වකුගඩු ප්‍රශ්නයට දෙන්නේ කැකිල්ලේ විසඳුම් ද ?

0
140

මෙරට වාර්තාවන රෝග අතරින් මෑත ඉතිහාසයේ දී වඩාත් ම කතා බහට ලක්වූ හා අවධානයට ලක්වූ රෝගය වකුගඩු රෝගයයි. මෙරට නිදන්ගත වකුගඩු රෝග හඳුනානොගත් සහ හඳුනාගත් ලෙස වර්ග දෙකකි.

ඉන් වැඩිම අවධානයක් යොමු වූයේ රජරට ප්‍රදේශයෙන් මුල්වරට වාර්තා හඳුනානොගත් වකුගඩු රෝගයටය. මෙම රෝගී තත්ත්වය ගොවි ජනතාව අතර වඩාත් බහුලව පැතිර ඇති අතර එයට නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැත.

හඳුනාගත් වකුගඩු රෝග දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි හේතූ නිසා හටගනී.

වකුගඩු රෝගය මර්ධනය කිරීමේ අවශ්‍යතාව කොතරම් දරුණුවට තිනේනේ ද යන්න පැහැදිලි වන්නේ වකුගඩු රෝග මර්ධන ජනාධිපති විශේෂ කාර්ය බලකායක් පවා පිහිටුවීමට සිදුවීමෙනි. මේ සඳහා ජාතික වකුගඩු අරමුදලක් ද පිහිටුවා ඇති අතර රුපියල් ලක්ෂ දෙකක මුදලින් ආරම්භ කළ අරමුදල 2016 දෙසැම්බර් අවසන් වනවිට රුපියල් කෝටි  46 ඉක්මවා තිබූ බව එම අරමුදලේ වෙබ් අඩවියේ දක්වා ඇත. ඉන්පසු යාවත්කාලීන තොරතුරු නැත. දැන් මේ අරමුදල තවත් කෝටි ගණනකින් තර වී ඇතැයී සිතිය හැකියි.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු වකුගඩු රෝග මර්ධන ජනාධිපපති විශේෂ කාර්ය බලකායේ සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංය පවසන්නේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වකුගඩු රෝග මාදිලි දෙක අතරින් හදුනා නොගත් වකුගඩු රෝගය වැඩිපුර වාර්තාවන අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ප්‍රදේශවලින් 2019 වර්ෂය අවසානය වනවිට වාර්තා වී තිබූ රෝගීන් සංඛ්‍යාව 30,671කි. අනෙකුත් දිස්ත්‍රික්කවලින් හදුනාගත් හේතුමත වකුගඩු රෝග සෑදුනු රෝගීන් සංඛ්‍යාව 45,649ක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන්ව ඇතත් මේ සංඛ්‍යාත්මක අගයන් පිළිබඳ ඇත්තේ බරපතල ගැටලුවකි. රෝහලකට ඇතුල්වන රෝගීන් පිළිබඳ ඇති සංඛ්‍යාලේඛන අනුව මෙම දත්ත ලබාගෙන ඇත. යම් රෝගියකු රුධිර කාන්දු පෙරණ කාර්යයන් සඳහා යම් රෝහලකට වසරකට දහ වතාවක් ඇතුළත් වී ඇත්නම් එම පුද්ගලයා රෝගීන් දහයක් ලෙස සංඛ්‍යාලේඛන වලට ඇතුලත් වී තිබේ.

රොගීන් සම්බන්ධ නිවැරදි වාර්තා නැතත් මරණයට පත්වන වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් නම් නිවැරදි සංඛ්‍යාලේඛන තබා ගැනීම අපහසු කාර්යයක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති සංඛ්‍යාලේඛන දත්ත අනුව 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් 1788 දෙනකු මියගොස් ඇති අතර 2017 දී මියගිය සංඛ්‍යාව 1926 දෙනෙකි.

වකුගඩු රෝගයට ගොදුරුවන රෝගින් සංඛ්‍යාව වැඩිවීමත් සමග රජයෙන් වකුගඩු රෝග නිවාරණය සඳහා දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ කොළඹ ජාතික රෝහලේ සිට ගිරාඳුරු කෝට්ටේ මූළික රෝහල ඇතුළු විවිද මට්ටමේ පවතින රෝහල් 78ක රුධිර කාන්දු පෙරණ සේවාව ලබාගැනීමේ හැකියාව පවතී. රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 532ක් එම රෝහල්වල ස්ථාපිත කර ඇතත් විවිධ හේතූන් මත ක්‍රියාත්මක වන්නේ ඉන් යන්ත්‍ර 454ක් පමණි. 

