spot_img
spot_imgspot_img

කොරෝනා වසංගතයට බිලි වූ තරුණ වෛද්‍යවරයා

පුවත්

විදෙස්

ඔහු යන්නට ම යන්න ගියේය.

ඒ නිකන්ම නොවේ.

සමස්ත රටේම අවධානය තමන් වෙත යොමු කරගනිමිනි.

අනපේක්ෂිත අයුරින් ජීවිතයෙන් සමුගත් හෙතෙම මේ රටේ මිනිසුන්ට පාඩම් බොහොමයක් ඉගැන්නුවේය.

තමන් උපන්, ජීවත් වූ ප්‍රදේශයෙන් සැතපුම් ගණනක් ඈත.

ඔහුව දන්නේ වුව ද ඔහු විසින් නොහඳුනන මිනිසුන් පිරිසක් සමඟ ඔහු අවසන් ගමන් ගියේය.

රාගම තේවත්ත පල්ලිය පාරේ පදිංචිව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා

හදිසියේම ජීවිතයෙන් සමුගෙන නන්නාදුන ගාල්ලේ දඩල්ල ආදාහනාගාරයේ දී අවසන් ගමන් ගියේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෝ සුසුම් මැද ගිල්වමිනි.

ගායන් දන්තනාරායන වෛද්‍යවරයාගේ මේ හදිසි සමුගැන්ම වාර්තා වූයේ කොරෝනා වසංගතය හමුවේ මෙරට දී වාර්තා වූ සෞඛ්‍ය සේවයේ නිලධාරියකුගේ පළමු මරණය ලෙසිනි.

මියයන විට 32 වැනි වියට පා තබමින් සිටි මේ තරුණ වෛද්‍යවරයාගේ මරණය මෙරට සමස්ත සමාජයේ පමණක් නොව සෞඛ්‍ය අංශවල පවා තිගැස්මක් ඇතිකරන්නට සමත්ව තිබිණි.

වෛද්‍යවරයකුට පවා කෙ‍ාරෝනාවලින් බේරී ‍සිටිය නොහැකි බවත්

ර‍ටේ ඇති ඉහළම වෛද්‍ය ප්‍රතිකාර දුන්න ද තරුණයකු බව මේ වසංගතය හේතුවෙන් මිය යා හැකි බවත් ඔහු සනාථ කළේය.

නමුත් ගයාන් දන්තනාරායන යනු මෙලෙස මිය යා යුතු පුද්ගලයකු නොවේ. ඔහු ජීවත්විය යුතු පුද්ගලයෙකි.

ඔහු කොරෝනා ආසාදිතකු බවට පත්ව අසාද්‍ය තත්ත්වයෙන් පසුවන විට ඔහු ගැන ලියවුණු සටහන් සියල්ල ඒ බව පසක් කරයි. සමාජ මාධ්‍යවල ඔහුගේ ගුණ සහ හැකියාව පිළිබඳ සටහන් සිය දහස් ගණනකි. ඔහුගේ වටිනාකමට ඒ සියල්ල නිහඬ සාක්ෂියකි.

වෛද්‍ය ගයාන් ඉගෙනුම ලබා ඇත්තේ නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේය. ඉන් පසු චීනයේ ටියැංජි වෛද්‍යවිද්‍යාලයෙන් තම වෛද්‍ය උපාධිය ලබා මෙරටට පැමිණ වෛද්‍යවරයකු ලෙස රාජ්‍ය සේවයට එක්වූයේය. ඉතා අඩු වයසින් තම වෛද්‍ය වෘත්තියට පිවිසි ගයාන්ගේ පියා වෛද්‍යවරයකු වීම ඔහු මේ වෘත්තියට පැමිණීමට හේතුවූවා විය හැකිය.

කොරෝනා හේතවෙන් අකාලයේ සමුගන්නා ගයාන්ගේ වැඩිමහල් සහෝදරයා ද හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තේ පාසල් වියේදී ම ය. ගයාන් සමඟ දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටි ඔහු ඉදිරියෙන් ඇති අනතුර දැක දුම්රියේ එල්ලී සිටි තම මල්ලී වූ ගයාන් ඇතුළට තල්ලුකර දැමුවේය. නමුත් ඔහු ඒ සමඟම දුම්රිය මාර්ගය අයිනේ තිබූ සිග්නල් කණුවක ගැටීමෙන් ඔහුගේ ජීවිතය නැතිවිය. ගයාන්ගේ බාල සහෝදරයා සහ ‍සහෝදරියට දැන් තම වැඩිමහල් සොහෝදරයන් දෙදෙනාම අහිමි වී ගොසිනි.

