spot_img
spot_imgspot_img

“අපි යක්කු බොලව්” කිව හැකි ලොව එකම ජන කොට්ඨාසය නේපාලයේ

පුවත්

විදෙස්

අපි කවුද? යන්න සොයා බැලීමටත් අපේ පරපුරේ මුතුන් මිත්තන් කල කී දෑ ගැන ආඩම්බර වීමටත් අප බොහෝ කැමතිය.

“අපි යක්කු බොලව්” යනුවෙන් රථ වාහනවල අලවා ගන්නේද ඒ නිසාය. අප විජය ප්‍රමුඛ පිරිසකගෙන් පැවතේයැයි වංශ කතා මගින් දැක්වූව ද වත්මන් පරපුර වඩාත් කැමති වන්නේ අප අතීතයේ මෙරට වාසය කලායැයි සඳහන් වන “යක්ෂ” නම් ප්‍රජාවන්ගෙන් පැවත එන බව පිළිගැනීමටය.

වර්තමානයේ මෙරට දී යක්ෂයන් හමු නොවුනත් යකුන් යක්ෂයන් පිළිබඳ බොහෝ ජනශ්‍රැති ආශ්‍රිත කතා තවමත් අප අතර පවතී. මහාවංශය, දීපවංශය වැනි වංශ කතා ඇතුළු බොහෝ මුලාශ්‍රයන්හි හමුවන යකුන් යක්ෂණියන් මනුෂයන් නොව අමනුෂ්‍යයන්ය.

බුදුන් වහන්සේ පළමුවර මෙරටට වැඩම කරන්නේ මෙරට වාසය කල යකුන් දමනය කිරීමටය. විජය මෙරටට ගොඩ බසින විට පළමුවෙන්ම හමුවන්නේද කුවේණි නම් යක්ෂණියකි. පණ්ඩුකාභය රජතුමාට ජීවිතය බේරා ගැනීමට මෙන්ම රජවීමටද උපකාර කරන්නේ යකුන් හා යක්ෂණියන්ය. චිත්තරාජ නම් යක්ෂයා පණ්ඩුකාභය රජතුමා හා සම අසුන් ගත් බවත් රජු ඔවුන්ට දේවාල තනා දුන් බවත් වංශ කතා කියයි. මෙවැනි යකුන් පිළිබඳව සඳහන් රැසක්ම වංශ කතාවල හමුවන අතර ඒවායේ යකුන් අමනුෂ්‍යයන් ලෙස විස්තර කිරීම නිසා යකුන් පිළිබඳ මැවෙන්නේ නපුරු, රෞද්‍ර රුවකි. වර්තමානයේ යකුන් පිළිබඳ අපට හමුවන නිර්මාණයන්ද එවැනි ආකාරයේ ඒවාය.

මහසෝන් යක්ෂයා, රීරි යකා වැනි යකුන් මිනිසුන් ලෙඩ කරන අතර ඔවුනට ප්‍රතිකාර සඳහා යක්ෂ වෙස් මුහුණු දමා, යක් බෙර ගසමින් තොවිල් නැටිය යුතුය. යක්කුරේ, යක්කල, යක්දෙස්සාගල, යක්ගෙදර, යගිරල වැනි ගම්මානවල අදටත් මිනිසුන් ජීවත් වෙති. හොඳට වැඩ කරනවා නම් යකා වගේ වැඩ කරනවා කියාත් නිමාකර ගත නොහැකි වැඩක් නම් යකා බැඳ ගත්තා වාගේ කියාත් කියති. මෙලෙස යකුන් පිළිබඳ මතකයන් රැසක් තවමත් ජීවමානව පවතී.

යකුන් යක්ෂණියන් පිළිබඳ මෙවැනි මතකයන් නිසා අපි යකුන් ගෙන් පැවත එනවා යැයි සිතා “අපි යක්කු බොලව්” යනුවෙන් පැවසූවද සැබෑලෙස යකුන් අපට හමුනොවේ. නමුත් “අපි යක්කු බොලව්” යනුවෙන් සැබෑවටම පැවසිය හැකි සැබෑ යකුන් පිරිසක් තවමත් මෙලොව හමුවේ.

