රාජ්‍ය නාට්‍ය උළෙල – 2020 නෙලුම් පොකුන මහින්ද රාජපක්ෂ රගහලේ දී රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි. ප්‍රවීන නාට්‍ය වේදීන් සදහා වූ විශේෂ නාට්‍ය කීර්තීන් සම්මානයෙන් නිශ්ශංක දිද්දෙනිය.අනුලා බුලත්සිංහල.බුද්ධදාස ගලප්පත්ති හා මරිය ෂේවියර් යන ප්‍රවීන කලා කරුවන් පිදුම් ලැබූහ.
ගීත රචක සංගමයක් බිහිවෙයි
ගායක ගායිකා සංගමයේ හිටපුප සභාපති කීර්ති පැස්කුවල පසුගිය දා ගීත රචකයන් ඒකරාශී කිරීමේ වැඩකට අතගැසුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ගී පද රචකයන්ගේ සංගමය බිහිකෙරිණි.
එහි අරමුණු පැහැදිලි කළ කීර්ති පැස්කුවල් මෙසේ කීවේය.
”ගීත රචක සංගමයක් මුල්වරට ඇරඹුණේ 1991 දී. ඔස්කා සංවිධානය ආරම්භවීමත් සමඟ පෙර කී ගීත රචක සංගමය අකර්මන්‍ය වුණා. නමුත් මේ වනවිට ගායක ගායිකාවන්ට වෙනම සංගමයක් තියෙනවා. නළු නිළියන්ට වෙනම සංගමයක් තියෙනවා. සංගීත අධ්‍යක්ෂවරුන්ට වෙනම සංගමයක් තියෙනවා. ගීත රචකයන්ට විතරයි සංගමයක් නැත්තේ. මේක විශාල අඩුවක්. ඇත්තටම මං දකින විදියට ගීත රචක සංගමයක් බිහිවිය යුත්තේ මීට කාලෙකට කලින්, කොහොමහරි ගීත රචකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ප්‍රබල සංවිධානයක් අවශ්‍යයි. ඒකට ප්‍රවීන පරපුරේ වගේ ම නූතන පරපුරේ දායකත්වයත් තිබිය යුතුයි. අපි මේ ආරම්භ කළ සංගමය හරහා ගීත රචකයන් වෙනුවෙන් හඬක් නැගීමයි කළ යුත්තේ.”
මෙම සංගමයේ සභාපතිත්වයට ප්‍රවීන ගීත රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ තෝරා ගැණුනු අතර සම සභාපතිත්වයට නිලාර් එන්. කාසිම් ද, ලේකම් තනතුර සඳහා ජෝර්ජ් රොබ්සන් ද සිල්වා, භාණ්ඩාගාරික ලෙස බන්දුල නානායක්කාරවසම් ද තේරී පත්වුණු අතර, අනෙකුත් තනතුරු සඳහා ප්‍රවීනයන් ද නවකයන් ද සම සමව පත්කෙරිණි. සංගමයේ ප්‍රධාන සංවිධායක ලෙස කීර්ති පැස්කුවල්ගේ නම යෝජනා කළ ද ඔහු ඊට දැඩි සේ විරුද්ධ විය. එහෙත් මේ සංගමය සංවිධාන කටයුතු වෙනුවෙන් විශාල බරපැනක් ද දැරූ කීර්ති පැස්කුවල්ට ම සංගමයේ ප්‍රධාන සංවිධායක කම බාරගන්නට වූයේ සියයකට අධික සාමාජිකයන්ගේ බලවත් ඉල්ලීමෙන් අනතුරුව වීම ද විශේෂත්වයකි.
කොරෝනා නිසා ඇවිලී ගිය ”ඇවිලෙන සුලුයි”
චින්තන ධර්මදාස ගේ සිනමා නිර්මාණයක් වූ “ඇවිනෙ සුලුයි” චිත්‍රපටය පසුගිය මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය ආරම්භ කළ සැණින් ප්‍රදර්ශනය අත් හිටුවන්නට සිදුවීමෙන් වූ පාඩුව සුළුපටු නොවේ.
කොරෝනා වසංගතය හේතුවෙන් රටේ සියලු කටයුතු නවතා දැමීම නිසා මේ තත්ත්වය ඇතිවිය. මේ චිත්‍රපටය නරඹන්නට පුළ පුලා බලාසිටි ප්‍රෙක්ෂකයන්ට ද චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව මගහැරී ගියේය.
”ඇවිලෙන සුලුයි” සම්ප්‍රදායික සිනමා ආඛ්‍යානයකින් ඔබ්බට ගිය අපූරු සිනමා නිර්මාණයකි. මෙහි සමන්මලී ෆොන්සේකා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිතවලට පණ පොවයි. මෙය වැඩිහිටියන්ට පමණයි යන ලේබලයෙන් ප්‍රදර්ශනය වන චිත්‍රපටයකි. ඒ මෙම චිත්‍රපටයේ සිගරට් පානය කරන දර්ශන තිබීම හේතුවෙනි.
‘මනමේ’ දෙමළ භාෂාවෙන් එයි
මෙරට නාට්‍ය කලාවේ සුවිශේෂීතම හැරවුම් ලක්ෂ්‍යයක් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ”මනමේ” වේදිකා නාට්‍යය දමිළ නිෂ්පාදනයක් ලෙස වේදිකාගත කිරීමට කටයුතු සූදානම් කර ඇත. 1956 වර්ෂයේ නිෂ්පාදනය වූ මනමේ වේදිකා නාට්‍යය පුරා වසර 64ක් ගම් දනව් පුරා මෙන් ම ජාත්‍යන්තර දර්ශනවාර රැසක් ද පවත්වා තිබේ.
මනමේ නාට්‍යයේ දමිළ පරිවර්තනය සිදුකර තිබෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කවිතා රාජරත්නම් මහත්මිය විසිනි. මෙහි දමිළ නිෂ්ාදනයේ සංගීත අධ්‍යක්ෂණය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතාගේ වන අතර ගායනා පුහුණු කිරීම් කටයුතු සෞණ්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඒ.අරූරන් මහතා විසින් සිදු කර ඇත. මනමේ නාට්‍යයේ දමිළ නිෂ්පාදනය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ ද දමිළ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් වීම ද මෙහි ඇති විශේෂත්වයකි. මනමේ නාට්‍යයේ වර්තමාන නිෂ්පාදිකාව වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය විසින් ම දමිළ නාට්‍යය ද නිෂ්පාදනය කරයි.
රාජ්‍ය ළමා චිත්‍ර උළෙල නෙළුම් පොකුණේ දී
ලෝක ළමා දිනය නිමිත්තෙන් 19 වැනි වරටත් සංවිධානය කරන ලද රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ ජයග්‍රහණය ලැබූ දරු දැරියන් හට සහතික පත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
රාජ්‍ය දෘශ්‍ය කලා උඵදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සංවිධානය කර තිබිණි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ (වැඩබලන) තරණි අනෝජා ගමගේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
වකුගඩු ප්‍රශ්නයට දෙන්නේ කැකිල්ලේ විසඳුම් ද ?
මෙරට වාර්තාවන රෝග අතරින් මෑත ඉතිහාසයේ දී වඩාත් ම කතා බහට ලක්වූ හා අවධානයට ලක්වූ රෝගය වකුගඩු රෝගයයි. මෙරට නිදන්ගත වකුගඩු රෝග හඳුනානොගත් සහ හඳුනාගත් ලෙස වර්ග දෙකකි.
ඉන් වැඩිම අවධානයක් යොමු වූයේ රජරට ප්‍රදේශයෙන් මුල්වරට වාර්තා හඳුනානොගත් වකුගඩු රෝගයටය. මෙම රෝගී තත්ත්වය ගොවි ජනතාව අතර වඩාත් බහුලව පැතිර ඇති අතර එයට නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැත.
හඳුනාගත් වකුගඩු රෝග දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි හේතූ නිසා හටගනී.
වකුගඩු රෝගය මර්ධනය කිරීමේ අවශ්‍යතාව කොතරම් දරුණුවට තිනේනේ ද යන්න පැහැදිලි වන්නේ වකුගඩු රෝග මර්ධන ජනාධිපති විශේෂ කාර්ය බලකායක් පවා පිහිටුවීමට සිදුවීමෙනි. මේ සඳහා ජාතික වකුගඩු අරමුදලක් ද පිහිටුවා ඇති අතර රුපියල් ලක්ෂ දෙකක මුදලින් ආරම්භ කළ අරමුදල 2016 දෙසැම්බර් අවසන් වනවිට රුපියල් කෝටි 46 ඉක්මවා තිබූ බව එම අරමුදලේ වෙබ් අඩවියේ දක්වා ඇත. ඉන්පසු යාවත්කාලීන තොරතුරු නැත. දැන් මේ අරමුදල තවත් කෝටි ගණනකින් තර වී ඇතැයී සිතිය හැකියි.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු වකුගඩු රෝග මර්ධන ජනාධිපපති විශේෂ කාර්ය බලකායේ සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංය පවසන්නේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වකුගඩු රෝග මාදිලි දෙක අතරින් හදුනා නොගත් වකුගඩු රෝගය වැඩිපුර වාර්තාවන අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ප්‍රදේශවලින් 2019 වර්ෂය අවසානය වනවිට වාර්තා වී තිබූ රෝගීන් සංඛ්‍යාව 30,671කි. අනෙකුත් දිස්ත්‍රික්කවලින් හදුනාගත් හේතුමත වකුගඩු රෝග සෑදුනු රෝගීන් සංඛ්‍යාව 45,649ක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන්ව ඇතත් මේ සංඛ්‍යාත්මක අගයන් පිළිබඳ ඇත්තේ බරපතල ගැටලුවකි. රෝහලකට ඇතුල්වන රෝගීන් පිළිබඳ ඇති සංඛ්‍යාලේඛන අනුව මෙම දත්ත ලබාගෙන ඇත. යම් රෝගියකු රුධිර කාන්දු පෙරණ කාර්යයන් සඳහා යම් රෝහලකට වසරකට දහ වතාවක් ඇතුළත් වී ඇත්නම් එම පුද්ගලයා රෝගීන් දහයක් ලෙස සංඛ්‍යාලේඛන වලට ඇතුලත් වී තිබේ.
රොගීන් සම්බන්ධ නිවැරදි වාර්තා නැතත් මරණයට පත්වන වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් නම් නිවැරදි සංඛ්‍යාලේඛන තබා ගැනීම අපහසු කාර්යයක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති සංඛ්‍යාලේඛන දත්ත අනුව 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් 1788 දෙනකු මියගොස් ඇති අතර 2017 දී මියගිය සංඛ්‍යාව 1926 දෙනෙකි.
වකුගඩු රෝගයට ගොදුරුවන රෝගින් සංඛ්‍යාව වැඩිවීමත් සමග රජයෙන් වකුගඩු රෝග නිවාරණය සඳහා දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ කොළඹ ජාතික රෝහලේ සිට ගිරාඳුරු කෝට්ටේ මූළික රෝහල ඇතුළු විවිද මට්ටමේ පවතින රෝහල් 78ක රුධිර කාන්දු පෙරණ සේවාව ලබාගැනීමේ හැකියාව පවතී. රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 532ක් එම රෝහල්වල ස්ථාපිත කර ඇතත් විවිධ හේතූන් මත ක්‍රියාත්මක වන්නේ ඉන් යන්ත්‍ර 454ක් පමණි.
මෙම යන්ත්‍රක් භාවිතා කරමින් දිනක දී රෝගීන් තිදෙනකු සඳහා රුධිර කාන්දු පෙරීමේ කටයුතු කළ හැකි වුවත් ඇතැම් රෝහල්වල වැඩ මුර සඳහා ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීමේ හේතුව මත උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක කරවීමට නොහැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ම කියයි.
කොළඹ ජාතික රෝහලේ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කුරුණෑගල රෝහලේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මඩකලපුව රෝහලේ මේ වනවිට වකුගඩු ඒකක ඉදිකරමින් පවතී. ඊට අමතරව හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බදුල්ල සහ පේරාදෙණිය රෝහල්වල වකුගඩු ඒ්කක ඉදිකිරීමට නියමිතය. නමුත් කැබතිගොල්ලෑව හා තඹුත්තේගම රුපිය්ල කෝටි ගණනක මුදල් වැයකර ඉදිකරන ලද වකුගඩු ඒ්කක ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව තිබීම ඛේදජනකය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තට්ටු හතකින් සමන්විතව 2014 දී ඉදිකිරීම් ආරම්භකළ වකුගඩු රෝහලේ ඉදිකිරීම් වසර දෙකකින් අවසන් කිරීමට සැළසුම් කර තිබුණ ද මේ දක්වාම එහි ඉදිකිරීම් අවසන් කර නැත.
කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතාපවසන්නේ එම එකකයට අවශ්‍ය උපකරණ 2018 මුල් මාස කිහිපයේ දී රෝහලට ලැබී ඒ්වා රෝහලේ කොරිඩෝවල ගොඩගසා තිබෙන බවයි. මේ උපකරණවල වගකීම් කාලය ද දැන් ඉකුත්වී තිබෙන බව සඳහන් කරන අධ්‍යක්ෂවරයා ලැබුණු භාණ්ඩවලින් කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අවසරය ඇතිව වෙනත් වාට්ටුවල ප්‍රයෝජනයට ගත් බව දපවසයි.
වකුගඩු ඒකකයන්හි ඉදිකිරීම්වල තත්වය එලෙසය.
කොළඹ මාලිගාවත්තේ පිහිටුවා ඇති ජාතික වෘක්කවේද කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනය හෙවත් ජාතික වකුගඩු මධ්‍යස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ථ බස්නාහිර පළාතේ ම ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවයක් ඉටුකිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද්දකි.
ඒම ජාතික වකුගඩු මධ්‍යස්ථානය, කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකය ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කයන්හි පිහිටි වකුගඩු ඒකක වලදී ද සායනික පරීක්ෂණ සිදුකිරීම, ඖෂධ ලබාදීම, කාන්දු පෙරීම සඳහා යොමුකිරීම, ශල්‍යකර්ම සඳහා යොමු කිරීම බද්ධකිරීම් සහ දායක ප්‍රතිග්‍රාහක සැසඳීම ද සිදුකරයි.
වකුගඩු බද්ධ කිරීමේ අවශ්‍යතා ඇති රෝගීන් හඳුනාගෙන මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු එම රෝගීන්ට සුදුසු පරිදි බද්ධ කිරීම ද රජය විසින් කරගෙන යන සේවාවකි. බද්ධ කළ රෝගීන් දිගු කාලීනව පරීක්ෂා කිරීම සහ පසු ප්‍රතිකාර ලබාදීම සියලු ඒකක මගින් සිදුවෙයි.
කෙසේ වුවත් දිවයින පුරා රෝහල්වෙත යන වකුගඩු රෝගීන් පවසන්නේ තමන්ට නිසි පරිදි සේවාවන් ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව විවිද හේතු නිසා අහිමිවන බවයි.
ජාතික වකුගඩු මධ්‍යස්ථානයට රුධිර කාන්දු පෙරණ කටයුතු සඳහා නිතර පැමිණීමට සිදුවන රෝගියකු අප සමග මෙසේ පැවසීය.
”මම කොළඹ මාළිගාවත්තේ පිහිටුවා තිබෙන ජතික වකුගඩු මධ්‍යස්ථානයට රුධිර කාන්දු පෙරීමේ කටයුතු සඳහා යනවා. නමුත් ඇතැම් දවස්වලට අපිට වෛද්‍යවරු නෑ කියලා හැරිලා එන්න වෙනවා. ගොඩක් දවස්වලට වෛද්‍යවරු අඩුයි. මාස තුනකට පෙර වතාවක් මට නියමිත දිනයේ එතැනට ගියාම සායනය වසා දමා තිබුණා. කිව්වේ වෛද්‍යවරයෙක් මාරුවෙලා ගිහින් අලුතෙන් වෛද්‍යවරයෙක් ආවේ නැහැ කියලා. මේ නිසා අපි දැඩි අසීරුතාවකට පත්වෙනවා. මට පුද්ගලික අංශයෙන් මේ රුධිර කාන්දු පෙරණ කාර්යය කරගන්න මුදල් නැහැ. “
රාජගිරියේ සිට මේ රෝහලට පැමිණ සිටි කාන්තාවක් අප සමග මෙසේ කීවාය.
” මම වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ අවුරුදු ගණනක සිට රජය පහසුකම් වැඩිදියුණු කරනවා කියනවා. නමුත් දැන් අපේ රුධිර කාන්දු පෙරණ කටයුතු නිසි පිරිද සිදුකරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇතැම් දවස්වලට වැඩ කරන කට්ටිය නිවාඩු දොස්තරලා නැහැ කියලා අපිට හැරිලා යන්න වෙනවා. නියමිත දිනයට පැමිණිවිට නැවත හැරී යන්න සිදුවුනාම අපි ලොකු අපහසුතාවකට ලක්වෙනවා. මේවා පාලකයෝ දැනගතයුතු දේවල්.”