ගයාන් චීනයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දී ඔහුගේ අතිජාත මිත්‍රයා වූයේ වෛද්‍ය අහමද් රිෆ්කාන් ය ඔහු පවසන්නේ ගයාන් යනු කිසිම මිතුරකුට සම කළ නොහැකි අසාමාන්‍ය ගතිගුණ තිබූ හිත හොඳ මිත්‍රයකු බවයි. සැමගේ දුක සැප සොයා බැලූ ගයාන් තම විශ්විද්‍යාලයේ සිටි වයසින් ලා බාලම සිසුවා වු බව ද හෙතෙම සිපත් කරයි.

වෛද්‍ය අහමද් රිෆ්කාන් මුස්ලිම් ආගමිකයකු වුව ද තම මිතුරා වෙනුවෙන් පසුගිය දිනවල බෝධි පූජා පවා සංවිධානය කළේ ඔහු කෙසේ හෝ බේරාගත යුතු යැයි තිර අදිටනනි.

“අපි වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාස කරනවා වගේම ආගමික වත් පිළිවෙත් අනුවත් කටයුතු කළා. නමුත් අපිට ගයාන්ගේ ජීවිතය බේරාගන්න බැරිවුණා. ඔහුට ආගමක් ජාතියක් කියා වෙනසක් තිබුණේ නැහැ. ශ්‍රී ලාංකික ද විදේශීය ද කියලා මිතුරන් ආශ්‍රය කරද්දී වෙනසක් තිබුණේ නැහැ. හිත හොඳ මනුස්සයෙක්. මනුස්සකමට උපරිමයෙන් සැළකුවා. අපිට ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවීම ගැන තිබෙන්නේ විශාල කණගාටුවක්. ඉතාමත් හොඳ අවංක මිත්‍රයෙක් අපිට අහිමිවුණා. ඒ වගේම රටට අත්‍යාවශ්‍ය දක්ෂ වෛද්‍යවරයෙක් රෝගීන් විශේෂයෙන් ම දරුවන් වෙනුවේන කැප වූ වෛද්‍යවරයෙක් අපිට නැතිවුණා. මේ දුක අපිට දරා ගැනීම අපහසුයි.” වෛද්‍ය රිෆ්කාන් පවසයි.

වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ සමකාලීනයන් වසන්නේ ඔහු නිතර ප්‍රීත ප්‍රමෝදයෙන් සතුටින් සිටි අයකු බවයි. දක්ෂ ගිටාර් වාදකයකු වන ගයාන්ගේ ගිටාර් වාදනයත් ගීත ගායනයත් මිතුරන්ට නැතිවම බැරි විය. කිසිදා මත්පැන් හෝ දුම්වැටි පානය නොකළ ද සාදයක් පවතින ඕනෑම තැනකට නැතිව ම බැරි චරිතයක් වූයේය.

වෛද්‍යවරයකු වූ තම පියාගේ රෝගී සත්කාරක සේවාවන්වලට නිරන්තරව සහය දුන් වෛද්‍ය ගයාන් දන්තනාරායන පිළිබඳ ඔවුන්ගේ පවුලේ සමීපතමයකු වූ නිමේෂ් රාවණගේ මහතා මෙසේ පවසයි.

“ මේ පවුලේ හැමෝම හරිම හොඳ ඉතාමත් වැදගත් අය. ගයාන් කියන්නේ හොඳ අත්ගුණයක් තියෙන දොස්තර කෙනෙක්. හැමෝම කතා කරන්නේ එයා ළමයින්ට දක්වපු සෙනෙහස සහ කරපු ප්‍රතිකාර ගැන නමුත් මගේ මතකය ඊට වඩා වෙනස්. ඔහු තුවාලවලට ප්‍රතිකාර කරන්න අති දක්ෂයෙක්. තුවාල පිරිසිදු කරලා ඒවාට බෙහෙත් දාන්නේ කිසිම රෝගියකුට දැනෙන්නෙවත් නැති විදියට. ඒ වගේම ඔහු තුවාලයකට අත තිබ්බොත් ඒක ටික දවසකින් හොඳ වෙනවා. ඔහුගේ තාත්තා පවත්වාගෙන යන පුද්ගලික රොහලට යන එන අය වෛද්‍ය ගයාන්ගෙන් ප්‍රතිකාර ගන්න දැක්වූයේ පුදුම කැමැත්තක්. රෝගීන් සමඟ ඉතා කුළුපඟව කතා කරලා ඉක්මණින් මිතුරු වී ඔහු කරන ප්‍රතිකාර ගැන හැමෝගෙම පැහැදීමක් ගෞරවයක් තිබුණා. ඔහුගෙන් ප්‍රතිකාර ගත් ඕනෑම කෙනෙක් කවර රෝගයක් ඇතිවුණත් ඔහු සොයාගෙන එන එක පුදුමයක් නොවෙයි.”