ඒ මෙරට නොව නැගෙනහිර නේපාලයේ හිමාලයානු කඳුවැටිය ආශ්‍රිතවය. ඒ යකුන් සාහිත්‍යයේ එන අමනුුෂ්‍ය කොට්ඨාසයක් නොව අප වැනිම වූ සුන්දර මානව පිරිසකි. මේ යක්ඛ ප්‍රජාව වසර දස දහස් ගණනක් තිස්සේ වර්තමාන නේපාලයට අයත් කත්මණ්ඩු මිටියාවතෙහි දිවි ගෙවති.

අප සිංහල ජාතිය ලෙස හඳුන්වන්නාක් මෙන් ඔවුන් හඳුන්වන්නේ යක්ඛ ජාතිකයන් ලෙසිනි. යක්ඛ (Yakkha) නමින් හඳුන්වන මෙම ජන පිරිස අනන්‍ය සංස්කෘතියක්, භාෂාවක්, චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායක් සහිත කඳුකර ජන සමූහයකි. නැගෙනහිර නේපාලයේ සංඛුවා සභා (Sankhuwa Sabha) සහ ධන්කුටා (Dhankuta) යන දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් මෙම යක්ඛ ප්‍රජාව වාසය කරන අතර යක්ෂ ප්‍රජාව බහුලව වෙසෙන මෙම කලාපය යක්ඛ කලාපය ලෙස නම් කොට තිබේ. කත්මණ්ඩු මිටියාවතෙහි කදුකර ප්‍රදේශයන්හි ජීවත්වන ස්වදේශීක ජනතාව කිරාත වරුන් (Kiranti Kirāt, Kirāta) ලෙස පොදුවේ හඳුන්වයි. යක්ඛ (Yakkha) ඉන් එක් කිරාත වර්ගයක් වන අතර රායි (Rai), ලිම්බු (Limbu) වැනි තවත් කිරාත ප්‍රජාවන්ද නේපාල කඳුකරයේ හමුවේ.

යක්ඛ ප්‍රජාව කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කරන අතර සුන්දරත්වයෙන් අනූන සරුසාර කෘෂිකාර්මික ගම්මානයන්හි ජීවත්වේ. මෙම යක්ඛ ගම්මාන සාමාන්‍යයෙන් යක්ඛ නමකින් හා නේපාල නමකින් හැඳින්වීම සිදුකරයි. නූතන නේපාලයෙහි කුඩාම පරිපාලන ඒකකය ලෙස ග්‍රාම සංවර්ධන කමිටු (VDC) පිහිටුවා ඇති අතර මෙම ග්‍රාම සංවර්ධන කමිටු වලදී යක්ඛ ගම්මාන නේපාල නමින් හැඳින්වෙන අතර ඒවායේ වෙසෙන ජනයා එදිනෙදා කටයුතු වලදී ගම හඳුනා ගැනීම සඳහා යක්ඛ ග්‍රාම නාමය භාවිතා කරයි. උදාහරණයක් ලෙස ටුමොක් (Tumok) නම් යක්ඛ ගම්මානයම තමාෆොක් (Tamaphok) යන නේපාල නමින් හැඳින්වීම දැක්විය හැකිය. මෙම ප්‍රජාව වී, බඩ ඉරිඟු, මෙනේරි මෙන්ම ආවේණික එළවළු හා පලතුරු වර්ග වගා කරන අතර ගෘහාශ්‍රිත සතුන් ඇති කිරීමෙහි ද නිරත වෙති. සම්ප්‍රදායික යක්ඛ ජනයා කෘෂිකාර්මික කටයුතු හා එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, යකඩ නිෂ්පාදන හා ස්වාභාවික වැල්, ලී වර්ග වලින් සකසා ගනී. යක්ඛ ප්‍රජාව ස්වාභාවික ද්‍රව්‍ය භාවිතයෙන් අලංකාර නිවාස ඉදිකරන අතර ඒවා බොහෝ විට දෙමහල් නිවාස වේ. මේවා සුදු පැහැයෙන් වර්ණ ගන්වන අතර නිවාසයන්හි නිල් සහ රතු වර්ණ ගැන්වූ ලී භාවිතයෙන් ආධාරක කනු, ජනේල හා දොරවල් සකස් කරයි. යක්ඛ නිවාසයන්හි බිත්තිවල පහළ කොටස රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අයුරු මෙන්ම මැටි හා ගොම මිශ්‍ර කර බිම ආවරණය කර ඇති අයුරුද දැකිය හැකිය.