මෙම යන්ත්‍රක් භාවිතා කරමින් දිනක දී රෝගීන් තිදෙනකු සඳහා රුධිර කාන්දු පෙරීමේ කටයුතු කළ හැකි වුවත් ඇතැම් රෝහල්වල වැඩ මුර සඳහා ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීමේ හේතුව මත උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක කරවීමට නොහැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ම කියයි.  

කොළඹ ජාතික රෝහලේ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කුරුණෑගල රෝහලේ කරාපිටිය ශික්ෂණ  රෝහලේ මඩකලපුව රෝහලේ මේ වනවිට වකුගඩු ඒකක ඉදිකරමින් පවතී. ඊට අමතරව හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බදුල්ල සහ පේරාදෙණිය රෝහල්වල වකුගඩු ඒ්කක ඉදිකිරීමට නියමිතය. නමුත් කැබතිගොල්ලෑව හා තඹුත්තේගම රුපිය්ල කෝටි ගණනක මුදල් වැයකර ඉදිකරන ලද වකුගඩු ඒ්කක ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව තිබීම ඛේදජනකය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තට්ටු හතකින් සමන්විතව 2014 දී ඉදිකිරීම් ආරම්භකළ වකුගඩු රෝහලේ ඉදිකිරීම් වසර දෙකකින් අවසන් කිරීමට සැළසුම් කර තිබුණ ද මේ දක්වාම එහි ඉදිකිරීම් අවසන් කර නැත.

කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර  මහතාපවසන්නේ එම එකකයට අවශ්‍ය උපකරණ 2018 මුල් මාස කිහිපයේ දී රෝහලට ලැබී ඒ්වා රෝහලේ කොරිඩෝවල ගොඩගසා තිබෙන බවයි. මේ උපකරණවල වගකීම් කාලය ද දැන් ඉකුත්වී තිබෙන බව සඳහන් කරන අධ්‍යක්ෂවරයා ලැබුණු භාණ්ඩවලින් කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අවසරය ඇතිව වෙනත් වාට්ටුවල ප්‍රයෝජනයට ගත් බව දපවසයි.

වකුගඩු ඒකකයන්හි ඉදිකිරීම්වල තත්වය එලෙසය.

කොළඹ මාලිගාවත්තේ පිහිටුවා ඇති ජාතික වෘක්කවේද කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනය හෙවත් ජාතික වකුගඩු මධ්‍යස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ථ බස්නාහිර පළාතේ ම ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවයක් ඉටුකිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද්දකි.

ඒම ජාතික වකුගඩු මධ්‍යස්ථානය, කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකය ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කයන්හි පිහිටි වකුගඩු ඒකක වලදී ද  සායනික පරීක්ෂණ සිදුකිරීම, ඖෂධ ලබාදීම, කාන්දු පෙරීම සඳහා යොමුකිරීම, ශල්‍යකර්ම සඳහා යොමු කිරීම බද්ධකිරීම් සහ දායක ප්‍රතිග්‍රාහක සැසඳීම ද සිදුකරයි.

වකුගඩු බද්ධ කිරීමේ අවශ්‍යතා ඇති රෝගීන් හඳුනාගෙන මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු එම රෝගීන්ට සුදුසු පරිදි බද්ධ කිරීම ද රජය විසින් කරගෙන යන සේවාවකි. බද්ධ කළ රෝගීන් දිගු කාලීනව පරීක්ෂා කිරීම සහ පසු ප්‍රතිකාර ලබාදීම සියලු ඒකක මගින් සිදුවෙයි.

කෙසේ වුවත් දිවයින පුරා රෝහල්වෙත යන වකුගඩු රෝගීන් පවසන්නේ තමන්ට නිසි පරිදි සේවාවන් ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව විවිද හේතු නිසා අහිමිවන බවයි.

ජාතික වකුගඩු මධ්‍යස්ථානයට රුධිර කාන්දු පෙරණ කටයුතු සඳහා නිතර පැමිණීමට සිදුවන රෝගියකු අප සමග මෙසේ පැවසීය.