වෛද්‍යවරයකු වී ශ්‍රී ලංකාවට පැමිණි පසු හලාවත සහ අම්පාර රෝහල්වල සේවය කළ ගයාන් දන්තනාරායන වඩාත් ඇළුම් කළේ ඒවායේ ළමා වාට්ටුවල සේවය කිරීමටය. රාගම රෝහලේ දී ද ඔහු තෝරාගත්තේ ළමා වාට්ටුවයි. ඈත දුරබැහැර අම්පාරේ සේය කරන කාලයේ දී ඇතැම් විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන දරුවකු හමුවී විට තම පුද්ගලික කටයුතු පවා පසෙක දමා එම දරුවා රැගෙන මහනුවරට හෝ කොළඹට පැමිණ වෛද්‍යවරයකුගේ යුතුකමටත් වඩා එහා ගිය සේයක් කිරීම ගයාන් නම් මේ උත්තංගු වෛද්‍යවරයාගේ සිරිත වී තිබිණි.

වෛද්‍ය ජනිත් පේදුරුආරච්චි වෛදය ගයාන් හා රාජකාරී කිරීමට අවස්ථාව ලැබූ වෛද්‍යවරයෙකි. ඔහු තම මිත්‍රයා ගැන තැබූ සටහනක මෙසේ දක්වා ඇත.

“මම දෙහිඅත්තකණ්ඩිය වැඩ කරපු කාලේ අසාධ්‍ය ළමයි අරගෙන අම්පාරට යනවා. මේ ගමන ඉතාමත් දුෂ්කරයි. කිලෝ මීටර 125ක් පමණ ගිලන්රථයකින් යන්න සිදු වෙනවා. සමහර දවස්වලට යනනේ මහ රෑට. ඉතින්  මේ යුද්ධය ඉවර වෙච් අලුත ඒක ඉතා අසීරු වැඩක්. අපි යන වෙලාවට බොහෝම දවස්වලට අම්පාර රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකක‍යේ ඒ ළමයින්ව භාර ගන්න ඉන්නේ ගයාන් මල්ලී. ඉතින් ළමයා භාරගෙන අවශ්‍ය කටයුතු ඉක්මනින් කරලා ගයාන් අහන්නේ අයියේ කාල ද ආවේ කියලා. අපිව රෝහලේ කැන්ටිමට එක්කගෙන ගිහින් කන්න අරන් දීලා ළමයා ආමරුවෙන් එක්කගෙන ආවට ස්තූති කරලා තමය අපිව ආපහු එව්නනේ . මේ වගේ මනුස්සයෙක් මම ජීවිතේට දැකලා නෑ,”

උස මහත පාංශු දේහධාරී මේ වෛද්‍යවරයා කාගේත් අවධානයට පත් වූයේ ඔහුගේ සිරුරේ තිබූ විශාලත්වය නිසා නොවේ. මනුස්සකම අතින් ඔහුගේ තිබූ උදාර ගුණාංග හා ගායනයට වාදනයට මෙන්ම රෝගී සත්කාරක සේවා සැපයීමේ දී ඔහු පෙන්වූ ප්‍රාගුණ්‍යය හේතුවෙනි.

නමුත් ඔහු තරුණ වියේ දී ම නොසිතූ ලෙස දියවැඩියාවටත්, අධි රුධිරපීඩනයටත් ගොදුරුව සිටියේය. මේ නිසාම වෛද්‍යවරයකු වුව ද ඔහු දීර්ඝකාලීන ඖෂධ ගත යුතු තත්ත්වයකට පත්ව සිටීයේය.