ඇතැම් රෝගීන් පවසන්නේ සායන පැවැත්වීම ද නිසිපරිදි සිදු නොවන බවයි. මින් ඉහත මාස දෙකකට වතාවක් සායන සඳහා පැමිණෙන ලෙස දින ලබාදුන්න ද දැන් තමන්ට මාස හයක කාලයකින් පසු සායනයට දිනය ලැබෙන බව ඔවුන් පවසයි. මෙලෙස සායන සඳහා වැඩි කාලයක් ඉදිරියට දින දෙන්නේ පවතින වෛද්‍ය හිඟය නිසා යැයි රෝහල් සේවකයෝම කියා ඇත.
වෛද්‍යවරුන්ගේ හිඟය රටේ සියලු වකුගඩු ඒකකවලට බලපා තිබේ. ශ්‍රී ලංකාවේ දැනට සිටින්නේ වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 30ක් පමණි. රජයේ රෝහල්වල සායනික හා ශල්‍යකටයුතු සඳහා සහභාගීවන්නේ ඉන් වෛද්‍යවරු 25 දෙනෙකි. වකුගඩු රෝගය සම්බන්ධයෙන් පිහිටුවා ඇති විශේෂ ඒකකයන් සඳහා වෛද්‍ය නිලධාරීන් 51 දෙනකු සිටිය යුතු වුව ද ඒ්වායේ සිටින්නේ වෛද්‍ය නිලධාරන් 35ක් පමණි.
එමෙන් ම වෛද්‍ය නිලධාරීන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ, හෙද හෙදියන්ගේ පමණක් නොව මෙම ඒකක සඳහා අවශ්‍ය සුළු සේවකයන්ගේ ද විශාල හිඟයක් පවතී.
මේ හේතුවෙන් ඇතැම් රෝහල් සායනවල ට පැමිණෙන රෝගීන් අතිවිශාල සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට සිදුවන්නේ එක් වෛද්‍යවරයකුට පමණි. ඉන් වෛද්‍යවරයා ද වෙහෙසට පත්වෙති. ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරයකු අප සමග කියා සිටියේ
”අපි කන කට්ට දන්න අනිත් දොස්තරලා මේ තැන්වලට කවදාවත් එන්නේ නැහැ. අපිට දැන් මේ අසරණ මිනිස්සුන්ව දාලා යන්න විදියක් නැහැ.”
මේ කතාව කියනු අසා සිටි රෝගියකු කීවේ
”දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නවා. ඒ අය නැත්නම් ඉතින් අපි අද ජීවතුන් අතර නෑ.” යනුවෙනි.
මාලිගාන්ද වකුගඩු ඒකකයට පැමිණෙන අතිවිශාල රෝගීන් සංඛ්‍යාව ඇතැ් දිනවල දී පරීක්ෂා කිරීමට සිදුවන්නේ එක් වෛද්‍යවරයකුටය. එවිට තනි වෛද්‍යවරයාට රෑ බෝවනතුරු සායනය පවත්වාගෙන යාමට සිදුවෙයි. පැය ගණන් එක දිගට රෝගීන් පරීක්ෂා කිරීම දැඩි අපහසු කාර්යයක් බව රෝගීන් ද නොදන්නවා නොවේ. එලෙස සේවය කරන වෛද්‍යවරයාට පසුදින උදෑසන යළි රාජකාරියට පැමිණීමට සිදුවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රටේ සෞඛ්‍ය අවශ්‍යතාවට සරිලන වෛද්‍යවරු ප්‍රමාණයක් වාර්ෂිකව වෛද්‍ය සේවයට එක්නොවන බැවින් මේ පුරප්පාඩු පිරවිය නොහැකි බවයි.
නමුත් අප කළ සොයා බැලීමක දී දැනගන්නට ලැබුණේ මේ සඳහා වෙනත් ගැටලු කිහිපයක් ද බලපා ඇති බවයි.
රටේ වකුගඩු රෝගය දරුණු ලෙස පවතින බව තේරුම්ගත් පැවති රජයන් සියල්ල වකුගඩු ඒකක රැසක් රටපුරා පිහිටවූව ද ඒවාට අවශ්‍ය කාර්ය මණ්ඩල නිසි පරිදි ස්ථාපිත කෙරුණේ නැත.
යම් ස්ථානයක රෝහලක් හෝ විශේෂ ඒකකයක් ඉදිකරන්නේ නම් එයට අවශ්‍ය මානව සම්පත් ද නිසි පරිදි ලබා දිය යුතුය. නමුත් ගොඩනැගිලි ඉදිකරමින් යටිතල පහසුකම් ඇති කළ ද මානව සම්පත් වැඩිවී නැත.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ බඳවාගැනීම් සිදුකිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිසි පරිදි අවසර ලැබෙනවානම් එය කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් විමසූ විට එහි නිලධාරියකු අපට කියා සිටියේ මේ සම්බන්ධ තොරතුරු ලබාදිය නොහැකියැයි කීව ද බඳවාගැනීමේ ක්‍රියාදාමය විස්තර විස්තර කළේය.
” බඳවාගැනීමේ අවශ්‍යතාව දැන්වූ විට එයට අනුමැතිය ලබා දී බදවාගැනීමේ පටිපාටියක් සකස් කරනවා. මෙයට වැටුප් පරිමාන පවා සකස් කළ යුතුයි. යම් ආයතනයක් හෝ ඒකකයක් සඳහා මේ මේ අය අඩුයි අපිට ඉක්මනට බඳවාගන්න අවශ්‍යයි කීවාට එය ක්ෂණිකව කළ නොහැකියි. බඳවාගන්නා අය සඳහා සුදුසුකම් පමණක් නොවෙයි විශ්‍රාම වැටුප් ගැන පවා අවසන් තීරණ ගත යුතුයි. ඉන් පසු මේවා මුදල් අමාත්‍යාංශයෙන් ද අනුමත කරන්න වෙනවා. යම් අමාත්‍යාංශයක ඒකක පිහිටුවලා ගොඩනැගිලි හදලා මිනිස්සු අවශ්‍යයි කීවාට අපිට ඒ විදියට වැඩ කරන්න බැහැ.”
වෛද්‍යවරුන්ගේ හිගය සම්බන්ධයෙන් 2015 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය සැපයුම්) ලෙස කටයුතු කළ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
” වෛද්‍යවරුන්ගේ හිගයට වඩා ප්‍රශ්නය තියෙන්නේ නිවැරදි කළමනාකරණයක් නොමැතිවීම. ඉන්න වෛද්‍යවරු කළමනාකරණය කරන්න දෙන්නේ නැහැ. වැඩකරන්න ඉන්න වෛද්‍යවරු කරන්නේ මාධ්‍ය සාකච්ඡා කරන එක. වෘත්තී සමිති නිසා මේවා පවත්වාගෙන යන්න බැහැ. වෛද්‍යවරු නෙවෙයි වෛද්‍ය හොරු මාරුවීම් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ.”
අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් ලෙස කටයුතු කරන වෛද්‍ය ඩිලන්ත ධර්මගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
” වෛද්‍යනිලධාරන් 51ක් වකුගඩු ඒ්කකවල සිටිය යුතු වුවත් ඉන්නේ 35 දෙනෙක් පමණයි. ඉදිරි සති කිහිපයේ දී අපිට පුරප්පාඩු 12ක් පමණ පුරවන්න පුළුවන් වේවි. ඒ් නිසා ගැටලුව විසඳාගත හැකියි. පසුගිය කාලයේ නව වෛද්‍යවරු කණ්ඩායම් තුනක් බඳවාගැනීම් නඩුවක් සහ වෙනත් හේතූන් කිහිපයක් නිසා කල් ගතවුණා. ඒ ගැටලු දැන් විසඳාගෙන තිබෙනවා. ඒ් වගේම දුෂ්කර ස්ථානයන්හි ගැටලු තියෙනවා. මේවා විසඳාගැනීමට කටයුතු කරමින් ඉන්නවා. විශේෂ ඒකක සඳහා නිලධාරීන් අනුමත කරගැනීමේ කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඉලේඛන යවා තිබෙනවා. “
මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
”මෙතෙක් වෛද්‍ය සැපයුම් ඒකකයේ බලධාරීන් ක්‍රියා කළේ දේශපාලකයන්ට අවශ්‍ය විදියට. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් මාරුවීම් ලබාදුන් වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් අවුරුදු පහක කාලයක් දේශපාලන අවශ්‍යතා මත ක්‍රියාත්මක කළේ නැහැ. 2015 වවන විට මාරුවීම්වලට නොගිය වෛද්‍යවරු සිටියේ සියයක් පමණ පිරිසක්. නමුත් 2020 වන විට ඒ සංඛ්‍යාව 3700 ඉක්මවලා. වසරකට වෛද්‍ය විද්‍යාලවලින් එළියට එන අයගෙන් 200ක් 300ක් අතර ප්‍රමාණයක් මෙරට මුල් පත්වීම හෝ භාර නොගෙන රට හැර යනවා. මේ අය රටේ රඳවාගන්න කිසිම වැඩපිළිවෙලක් රජයට තිබුණේ නැහැ. අඩුම ගණනේ දුෂ්කර ප්‍රදේශයක රැකියාවකට යන වෛද්‍යවරයකුගේ දරුවෙකුට පාසලක් ලබාදෙන්නවත් රජය කටයුතු කළේ නැහැ. 2015 අවසන්වන විට මේ රටේ ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාව නිවැරදිව කියන්න බැරි තත්ත්වයක තමයි අමාත්‍යාංශය පත්වෙලා හිටියේ. අපි ඉදිරියේ දී අමාත්‍යතුමිය සමගත් සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඉක්මණින් මේ ගැටලුව විසඳන්න හැකිවේවි.”
රෝගීන් පවසන්නේ ජීවිත කාලය පුරාම තමන්ට රුධිර කාන්දු පෙරණය කරගැනීම ට අවශ්‍ය වුව ද රජයේ රෝහලක ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ සීමිත වාර ගණනක් බවයි. ඉන් පසු පුද්ගලික අංශයන් රුපියල් 8000.00ක් වැනි මුදලක් ගෙවා සේවාව ලබාගැනීමට සිදුවන බව ද ඔවුන් පවසයි. ඇතැම් රෝගීන්ට සතියකට දෙවතාවක් රුධිර කාන්දු පෙරණය කරගැනීමට සිදුවෙයි.
මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩු රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ බුද්ධි ලොකුකැටගොඩ මහත්මියගෙන් කළ විමසුමක දී ඇය මෙසේ කීවාය.
” කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු බස්නාහිර පළාතේ අධික ජනගහණයත් සමග වකුගඩු රෝගීන් සංඛ්‍යාවත් වැඩියි. ඇතැම් විට ඔවුන්ට රුධිර කාන්දු පෙරණය පහසුකම් ලබාගැනීමට අපහසුවන අවස්ථා තිබෙනවා. මෙයට විශේෂයෙන් ම බලපාන්නේ රෝගීන් සංඛ්‍යාත්මකව වැඩි වීම. කොළඹ දිස්ත්‍රික්කයේ රුධිර කාන්දු පෙරණ තිබෙන්නේ 63යි. කුඩා ළමයි සඳහා 03යි. පමණයි. මේ නිසා විශාල තදබදයක් පවතිනවා. ඒ් නිසා ඇතැම් විට රෝගීන්ට රජයෙන් මේ සේවාව ලබාගත නොහැකි අවස්ථා තිබෙනවා. එවිට ඔවුන් පුද්ලික අංශයෙන් සේවාව ලබාගන්නවා. නමුත් දුර බැහැර ප්‍රදේශවල දී රෝගීන් සසමග සාකච්ඡා කරලා අපිට හැකියාව තිබෙනවා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව රෝහල්වලට යොමු කරන්න. උදාහරණයක් ලෙස අද කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සේවය ලබාගත් අයකු ඊළඟ දිනයේ අපි බලපිටියට යොමුකරනවා. තවත දිනක ඔහු යොමු කරන්නේ තංගල්ලට. කෙසේ හෝ අපේ බලාපොරොත්තුව සියලුම දෙනාට රජයෙන් නොමිළයේ ලබා දෙන සේවාව උපරිමයෙන් ලබාදීමට.”
ඇය එසේ කීව ද රෝගීන්ට වෙනත් අදහසක් ද තිබේ. ඔවුන් පවසන්නේ ඇතැම් වෛද්‍යවරන් තමන් පුද්ගලික අංශයට උනන්දු කරන බවයි. වකුගඩු කාන්දු පෙරණ කටයුතු සඳහා පුද්ගලික රෝහල්වලට පැමිණෙන ලෙස ඇතැම් වෛද්‍යවරු තමන්ට සෘජුවම පවසන අතර රෝහලට පැමිණි විට වැඩි සැළකුම් ලැබෙන්නේ ද වෛද්‍යවරු චැනල් කර පැමිණෙන රෝගීන්ට බව ඔවුහු පවසති. එමෙන්ම රජයේ රෝහලින් සිදුකරගත හැකි පරීක්ෂණ පිටත රසායනාගරවලින් කරගැනීමට වෛද්‍යවරුන් විසින්ම උපදෙස් දෙන බවත් රෝහලෙන් ගත හැකි ඖෂධ වෙනුවට පුද්ගලික ඔසුසල්වලින් ඖෂධ ලබාගැනීමට පවසන බවත් රෝගීන්ගෙන් නැගෙන තවත් චෝදනාවකි.
මේ බව සනාථ කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසන්නේ වකුගඩු රෝගීන් රජයේ රෝහලට ගියවිට ඔවුන්ගේ මුහුණවත් නොබලන වෛද්‍යවරු එම රෝගියාම පුද්ගලික රෝහලට පැමිණිවිට දෙවියකු බවට පත්වන බවයි.
මාලිගාවත්ත ජාතික වෘක්කවේද කාන්දුපෙරීම සහ බද්ධකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඒ.සී.රිෆායි මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තම ආයතනයේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බැවින් දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් සිය උපරිමයෙන් කටයුතු කරමින් රෝගීන්ට සේවය සළසන බවයි.
”මම මේ රෝහලේ අධ්‍යක්ෂ ධූරයට පත්වෙලා වැඩි කාලයක් නැහැ. මට කලින් හිටපු අධ්‍යක්ෂතුමාතේ වෛද්‍ය ගැටලුව විසඳාගන්න විශාල වෙහෙසක් ගත්තා. අපි හිතනවා ඉතා කඩිනමින් මේ ප්‍රශ්න විසඳාගත හැකිවේවි කියා. මාරුවීම් ලැබූ වෛද්‍යවරු ඒ් ඒ් තැන්වලට නොපැමිණීමේ ගැටලුවක් තමයි තිබෙන්නේ.
ජාතික වකුගඩු රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ බුද්ධි ලොකුකැටගොඩ මහත්මිය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වීම වැළැක්වීම සඳහා විශාල වැඩකොටසක් සිදුවෙමින් පවතින බවයි. නමුත් ජනතාව රෝගීවනතුරු මේ ගැන තැකීමක් නොකරන බවත් රෝගීබවට පත්වුවත් නිසි සෞඛ්‍යමය ක්‍රමවේදයන් අනුගමනය නොකරන බවත් ඇය පවසයි.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
”අපිට අවශ්‍ය වෙන්නේ නිරෝගී ජනතාවක්. රෝගීන් නොවෙයි. ඒ නිසා රෝගීන් නොවන්න ජනතාව දැනුම්වත් කරන්න සහ පහසුකම් ඇතිකරන්න අපි කටයුතු කරනවා. රෝගීන් වුණාට පසු කරන ප්‍රතිකාර ද වැඩිදියුණු කිරීම ගැන තමයි වැඩි පිරිසක් අවධානය යොමු කරන්නේ. තවමත් හඳුනානොගත් වකුගඩු රෝගය හඳුනාගැනීම සඳහා වසර පහක ව්‍යාපෘතියක් ආරම්භ කර පවත්වාගෙන යනවා. අඩුපාඩු තියෙනවා. ගැටලු නැහැ කියන්න බැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්වත් කිරීම්, පහසුකම් සැළැසීම්, ප්‍රතිකාර සහ සෞඛ්‍ය ආරක්ෂණය ලබාදෙමින් විශාල වැඩකොටසක් කරනවා.”
වකුගඩු රෝගගය ජාතික ගැටලුවක් වි තිබේ. මේ ගැටලුවකට විසඳුම් ඉදිරිපත් කිරීමේ දී ඒ විසඳුම්වලට නිසි සැළසුමක් තිබිය යුතුය. තැන තැන වකුගඩු ඒකක පිහිටුවා ගොඩනැගිලිවලට මුදල් වියදම් කිරීමෙන් පමණක් ප්‍රයෝජනක් නැත. මෙරට සිටින වකුගඩු රෝගීන් සංඛ්‍යාව හෝ තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති තත්ත්වයක් තුළ සැළසුම්සහගත නොවූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යාමයි. වකුගඩු රෝගය පිළිබඳ අඬබෙර ගසා දැවැන්ත ප්‍රචාරයක් දෙමින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ඵලදායී තත්ත්වයට පත්කිරීමට තවමත් කාලය ඉතුරුව තිබේ. අවශ්‍ය වන්නේ නිවැරදි සැළැස්ම පමණි.