යක්ඛ ප්‍රජාව ඓතිහාසිකව ඔවුන්ටම අනන්‍ය පොදු අභ්‍යන්තර නාම පුද්ගලයින් හැඳින්වීම සඳහා භාවිතා කරයි. යක්ඛාව (Yakkhawa) හෝ යක්ඛබා (Yakkhaba) යන වදන් පිරිමි පුදගලයන් හැඳින්වීම සඳහා ඔවුන් භාවිතා කරන අතර යක්ඛමා (Yakkhama) යන්න කාන්තාවන් හැඳින්වීම සඳහා පොදුවේ භාවිතා කරයි. යක්ඛ ප්‍රජාව තුල කුල බෙදීම අනුව විවාහ හා සමාජ චාරිත්‍ර සඳහා සීමා පැනවීම සිදුවේ. යක්ඛ පිරිස් අතර පුරාණ චාරිත්‍ර ඉටු කිරීම සඳහා වගකීම පැවරුණු පාරම්පරික චාරිත්‍ර නඩත්තු කරන මාගාබා (Maŋgaŋba) නම් විශේෂඥ දැනුම සහිත පිරිසක් සිටින අතර ඔවුන් උපත, විවාහය, මරණය වැනි චාරිත්‍රානුකූල අවස්ථාවලදී අවශ්‍ය කටයුතු සිදු කරයි. යක්ඛ සමාජය විවාහය අනුව පීතෘමූලික හෝ මාතෘ මූලික බවට පත්වේ. විවාහයේදී මනාලිය ඇගේ ස්වාමිපුරුෂයාගේ වංශයට සංස්ථාගත කිරීම සඳහා පියවර දෙකක් අනුගමනය කරන අතර සැබෑ විවාහය හෙවත් විවාහයේ පළමු පියවර මැන්ඩටා (mandata) නමින් හදුන්වයි. එහි දි තරුණයෙක් හා තරුණියක් එක්ව විවාහය අරඹන අතර බැග්ඩටා (bagdata) යනුවෙන් හඳුන්වන විවාහයේ දෙවන පියවර පසුව සිදුකරයි. මෙය පළමු පියවරෙන් වසර ගනනාවකට පසුව හෝ විවාහයෙන් දශක කිහිපයකට පසුවද විය හැකිය. බැග්ඩටා (bagdata) හිදී සැමියා විසින් බිරිඳගේ ඥාතීන්ගෙන් ඇය තම කුලයට එක්කර ගැනීමේ චාරිත්‍රය සිදුකර බිරිඳ සැමියාගේ කුලයට ස්ථිරව එක්කර ගනී. එසේ නොමැතිව බිරිඳගේ අයිතිය සැමියාගේ කුලයට නොලැබේ.