අවසානයේ දී ගයාන් දන්තනාරායන වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයකු බවට පත්වූයේය. ඔහු පමණක් නොවේ. ඔහුගේ බිරිඳ සහ පියා ඇතුළු පවුලේ සාමාජික සාමාජිකයෝ ද කොරෝනා ආසාදිතයෝ බව තහවුරු කර ගැණිනි.

රාගම රෝහලේ සිටි ගයාන් කොරෝනා ආසාදනය වූ පසු කොළඹ අයිඩීඑච් රෝහලට මාරු කෙරිණි. නමුත් ඔහුගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වන්නට විය. ඒ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වීම හේතුවෙනි. වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ඔහු ගොදුරුව ඇති බවයි. නිව්මෝනියාව හේතුවෙන් පෙනහළු ආසාදනය වීම නිසා ඔහුගේ රුධිරයට පෙනහළුවල දී ඔක්සිජන් එකතුවීමත්, කාබන්ඩයොක්සයිඩ් රුධිරයෙන් පිටවීමත් අඩු බව නිගමනය විය. වහාම මේ කාර්යය කෘතිමව සිදුකිරීම සඳහා ගයාන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යැවීමට තීරණ‍ය කෙරිණි. මේ සඳහා යොදාගන්නා එකම ප්‍රතිකාර ක්‍රමය වූ ECMO යන්ත්‍රයක් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. ඉන් ප්‍රතිකාර කළ හැක්කේ ද එක් වරකට එක් රෝගියකුට පමණි.

හැමදෙනාට බලාපොරොත්තුවක් තිබිණි. ඒ වනවිට එක්මෝ යන්ත්‍රය නිදහස්ව තිබීමයි. පසුගිය 27 වැනි දා ගයාන් දන්තනාරායන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

වෛද්‍යවරයාට ප්‍රතිකාර කළ නිෂානි සම්පත් දේශිකා නම් හෙදියක් මෙසේ පවසයි.

“ඔබ අපි ළඟ සිටි දවස් කිහිපයේ දී තේරුම් ගියා හැමෝම කියන මනුස්සකම ඔබ අසළ ඇත්තටම තියෙනවා නේද කියලා. අමාරුවන් වුණත් රෝගී සත්කාර ගැන හදවතින්ම ස්තූති කළේ අපේ අත්දෙක අල්ලලා මිස් ඔයාලා බුදු වෙන්න ඕන කියලා. නමුත් අපිට ඉස්සෙල්ලා ඔහු ඒ ගමන ගිහින්. මේක ඇත්තටම වේදනාත්මක සමුගැන්මක්.”

ඇය පවසන්නේ බිරිඳටත් කොරෝනා ආසාදිත ව තිබූ බැවින් දැඩි සත්කාර ලබා දීමට පෙර බිරිඳට වෛද්‍ය ගයාන් හමුවීමට අවස්ථාව ලබාදුන් බවයි. ඒ අවස්ථාවේ ඔහුට කතා කරන්නට බැරි වූ අවස්ථාවේ දී ඊට අවශ්‍ය ප්‍රතිකාරයක් පවා ඔහු විසින් ඉල්ලාගෙන ඇත. හෙදියන් පවසන්නේ සාමාන්‍ය රෝගීන් මෙන් නොව තමන්ට සිදුවෙමින් පවතින සියල්ල ඔහු හොඳින් දැන සිටි බවයි. පළමු දින කිහිපයේ රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වෙවී තිබී පසුව එය 100% ක් ම යථා තත්ත්වයට පත්වූ වි සතුටින් අත්පුඩි පවා ගැසූ බවයි. නමුත් ඒ සතුට ඔවුන් බලා සිටිය දීම කොරෝනා වයිරසය විසින යළි නැතිකර දමා ඇත්තේ කුරිරු අයුරිනි. කොරෝනා වයිරසය කුඩා වුව ද ඒ තරමටම දරුණු බව සෞඛ්‍ය සේවකයෝ කියති.

එක්මෝ යන්ත්‍රයට ද ගයාන්ගේ ජීවිතය බේරාගැනීමට හැකිවූයේ නැත.

පසුගිය අඟහරුවාදා උදෑසන කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඔහු අවසන් හුස්ම හෙළුවේ රටේම අවධානය දිනා ගනිමිනි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය‍ගේ නිගමනය වූයේ දීර්ඝකාලයක් පුරා පැවැති දියවැඩියාව හා අධිරුධිරපීඩනය සමඟ කොරෝනා ආසාදනය වීමෙන් කොරෝනා නිව්මෝනියා තත්ත්වය වර්ධනය වී මරණය සිදුව ඇති බවයි.