නීතියට පිටුපා ගනුදෙනුකරුවා අමාරුවේ දාන ලීසිං කොම්පැනි
තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීම බොහෝ දෙනකුගේ සිහිනයකි. තරුණයන් පමණක් නොව කුඩා දරුවෝ ද මේ සිහිනය දකිති. බොහෝ දෙනකුට ඇති ගැටලුව වන්නේ මේ සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති වීමයි.
නමුත් ඔවුන්ට විකල්පයක් තිබේ. ඒ මූල්‍ය සමාගමක උදව්වෙන් තමන් කැමති වාහනයක් මිල දී ගැනීමයි. පාසලෙන් ඉවත්වන තරුණ පරපුර නවීන යතුරුපැදිවල යන්නේත් තවත් තරුණයන් පිරිසක් ලක්ෂ ගණනකට ත්‍රී රෝද රථ මිලදී ගෙන ඒවායින් ආදායම් උපදවන්නේත් මේ කල්බදු සමාගම් හෙවත් ෆිනෑන්ස් සමාගම්වල උදව්වෙනි.
යතුරුපැදිය හෝ ත්‍රී රෝද රථයක හිමිකාරීත්වය ඇති බොහෝ දෙනකු ඉන් පසුව බලාපොරොත්තු වෙන්නේ රෝද හතරක් සහිත නවීන රථයක් හිමිකර ගැනීමයි. ඔවුන් බොහෝ දෙනකුට ද ඒ සඳහා ෆිනෑන්ස් ආයතන පිහිට වෙයි. අද වර්තමානයේ මහ මග ධාවනය වන අති නවීන අධික මිලක් සහිත වාහන පවා බොහෝ ප්‍රමාණයක් ඒ ආකාරයනේ ෆිනෑන්ස් සමාගම්වල උදව්වෙන් ගත් ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත.
ෆිනෑන්ස් සමාගම් ද දිනෙන් දින දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් තමන්ගේ ආයතනයට පැමිණෙන ගනුදෙනුකරුවාට ආකර්ශනීය පහසුකම් ඇති බව පවසමින් වාහන ලබා දෙන්නට සූදානම් වෙති.
ඇතැම් ගම්වල යන විට පෙනෙන්නේ පහසුවෙන් ලිීසිං පහසුකම් ලබාදීමට තමන් කටයුතු කරන බව ගස්වල පවා පත්‍රිකා අලවා ඇති ආකාරයයි. ලීසි පහසකම ගමේ සාමාන්‍ය අවශ්‍යතාවක් බවට පත්කරමින් දැන් ගමට ගොස් ඇත්තේ ඒ ආකාරයෙනි.
යතුරු පැදි, කාර්, වෑන්, ලොරි සහ බස්රථ පවා මෙලෙස කල්බදු පහසුකම යටතේ ගැනීමට ඕනෑම අයකුට හැකියාව පවතී. අවශ්‍ය වන්නේ බැංකුවක මාස තුනක පමණ කාලයක් ගිනුමක් පවත්වාගෙන යාම මුදල් ගෙවීමට තමන්ට ඇති හැකියාව පෙන්වීම සහ ඇප කරුවන් දෙදෙනකු පමණි.
මෙරට කල්බදු සමාගම් ප්‍රථමයෙන් ම සමාගම් ලියාදිංචි කාර්යාලයේ සමාගමක් ලෙස ලියාපදිංචිවිය යුතුය. ඉන් පසු මහ බැංකුවේ ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණකර තිබිය යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුව සෑම වර්ෂයක ම මෙරට මූල්‍ය සමාගම් ඇතුළු කල්බදු ලබාදීමේ පහසුකම් සහිත ආයතන ලේඛනයක් ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රදර්ශනය කරනු ලබයි. ඒ අනුව අවසන් වරට එවැනි ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කර ඇත්ත් 2019 සැප්තැම්බර් මස 30 වැනි දින දී ය. ඒ ලේඛනයේ සඳහන් පරිදි මෙරට කල්බදු පහසුකම් ලබාදීමට අනුමැතිය ඇති බලපත්‍ර ලාභී වාණිජ බැංකු සංඛ්‍යාව 12 කි. බලපත්‍ර ලාභී විශේෂිත බැංකු සංඛ්‍යාව 05කි. බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් සංඛ්‍යාව 43 කි. විශේෂිත කල්බදු මූල්‍ය සමාගම් සංඛ්‍යාව 04කි. ඒ අනුව මෙරට මහබැංකුවේ අනුමැතිය සහිතව වාහන ලීසිං හෙවත් කල්බදු ක්‍රමයට වාහන ලබාදෙන ආයතන සංඛ්‍යාව 64කි. එසේ වුව ද මේ රටේ සෑම නගරයක ම පාහේ සාමාගම් ලියාපදිංචිය පමණක් ඇති කල්බදු පහසුකම් ලබාදීමේ අනුමැතිය නොමැති ආයතන සිය ගණනක් තමන් හමුවට එන පුද්ගලයන් සඳහා වාහන ලීසිං ලබා දෙන බව නොරහසකි.
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ මූල්‍ය සමාගමක උසස් නිලධාරියකු ඒ පිළිබඳ මෙසේ පැවසුවේය.
” අපිට මේක ලොකු කරදරයක්. ඇත්තටම මට මේ දේ මාධ්‍යයට කියන්න අවශ්‍යයි. නමුත් සමාගමේ නිලධාරියෙක් හැටියට මගේ නම හෙළි කරන්න බැහැ. අපි සමාගම් ලියාපදිංචිය යටතේ ලියාපදිංචි සමාගමක්. ඒ විතරක් නෙවෙයි අපි කල්බදු පහසුකම් ලබාදීමටත් අනුමත සමාගමක්. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා ගනුදෙනු කරුවන්ට සුරක්ෂිත, කඩිනම් සේවාවක් ලබාදීමට. ඒ වගේම හොඳ ගනුදෙනුකරුවන් සමග සාධාරණව මේ දේ කරන්නත් හැකියාව අපට තිබෙනවා. දැනට මහ බැංකුවේ නියමයක් තියෙනවා ඕනෑම මාදිලියක වාහනයකට එහි වටිනාකමින් උපරිම 70% ක් පමණයි ලීසිං පහසුකම දෙන්න හැකියාව තිබෙන්නේ ඉතිරි 30% වාහනය ගන්නා පුද්ගලයා විසින් දැරිය යුතුයි. නමුත් මේ නිසි ලියාපදිංචියක් නොමැති කල්බදු සමාගම් මහබැංකුවේ මේ නිර්දේශයන් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ඒ අය ගාවට ගිහින් රුපියල් 15,000.00 ක් දීලා යතුරුපැදියක් ගෙදර අරගෙන යන්න පුළුවන්. ඔවුන් අඩුම ගණනේ යතුරුපැදිය ගන්නා පුද්ගලයාගේ ගෙවීමේ හැකියාව බලන්නෙත් නැහැ. තව ඇපකාරයන් දෙදෙනෙක් ඉල්ලනවා. ඉතින් කවුරු හරි ඇප වෙලා අමාරුවේ වැටෙනවා. “
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි අනවසර සමාගම් හේතුවෙන් වෙළෙඳ පොළේ තරඟකාරීත්වයක් ඇති වී තිබෙන බවයි. වැඩි පිරිසක් වාහන ගැනීමට එවැනි සමාගම් වෙත යන බවත් මේ නිසා තමන්ගේ ආයතනය වැනි ආයතනවලටත් ඉදිරයේ දී මහ බැංකුවේ නිර්දේශවලින් රිංගා කල්බදු පහසුකම දීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි. එය ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථිකයට පමණක් නොව ගමේ ගොඩේ සියලු දෙනාම අනවශ්‍ය පරිදි ණය වීමෙන් රටේ මුදල් සංසරණය නොවීමේ ඛේදවාචකයකට ද හේතුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
” මට මෝටර් බයික් එකක් ගන්න ඕන වුණා. අපේ ටවුන් එකේ බෝඩ් එකක් දාලා තිබුණා රුපියල් 25,000.00ක මූලික ගෙවීමකට දෙනවා කියලා. ඇප කාරයෝ දෙන්නෙක් එක්ක ගිහින් අත්සන් කරලා බයික් එක ගෙනාවා. දැන් ඉතින් ගෙවන හැටි හිතන්න ඕනේ.” ගාල්ලේ පදිංචි සුමිත් ඩිල්ෂාන් (22) එසේ කීවේය.
ත්‍රී රෝද රථ, කාර්, වෑන් පමණක් නොව බස් රථ, වෙනත් බර වාහන ආදී ඕනෑම මාදිලියක වාහනයක් කල්බදු ක්‍රමයට ගැනීමට හැකියාව තිබේ. මූල්‍ය සමාගම් වාහන ලබාදීමේ දී සලාකා බලන කරුණු කිහිපය් ද ඇත.
වාහනයේ වෙළෙඳ පොළ වටිනාකම එහි දී ප්‍රධාන වෙයි. මේ සඳහා සුදුසුකම් ලත් සමාගමකින් හෝ පුද්ගලයකුගෙන් තත්ත්ව සහතිකයක් ලබාගනී. වාහනයේ නිෂ්පාදිත වර්ෂය, නිෂ්පාදනය කර ඇති රට ඒ අතර ප්‍රධාන වෙයි. ඉන් අනතුරුව බලපත්‍ර ලාභී සමාගමක් නම් මිලදී ගන්නා පුද්ගලයාට මෙම මුදල ගෙවීමට ඇති හැකියාව සොයා බලයි. මේ සඳහා ඔවුන් ප්‍රයෝජනයට ගන්නේ අදාල ගනුදෙනුකරුවාගේ ගනු දෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ ඇති දත්තයන්ය.
මූල්‍ය සමාගමක කළමනාකරුවෙක් මෙසේ පැවසීය.
”වාහයක් දීමට ඉස්සෙල්ලා ගන්න කෙනාගේ ණය ගෙවීමේ හැකියාව පමණක් නොවෙයි එයා සම්බන්ධ කරන ඇපකරුවන්ගේ ගෙවීමේ හැකියාවත් අපි බලනවා. ඒ අනුව තමයි මේ වාහනය අරන් දෙනවා ද නැද්ද කියා තීරණය කරන්නේ.”
මේ සියලු ලේඛන ඉදිරිපත් කළ පසු ගනු දෙනුව සිදුවන්නේ ද පුදුමාකාර අයුරිනි. ගනු දෙනුකරුවාට පිටු ගණනකින් යුතු ගිවිසුම් පත්‍රයක් ලැබෙයි. එහි තමන් අත්සන් යෙදිය යුතු ස්ථාන ලකුණු කර තිබේ. වාහනයක සිහිනය දකිමින් සිටි ගනුදෙනු කරුවා මේ ගිවිසුම කියවා බලන්නේ නැත. එය ඇත්තේ ද ඉංග්‍රීසියෙනි. ඔහු තමන්ට අත්සන් කරන්නට යැයි නේවූ තැන්වල අත්සන් තබා ඉක්මණින් වාහනය තම අතට ගැනීමට බලාපොරොත්තු වේ. නමුත් මේ ගිවිසුම අවසානයේ ‘මෙම ගිවිසුම සම්පූර්ණයෙන් ම කියවා හොඳින් තේරුම්ගත් පසු අත්සන් තැබීමි.” යනුවෙන් ද වගන්තියක් ඇතුළත් වේ. අත්සන් කළ පසු එය තමන් කියවූයේ නැතැයි කියන්නට කිසිවෙකුට නිතිමය හැකියාවක් නැත.
කෙසේ වෙතත් තමන්ට සිංහල හෝ දෙමළ පිටපත කියවීමට අවශ්‍යයැයි ගනුදෙනු කරුවකු ඉල්ලා සිටින්නේ නම් එය ලබාදීමට මූල්‍ය සමාගම නීතියෙන් බැඳී සිටියි. එසේ වුව ද සිංහල හෝ දෙමළ පිටපතක අත්සන් තැබීමේ අවස්ථාව දෙන්නේ නැත. මේ ගැන මූල්‍ය සමාගමක නිලධාරියකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙවැන්නකි.
”ශ්‍රී ලංකාවේ උසාවිවල නඩු කටයුතු සිදුවන්නේ ඉංග්‍රීසියෙන් නිසා අපි අත්සන් ගන්නේ ඉංග්‍රීසි පිටපතේ. අපිට ඒකට කරන්න දෙයක් නැහැ.”
නමුත් අප දන්නා පරිදි අධිකරණ පද්ධතියේ නඩු කටයුතු සිදුවන්නේ සිංහල සහ දෙමළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසියෙනි. ඒ නිසා නඩු කටයුතු සිදුවන්නේ ඉංග්‍රීසි බසින් යැයි කියමින් ඉංග්‍රීසි පිටපතකට අත්සන් ගැනීම මුසාවකි.
වාහනයක් මේ ගිවිසුම් සියල්ල අනුව මිලදී ගන්නා විට ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එහි ලියාපදිංචි සහතිකය ලබාදෙන්නේ හිමිකරු ලෙස ගනුදෙනුකරුවාගේ නමත් පරම අයිතිය ඇත්තේ සමාගමටත් බවට ලේඛන ගත කරමිනි. පරම අයිතිය යනු එය යළි කිසිවෙකුට නීත්‍යානුකූළ නොවන අයුරින් පැවරිය නොහැකි දෙයකි. නමුත් සෑඹ වාහනයක් ම කල් බදු ක්‍රමයට ලබා දෙන විට සමාගම සිය ගනුදෙනුකරුවාගෙන් වාහනයක් පැවරීමේ දින රහිත හිස් ලේඛනයකට අත්සන් ගනී. මේ පැවරීමේ සහතිකයේ ම මුද්‍රණය කර ඇත්තේ සහතිකය අත්සන් කළහොත් එහි එක් කොලයක් වාහනය පවරනු ලබන තැනැත්තා (මේ අවස්ථාවේ ගනුදෙනු කරුවා) විසින් දින 14 කට නොවැඩි කාලයක දී රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යැවිය යුතු බයි. නමුත් එය සිදුවන්නේ නීති විරෝධී ආකාරයෙනි. ඒවාට නීතිය ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නට නැත.
මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ බැංකුවක සුපිරි ශාඛාවක කළමනාකරුවෙක් මෙසේ කීවේය.
” මගේ හොඳ ගනුගෙනුකරුවෙකුට පසුගිය දවසක වාහනයක් ලීසිං ක්‍රමයට ගන්න අවශ්‍ය වුණා. අපි සියලු ලේඛන හදලා දීලා ඒ වාහනයේ පැවරුම් සහතිකයක හිස් කොළය අත්සන් කරන්න කියා ඒ මහත්මයාට කිව්වම ඒ වැඩේ කරන්න බැහැ කිව්වා. මම ඒ වෙලාවේ කිව්වේව ඒ හිස් කොළයට අත්සන් කරන්නේ නැත්නම් ලීසිං එක දෙන්නේ නැහැ කියලා. ඒ මහත්මයා අපි සමග ගනුදෙනුව ප්‍රතික්ෂේප කරලා ගියා.”
වාහන කල්බදු ක්‍රමයට මිලදී ගන්නා බොහෝ පිරිසක් වැඩිකල් නොගොස් වාරික ගෙවා ගැනීමට නොහැකිව අමාරුවේ වැටෙති. එවිට මුලින්ම සිදුවන්නේ වාහනය මිලදී ගත් පුද්ගලයාගේ නම ක්‍රිබ් හෙවත් ණය තොරතුරු කාර්යාංශයට යොමුවීමයි.
”කෙනෙක් බැංකුවකින් හෝ ලියාපදිංචි මූල්‍ය ආයතනයකින් ණයක් ගත් විගස ඒ පුද්ගලයාගේ නම ණය තොරතුරු කාර්යාංශයේ ලේඛනගත වෙනවා. ඒ පුද්ගලයා නිසි පරිදි වාරිකයක් නොගෙවා සිටියහොත් එම අදාල මාසයේ අවසන් දිනයේ මේ ගැන ණය තොරතුරු කාර්යාංශයට යන්නේ ණය ගෙවීමට තිබූ දිනයේ සිට මාසයේ අවසන් දිනය දක්වා දින කිහිපය මේ ණය ගෙවීම පැහැර හැරියා කියලා. ඊළඟ මාසයේ නියමිත දිනයේ දී අතපසු වූ වාරිකයත් සමග වාරික දෙකම දැම්මත් ණය තොරතරු ලේඛනයේ අර හිග මුදලක් ඇති බවට වූ තොරතුර ඉවත්වීමට ඒ මාසයේ අවසන් දිනය දක්වා බලා සිටිය යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම් රටවල් මේ ණය තොරතුරු ලේඛනයේ ගැටලුකාරී යැයි පෙන්වන පුද්ගලයන්ට තම රටට ඇතුළුවීම වීසා නිකුත් කරන්නෙත් නැහැ. ” එසේ කීවේ තවත් බැංකු කළමනාකාර වරයෙකි.
වාහනයකට ඇප වූ පුද්ගලන් ද මේ නිසා අමාරුවේ වැටෙනවා නේදැයි විමසූ විට ඔහු පවසන්නේ ඇප කරුවන් ණය තොරතුරු ලේඛනයේ දක්වා ඇතත් බොහෝ විට ඇප කරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ නොගන්නා බවයි.