නූතන යක්ඛ ප්‍රජාව ප්‍රධාන වශයෙන්ම හින්දූන් වන අතර බෞද්ධයන් ඉතා සුළු පිරිසක්ද වේ. ඔවුන්ගේ කලා හා සංස්කෘතිකාංග බෞද්ධ හා හින්දු සංස්කෘතිකාංග වලට සමාන කමක් දක්වයි. මෙම යක්ඛ ප්‍රජාව භාවිතා කරන ඇතැම් භාණ්ඩ මෙන්ම සංස්කෘතිකාංගද මෙරට සම්ප්‍රදායික භාවිතාවන්ට සමාන කමක් දක්වයි. යක්ඛ ප්‍රජාවේ බොහෝ කාන්තාවන් සාරිය අඳින අතර ලංකාවේ කාන්තාවන් භාවිතා කරන චීත්තය හා හැට්ටය වැනි ඇඳුම්ද භාවිතා කරයි. මෙරට භාවිතා වන යක්බෙරය වැනි බෙරයක් ඔවුන්ද භාවිතා කරන අතර ආගමික කටයුතු වලදී ලංකාවේ භාවිතා කරන පහන් පැලට සමාන නිර්මාණයක් ඔවුන්ද භාවිතා කරයි. යක්ඛ නිවාසයන්හි මුළුතැන්ගේ මෙරට පැරණි ගෘහයන්හි මුලුතැන් ගෙයකට බොහෝ සමාන අතර ලිප් බැඳීම පවා මෙරට ක්‍රමයට සමාන වේ. මෙම ගෘහයන්හි මෙරට භාවිතා වන ආකාරයේ ගෘහ භාණ්ඩ මෙන්ම මෙරට භාවිතා වන කුරහන් ගල්, වට්ටි, පෙට්ටි, හැඹිලි ආදී උපකරණද භාවිතා වේ.

යක්ඛ ප්‍රජාව ඔවුන්ටම අනන්‍ය වූ සාරවත් භාෂාවක් සහිත පිරිසකි. ඔවුන්ගේ භාෂාවද යක්ඛ භාෂාව ලෙස හැඳින්වේ. මෙම යක්ඛ භාෂාව ටිබෙටෝ-බුරුමන් (Tibeto-Burman ) භාෂා පවුලට අයත් චීන-ටිබෙට් (Sino-Tibetan) භාෂාවක් ලෙස සැලකේ. ස්වර 05 සහ ව්‍යංඡන 22 සහිත අක්ෂර මාලාවකින් සමන්විත යක්ඛ භාෂාව භාවිතා කරන්නේ මුළු නේපාල ජනගහණයෙන් 0.06 % ක් පමණි. යුනෙස්කෝ භාෂා වාර්තාව මගින් වඳවී යාමේ දැඩි තර්ජනයට ලක් වූ භාෂාවක් ලෙස නම් කොට ඇති මෙම භාෂාව ජාතික වශයෙන් භාවිතා කල නොහැකි නිසා නූතන යක්ඛ පරපුර නේපාලි භාෂාව භාවිතයට පෙළඹී තිබේ. යක්ඛ ප්‍රජාවගේ නේපාලි භාෂා භාවිතය ද සම්මත ක්‍රමයට වඩා වෙනස් ස්වරුපයක් ගන්නා නිසා එය “යක්ඛ නේපාලි” නමින් හඳුන්වයි.

යක්ඛ ජනයාද ඉතා ඉක්මනින් වඳවී යා හැකි ප්‍රජාවක් ලෙස නම් කොට තිබේ. යක්ඛ ප්‍රජාව තුල විවාහ සීමා සහිත වීම නිසා ලිම්බු ජනයා හා විවාහ සබඳතා ඇති කර ගැනීමේ ප්‍රවණතාවක්ද වර්තමානයේ ඇතිවී තිබේ. යක්ඛ කලාපයේ කිරාතවරු අතරින් විශාලම උප සමූහය ලිම්බු (Limbu) වන අතර ලිම්බු ජනයා සංස්කෘතික වශයෙන් යක්ඛ ජනයාට යම් සමානතාවයක් දක්වයි. මේ නිසා යක්ඛ ප්‍රජාවගේ අනන්‍යතාව ලිම්බු ජනයාට යටවී යාමේ අවදානමක්ද මතු වී තිබේ. ලෝක ජනගහණය තුල යක්ඛ ප්‍රජාව අතිශය සීමිත පිරිසක් බවට පත්ව ඇති අතර 2001 නේපාල ජන හා නිවාස සංගනන වාර්තාව අනුව 17,003 ක පිරිසක් ද 2011 වාර්තාව අනුව 24,336 ක ප්‍රමාණයක්ද වාර්තා වී තිබේ.