”මම කොළඹ මාළිගාවත්තේ පිහිටුවා තිබෙන ජතික වකුගඩු මධ්‍යස්ථානයට රුධිර කාන්දු පෙරීමේ කටයුතු සඳහා යනවා. නමුත් ඇතැම් දවස්වලට අපිට වෛද්‍යවරු නෑ කියලා හැරිලා එන්න වෙනවා. ගොඩක් දවස්වලට වෛද්‍යවරු අඩුයි. මාස  තුනකට පෙර වතාවක් මට නියමිත දිනයේ එතැනට ගියාම සායනය වසා දමා තිබුණා. කිව්වේ වෛද්‍යවරයෙක් මාරුවෙලා ගිහින් අලුතෙන් වෛද්‍යවරයෙක් ආවේ නැහැ කියලා. මේ නිසා අපි දැඩි අසීරුතාවකට පත්වෙනවා. මට පුද්ගලික අංශයෙන් මේ රුධිර කාන්දු පෙරණ කාර්යය කරගන්න මුදල් නැහැ. “

රාජගිරියේ සිට මේ රෝහලට පැමිණ සිටි කාන්තාවක් අප සමග මෙසේ කීවාය.

” මම වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ අවුරුදු ගණනක සිට රජය පහසුකම් වැඩිදියුණු කරනවා කියනවා. නමුත් දැන් අපේ රුධිර කාන්දු පෙරණ කටයුතු නිසි පිරිද සිදුකරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇතැම් දවස්වලට වැඩ කරන කට්ටිය නිවාඩු දොස්තරලා නැහැ කියලා අපිට හැරිලා යන්න වෙනවා. නියමිත දිනයට පැමිණිවිට නැවත හැරී යන්න සිදුවුනාම අපි ලොකු අපහසුතාවකට ලක්වෙනවා. මේවා පාලකයෝ දැනගතයුතු  දේවල්.”

ඇතැම් රෝගීන් පවසන්නේ සායන පැවැත්වීම ද නිසිපරිදි සිදු නොවන බවයි. මින් ඉහත මාස දෙකකට වතාවක් සායන සඳහා පැමිණෙන ලෙස දින ලබාදුන්න ද දැන් තමන්ට මාස හයක කාලයකින් පසු සායනයට දිනය ලැබෙන බව ඔවුන් පවසයි. මෙලෙස සායන සඳහා වැඩි කාලයක් ඉදිරියට දින දෙන්නේ පවතින වෛද්‍ය හිඟය නිසා යැයි රෝහල් සේවකයෝම කියා ඇත.

වෛද්‍යවරුන්ගේ හිඟය රටේ සියලු වකුගඩු ඒකකවලට බලපා තිබේ. ශ්‍රී ලංකාවේ දැනට සිටින්නේ වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 30ක් පමණි. රජයේ රෝහල්වල සායනික හා ශල්‍යකටයුතු සඳහා සහභාගීවන්නේ ඉන් වෛද්‍යවරු 25 දෙනෙකි. වකුගඩු රෝගය සම්බන්ධයෙන් පිහිටුවා ඇති විශේෂ ඒකකයන් සඳහා වෛද්‍ය නිලධාරීන් 51 දෙනකු සිටිය යුතු වුව ද ඒ්වායේ සිටින්නේ වෛද්‍ය නිලධාරන් 35ක් පමණි.

එමෙන් ම වෛද්‍ය නිලධාරීන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ, හෙද හෙදියන්ගේ පමණක් නොව මෙම ඒකක සඳහා අවශ්‍ය සුළු සේවකයන්ගේ ද විශාල හිඟයක් පවතී.

මේ හේතුවෙන්  ඇතැම් රෝහල් සායනවල ට පැමිණෙන රෝගීන් අතිවිශාල සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට සිදුවන්නේ එක් වෛද්‍යවරයකුට පමණි. ඉන් වෛද්‍යවරයා ද වෙහෙසට පත්වෙති. ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරයකු අප සමග කියා සිටියේ

”අපි කන කට්ට දන්න අනිත් දොස්තරලා මේ තැන්වලට කවදාවත් එන්නේ නැහැ. අපිට දැන් මේ අසරණ මිනිස්සුන්ව දාලා යන්න විදියක් නැහැ.”

මේ කතාව කියනු අසා සිටි රෝගියකු කීවේ

 ”දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නවා. ඒ අය නැත්නම් ඉතින් අපි අද ජීවතුන් අතර නෑ.” යනුවෙනි.