වාහනයක වාරික කිහිපයක් ගෙවාගත නොහැකි වූ විට වාහනයේ හිමකරුට වාහනය අහිමවන්නේ මූල්‍ය සමාගම්වලට සේවය කරන සීසර්ලා හෙවත් වාහන අත්ත් කරගන්නා පුද්ගලයන් හේතුවෙනි. ඔවුන් දරදඬුය. කරන්නේ රැකියාවකි. මේ ගැන වාහන මිලදීගත් පුද්ගයන් නිතර නිතර මැසිවිලි නගන්නේ තමන්ගේ වාහනය සීසර්ලා විසින් රැගෙන යාමට සූදානම් යැයි කියමිනි. මේ ගැන විමසූ විට කළමනාකරුවකු මෙසේ කීවේය.
” අපිට වාහනයක් අත්පත් කරගන්න ඕනෑම වෙලාවක පුළුවන්. කෙනෙක් හොඳට වාහනයට අදාල වාරික ගෙවාගෙන ගොස් තිබුණත් ඒ වාහනය නීති විරෝධී කාර්යයන් සඳහා භිවිතා කරන්නේ නම් පවරා ගත හැකියි. ඒ වගේ ම වාරික ගෙවීම අතපසු කරලා තියෙනවානම් පළමුවැනි වතාවට කරන්නේ සිහිපත් කිරීම. ඉන් පසු ඇපප කරුවන්ට කතා කරලා දැනුම් දෙනවා. වාහනයට ගෙවන්න බැරිනම් ගෙනත් දෙන්න කියලා කියනවා. ඒත් හරියන්නේ නැත්නම් ගිහින් වාහනය අත්පත් කරගන්නවා. මෙය අපිට කරන්න පුළුවන් නීත්‍යානුකූල දෙයක්.” එසේ පවසන්නේ මූල්‍ය සමාගමක හිමිකරුවෙකි.
ඔහු එසේ කීව ද නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා මෙසේ පැවසීය.
” ශ්‍රී ලංකාවේ නීතිය අනුව කිසිම දෙයක් බලහත්කාරයෙන් අත්පත් කරගන්න බැහැ. බලහත්කාරයෙන් නිවසකට ඇතුළු වෙන්නත් බැහැ. ඒ නිසා සීසර්ලා කරන මේ ක්‍රියාව වැරදියි. ඔළුවුන්ට කරන්න පුළුවන් වාහනයේ හිමිකරුවා කැමැත්තෙන් වාහනය දෙනවානම් භාර ගැනීම පමණයි. වාහනයක් ගෙන ඒමට යනවානම් ඔවුන් ඒ සඳහා දිස්ත්‍රික් උසාවියකට කරුණු වාර්තා කර අවසරයක් ගත යුතුයි. නමුත් දැන් සීසර් ලා කරන්නේ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලා වාහනය බලෙන් අරගෙන එනවා. නමුත් අධිකරණයට ගිහින් කියන්නේ හිමිකරුවා විසින් අපිට මේ වාහනය කැමැත්තෙන් භාර දුන්නා කියා. “
මේ වගේ දේවල් සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. ඒ අයට කිසිම අයිතියක් නැහැ වාහනයක් අතරමග නවත්වලා හිමිකරුට පාහර දීලා අරගෙන යන්න. ඔවුන් වාහනයක් ගන්නවානම් වාහනයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් ගමනාන්තය දක්වා රැගෙන ගොස් වාහනය ගත යුතු වෙනවා. නමුත් එලෙස නීති ක්‍රියාත්මක වන්නේ නැත.
කපිල ජයවර්ධන මහතා (47) මෙසේ පවසයි.
”මම දන්න තරමින් සීසර්ලා කරන වැඩේ සම්පූර්ණයෙන් ම වැරදියි. ඒ අයට මේ විදියට වාහන පැහරකන්න බැහැ. අයිතියක් නැහැ. මේක නීති විරෝධී කියලා දන්න නිසා තමයි ඒ අය පොලිසියේ පැමිණිල්ලක් දාලා එන්නේ. ඇත්තටම එ් අයට අයිති වාහනයක් නම් ගන්න එන්නේ පොලිසියේ පැමිණිලි අවශ්‍ය නැහැනේ. “
ඔවුන් මතුකරන තර්කයේ ද සත්‍යයක් තිබේ. සීසර්ලා විසින් රැගෙන යන වාහනය හිමිකරු විසින් ම යළි බේරාගන්නේ නම් වාහනය පැහැරගෙන ගිය සීසර්ලාගේ විදයම් ගෙවිය යුතුය. එමෙන්ම වාහනයක් මිලදී ගැනීමේ දී එහි වටිනාකමින් සියයට 30ක් ලෙස ගෙවූ මුදල ආපසු ලැබෙන්නේ නැත. අදාල වාහනය වෙන්දේසියේ විකුණනා ගන්නා ලාභයෙන් තමන්ට අදාල මූල්‍ය සමාගමට අයවිය යුතු සියලුම මුල් පවරාගෙන ඉතුරු වූ යමක් ඇත්නම් ඒවා ඒවා හිමිකරුට ලැබෙයි.
ඇතැම් පුද්ගලයන්ට මෙවැනි දේට මුහුණ දීමට සිදුව ඇත.
”මම ලීසිං එකක් ගත්තා. මට වාහනයට හරිහැටි සල්ලි ගවෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අවසානයේ මගේ වාහනය ලීසිං සමාගමෙන් අරගෙන ගියා. මම ලීසිං සමාගම තිබුණනු තැනට ගියා. නමුත් එතැන දැන් ඒ සමාගම නැහැ.
ඔහු හා සමාන සිද්ධිවලට මුහුණ දුන් බොහෝ දෙනකු සිටිති. මෙවැනි දෑ සිදුවූයේ අද ඊයේ නොවේ.මහ බැංකුවේ ලියාපදිංචි නැති මූළ්‍ය සමාගම්වලට හසුවන බොහෝ දෙනකුට මේ ගැටලුව හටගෙන ඇත.
කල්බදු ලීසිං සමාගම් කරන්නේ බරපතල වංචාවකි. මේ පහසුකම් දෙන බොහෝ සමාගම් ලියාපදිංචි වී නැත. ගිවිසුම අත්සන් කරන මොහොතේ පටන් උසාවියට නඩු කටයුත්තක් සඳහා යොමු වන අවස්ථාව දක්වාම ඔවුන් නීති විරෝධී දෑ කරයි.
හතු පිනේනාක් මෙන් මිනිසුන් අතර පැමිණ ඔවුන් මුලාවේ දමන මෙවැනි අනවසර ලීසිං සමාගම් හේතුවෙන් සමස්ථ සමාජයම අගාධයට වැටී තිබේ. රජය මේ ගැන වහාම අවධානය යොමුකර ලීසිං සමාගම් ප්‍රමිතිගත කළ යුතුය. නැතිනම් නීත්‍යානුකූළ නොවන සමාගම් සඳහා නීතිය ක්‍රියාතම්ක කළ යුතුය.
ලංකාවේ දුවන්න බැරි කෝච්චි එන්ජින් ගෙන්වලා
”අඟුරු කකා, වතුර බිබී කොළඹ දුවන යකඩ යකා” දැන් ”සල්ලි කකා නිකන් ඉන්න යකඩ යකා” වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ම සේවකයෝ කියති. .
පසුගිය කාලයේ රුපියල් කෝටි 100 වැය කර ඉන්දියාවෙන් ඇනවුම් කරන ලද දුම්රිය එන්ජින් 10න් අටක් මෙරටට ගෙන්වා ඇතත් ඉන් ධාවනයේ යොදවා ඇත්තේ එන්ජින් තුනක් පමණි. ඒ කන්කසන්තුරය දක්වා ධාවනයවන යාල්දේවී දුම්රිය දෙක සඳහා සහ පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියකට පමණි.
ධාවනයේ යෙදවූ එක් දුම්රිය එන්ජිමක් මරදානේ දී පිලී පැනීමට ලක්වූ අතර එහි සස්පෙන්ෂන් පද්ධතියේ සිදුව ඇති දෝෂ අලුත්වැඩියා කිරීමට ඉන්දියාවෙන් අදාල නිෂ්පාදන සමාගම පැමිණෙන තුරු ධාවනයෙන් ඉවත්කර ඇත. තවත් දුම්රිය එන්ජිමක පරිගණක පද්ධතියේ දෝෂයක් හටගෙන ඇති බැවින් එම දෝෂය සැකසීමට ඇමෙරිකාවේ ඊඑම්ඩී සමාගමෙන් පැමිණෙන තුරු බලා සිටීමට සිදුව ඇත. මෙරටට ගෙන්වන ලද තවත් එන්ජිමක් බර පැටවූ පරීක්ෂණ ධාවනය නොකරම ගාල්කර තිබේ. ඒ අනුව ගෙන්වූ දුම්රිය එන්ජින් අටෙන් දැනට ධාවනයේ යෙදෙන්නේ දුම්රිය එන්ජින් තුනක් පමණි. අනෙක් සියල්ල දුම්රිය අංගනයේ ගාල් කර තිබේ.
මේ අතර ඇණවුම් කළ ඉතිරි එන්ජින් දෙකත් තව නොබෝ දිනකින් මෙරටට ලැබෙනු ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ම පවසන්නේ මේ එන්ජින් මෙරට දුම්රිය ධාවනය සඳහා යොදාගත නොහැකි බවයි.
එම් – 11 ලෙස නම්කර ඇති ද්විත්ව රියදුරු කුටි සහිත මෙම එන්ජිමක දිග මීටර 21ක් හෙවත් අඩි 72 කි බර ටොන් 120 කි. මෙය මෙරට දුම්රිය ධාවනයට එක්වූ විශාලතම හා බරින් වැඩිම දුම්රිය එන්ජිමයි. මෙරට මෙතෙක් තිබූ දුම්රිය එන්ජින් අතරින් බරින් වැඩිම එන්ජිමේ බර ටොන් 80ක් පමණක් විය. ඇමෙරිකාවේ ඊඑම්ඩී හෙවත් Electro Motive Division නමැති සමාගමෙන් නිෂ්පාදනය කරන ලද එන්ජිම එකලස් කර ඇත්තේ ඉන්දියාවේ Diesel Locomotive Works සමාගම විසිනි.
දුම්රිය තාක්ෂණික ශිල්පීන් පවසන්නේ මෙරට දුම්රියක රෝද සවිවන ඇක්සලයකට දරාගත හැකියැයි නිර්දේශිත උපරිම බර ටොන් 20ක් බවයි. මෙය තීරණය වන්නේ දුම්රිය මාර්ගයේ ස්වභාවය අනුවය. සාමාන්‍යයෙන් දුම්රිය එන්ජිමක ටොන් 80ක බර දරා ගැනීම සඳහා ඇක්සල් හතරක් පිහිටුවා තිබේ. මෙම දුම්රියේ බර වැඩි නැතැයි එය ගෙන්වීම සාධාරණීකරණය කරන නිලධාරියකු අප සමග කියා සිටියේ ටොන් 120ක් මේ දුම්රිය එන්ජිම බර වැඩි වුව ද එහි ඇක්සල හයක් පිහිටා ඇති බැවින් එක ඇක්සලයකට බෙදී යන බර ටොන් 20ක් බැවින් කිසිදු ගැටලුවක් හටගන්නේ නැති බවයි.
කෙසේ වෙතත් ටොන් 120ක බර විහිදී යන්නේ අඩි 72ක් පුරාය. දුම්රිය එන්ජිම දිගින් වැඩි නිසා ඇක්සල ප්‍රමාණය නිවැරදි වුව ද බර පොළොව මත ක්‍රියාත්මක වන ස්ථානය අනුව මේ එන්ජිම පාලනය අපහසු බව අනෙකුත් කාර්මික නිලධාරීන් පවසයි. එය සත්‍යයක් බව සනාථ වූයේ මරදානේ දී මෙම එන්ජිමක් සවිකළ දුම්රියක් පීලි පැනීම හේතුවෙනි.
මේ පිළිබඳ අදහස් දැක්වූ දුම්රිය නියාමකයන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා මෙසේ කීවේය.
” ඉන්දියාවෙන් ගෙන්වන වෙනත් දුම්රියක පුහුණුවක් සඳහා මා ඉන්දියාවට ගිය අවස්ථාවක මේ දුම්රිය එන්ජින් අපේ රට වෙනුවෙන් නිෂ්පාදනය වන ආකාරය දුටුවා. ඒ මෙහොතේම මා අපේ නිලධාරින්ට දැනුම් දුන්නා මේ දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැහැ කියලා. මේවා විශාලයි. දිගින් වැඩියි. ඇමෙරිකාවෙන් ගෙන්වන ඩීසල් එන්ජිමට ඉන්දියාවේ දී ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එන්ජින් බොඩි සවිකරලා තමයි මේ එවලා තියෙන්නේ. මේ එන්ජින්වල අශ්වබල ප්‍රමාණය වැඩියි. මැදිරි 30ක් පමණ සවිකරලා අදින්න පුළුවන් තරම් බලයක් මේ එක එන්ජිමකට තියෙනවා. නමුත් අපේ රටේ මැදිරි 17ක් තමයි උපරිම භාවිතා වන්නේ. අපේ දුම්රිය වේදිකා ඉන්දියාවේ ඒවාට වඩා දිගින් අඩුයි. ඒ වගේම අපි දුවන උරිම දුර කිලෝ මීටර 400ක් පමණ ප්‍රමාණයක්. ඒ නිසා මෙය අපේ අවශ්‍යතාවයට නොගැලපෙන තරම් විශාල එන්ජිමක්.”
පසුගිය රජය කියා සිටියේ මෙරට දුම්රිය සේවය වඩාත් විධිමත් හා කාර්යක්ෂම තත්ත්වයට පත්කිරීම සඳහා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආකාරයෙන්ම සැකසූ එන්ජින් ගෙන්වූ බවයි. මේ සඳහා දැවැන්ත ප්‍රචාරයක් ද ලබා දුන්නේ මෙම එන්ජින් පරීක්ෂණ ධාවනවලට යොමු කළ අවස්ථා පිළබඳව ද වාර්තා කරමිනි.
දුම්රිය එන්ජින් සැකසීම සදහා අවශ්‍ය පිලිවිතරයන් මෙරට දුම්රිය ඉංජිනේරුවන් විසින් ලබාදුන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එසේ වුව ද ඉන්දියාවෙන් ගෙන්වූ මේ දුම්රිය එන්ජින්වල ඇත්තේ එයාර් තිරිංග ක්‍රමය පමණි. ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතයට ගත් සියලුම දුම්රිය එන්ජින්වල එයාර් තිරිංග සහ වැකියුම් තිරිංග යන ආකාර දෙකම තිබිණි. මෙරට දුම්රිය ධාවනය සඳහා දැනට භාවිතයට ගන්නා මැදිරි 450ක ම ඇත්තේ වැකියුම් තිරිංග පමණි. එයාර් තිරිංග සහිතව චීනයෙන් ආනයනය කරන ලද මැදිරි 100ක් ඇතත් ඒවායේ තිරිංගවල දෝෂ හේතුවෙන් ම දැනට භාවිතයට ගන්නේ මැදිරි 40ත් 50ත් අතර ප්‍රමාණයක් පමණි. ඒ අනුව ඉන්දියාවෙන් ඇණවුම් කළ එන්ජින් 10 සඳහාම යොදාගත හැකිවන්නේ මැදිරි 50කට අඩු ප්‍රමාණයකි. දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ එම මැදිරි දැනට මෙම දුම්රිය එන්ජින් සමග යාල්දේවී දුම්රිය දෙකට සහ පොල්ගහවෙල සිට ධාවනය වන දුම්රියකට යෙදා ඇති බවයි.
රටේ ධාවනයට යෙදවිය හැකි මැදිරිවල ඇති තිරිංග ක්‍රමවේදයට සහාය නොදක්වන එන්ජින් රුපියල් කෝටි ගණනක් වැය කර ඉන්දියාවෙන් ගෙන්වීමට පිලිවිතරයන් අනුමත කළ නිලධාරීන් අද නිහඬය. මේවායේ තවත් ගැටලු රැසක් පවතී.
මෙ නව එන්ජින් දිගින් හා බරින් වැඩි වීම හේතුවෙන් මෙරට ඇති වංගු සහිත මාර්ගයන්හි ධාවනය කිරීමට හැකියාවක් නැති බව දුම්රිය රියදුරෝ කියති. ඔවුන් පවසන්නේ ඒවැනි වංගු ගැනීමට මේ දුම්රිය එන්ජිමට නොහැකි බවයි. එසේනම් වංගු අඩු මාර්ගයන්හි මේ එන්ජින් ධාවනය කළ යුතුය. වංගු අඩු පුත්තලම මාර්ගයේ දැනට ඇති දුර්වල තත්ත්වය හේතුවෙන් මෙවන් විශාල එන්ජිමක් එහි පීලිමත ධාවනය කිරීම විශාල අනතුරකට අත වැනීමකි.