යක්ඛ ප්‍රජාවේ සම්භවය මෙන්ම යක්ඛ නාමයේ සම්භවය පිළිබඳවද විවිධ මත පවතී. මෙම යක්ඛ යන්න හින්දු ආර්ය හා පුරාණ බෞද්ධ කතාවන්හි එන යක්ස/යකෂ (Yaksa-sh) යන්නෙන් සම්භවය වූ බව පොදුවේ පිළිගැනේ. වසර ලක්ෂ ගණනකට පෙර නූතන මානවයා හිමාලයානු කඳු ජනාවාසකරණයේ දී මෙම යක්ඛ ප්‍රජාවද ඔවුන්ගෙන් වර්ධනය වී ස්වාධීන අනන්‍යතාවයක් ඇති කරගත් පිරිසක් බව ඇතැම් මානව හා පුරා විද්‍යාඥයෝ අදහස් දක්වති. මෙරට කඳුකර ප්‍රදේශ වල පුරාණයේ යක්ෂයින් වාසය කල බව විශ්වාස කරන අතර හිමාල කඳුවැටි වල සිට විවිධ ජන සංක්‍රමණ රැලි ඔස්සේ මෙරටට පැමිණි ජන කණ්ඩායම් මගින් මෙරට යක්ෂ ප්‍රජාව බිහිවන්නට ඇතැයි මතයක්ද ඉදිරිපත්වී තිබේ. දකුණු ආසියාවට පැමිණි ප්‍රථම නූතන මානවයා මෙරටට පැමිණි අතර ඔවුන් ගෙන් මෙරට කඳුකරය ජනාවාස වී පසුව සිදුවූ ජන සංක්‍රමණ රැලි ඔස්සේ ඔවුන් හිමාලය දෙසට සංක්‍රමණය වී එහි ජනාවාස බිහිකරන්නට ඇති බවටද මතයක් පවතී.

මෙම ජන සංක්‍රමණ රැලි සිදුවී වසර දස දහස් ගණනක් ඉක්ම ගොස් ඇති නිසා නේපාල යක්ඛ පිරිස් මෙන්ම මෙරට ජනයාද බොහෝ වෙනස් ලක්ෂණ දරයි. නූතන සමාජ වෙනස් වීම්වලට ලක්වෙමින් මෙරට වැසියන් මෙන්ම යක්ඛ ප්‍රජාවද බොහෝ සේ වෙනස් වී තිබේ. මේ නිසා ඈත අතීතයේ මෙරට විසූ බව සැලකෙන යකුන් හා නේපාලයේ හමුවන වත්මන් යකුන් අතර යම් සබඳතාවයක් ඇති දැයි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකල හැකි නම් ඇතැම් විට වසර දස දහස් ගණනකින් නොදුටු ඥාතියකු හඳුනාගැනීමටද අපටද හැකිවනු ඇත.

අසිරු වේදිත කරුණාරත්න

අරුණ පුවත්පත

2 COMMENTS

  1. බුදුන්ගේ ප්‍රථම ලංකාගමනයේදී යකුන් ගිරි දිවයිනට පන්නාලූයේ යැයි මහා වංශයේ කියැවේ. ඒ කතාව ඇත්ත නම්, ගිරි දිවයින ගැන සොයා බැලීමෙන් අපේ ඥාති සම්බන්ධකම් අලුත් කර ගත හැකි වනු ඇත.

  2. ඉතා වැදගත් ලිපියක්. මේ ගැන හොයා බැලුවා නම් විජය එද්දි මෙහේ හිටපු අය ගැන ඇත්ත දැන ගන්න තිබ්බා. ඉස්සර මෙහේ හිටපු අයයි මේ අයයි අතරෙ සම්බන්ධයක් අනිවාර්යෙන් ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!