවරයාට රුපියල් ලක්ෂ ගණනකින් චෙක්පත් නිකුත් කරලා. ඉන්ධන පාවිච්චිය ගැන කිසිදු පැහැදිලි කමක් නැහැ. හදන කාපට් ප්‍රමාණ තොග පොත් වලට අරගෙනත් නෑ. මේ යන්ත්‍ර වැස්සට අව්වට නිරාවරණය කරලා දිරලා යන්න සැලැස්සුවේ අධිකාරියේ නිලධාරීන්. ඒ නිසා රජයට සිදුවී ඇති විශාල අලාභය ඒකට වගකීිවයුතු නිලධාරීන් ගෙන් අයකර කරගන්න දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා කිසිදු පියවරක් අරගෙන නැහැ. ඒ උනාට ඔහු තමයි දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මේ සේරටම ඔහු වගකියන්න ඕන. ඔහු මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ විශ්‍රාම යන්න නියමිතය. ඊට පෙර මොහු වගකීිවයුතු මෙම අලාභය ඔහුගෙන් අයකර ගැනීමට මොහුගේ විනය බලධාරියා වන රාජ්‍ය සේවා කොමි කොමිසන් සභාවේ සහ කැබිනට් ලේකම්ගේ වගකීමක් ඒ නිසා මෙය ඔවුන්ගේ අවධානයට ලක් කළ යුතුයි.මෙම ප්‍රධාන ලේකම්වරයා නොසිටියා නම් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට මෙවැනි කලක් උදා වන්නේ නැහැ.

  3. මෙහි යන්ත්‍රාගාරයේ කැබින් එකේ ඉතා වටිනා පරිගණක 2 තිබුණා ඒ දෙකම ගණකාධිකාරි ගෙයි යාන්ත්‍රික ඉංජිනේරුවරයා අරගෙන ගිහිල්ලා ගෙවල්වල තියාගෙන ඉන්නවා කියලා ආරංචි වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!