මුහුදුබඩ මාර්ගයේ ගාල්ල, මාතර බෙලිඅත්ත දෙසට වංගු අඩු වුව ද ගමනාන්තයක් නොවන ගාල්ලට මේ එන්ජිමක් පැමිණි විට එතැන් සිට මාතර හා බෙලිඅත්ත දක්වා වෙනත් එන්ජිමක් භාවිතා කරන්නට සිදුවන තත්ත්වයක් උදාවී තිබේ. ඒ එම් 11 එන්ජිම දිගින් වැඩි බැවින් ගාල්ලේ දී දුම්රිය නවතා එන්ජිම ගලවා වෙනත් පීල්ලකට මාරු කර පිටුපසින් සවිකිරීමට ධාවනය වෙනස්කළ යුතු පීල්ල හරස්වන ස්ථානයත් දුම්රිය වේදිකාවේ අවසානයත් අතර ඇති පරතරයට වඩා මේ එන්ජිම දිගින් වැඩවීම හේතුවෙනි.
ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් හැරවීම සඳහා ඉදිකර ඇති හැරවුම් මේසවල මේ දුම්රිය එන්ජින් හැරවීමට නොහැකි තරමට දිගින් වැඩවීම තවත් බරපතල ගැටලුවකි. එබැවින් M-11 දුම්රිය එන්ජින් සඳහා දිගින් වැඩි නව හැරවුම් මේස ඉදිකිරීමට සිදුවනු ඇත.
මෙරටට අවශ්‍ය පිලිවිතර ඉන්දියාවේ සමාගමට ලබාදුන් විශේෂඥයන් මේ කරුණු ගැන සැළකිල්ලක් දක්වා නැද්ද යන්න ගැටලුවකි.
දුම්රිය නියාමකයන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා පවසන්නේ කොළඹ සිට පයාගල දක්වා මේ දුම්රියේ යා හැකි වුව ද ඉන් ඉදිරීයට මෙම එන්ජිම ධාවනය කළ නොහැකි බවයි.
මේ පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් විමසූ විට මෙසේ කීවේය.
”මේ දුම්රිය එන්ජින්වල ගැටලුවක් තියෙනවා කියලා කවුද කියන්නේ. එහෙම කියනවානම් එහි කිසිම සත්‍යතාවක් නැහැ. මේ එන්ජින් ලොකුයි තමයි. නමුත් අපේ තාක්ෂණ කමිටුවක් පත්කරලා ඔවුන් සැකසූ පිලිවිතර අනුව තමයි නිෂ්පාදන කටයුතු කළේ. ඇතැම් අය කියනවා මේකේ එයාර් බ්‍රේක් තියෙන්නේ ඒකට ගැලපෙන මැදිරි නැහැ කියලා. තවමත් ඒ කතාවේ සත්‍යතාවක් තියෙනවා. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ එම්-11 මැදිරි ඇණවුම් කරන අවස්ථාවේ ම අපි නව දුම්රිය මැදිරි 160ක් ඇණවුම් කළා. නමුත් එයට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් දෙකෙන් එක සමාගමක් අභියාචනයක් ඉදිරීපත් කළ නිසා අපට නැවත ටෙන්ඩර් කැඳවා ඇණවුම ලබාදීමට සිදුවුණා. එසේ නොවුණානම් මෙම දුම්රිය එන්ජින් සහ මැදිරි එකවිට ලංකාවට එනවා. නමුත් ඒ් මැදිරිවලින් මුල් කොටසවන මැදිරි 60ක් සැපැත්ම්බර් මාසයේ තමයි ලංකාවට ලෑබෙන්නේ. එවිට මේ ප්‍රශ්න කිසිවක් නැහැ. එන්ජින් හැදුවේ බරණාසි සමාගමක්. මැදිරි හදන්නේ චෙන්නායි සමාගමක්.”
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ මෙම දුම්රිය එන්ජින් නිෂාපදනය වෙමින් තිබෙන විට ද තාක්ෂණ කමිටුවේ සාමාජිකයන් ඉන්දියාවට ගොස් ඒ්වා නිරීක්ෂණය කළ බවයි. තව ද පුහුණුව සඳහා ද නිලධාරීන් එහි යැවූ බව ද හෙතෙම කියයි.
දුම්රිය සේවකයන්ගේ චෝදනා අතර ඇති එක් කරුණක් වන්නේ මෙම එන්ජින් හැරවුම් මේසයේ දී හැරවිය නොහැකි බවයි. ඒ පිළිබඳ ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය.
”සාමාන්‍යයෙන් දුම්රිය එන්ජිමක ඒක් පැත්තක් දිගින් වැඩි නිසා රියදුරන්ට පාර පේනවා අඩුයි. එවැනි එන්ජින්වලට හැරවුම් මේසයක හැරවීම අවශ්‍ය වෙනවා. නමුත් මේ නව එන්ජින්වල දුම්රිය දෙපසේම ඇති රියදුරු කුටි ඉදිරිපස වීදුරුවට සමීපව තිබීම නිසා දුම්රිය එන්ජිම හැරවුම් මේසයකට දාලා හරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්.”
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ මෙම දුම්රිය උඩරට මාර්ගවල ධාවනය කිරීම අපේක්ෂිත ඉලක්කයක් නොවූ බවයි. උඩරට මාර්ගයන්හි ධාවනයට වෙනම දුම්රිය එන්ජින් ඇණවුම් කර ඇතැයි ද ඔහු පැවසීය. තැනිතලා සහිත ප්‍රධාන මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගවලත් යාපනය දක්වාත් මෙය ධාවනය කිරීම ඉලක්කය වූ බව හෙතෙම පවසයි. ගාල්ල දුම්රිය ස්ථානයේ දී එන්ජිම ගලවා පිටුපසින් සවිකිරීමට නොහැකි ගැටලුවක් ඇති බැවින් බෙලිඅත්ත දක්වා මෙම එන්ජින් යැවීමේ අපහසුවක් ඇති බැවින් ඉතා ඉක්මණින් ගාල්ල දුම්රිය ස්ථානය අවශ්‍ය පරිදි සකසන බව ද ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක් ගෙන්වා ඒවා ධාවනයට එක්කරගැනීමේ ගැටලුවක් තිබීම පිළිබඳ ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් හේතුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවයි.
මෙම කමිටුව පත්කර ඇත්තේ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වන ඩිලන්ත ප්‍රනාන්දු මහතා විසිනි. එම කමිටුවේ සභාපතිත්වය හිටපු සාමාන්‍යාධිකාරීවරයකු වන අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (කාර්මික) ඩබ්ලිව්.ජී.ටී.එල්. වික්‍රමරත්න මහතා විසින් හොබවයි. එම කමිටුවේ අනිකුත් සමාජිකයන් ලෙස ඉංජිනේරු (මාර්ග හා කාර්මික) ප්‍රියා ප්‍රනාන්දු මහතා සහ ගමනා ගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා කටයුතු කරති.
අමාත්‍යවරයා පවසන්නේ මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරණ වික්‍රමරත්න මහතා දුම්රිය ඇණවුම් කළ තාක්ෂණ කමිටුවේ ද සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ම මේ කමිටුවට ඒරෙහිව විරෝධතාවක් පැන නැගී ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
”මා අමාත්‍යධූරය භාරගත් අවස්ථාවේ ම වෘත්තීය සමිති කිහිපයක් ම මේ ගැන කරුණු පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ ධාවනයට නොගැලපෙන දුම්රිය එන්ජින් 10ක් ගෙන්වීමට කටයුතු කර තිබෙනවා කියා. මා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමගත් මේ ගැන කතා කළා. විවිධ නිලධාරීන් සහ වෘත්තීය සමිති විවිධ මත දරණවා. දුම්රිය සේවය නගා සිටුවීමට නම් පාඩුව අවම කරගත යුතුයි. දැන් මේ දුම්රිය එන්ජින් මෙරටට ගෙන්වා අවසන්. ඉතිරි දෙකත් ළඟදීම රටට ලැබේවි. මේ එන්ජින් ගෙනඒමේ දී යම් වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවක් සිදුවුණා ද කියා පරීක්ෂා කර බලනවා. එවැන්නක් සිදුව තිබෙනවානම් දැඩිව නීතිය කියාත්මක කරනවා. ඊට අමතරව දැන් ගෙන්වා තිබෙන එන්ජින්වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද කියාත් අප අධ්‍යයනය කරනවා. “
බ්‍රිතාන්‍යයන් විසින් අපට දායාද කළ දුම්රිය සේවය යනු මෙරට සාමාන්‍ය ජනතාව වැඩිපුරම භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයයි. නමුත් එම සේවය තවමත් වාර්ෂිකව දැවැන්ත පාඩුවක් ලබන ආයතනයකි. කෙසේ වෙතත් රටවල් බොහොමයක දුම්රිය සේවය යනු රටේ ජනතාවගේ සියලු කාර්යයන් කාර්යක්ෂම කරනු ලබන අද්විතීය ප්‍රවාහන මාධ්‍යයයි. අද මෙවන් අර්බුදවලට ගොදුරුවන අපේ රටේ දුම්රිය සේවය කවදා කෙසේ නගා සිටුවන්නේ ද යන්න ගැටලුවක් බව සමස්ථ ශ්‍රී ලාංකිකකයන්ගේ අදහසයි.
වාහන ගන්නේ බලාගෙනයි. නීති විරෝධී වාහන හැමතැනම
මෙරට මාර්ගවල වාහන තදබදය අඩුවන්නේ නැත. එය එන්න එන්නම වැඩි වෙමින් පවතී. වාහන මෙරටට ගෙන්වීම සීමා කිරීමට යැයි පවසමින් රජය බදු මුදල් කොතරම් වැඩි කළ ද වාහන ගෙන්වීමේ අඩුවක් නැත. ආර්ථිකය බිඳ වැටී ඇතැයි ද මිනිසුන්ගේ අතේ සල්ලි නැතැයි ද කොතෙක් පැවසුවත් වාහන මිලදී ගන්නා පිරිසද එන්න එන්නම වැඩි වෙයි.
රට පුරා වාහන අළෙවි කරන ස්ථානවල ද ලක්ෂ ගණනක් වාහන ගැනුම්කරුවන් එනතුරු රඳවා තබා ඇත. එමෙන් ම දැන් දැන් අන්තර්ජාලය ඔස්සේ ද වාහන ඇණවුම් කිරීමේ පහසුකම තිබේ. මෙහි දී සිදුවන්නේ අන්තර්ජාලයේ ෆේස්බුක් ජාලයේ දැන්වීම් මගින් වාහන විකිණීමේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි. ඔවුන් ෆේස්බුක්හි අලුත්ම වාහනවල ඡායාරූප රැසක් සමග දැන්වීම් පළකරයි. ඉන් පසු යම් පුද්ගලයෙක් එයට ප්‍රතිචාර දැක්වූ විට අදාල වාහනයේ සියලු දත්ත විමසීම් කළ පුද්ගලයාට ඊමේල් මගින් හෝ ෆේස්බුක් මැසෙන්ජර් හරහා හෝ යවයි.
එවැනි වාහන විකුණුම්කරුවකු සමග මේ ලේඛකයා වාහනයක් මිලදී ගන්නා පුද්ගලයකු ලෙස සාකච්ඡා කළ විට දී හෙතෙම මෙසේ කීවේය.
” අපි කෙලින්ම ජපානයෙන් වාහනය ඇණවුම් කරන්නේ. ඔයාට ඕනම පාටකින් අලුත්ම වාහනයක් ගන්න පුළුවන්. ඔයා සල්ලි ගෙවලා මාසයකින් වාහනේ ගෙදරටම ගෙනත් දෙනන්ම්. අපි ගන්නේ බ්‍රෑන්ඩ්නිව් වාහනයක්. බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ගෙන්නවිට වැඩියෙන් බදු ගෙවන්න සිදුවෙන නිසා අපි කිලෝ මීටර 25ක් 30ක් විතර ජපානයේ දුවලා තමයි වාහනේ මේ රටට ගෙන්වන්නේ. එතකොට එන්නේ රිකන්ඩිෂන් වාහනයක් විදියට. බය වෙන්න එපා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇක්සිඩන්ට් වෙච්චා, අයින් කරපුවා නෙවෙයි. අලුත්ම වාහනයක්. අපි බදුවලින් බේරෙන්න තමයි මේක රිකන්ඩිෂන් විදියට ගෙන්වන්නේ.”
ඔවුන් මේ ආකාරයට රජයේ නීතිවලින් බේරී බදු වංචාවක් සිදුකරන බව පෙනෙන්නට තිබේ. ඒ ආකාරයෙන් ම අන්තර්ජාලය ඔස්සේ වාහන විකුණන තවත් පුද්ගලයකු අප සමග කීෆව් මෙවැනි කතාවකි.
” අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ නියෝජිතයන් ජපානයේ, කොරියාවේ, තායිවානයේ, චීනයේ ඉන්නවා. අපි එහේ තියෙන වාහනවල පින්තූර, වීඩියෝ සහ විස්තර ෆේස්බුක් දාලා මිලත් දානවා. කෙළින්ම කියනවා ශ්‍රී ලංකාවේ දී ගන්න බැරි තරම් අඩු මිලට ලබා දෙනවා කියලා. ඉතින් අපේ රටේ අය නිතර නිතර කතා කරනවා. සීයක් විතර කතා කළාම එක්කෙනෙක් දෙන්නෙක් සෙට් වෙනවා. අපි ඉතින් ඒ අයට පැහැදිලි කරලා කියනවා වාහනය ගෙන්වන්නේ අලුත් එකක් වුණත් කිලෝ මීටර 25ක් විතර පැදලා කියලා. ඇත්තටම කරන්නේ එහෙම තමයි. ඉතින් ඒ අයත් ලැබෙන ලාභය ගැන හිතලා වැඩේට කැමති වෙනවා. අවශ්‍ය සියලු බදු ගෙවීම් ලේඛන සකස් කිරීම් අපි කරනවා. ගනුදෙනු කරුවාට තියෙන්නේ අවශ්‍ය මුදල අපිට ගෙවීම විතරයි. අපි ගෙදරටම වාහනය ගෙනගොස් භාර දෙනවා. මේ ක්‍රමයට ගෙන්වන විට බදු මුදල අඩුයි. “
එලෙස ගෙන්වූ වාහනයක් මිලදී ගත් කේ.එස්.නානායක්කාර මහතා මෙසේ කීවේය.
”මම වාහනයක් හොය හොයා හිටියා. වාහන විකුණන තැන්වලට ගිහින් විවිධ ආකාරයේ වාහන බැලුවා. නමුත් දවසක් ෆේස්බුක් එකේ තිබුණු දැන්වීමකට කතා කළාම කිව්වා ගොඩක් අඩු මුදලකට අලුත්ම වාහනයක් ගෙන්වලා දෙන්නම් කියලා. එයාලා මට ගෙන්වන වාහනයේ ඡායාරූප වීඩියෝ පවා එව්වා. මම ඉතින් මේ පුද්ගලයන් ගැන ටිකක් හොයලා බැලුවත් එක්ක. ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කෙලින්ම කිව්වානේ ඒ රටේ දී කිලෝ මීටර 30ක් විතර පැදලා එවන්නේ රීකන්ඩිෂන් විදියට කියලා. මම මුදල් ගෙව්වා. මට මාස එකහමාරකින් වාහනය ලැබුණා. දැන් ඉතින් පදිනවා. අලුත්ම වාහනයක් පොතේ තියෙන්නේ රීකන්ඩිෂන් කියලා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. කවදහරි මම පැදලා විකුණනකොට තමයි ඒක බලපාන්නේ.”
ඔහු පවසන ආකාරයට අලුත්ම වාහන ගනුදෙනු කරුවන්ට ලාභයක් ලබාදීම සඳහා මෙලෙස ගෙන්වීම ප්‍රශ්නයක් නොවේ. නමුත් ජපානයේ සිට මෙරටට වාහන එවනු ලබන පුද්ගලයකු අප සමග කියා සිටියේ අලුත්ම වාහන කිලෝ මීටර කිහිපයක් පැද ගෙන්වනවා යැයි කීව ද සිදුවන්නේ වෙනත් දෙයක් බවයි.
”ශ්‍රී ලංකාවේ දී වාහන මිලදී ගන්නා අය හිතනවා අපි එවන්නේ අලුත්ම වාහන ජපානයෙන් අරගෙන කිලෝ මීටර කීපයක් පැදලායැයි කියා. නමුත් ඊට වඩා වෙනස් දෙයක් කරනවා. ඒ තමයි පැදලා ධාවනයෙන් ඉවත්කරපු අලුත් පෙනුම තියෙන වාහන හරි පොඩි පොඩි අනතුරුවලට ලක්ව ඉවතදැමූ වාහන මිලදී ගෙන අපේ අය ඒවා රීකන්ඩිෂන් කරලා ධාවන මීටරයත් අඩු කරලා එවීම. වාහනයක් ජපානයේ දී පරීක්ෂා කර සකස් කරන වාර්තාවක් තිබෙනවා. J-I ලෙස සටහන් කරන මේ වාර්තාවට අපේ අය කියන්නේ ජායි රිපෝර්ට් කියලා. නමුත් අපේ රටේ දී වාහනයක් මිලදී ගන්නා අය මේ වාර්තාව ගැන දන්නේ නැහැ. මේ වාර්තාව ඇත්තටම හොයා බැලුවොත් තමන් මිලදී ගන්නා වාහනයේ සම්පූර්ණ ඉතිහාසය දැනගන්න පුළුවන්. ඒ වාර්තාව වෙනස් කළ හැකි දෙයක් නොවෙයි. ඒත් අපේ අයට අලුත් සුවඳ තියෙන ඕනෑම වාහනයක් එව්වම හරිම ආසාවෙන් මිලදී අරගෙන පන්සලට, කෝවිලට ගිහින් පූජාවකුත් තියලා මල් මාලා, දෙහි ගෙඩි එල්ලගෙන පදිනවා. ඒ අය දන්නේ නැහැ පරණ වාහනවලට අහුවෙනවා කියා. අලුත්ම වාහනයක් වුණත් ජපානයේ ලියාපදිංචි කරපු ගමන් එ්කේ වටිනාකම ඉතා විශාල ප්‍රමාණයකින් අඩු වෙනවා. අපිට ලොකු ලාභයක් ගන්න පුළුවන්.”