මිනිසුන්ට සේවය කිරීම සඳහාම කැපවී සිටි මිනිසත්කමෙන් අනූන මේ වෛද්‍යවරයා තමන්ට තිබූ දියවැඩියා රෝගය සහ අධි රුධිරපීඩයන පාලනය කර තිබුණේ නම් ඇතැම්විට මෙලෙස අකාලයේ ජීවිතයෙන් සමුගන්නට සිදු නොවනු ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි ඔහුගේ බිරිඳ විසින් දේහය හඳුනාගැනීමෙන් පසු අවසන් කටයුතු සඳහා සූදානම් කෙරිණි.

කරාපිටිය රෝහලේ ඔහුගේ සහෝදර වෛද්‍යවරු විසින් ගයාන් දන්තනාරයන මහතා වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වීමට ද සංවිධානය කර තිබිණි. ඒ සියල්ල අවසානයේ දී දහසක් සෝ සුසුම් මැද වෛද්‍යවරුන්ගේ සහ බිරිඳ, පියා, මව ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් ගාල්ල දඩල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ දී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.

ඔහුගේ මරණය අපට පසක් කරන්නේ කොරෝනා මාරයාට වයස තරාතිරම ගති ගුණ හෝ වෘත්තිය කිසිසේත්ම අදාල නොවන බවයි. ඕනෑම අයකු ඕනෑම මොහොතක කොරෝනා වසංගතයේ ගොදුරක් විය හැකි බවයි.

ECMO යන්ත්‍රය

ECMO ((Extra corporeal membrane Oxygenation) යන්ත්‍ර මෙරට ඇත්තේ එකක් පමණි. එය කරාපිටිය ශික්සණ රෝහලේ සවිකර ඇත.

රෝගියකුගේ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්‍රය භාවිතා කිරීම සිදුකරයි.

එය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ශිරාවක් ඔස්සේ සිරුරේ ඇති  රුධිරය ඉවත් කර එහි කාබන් ඩයොක්සයිඩ් ඉවත්කර ඔක්සින් රුධිරයට එකතුවීමට සළස්වා ධමනියක් තුළට යළි රුධිරය ඇතුළු කිරීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය සඳහා භාවිතා කරන එක්මෝ යන්ත්‍රය  (Extra corporeal membrane Oxygenation) වරකට භාවිතා කළ හැකිවන්නේ එක් රෝගියකු සඳහා පමණි.

කොරෝනා වසංගතය ඇතිවීමට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ සවිකරන ලද මෙම යන්ත්‍රය මී උණ රෝගීන් කිහිප දෙනකු සඳහාත් කොළඹ දී පිහිනුම් තටාකයට වැටී ක්ලෝරීන් පෙවී අසාධ්‍ය තත්ත්වයට පත්වූ සිසුවකු සඳහාත් භාවිතා කර තිබිණි.

එම යන්ත්‍රය එක් වරකට භාවිතා කළ හැක්කේ එක් රෝගියකු සඳහා පමණි. එක් රෝගියාගෙන් රෝගියාට එහි භාවිතා වන නාල පද්ධතිය වෙනස්කරන බවත් වැඩිහිටි රෝගීන් සඳහා සහ ළමා රෝගීන් සඳහා වෙනස් වූ නාල පද්ධතියක් ඇති බවත් එම එක් පද්ධතියක් සඳහා රුපියල් ලක්ෂ 10ක් වැනි අධික මුදලක් වැය වෙයි.

ශ්‍රී ලංකාවේ ඇත්තේ මෙවැනි එක්මෝ යන්ත්‍ර එකක් පමණක් වුව ද ලෝකයේ බොහෝ රටව එක්මෝ ඒකක රෝහල්වල ස්ථාපිත කර තිබේ.

(සජීව විජේවීර)

1 COMMENT

  1. මේ මියැදුනේ මිනිසෙකු නොව මනුසතුන් අතරේ දුලබවූ මිනිසත්කමයි.වෙදැදුරාණනි….ඔබ මෙලොවට සුදුසු නොවේ.කෘෘරත්වය..වෛරය..ඊෂ්‍යාව පිරි මේ ලොවින් ඔබ රැගෙන ගියේ බුදුදහම අනුව දෙව්ලොව වෙතයි.මතු බුදුවන බුදුන් දැක නිවන් දකීවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!