යම් පුද්ගලයකු වාහනයක් මිලදී ගන්නේ තමන් ඉතා දුක් මහන්සියෙන් උපයා ඉතිරිකරගන්නා මුදලිනි. වාහනයක් යනු වැඩිහිටියාගේ සිට පාසල් යන දරුවා දක්වාම ඇති සිහිනයකි. එහෙත් වාහනයක් මිලදී ගැනීමේ දී ඔවුන් හිතන්නේ අතේ ඇති මුදලට ඉතාමත් හොඳ පෙනුමක් සහිත ඉන්ධන ද හොඳින් ක්‍රියාත්මකවන රථයක් මිලදී ගැනීම මිස රථයේ ගුණාත්මක බව හෝ එය නිෂ්පදානය කර ඇති ආකාරය නොවේ. නමුත් ඇතැම් පුද්ගලයෝ දැන දැනම වංචා කර නිපදවා ඇති වාහන මිලදී ගන්නා හේතුද නැත්තේ නොවේ.
වාහන කැබලි එකලස් කර අලුතෙන් වාහන සාදා ඊට අවශ්‍ය පරිදි ලියාපදිංචි සහතික ද ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙයි. මෙහි දී සිදුකරන්නේ වාහන කැබලි වෙන වෙනම මෙරටට ගෙන්වා ඒවා එකලස් කිරීමයි. එවිට රජයට ගෙවීමට සිදුවන බදු මුදල ඉතා අඩු අගයක් ගන්නා බැවින් වැඩි ලාභයක් ලබා අඩු මුදලට ද වාහනය විකිණීමට හැකියාව ලැබේ. මේ ආකාරයට වැඩිපුරම විකිණෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ මිලක් සහිත අධි සුඛෝපභෝගී වාහනයි. ඇතැම් විට මේවා අමතර කොටස් ලෙස නොව වාහනය දෙකට කපා කොටස් දෙකකට හෝ කිහිපයකට වෙන වෙනම ආනයනය කර මෙරට දී යළි බද්ධ කරන්නේ කපා ගෙන්වූ වාහනයක් යැයි කිසිසේත්ම සොයාගත නොහැකි ආකාරයෙනි.
මෙලෙස ගෙන්වා සාදන වාහනවලට පැරණි වාහනක අංකයක් පොතක් සාදා ලියාපදිංචිය ද සිදුකරයි. එලෙස වාහන ජාවාරම් කරන පුද්ගලයන් පවසන්නේ අධිකරණවල නඩුවලට හසුවී ගාල් කර ඇති වාහනවල අංක සොයා ඒවායේ චැසි අංක සහ එන්ජින් අංක ද ලබාගෙන අලුතෙන් එකලස් කරන වාහනයේ එන්ජින් හා චැසි අංක ලෙස එවැනි පැරණි වාහනවල අංක කොටා වාහනයේ ලියාපදිංචි සහතිකය ද අලුතෙන් සාදන බවයි. මෙය දැවැන්ත ජාවාරමකි.
”මේ විදියට වාහන කෑලි වලට ගලවලා ගෙනවිත් එකලස් කර විකුණන එක නවත්තන්න නම් ඉතින් වාහන අමතර කොටස් මේ රටට ගෙන්වන එක නවත්වන්න වෙනවා. නැතිව මේ වැඩ නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ.” යැයි අප සමග කීවේ ඒ කාර්යයේ යෙදී සිටින නුගේගොඩ පදිංචි කරුවෙකි.
පරණ වාහන චැසියකට අවශ්‍ය අමතර කොටස් සියල්ල සවිකර නවීනතම වාහනයක් සකසා විකුණන විට ඒ වාහනයෙන් නිෂ්පාදනය කරන තැනැත්තා රුපියල් ලක්ෂ 20-30ක් පමණ ලාභයක් ලබන අතර වාහනය මිලදී ගන්නා පුද්ගලයාට ද සාමාන්‍යයෙන් එම වර්ගයේ ම වාහනයක් මිලදී ගන්නවාට වඩා විශාල ලාභයක් හිමිවෙයි.
මෙරටට වාහන ගෙන්වන තවත් ආකාරයක් තිබේ. ඒ වෙනත් කාර්යයන්ට බව පවසමින් වාහන ගෙන්වා පසුව ඒවා විකිණීමයි. වසර කිහිපයකට පෙර උතුරේ යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවලට විදුලිය සැපයීමට යැයි කියා ජාගම විදුලි උත්පාදක යන්ත්‍ර සවිකරන ලද වෑන් රථ රැසක් මෙරටට ගෙන්වා තිබේ. මෙය මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතිය යටතේ ගෙන්වූ වෑන් රථ රේගු බදුවලින් තොරව වරායෙන් පිටකර ඇති අතර පසුව ඒවායේ සවිකර තිබූ විදුලි උත්පාදක යන්ත්‍ර ගලවා වෑන් රථවලට ආසන සවිකර විකුණා තිබේ. මේ වෑන් රථ වෙළෙඳ පොළෙහි තිබූ සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට අළෙවි වී ඇත්තේ කඩිනමිනි.
ජපානයේ නිෂ්පාදිත මෙරට ධාවනය වන ආසන විසි අටේ බස් රථ අතර පිටුපස දොර දෙකක් තිබෙන බස් රථවල ඇතැම්විට මෙය කියවන ඔබ ද ගමන්කර ඇතිවාට සැකයක් නැත. ඒවා අපට වායු සමනය කළ සුඛෝපභෝගී බස් රථ වුව ද ජපානයේ දී මියගිය මිනිසුන් හෝ සතුන් ප්‍රවාහනය කරන රථ විශේෂයකි. ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වන විට බස් රථයකට අයකරන රේගු බද්දට වඩා ඉතා අඩු බද්දක් අයකරනු ලබන නමුත් මෙරට දී ආසන සවිකර විකුණන්නේ බස් රථ බව පවසමිනි.
” මේ විදියට වාහන ගෙන්වන තවත් ක්‍රමයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම ඉල්ලුම තියෙන්නේ පුංචි වාහනවලට. අපේ අය කරන්නේ ඒ රටවලින් පොඩි කාර් අරගෙන රෝද හතර ගලවනවා. ඉතිරි කොටස පටවනවා. රෝද හතර වෙනම පටවනවා. ඉතින් වරායට මේ වාහනේ එන්නේ අමතර කොටස් හැටියට. එවිට රේගු බද්ධ අඩුයි. රේගුවෙන් මේවා නිදහස් කරගෙන කන්ටේනර් අංගනයේ දී ම රෝද හතර හයිකරගෙන සේල් එකට අරගෙන යනවා. මේ විදියට ලොකු ලාභයක් ලැබෙනවා.”
වාහන ගෙන්වීමේ ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් රේගු බද්ද අඩුකර ගැනීම සඳහා යොදන තවත් උපක්‍රමයක් තිබේ. යම් වාහනයක් ගෙන්වන විට ඒවායේ ඇති විවිද පහසුකම් (Option) අනුව වාහනයට අයකරනු ලබන බදු මුදල තීරණය වෙයි. එබැවින් බද්දෙන් බේරියාම සඳහා ඔවුන් කරන්නේ වාහනයේ ඇති ඇතැම් කොටස් ගලවා වාහනය ඇතුළේම සඟවා ගෙන්වීමයි. විශේෂයෙන් ම මෙහි දී වාහනයේ ඇති ඩීවීඩී යන්ත්‍රය සහිත රේඩියෝව, පසුපසට සවිකරන ලද කැමරා ආදිය ගලවා බදු මුදල අඩුකරගැනීමට ඔවුහු සමත්වෙති.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වාහන සඳහා ලියාපදිංචි අංක නිකුත් කිරිමේ දී අකවල එකතුව 13 ලැබෙන අංක නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවයි. මෙලෙස අංක 13 එකතුව ලැබෙන අංක නිකුත් කිරීම නවතා දමා තිබෙන බැවින් සෑම වාහන ලියාපදිංචි අංක 12කටම වරක් එක් අංකයක් නිකුත් කරන්නේ නැත. නමුත් මාර්ගයේ ධාවනය වන වාහනවල අංක එකතුව බැලුවහොත් ඒ වාහන අතර ඉල්ලක්කම් සියල්ලේ එකතුව අංක 13 ලැබෙන වාහන ඕනෑ තරම් දැකගත හැකිවනු ඇත. හොරෙන් ගෙන්වන වාහනවලට මේ අංක ලබාගන්නා ක්‍රමයක් ජාවාරමේ යෙදෙන පුද්ගලයන් සතුව තිබේ.
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ මද වේලාවක් රැඳී සිටියහොත් ඕනෑම ආකාරයේ වාහනයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බව පවසන තැරැව්කරුවෝ ඕනෑ තරම් සිටිති. පරණ චැසියට අලුත් කොටස් සවිකර සාදා ගන්නා වාහනයකට වුව ද කපා ගෙන්වා එකතු කරන ලද වාහනයකට හෝ පැරණි අංකයකට අලුත් වාහනයකට හෝ ලියාපදිංචිය රැගෙන දීමට ඔවුන් සැදී පැහැදී සිටිති.
නමුත් ගැටලුවක් තිබේ. වාහනයක් ලියාපදිංචි කිරීමට පෙර නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ නිසි අධීක්ෂණයට ලක්කළ යුතුය. වාහනයක් අලුතින් ලියාපදිංචියක් හෝ නැවත අලුත් අංකයක් ලබාදීමේ දී එහි තාක්ෂණික අංශ නිලධාරීන් අනුමත කළ යුතුය. එසේ නිර්දේශයක් ලබාගත යුතුව තිබිය දී මෙලෙස හොරට වාහන ලියාපදිංචි කරන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු වන්නේ පාලකයන් විසිනි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ම සේවකයකු අප සමග පැවසුවේ ”ඔය වැඩ ඉතින් ඕන තරම් මේවා ඇතුලේ වෙනවා. ඒ විතරක් නෙවෙයි ධාවනයට නුසුදුසුයි කියන වාහන වර්ගත් ඕන තරම් ඔය අංක ගහගෙන පාරේ දුවන්නේ. ඒවා ගැන අනිත් මිනිස්සු දන්නෙවත් නෑ. අංක දෙන්නේ නැත්නම් අංක කොහෙන්ද ?” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්.කේ.ජගත් චන්ද්‍රසිරි මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
”වාහන හොරට ලියාපදිංචි කිරීමක් සිදුවෙන්නේ නැහැ. මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තැරැව්කරුවන් ඉන්නවා කියා කියනවා. අපි පුවරු පවා ප්‍රසිද්ධ කර තිබෙනවා කිසිම තැරැව්කරුවකුට රැවටෙන්න එපා කියලා. ඕනෑම කෙනෙකුට අපේ ආයතනයට ඇවිත් සේවය කඩිනමින් ලබාගන්න පහසුකම් තිබිය දී තැරැව්කරුවන් අවශ්‍ය වන්නේ නැහැ. අපි අලුතෙන් වාහනයක් ලියාපදිංචිකරන විට රේගුවෙන් ගන්නා ලිපි ලේඛන වගේම බැංකුවේ ණයවර ලිපි පවා පරීක්ෂා කරනවා. වාහනයට අදාල අනිකුත් ලියවිලි ද පරීක්ෂා කරනවා. ඒ නිසා වංචාවක් සිදුවන්න ඉඩක් නැහැ. ඔබ මෙවැනි වංචාවක් ගැන දන්නවානම් අපිට තොරතුරු ලබාදෙන්න. එවිට අපි ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නම්.”
වාහන සඳහා තිරු බදු රහිත පහසුකම් පාර්ලිමේන්තු හා පලාත් සබා මන්ත්‍රීවරුන්ට, රජයේ නිලධාරීන්ට හා වරින්වර රජය විසින් නම්කරනු ලබන පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාදයක් ලෙස හිමිවෙයි. මෙය ඔවුන් විසින් ලබාගත යුතු පහසුකමකි. නමුත් වාහන වෙන්දේසිකරුවෝ මේ බලපත්‍ර ලැබෙන තුරු බලා සිටිති. ඔවුන් කරන්නේ බලපත්‍ර ලබාදීම සිදුකර කාලයට මේ බලපත්‍රය සඳහා ලංසුවක් නියම කිරීමයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකුට හිමිවන වාහන බලපත්‍රයක් සඳහා ඔවුන් ඉදිරිපත් කරනු ලබන ලංසුව රුපියල් ලක්ෂ 15-25ත් අතර වෙයි. රජයෙන් ලබාදෙන බලපත්‍ර සංඛ්‍යාව අනුව මෙය අඩු වැඩි වෙයි.
විශ්‍රාම යන අමාත්‍යාංශ ලේකම්වරයකු වැනි පරිපාලන සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන වාහන බලපත්‍රයක් අළෙවි වන්නේ රුපියල් ලක්ෂ 150ක් වැනි අධික මුදලකටය. එවැනි බලපත්‍රයකින් මෙරටට බදු රහිතව ආනයනය කළ හැකි වාහනය කෝටි ගණක් වීම එයට හේතුවී ඇත.
එවැනි මුදලක් බලපත්‍ර හිමියාට ලබා දී වාහන ආනයනය කරන පුද්ගලයන් බලපත්‍රය මිලදී ගෙන වටිනා වාහනයක් බදු සහන යටතේ මෙරටට ගෙන්වා වෙනත් පුද්ගලයකුට සාමාන්‍ය වෙළෙඳපොළ මිලට එය විකුණා දමා විශාල ලාභයක් ලබති. මුලින් බදු සහන වාහන බලපතයක් වෙනත් අයකුගේ නමට පැවරිය නොහැකි වීම හේතුවෙන් මෙය සීමිතව සිදුවිය. නමුත් පැවරිය නොහැකි යැයි තිබූ කොන්දේසිය ඉවත්වීම නිසාම වෛද්‍යවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකු බලපත්‍රය ලබාගන්නේ එය විකුණා දැමීමේ ම අපේක්ෂාවෙනි.
මෙලෙස නිලධාරීන්ට බලපත්‍රය නොදී ඔවුන්ට කැමති වාහනයක් මිලදී ගැනීමට රජයෙන් මුදලක් පරිත්‍යාග කළේනම් වාහන ආනයනය කරන මුදලාලිලා ලාභ ලබා මෙරටට බදු ආදායමක් අහිමිවන්නේ නැත. නමුත් සිදුවන්නේ මුදලාලිලා ලාභ ලබමින් බදු ආදායම ද රටට අහිමිකිරීමට බලත්‍ර ලාභී රාජ්‍ය නිලධාරීන්ම වක්‍රාකාරයෙන් උදව් කිරීමයි.
රජයේ බදු මුදල්වලට වසං වී වාහන සිදුවන වාහන ජාවාරම් පිළිබඳ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා මෙසේ පැවසීය.
”වාහන ගෙන්වනවා වගේම වාහන අමතර කොටස් ගෙන්වන්නත් නීතියෙන් අවසරයක් තිබෙනවා. ඒ ඒ වාහන සඳහා අදාල බදු මුදල් අයකරනවා වගේම වාහන අමතර කොටස් ගෙන්වන විටත් අපි බදු මුදල් අයකරනවා. වාහන කොටස් එකලස් කරලා වාහන සාදා විකුණනවානම් ඒවා ලියාපදිංචි කිරීමේ විෂයය අපට අදාල විෂයයක් නොවෙයි. කපා ගෙන්වන වාහන, ව්‍යාජ ලෙස ගෙන්වන වාහන අත්අඩංගුවට ගත් අවස්ථා තිබෙනවා. රේගු නිලධාරීන් ඉතා අවංකව සහ කැපවීමෙන් නිතරම සේවයේ යෙදෙනවා. අපි කොතරම් එවැනි ජාවාරම් වැළැක්වීමට උත්සාහ ගත්තත් ජවාරම් කරුවන් නිතරම උත්සාහ ගන්නේ අපේ නිලධාරීන්ගෙන් බේරිලා හොර රහසේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න. අපි වැටලීම් කර අත්අඩංගුවට ගන්නා අවස්ථා තිබෙනවා. මේ ජාවාරම් ගැන තොරතුරු දන්නා අයට රේගුවට කතා කරලා ඒ විස්තර ලබාදිය හැකි දුරකථන අංක, ෆැක්ස් හා විද්‍යුත් තැපැල් ලිපිනයන් පවා අපි ප්‍රසිද්ධ කර තිබෙනවා. පැය 24ම ඒවා ක්‍රියාත්මකයි. තොරතුරු ලැබුණු වහාම අපි ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නවා. මේ ආකාරයට අත්අඩංගුවට ගන්නා වාහන හෝ අමතර කොටස් පසුව වෙන්දේසි කර විකුණා ලැබෙන ආදායම මහා භාණ්ඩාගාරයට යොමු කරනවා.”
වාහන ජාවාරමේ යෙදෙන පුද්ගලයන් පවසන්නේ ඇතැම් අවස්ථාවල දී තමන් විසින් ගෙන්වන වාහන සැබැවින්ම රේගුවේ අත්අඩංගුවට පත්වන බවයි. එවිට ඒවා වෙන්දේසියේ දි අඩු මුදලක් වැය කර යළි ලබාගැනීමට කටයුතු කරන බව ද ඔවුහු පවසයි. කපා ගෙන්වන වාහන ද කොටස් දෙක වෙන වෙනම ගෙන්වූ විට එයින් එක් කොටසක් හෝ රේගු භාරයට පත්වුවහොත් වෙන්දේසියට ඉදිරිපත්වන්නේ ඒ කොටස පමණක් බැවින් එය වෙනත් කෙනෙකුට මිලදී ගෙන ප්‍රයෝජනයක් ගත නොහැකි බව ද ඔවුහු පවසයි. ඒ නිසා එය වෙන්දේසියේ දී ලබාගන්නේ අනෙක් කොටස ගෙන්වා තිබෙන පුද්ගලයා විසිනි. එබැවින් රේගු නිලධාරීන් කවර ආකාරයේ වැටලීම් කළ ද වාහන ගෙන්වන්නෝ ද තම ජාවාරම ජයටම කරගෙන යති.
මේ වාහන යම් අවස්ථාව අනතුරට පත්වුවහොත් නම් ඒවා ව්‍යාජ ලෙස ගෙන්වා ඇති බව තහවුරු වන අවස්ථා තිබේ. නැතිනම් එම වාහනවල යන්නන් හෝ වාහන හිමිකරුවෝ හෝ තම වාහනය නිසි ක්‍රමවේදයකට මෙරටට ගෙන්වන ලද වාහන යැයි දන්නේ නැත.
මේ වාහන ජාවාරම හේතුවෙන් මෙරට රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම ද සුළුපටු ප්‍රමාණයක් නොවේ.
හොර වීසා හදන මහා ජාවාරම
වෙනත් රටක පුද්ගලයකුට අප රටට ඇතුළුවන්නට දෙන්නේ ඔවුන් මෙහි පැමිණී කාරණය විමසීමෙන් අනතුරවය. බොහෝ රටවල සිට මෙරටට පැමිණීමට පෙර වීසා ගත යුතුය. සංචාරය සඳහා, අධ්‍යාපනය සඳහා, රැකියා සඳහා, ව්‍යාපාරික ආයෝජන සඳහා සහ ආගමික කටයුතු සඳහා මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ද විදේශිකයෝ මෙරටට පැමිණෙති. කෙසේ වෙතත් ඔවුන් මෙරට යම් කාලක් ගත කරන්නේ නම් ඔවුන් යෙදී සිටින කාර්යයට අදාලව නිසි පරිදි අයදුම්පත්‍රයක් පුරවා රජයට මුදල් ගෙවා වීසා ගත යුතුය.
දැන් ශ්‍රී ලංකාවේ බැලූ බැලූ අත විදේශිකයෝ සිටිති. වැඩියෙන්ම සිටින්නේ චීනුන් යැයි බොහෝ දෙනා කියති. චීනුන් පමණක් නොව ඉන්දියා ජාතිකයන්, පකිස්ථාන ජාතිකයන්, බංගලාදේශ ජාතිකයන්, පිලිපීන ජාතිකයන් වැනි විවිධ රටවලින් පැමිණි පිරිස් මෙරට බුරුතු පිටින් සිටිති. ඔවුන් වැඩිපුරම සිටින්නේ කොළඹ හා ඒ අවට තදාසන්න පෙදෙස්වලය.
සයිවර් කඩවලින් රොටි කමින් පාන් වැනි සාමාන්‍ය මිලකට මිලදී ගත හැකි ආහාරමත යැපෙමින් ඔවුහු දිවි ගෙවති. මේ පිරිස සංචාරයේ යෙදීම සඳහා මෙරටට නොපැමිණි බව නම් පැහැදිලිය. ඔවුන් බොහෝ දෙනකු මෙරට රැකියාවල නිරත වෙති. ඇතැමුන් ව්‍යාපාරවල යෙදෙති.
රුසියාවෙන් මෙරටට පැමිණි පවුලක් ගාල්ලේ පදිංචිව සිටිති. සැමියා බිරිඳ සහ එකම දියණිය මේ පවුලේ සාමාජිකයෝය. ඔවුන් පැමිණියේ සංචාරක වීසා ලබාගනිමිනි. මේ පවුලේ කාන්තාව අප සමග මෙසේ පැවසුවාය.
” අපි ආවේ සංචාරක වීසා අරගෙන. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳින් දියුණු වෙනවා කියා අපිට පෙනුනා. මම රුසියාවේ ආහාර වර්ග අළෙවි කළා. අපිට හොඳට කෑම හදන්න පුළුවන්. නමුත් රුසියාවේ ලාභ ලබන්න බැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකාවට ආවා. අපි හික්කඩුවෙන් පොඩි කඩයක් ගත්තා. බෝර්ඩ් එකක් දැම්මා. දැන් අපි වෙබ් අඩවියක් පටන් අරගෙන තියෙනවා. අපේ රටේ සහ ඒ අවට රටවල ඉඳලා එන රුසියන් සහ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය මේ වෙබ් එක බළලා අපේ කඩෙන් කෑම ඇණවුම් කරනවා. ලංකාවේ ජීවත්වෙන්න වියදම අඩුයි. අපිට මේ විදියට ලාභයක් ලබාගන්නත් පුළුවන්.”
ඇගේ බලාපොරොත්තුවක් වන්නේ තම කුඩා දියණිය කවදා හෝ ශ්‍රී ලංකාවේ නිරූපන ක්ෂේත්‍රයට යොමු කිරීමයි. දැනට මේ දියණිය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන්නීය.
කොළඹ කොම්පඤ්ඤ වීදියේ කඩයක රාත්‍රියේ පරාටා කමින් සිටි විදේශිකයකු සමග කතා කරන්නට අපට හැකිවිය. ඔහු කීවේ තමන් පැමිණියේ බංග්ලාදේශයෙන් බවයි. අසීරුවෙන් ඉංග්‍රීසි කතා කළ හෙතෙම මෙසේ පැවසීය.
”අපිට රස්සාවල් නෑ. ඒ නිසා පොඩි ගාණක් හොයාගෙන ලංකාවට ආවා. ආවේ දවස් පහක් සංචාරයට කියලා. දැන් අවුරුද්දකට කිට්ටුයි. අපි තාම ඉන්නවා. මම කොළඹ නගරයේ ලොකු ගොඩනැගිල්ලක් හදන තැනක අත්උදව් දෙනවා. මාත් එක්ක අපේ රටේ අයත් පකිස්ථාන අය කිහිප දෙනෙකුත් ඉන්නවා. මේ විදියට ඉන්න බයයි. ඇල්ලුවොත් ආපහු අපේ රටට යවාවි. අපිට ලංකාවේ එක්කෙනෙක් කිව්වා වැඩ කරන්න පුළුවන් විදියට වීසා හදලා දෙන්නම් කියලා. ඒත් තවම නැහැ. එයාට සල්ලිත් දුන්නා.”
කොළඹ හා ඒ අවට තත්ත්වය මෙයයි. මේසන් බාස්ලා, අත් උදව්කරුවන් අවශ්‍යයැයි කොතෙකුත් දැන්වීම් ප්‍රසිද්ධියට පත්කළ ද මෙරට මිනිසුන් ඒ වැඩවලට එන්නේ නැත. නමුත් කොහේ හෝ රටක සිට පැමිණි පුද්ගලයෝ අලුතෙන් ඉදිවන ගොඩනැගිලි සහිත වැඩබිම් සොයා එති. ඔවුහු කුලී පදනම යටතේ සොච්චම් වැටුපකට වැඩ කරති.
එවැනි ගොඩනැගිල්ලක් ඉදිකරන ස්ථානයක වැඩ පිරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන මහත්මයකු තම අනන්‍යතාව කිසිසේත්ම හෙළි නොකරන්න යැයි කියමින් අප සමග මෙසේ කීවේය.
”අපේ රටේ මිනිස්සු දැන් මේසන් වැඩවලට, කුලී වැඩවලට එන්නේ නැහැ. ඉතින් අපිට වැඩට මිනිස්සු නැහැ. ඒත් බංග්ලාදේශ කාරයොයි, චින්නුයි, ඉන්දියන් අයයි පකිස්ථාන කාරයොයි ඇති තරම් එනවා. ඇවිත් වටේ කැරකි කැරකී ඉඳලා වැඩ හොයනවා. ඉතින් අපිටත් ලේසියි. ඒ අය අපේ වැඩපොළේම නතර වෙනවා. ගෙවල්වල යන ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න නෑයන්ගේ ප්‍රශ්න, පෝය නිවාඩු, අවුරුදු නිවාඩු මොනවත් නැහැ. අපි මේ ඉදිකිරීම්වල නොනවත්වා වැඩ. දවල්ට වැඩ කරලා රෑට වැඩ නවත්තන්නේ නැහැ. පැය විසිහතරම වැඩ කරනවා. මේ තැන්වලම නැවතිලා ඉන්න මේ මිනිස්සුත් වැඩමුර ක්‍රමයට වැඩ කරනවා. ඒ මිනිස්සුන්ට ඕන සල්ලි. එයාලට අපේ අයට වගේ වෘත්තීය සමිති ප්‍රශ්න මොනවත් නැහැ. එයාලා වැඩි දෙනෙක් ඉන්නේ සංචාරක වීසාවලින්. කොයි වෙලාවක හරි අහුවුණොත් දඩත් ගෙවලා ආයිමත් තමන්ගේ රටට යන්න වෙන බව දන්න නිසා මේ අය නිතරම වැඩවල යෙදිලා ඉන්නවා. අපේ වැඩබිම්වල වැඩිපුර ඉන්නේ විදේශික අය. ඔවුන් නීති විරෝධීව ඉන්න නිසා ශ්‍රමය අඩු මුදලට ගන්නත් පුළුවන්.”
වැඩබිම්වල තත්ත්වය ඒ ආකාරයෙනි. විදේශික කාන්තාවන් ද මෙරට රැකියාවල නිරතවෙති. ඒ රැකියා බොහොමයක් ලිංගික සේවා සපයන රැකියාවන් වීමෙන් ම විදෙස් කතුන් දෙස අප බොහෝ දෙනකු වපර ඇසින් දැකීමට පුරුදුව සිටිති.
කොළඹ නගරයේ සෑම තැනම දැන් සම්බාහන ආයතන පිහිටා තිබේ. මේ බොහොමක විදෙස් කතුන් නේවාසිකව සිටින අතර ඇතැම් ස්ථානවල දී සම්බාහනයට වඩා අමතර ලිංගික සේවාවන් ලබාදීම ද සිදුකරයි. කොළඹ නගරයේ ඇතැම් වීදිවල රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේ ද විදෙස් කතුන් තම සිරුර ගනුදෙනු කරුවෙකුට අළෙවි කර මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් සිටින ආකාරය දුලබ දසුනක් නොවේ. එවැනි කතුන් සොයන ගනුදෙනු කරුවෝ ද ඔවුන් ඉන්නා ඉසව් ගැන හොඳ අවබෝධයකින් පසුවෙති. එමෙන් ම මිතුරු හවුල් සහා ලිංගික සේවා සපයන වෙබ් අඩවි ඔස්සේ ද මෙරට පිරිමින්ට තම සිරුර අළෙවි කිරීමටත් සජීවීව කැමරාවක් ඉදිරිපිටට පැමිණ ඔවුන් පිනවීමටත් සූදානම් විදේශීය කාන්තාවෝ සම්බන්ධ කරගැනීමට හැකියාව ඇත.
මේ කාන්තාවන් එවැනි දැන්වීම්වල සඳහන් කර ඇත්තේ තමන් රුසියාවෙන්, පිලිපීනයෙන්, සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් පැමිණි අය බවයි.
පුසගිය දිනක ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ අතර පොලිසිය කියා සිටියේ එතැන සම්බාහනයට අමතරව ගණිකා වෘත්තියේ නිරත විදෙස් කතුන් ද සිටි බවයි. මේ විදෙස් කාන්තාවන් මෙරටට පැමිණි ආකාරය ගැන සොයා බැලූ විට ඔවුන් සියල්ලෝ ම පැමිණ සිටියේ සංචාරක වීසාවලිනි. ඔවුන්ට මෙරට කිසිම ආකාරයක රැකියාවක නිරතවීම සඳහා අවසර තිබුණේ නැත.
”අපි ආවේ සංචාරක වීසාවලින්. අපි සම්බාහන මධ්‍යස්ථානයක වැඩ කළා. එහි හිමිකරුවා කිව්වා ආයතනය ආයුර්වේද මධ්‍යස්ථානයක් හැටියට රජයේ ලියාපදිංචි කරලා තියෙන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වීසා ඉල්ලුම් කරලා අපිට වැඩ කරන්න පුළුවන් විදියට වීසා හදලා දෙන්නම් කියලා. සති දෙක තුනකින් කරලා දෙන්නම් කියලා අපි කරන වැඩ වලින් සල්ලිත් කපා ගත්තා. නමුත් දැන් මාස ගණනක් ගත වෙලා මේ වීසා හදා දුන්නේ නැහැ. සම්බාහනය කරගන්න එන පිරිමි අපෙන් වෙනත් දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට ලැබෙන ගාන අනුව ඉතින් අපිටත් පුළුවන් දේවල් කරනවා. ” පිලිපීනයෙන් පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට පත්වීමෙන් පසු රජයේ නීතිඥවරියක් සමග එසේ කියා සිටියාය.
ගාල්ල කොටුවේ නිවසක් මිලදී ගෙන එහි සංචාරක සේවා සපයන ලැගුම් හළක් පවත්වාගෙන යන විදේශික යුවලකි. ඔවුන් මෙසේ පැවසීය.
”අපි සංචාරක වීසා අරගෙන ශ්‍රී ලංකාවට එනවා. මේ ගේ මිලදී ගත්තේ සමාගමක නමකට. මේ සමාගමේ කොටස් අපිටත් තිබුණා. ශ්‍රී ලාංකිකයෙක් සමාගමේ සිටි නිසා නිවස මිලදී ගන්න පුළුවන් වුණා. දැන් එයා සමාගමෙන් ඉවත් වෙලා සම්පූර්ණ කොටස් අයිති අපි දෙන්නට. අපේ හෝටලේ වෙනුවෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. මේ වෙබ් අඩවියෙන් ගාල්ල කොටුව, ශ්‍රී ලංකාව සහ අපේ හෝටලය ගැන දැනගන්නා විදෙස් රටවල අය ඔන්ලයින් ම අපිට ගෙවලා රූම්ස් බුක් කරනවා. අපි හොඳ ශ්‍රී ලාංකීය කළමනාකරුවෙක් පත්කරලා ඉන්නවා. එයා හෝටලේ වැඩ සියල්ල කරනවා. අපි දෙන්නා වරින් වර විශේෂයෙන් ම සංචාරකයන් වැඩිපුර එන කාලයේ දී සංචාරක වීසා අරගෙන ලංකාවට ඇවිත් ආපහු යනවා. ව්‍යාපාරය හොඳට කරනවා.” සංචාරක වීසාවලින් මෙරට පැමිණ ව්‍යාපාර හිමිකරගෙන සිටින ඔවුන් පවසන්නේ එවැනි කතාවකි.
”මේ හෝටලේ මගේ. කිසිම සුද්දෙක් මේකට ආයෝජනය කළේ නැහැ. ඒත් මම නිතරම සුද්දෝ සහ සුද්දියෝ මේ හෝටලයේ වැඩට ගන්නවා. ඒ අය මාස හයක් විතර මෙහේ වැඩ කරනවා. සුදු හම තියෙන කොට අනිත් සුද්දෝ සුද්දියෝ මගේ හෝටලයට එන්න කැමතියි. මගේ හෝටලේ වැඩකරන අය ඉන්නේ තනිකරම සංචාරක වීසාවලින්. හෝටලේ වැටලුවොත් ඒ අය කියන්නේ මේ දවස්වල හෝටලයේ නැවතිලා ඉන්නවා කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රධාන කෝකියාත් සුද්දෙක්. ස්පා එක භාරව ඉන්නේ සුද්දියක්. ” උණවටුනේ සංචාරක හෝටලක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයකු එසේ පැවසුවේය.
මෙරටට අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසු සිසුවියන් ඒ සඳහා අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව අදාල පාඨාමාලා හැදෑරීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ බවට ලේඛන ඉදිරිපත් කර වීසා අයදුම් කළ යුතුය. ආගමික පදනම යටතේ මෙරටට යම් විදේශික පුද්ගලකු පැමිණෙන්නේ නම් අදාල ආගමික අමාත්‍යාංශයෙන් ලැබූ අනුමැතියක් යටතේ වීසා අයදුම් කළ යුතු වේ. රැකියා සඳහා වීසා ඉල්ලුම් කරන්නේ නම් ආකාර කිහිපයක් තිබේ. විදේශීය ආයෝජකයකු ලෙස පැමිණෙන්නේ නම් ඇමෙරිකානු ඩොලර් 250,000ක හෝ පරිවර්ථනය කළ හැකි ඕනෑම විදේශීය මුදල් වර්ගයකින් ඒ හා සමාන මුදලක් අවම වශයෙන් මෙරටට ගෙනවිත් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කර ඇති ඕනෑම වාණිජ බැංකුවක විශේෂ ගිනුමක තැනපත් කළ යුතුය. ආයෝජකයා සමග එන යැපෙන්නකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 35,000ක් බැගින් වූ අතිරේක මුදලක් තැන්පත් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ පදිංචිවීමට අපේක්ෂා කරන වෘත්තිකයකු නම් තමන් සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 2000ක් ද භාර්යාව හෝ සැමියා ඇතුළු යැපෙන්නන් වෙනුවේන එක් අයකුට මසකසට ඇමෙරිකානු ඩොලර් 1000ක් ද ජීවන වියදම් වශයෙන් බැංකු ගිණුමක තැන්පත් කළ යුතුය. වීසා ලැබෙන්නේ එවිටය.
ශ්‍රී ලංකාවට රැකියා සඳහා පැමිණෙන ඕනෑම අයකු ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවයේ යෙදීම හෝ රජයෙන් අනුමත ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහා යොමුවිය යුතුය. ඔවුන්ට වීසා නිකුත් කරනු ලැබේ. නැතිනම් බැංකුවල සේවයේ යෙදෙන පුද්ගලයන්ට හා ඔවුන්ගෙන් යැපෙන්නන්ට වීසා ලබා ගැනීමේ පහසුකම හිමිවේ. ස්වේච්ඡා සේවය සඳහා පැමිණෙන පුද්ගලයන්ට ද, රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්ත පුද්ගලයන්ට ද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල යටතේ ඇති ආයතනවල සහ සංවිධානවල සේවයේ යෙදෙන පුද්ගලයන්ට සහ පෞද්ගලික සමාගමක සේවයේ නිරත පුද්ගලයන්ට මෙරට රැඳී සිටිමින් රැකියාවේ නිරතවීම සදහා වීසා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවෙයි.
මෙලෙස රැකියා සඳහා සුදුසුකම් ලැබීමට නම් අදාල විදේශිකයා තමන් නියෝජනය කරන ව්‍යාපෘතිය හෝ ආයතනය හරහා එම විෂය භාර අමාත්‍යාංශයේ ලිඛිත අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විධිමත් පරිදි වීසා අයදුම් කළ යුතුය. නමුත් එවැනි වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිකයන් සංඛ්‍යාව කොතෙක් දැයි කිසිවෙකුත් දන්නේ නැත.
මේ පිළිබඳ හික්කඩුව ප්‍රදේශයෙන් නැගෙන චෝදනාවක් වන්නේ සංචාරක වීසා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පෙට්ටිකඩ පවත්වාගෙන යාම සඳහා ද සමාගම් ලියාපදිංචිය ලබා දී ඇති බවයි. ඔවුන් තම හිතුමතයට මෙරට ව්‍යාපාර කර සියලු ලාභය රට පටවන බවට ද චෝදනාවක් තිබේ.
මෙවැනි ස්ථාන පවත්වාගෙන යන සංචාරකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය විට ඔවුන් සමාගම් ලියාපදිංචිය තිබෙන බව පෙන්වමින් දැඩි විරෝධයක් දක්වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බුද්ධි හා නිරීක්ෂණ අංශය පවසයි.
මෙලෙස විදේශිකයන්ට සමාගම් ලියාපදිංචිය ලබාදීම පිළිබඳ විමසූ විට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තනේතුව පවසන්නේ සමාගම් ලියාපදිංචි කිරීමේ දී සංචාරකයාගේ වීසා කාලය පිළිබඳ අවධානය යොමු කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවයි. මෙරට සහ පිටරට ලිපිනයත්, ආයෝජනය කිරීමේ හැකියාවත්, ආයෝජන මණ්ඩලයේ අනුමත සහතිකයත් පමණක් සැළකිල්ලට ගන්නා බව එහි නිලධාරීහු පවසති.
මෙරට නීති විරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක (නීති) සහ මාධ්‍ය ප්‍රකාශක බී.ජී.ජී.මිලින්ද මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
”අපි වීසා ලබාදීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සංචාරක වීසාවලින් ඇවිත් මෙරට රැඳී සිටිමින් රැකියාවල නිරතවන්න දෙන්නේ නැහැ. නමුත් මෙරටට පැමිණෙන සංචාරකයන් ඔවුන් පැමිණියාට පසු තවදුරටත් රැකියා කරමින් රැඳී සිටින්න අදාල අමාත්‍යාංශ සහ ව්‍යාපෘති හරහා වීසා අයදුම් කළ විට සුදුසුකම් පරීක්ෂා කර බලා අපි ඔවුන්ට වීසා නිකුත් කරනවා. අනවසරයෙන් සිටින අය වැටලීම් කර අත්අඩංගුවට අරගෙන රටින් පිටුවහල් කිරීමට කටයුතු කරනවා. මෙය දිගින් දිගටම සිදුකරන කාර්යයක්. නමුත් අපි දන්නවා විශාල පිරිසක් මෙලෙස අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. ඒ අය ගැන තොරතුරු ලැබුණාම සහ ඔවුන් ගැන සොයා බලා සැක සිතෙන ආකාරයට අපි වැටලීම් කරනවා.”
ඔහු පවසන්නේ සම්බාහන ආයතන ඇතුළු ලිංගික සේවා සපයන ආයතන සඳහා විදෙස් කාන්තාවන්ගේ සේවය ලබා ගැනීමට වීසා නිකුත් කිරීමක් මෙරට කිසිදු ආකාරයකින් සිදු නොවන බවයි. එසේ වුව ද රට පුරාම එවැනි මධ්‍යස්ථානවල විදේශික කාන්තාවන් ලිංගික සේවා සපයමින් රැඳී සිටින බව මිලින්ද මහතා පිළිගන්නා කරුණකි.
”සම්බාහන මධ්‍යස්ථානවල සේවය කිරීම සහ ලිංගික සේවා සැපයීම දෙකම වීසා නීති උල්ලංඝනය කිරීමක් පමණක් නොවෙයි මෙරට සාමාන්‍ය නීතිය ද උල්ලංඝනය කිරීමක්. අපට පමණක් නොවෙයි පොලීසියටත් ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකියි. කෙසේ වුණත් මෙවැනි කාන්තාවන් මෙරට ඉන්නවා. වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම ලිංගික සේවා සපයන වෙබ් අඩවි අපි පරීක්ෂාකර බලා එවැනි කාන්තාවන් සොයා මාසයකට වැටලීම් පහක් හයක් පමණ ක්‍රියාත්මක කරනවා.”
මෙවැනි කාන්තාවන් අතරින් ඇතැම් අය සතුව රැකියාවේ නිරතවීම සඳහා වීසා හිමිකම තිබේ. ඔවුන්ට එය ලැබී ඇත්තේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලැබූ ආයුර්වේද ශාලා, ආයුර්වේද මධ්‍යස්ථාන සහ ඖෂධ නිෂ්පාදන ආයන හරහාය. නිකුත් කර ඇත්තේ ද ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසිනි. නමුත් ඔවුන් කරන්නේ වෙනත් රාජකාරියකි.
පාස්කු ප්‍රහාරයෙන් පසු ආගමන හා විගමන දෙපාර්තමෙන්තුව කියා සිටියේ ආගමික ප්‍රචාර සඳහා පැමිණෙන බව පවසමින් ආ ඉස්ලාම් ආගමිකයන් විශාල පිරිසක් නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක පාසල්වල පවා උගන්වමින් සිටින බවයි. මොවුන් අන්තවාදී ආගමික අදහස් පතුරුවන බව ද එවකට රජය පැවසූ අතර ඔවුන් හැකි ඉක්මණින් පිටුවහල් කරන බව ද නිවේදනය කළේය. මේ ගැන විමසූ විට මිලින්ද මහතා මෙසේ කීවේය.
”ආගමික පූජකවරුන්ට මේ රටට පැමිණීමට වීසා ලබා දෙන්නේ ඒ ඒ ආගම් සඳහා ඇති අමාත්‍යාංශ හරහා. මේ අය මෙරට රැඳී සිටින්නේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයෙන් ලබාදුන් නිර්දේශය අනුව අපි දුන් වීසා බලපත්‍රවලින්. අපි ඔවුන්ට උපදෙස් දුන්නා නැවත සිය රටට යාමට කටයුතු කරන ලෙස ඒ ඒ අමාත්‍යාංශවලින් ලබාදුන් නිර්දේශයට එරෙහිව අපට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. “
මෙහි ගැටලුවක් තිබෙන බව ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංය, සංචාරක අමාත්‍යාංය, මුසිලිම් කටයුතු අමාත්‍යාංශය, හින්දු කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංය, කුඩා කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා මෙරට රැඳී සිටීමට විදේශිකයන්ට වීසා ලබාදෙන්න යැයි නිතර නිතර නිර්දේශ නිකුත් කරයි.
වංචාව සිදුවන්නේ මෙතැනිනි. ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නිසි පරිදි වීසා නොලැබෙන ඕනෑම විදේශිකයකුට අත්පිට මුදලට වීසා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙයි. හිතවත් විදේශිකයන් කිහිප දෙනෙකුට වීසා ලබාගත යුතුයැයි පවසමින් අපි එලෙස වීසා ලබාදීමට උදව්කරන තැරැව්කරුවන් කිහිප දෙනකු හමුවීමු.
”වැඩේ සිම්පල්, කවුද මසාජ් කෑල්ලක් නම් ඉතින් ලක්ෂයකින් විතර කරල දෙන්නම්. වෙන හොඳ රස්සාවක් කරන කෙනෙක් නම් ලක්ෂ එකහමාරක් විතර ඕනෑ. ” ඒ ඔවුන්ගේ ගණන් පැවසීමයි. මසාජ් කාන්තාවක් නම් වෙනත් අවශ්‍යතාවක් ද ඉටුකර ගැනීමට හැකියාව ඇත්දැයි ඔවුන් කෙලින්ම අසයි.
”අපි ඕනම අමාත්‍යාංශයකින් ලියුම් අරගෙන වීසා ඔෆිස් එකට ගිහින් වැඩේ කරලා අතටම අරගෙන එන්නම්. ඕන කරන්නේ රුපියල් 50,000 කුයි අර කෙනාගේ පාස්පෝර්ට් කොපි එකයි විතරයි. වීසා ඔෆිස් එකට යන දවසට ඔර්ජිනල් පාස්පෝරට් එකයි ඉතුරු සල්ලියි දෙන්නකෝ. එදා හවසම වැඩේ ටක්කෙටම හරි යනවා.”
තැරැව් කරුවෝ කතා කරන්නේ තමන් ආගමන විගමන පාලක මෙනි. නමුත් ඔවුන් ම කියන්නේ තමන්ට මේ වීසා සඳහා අවශ්‍යවන අමාත්‍යාංශවල සම්බන්ධතාවක් තිබෙන බවයි. එම අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ නිර්දේශ ලිපිය ලබාගැනීමට අමාත්‍යාංශය ඇතුළේ පුද්ගලයකුට රුපියල් 50,000ක් ගෙවන බවත් ඒ ලිපිය රැගෙන ගොස් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට මුදලක් දී වීසා සකස් කරගන්නා බවත් ඔවුහු කියති.
මේ ගැන මිලින්ද මහතා පවසන්නේ මෙවැනි කතාවකි.
”අපි මේ ජාවාරම ගැන දන්නේ නැහැ. අපි සෘජුව වීසා නිකුත් කරන්නේ නැහැ. ඒ ඒ පුද්ගලයා මෙරට සිටීමට බලපාන හේතුව තියෙන විෂයට අදාල අමාත්‍යාංශයෙන් ලිඛිත නිර්දේශයක් අපිට අවශ්‍යයි. මේ ලිඛිත නිර්දේශය ඔවුන් කාට හෝ සල්ලි ගෙවා අරගන්නවා ද කියා අපි දන්නේ නැහැ. ඉතා සීමිත අමාත්‍යාංශ ගණනකින් නිර්දේශ ලිපි ලැබෙන නිසා අපි ඒ ඒ අමාත්‍යාංශයේ ලිපිය සකස්කරන ආකාරය, ලිපි ශීර්ෂය, ඇමතිවරයාගේ හෝ ලේකම්වරයාගේ අත්සන, එය යොමුකරන ආකාරය යන සියල්ල ගැන හොද අවබෝධයකින් ඉන්නවා. අනික ලිපියක් ගෙනත්දුන් පළියට අපි වීසා නිකුත් කරන්නේ නැහැ. වීසා දෙන්නම් මේ ලිපියට අමතරව ඒ ඒ පුද්ගලයා වීසා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතුයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සල්ලි දීලා මේ වැඩේ කරගන්න පුළුවන් කියා කවුරු හරි කියනවානම් ඒක ලොකු බොරුවක්. එහෙම වීසා ගන්න කාටවත් බැහැ. අනික මේ වගේ තැරැව්කරුවන් පැමිණියත් අපි තොග පිටින් වීසා නිකුත් කරන්නේ නැහැ. “
ඔහු එසේ කීව ද මෙම ලේඛකයා මිලින්ද මහතා හමුවීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ගොස් සිටිය දී වීසා ලබාගන්නා ස්ථානයේ සිටි කාන්තාවක් පාර්ස්පෝට් තොගයක් සඳහා වීසා ලබාගත්තාය. ඇය සතුව පාර්ස්පෝර්ට 18ක් තිබිණි. ඇයට පාර්ස්පෝර්ට් තොගයකට වීසා නිකුත් කළේ කෙසේ දැයි අප දන්නේ නැත.
ඔනෑම පුද්ලයකු මේ රටට ඇතුලුවන විට ඔහු හෝ අය රටට ඇතුළු වූ බව පරිගණක පද්ධතියකට ඇතුළත් කර ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව ද නැවත රටින් පිටවිය යුතු දිනය ද සටහන් කිරීම ඉතාමත් සරල කාරණයකි. ඉන් පසු ඔහු හෝ ඇය යළි මෙරටින් පිටතට යන විට එම දත්ත පද්ධතියේම පිටව ගිය බව සටහන් තැබීම ද අපහසු නොවේ. එලෙස දත්ත පද්ධිතියක් නඩත්තු කරන්නේ නම් මෙරටට පැමිණි පුද්ගලයන් පිටව ගියා ද තවදුරටත් රැඳී සිටිනවා ද යන්න සොයා ගැනීම අපහසු කරුණක් ද නොවේ.
නමුත් තාක්ෂණය මෙතරම් දියුණු ලෝකයක ශ්‍රී ලංකාව සතුව තවමත් එවැනි දත්ත පද්ධතියක් නැත.
”අපිට දත්ත තිබෙනවා. කෙනෙක් ශ්‍රී ලංකාවට ඇතුළු වුණාම ඒ බව සටහන් කරනවා. නමුත් අවශ්‍ය ඕනෑම වෙලාවක පිටව ගියා ද කියා සොයා බැලිය හැකිවන්නේ ඇතුළු වූ සංඛ්‍යාව හා පිටව ගිය සංඛ්‍යාව පමණයි. එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට පිටව ගිය නොගිය බව හඳුනාගත හැකි දත්ත පද්ධතියක් තවමත් නැහැ. එවැන්නක් සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අනාගතයේ දී කෙනේක ලංකාවට ඇතුළු වූ තැන් පටන් නවතින හෝටලයේ සිට ඔහු යෙදෙන කාර්යයන් දක්වාම නිරීක්ෂණය කළ හැකි ක්‍රමවේදයක් බුද්ධි අංශ ද සමග එක්ව සකස් කිරීම කළ යුතුයි. ” ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් දැක්වූ මිලින්ද මහතා එසේ පැවසීය.
දැනටත් මෙරටට පැමිණි හා පිටව ගිය සංචාරකයන් සංඛ්‍යාව පිළිබඳ දත්ත තිබුණ ද මෙරට රැඳී සිටින හොර වීසා ලැබූ සංචාරකයන් ගැන නිශ්චිත සංඛ්‍යාලේඛනයක් නැත. හොරෙන් මෙරට රැඳී සිටිමින් ලොව පැරණිතම රැකියාවේ පටන් පරිගණක මෘදුකාංග භාවිතයෙන් බැංකු කොල්කෑම දක්වා සියලු දේ කරන විදේශිකයන් බුරුතු පිටින් මෙරට සිටින බව සියල්ලෝ ම දනිති. නමුත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය ප්‍රමාණවත් නැත.