මාලිගාන්ද වකුගඩු ඒකකයට පැමිණෙන අතිවිශාල රෝගීන් සංඛ්‍යාව ඇතැ් දිනවල දී පරීක්ෂා කිරීමට සිදුවන්නේ එක් වෛද්‍යවරයකුටය. එවිට තනි වෛද්‍යවරයාට රෑ බෝවනතුරු සායනය පවත්වාගෙන යාමට සිදුවෙයි. පැය ගණන් එක දිගට රෝගීන් පරීක්ෂා කිරීම දැඩි අපහසු කාර්යයක් බව රෝගීන් ද නොදන්නවා නොවේ. එලෙස සේවය කරන වෛද්‍යවරයාට පසුදින උදෑසන යළි රාජකාරියට පැමිණීමට සිදුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රටේ සෞඛ්‍ය අවශ්‍යතාවට සරිලන වෛද්‍යවරු ප්‍රමාණයක් වාර්ෂිකව වෛද්‍ය සේවයට එක්නොවන බැවින් මේ පුරප්පාඩු පිරවිය නොහැකි බවයි.

නමුත් අප කළ සොයා බැලීමක දී දැනගන්නට ලැබුණේ මේ සඳහා වෙනත් ගැටලු කිහිපයක් ද බලපා ඇති බවයි.

රටේ වකුගඩු රෝගය දරුණු ලෙස පවතින බව තේරුම්ගත් පැවති රජයන් සියල්ල වකුගඩු ඒකක රැසක් රටපුරා පිහිටවූව ද ඒවාට අවශ්‍ය කාර්ය මණ්ඩල නිසි පරිදි ස්ථාපිත කෙරුණේ නැත.

යම් ස්ථානයක රෝහලක් හෝ විශේෂ ඒකකයක් ඉදිකරන්නේ නම් එයට අවශ්‍ය මානව සම්පත් ද නිසි පරිදි ලබා දිය යුතුය. නමුත් ගොඩනැගිලි ඉදිකරමින් යටිතල පහසුකම් ඇති කළ ද මානව සම්පත් වැඩිවී නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ බඳවාගැනීම් සිදුකිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිසි පරිදි අවසර ලැබෙනවානම් එය කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් විමසූ විට එහි නිලධාරියකු අපට කියා සිටියේ මේ සම්බන්ධ තොරතුරු ලබාදිය නොහැකියැයි කීව ද බඳවාගැනීමේ ක්‍රියාදාමය විස්තර විස්තර කළේය.

” බඳවාගැනීමේ අවශ්‍යතාව දැන්වූ විට එයට අනුමැතිය ලබා දී බදවාගැනීමේ පටිපාටියක් සකස් කරනවා. මෙයට වැටුප් පරිමාන පවා සකස් කළ යුතුයි. යම් ආයතනයක් හෝ ඒකකයක් සඳහා මේ මේ අය අඩුයි අපිට ඉක්මනට බඳවාගන්න අවශ්‍යයි කීවාට එය ක්ෂණිකව කළ නොහැකියි. බඳවාගන්නා අය සඳහා සුදුසුකම් පමණක් නොවෙයි විශ්‍රාම වැටුප් ගැන පවා අවසන් තීරණ ගත යුතුයි. ඉන් පසු මේවා මුදල් අමාත්‍යාංශයෙන් ද අනුමත කරන්න වෙනවා. යම් අමාත්‍යාංශයක ඒකක පිහිටුවලා ගොඩනැගිලි හදලා මිනිස්සු අවශ්‍යයි කීවාට අපිට ඒ විදියට වැඩ කරන්න බැහැ.”

වෛද්‍යවරුන්ගේ හිගය සම්බන්ධයෙන් 2015 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය සැපයුම්) ලෙස කටයුතු කළ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

” වෛද්‍යවරුන්ගේ හිගයට වඩා ප්‍රශ්නය තියෙන්නේ නිවැරදි කළමනාකරණයක් නොමැතිවීම. ඉන්න වෛද්‍යවරු කළමනාකරණය කරන්න දෙන්නේ නැහැ. වැඩකරන්න ඉන්න වෛද්‍යවරු කරන්නේ මාධ්‍ය සාකච්ඡා කරන එක. වෘත්තී සමිති නිසා මේවා පවත්වාගෙන යන්න බැහැ. වෛද්‍යවරු නෙවෙයි වෛද්‍ය හොරු මාරුවීම් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ.”

අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් ලෙස කටයුතු කරන වෛද්‍ය ඩිලන්ත ධර්මගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

” වෛද්‍යනිලධාරන් 51ක් වකුගඩු ඒ්කකවල සිටිය යුතු වුවත් ඉන්නේ 35 දෙනෙක් පමණයි. ඉදිරි සති කිහිපයේ දී අපිට පුරප්පාඩු 12ක් පමණ පුරවන්න පුළුවන් වේවි. ඒ් නිසා ගැටලුව විසඳාගත හැකියි. පසුගිය කාලයේ නව වෛද්‍යවරු කණ්ඩායම් තුනක් බඳවාගැනීම් නඩුවක් සහ වෙනත් හේතූන් කිහිපයක් නිසා කල් ගතවුණා. ඒ ගැටලු දැන් විසඳාගෙන තිබෙනවා. ඒ් වගේම දුෂ්කර ස්ථානයන්හි ගැටලු තියෙනවා. මේවා විසඳාගැනීමට කටයුතු කරමින් ඉන්නවා. විශේෂ ඒකක සඳහා නිලධාරීන් අනුමත කරගැනීමේ කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඉලේඛන යවා තිබෙනවා. “

මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

”මෙතෙක් වෛද්‍ය සැපයුම් ඒකකයේ බලධාරීන් ක්‍රියා කළේ දේශපාලකයන්ට අවශ්‍ය විදියට. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් මාරුවීම් ලබාදුන් වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් අවුරුදු පහක කාලයක් දේශපාලන අවශ්‍යතා මත ක්‍රියාත්මක කළේ නැහැ. 2015 වවන විට මාරුවීම්වලට නොගිය වෛද්‍යවරු සිටියේ සියයක් පමණ පිරිසක්. නමුත් 2020 වන විට ඒ සංඛ්‍යාව 3700 ඉක්මවලා. වසරකට වෛද්‍ය විද්‍යාලවලින් එළියට එන අයගෙන් 200ක් 300ක් අතර ප්‍රමාණයක් මෙරට මුල් පත්වීම හෝ භාර නොගෙන රට හැර යනවා. මේ අය රටේ රඳවාගන්න කිසිම වැඩපිළිවෙලක් රජයට තිබුණේ නැහැ. අඩුම ගණනේ දුෂ්කර ප්‍රදේශයක රැකියාවකට යන වෛද්‍යවරයකුගේ දරුවෙකුට පාසලක් ලබාදෙන්නවත් රජය කටයුතු කළේ නැහැ. 2015 අවසන්වන විට මේ රටේ ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාව නිවැරදිව කියන්න බැරි තත්ත්වයක තමයි අමාත්‍යාංශය පත්වෙලා හිටියේ. අපි ඉදිරියේ දී අමාත්‍යතුමිය සමගත් සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඉක්මණින් මේ ගැටලුව විසඳන්න හැකිවේවි.”

රෝගීන් පවසන්නේ ජීවිත කාලය පුරාම තමන්ට රුධිර කාන්දු පෙරණය කරගැනීම ට අවශ්‍ය වුව ද රජයේ රෝහලක ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ සීමිත වාර ගණනක් බවයි. ඉන් පසු පුද්ගලික අංශයන් රුපියල් 8000.00ක් වැනි මුදලක් ගෙවා සේවාව ලබාගැනීමට සිදුවන බව ද ඔවුන් පවසයි. ඇතැම් රෝගීන්ට සතියකට දෙවතාවක් රුධිර කාන්දු පෙරණය කරගැනීමට සිදුවෙයි.

මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩු රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ බුද්ධි ලොකුකැටගොඩ මහත්මියගෙන් කළ විමසුමක දී ඇය මෙසේ කීවාය.

” කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු බස්නාහිර පළාතේ අධික ජනගහණයත් සමග වකුගඩු රෝගීන් සංඛ්‍යාවත් වැඩියි. ඇතැම් විට ඔවුන්ට රුධිර කාන්දු පෙරණය පහසුකම් ලබාගැනීමට අපහසුවන අවස්ථා තිබෙනවා. මෙයට විශේෂයෙන් ම බලපාන්නේ රෝගීන් සංඛ්‍යාත්මකව වැඩි වීම. කොළඹ දිස්ත්‍රික්කයේ රුධිර කාන්දු පෙරණ තිබෙන්නේ 63යි. කුඩා ළමයි සඳහා 03යි. පමණයි. මේ නිසා විශාල තදබදයක් පවතිනවා. ඒ් නිසා ඇතැම් විට රෝගීන්ට රජයෙන් මේ සේවාව ලබාගත නොහැකි අවස්ථා තිබෙනවා. එවිට ඔවුන් පුද්ලික අංශයෙන් සේවාව ලබාගන්නවා. නමුත් දුර බැහැර ප්‍රදේශවල දී රෝගීන් සසමග සාකච්ඡා කරලා අපිට හැකියාව තිබෙනවා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව රෝහල්වලට යොමු කරන්න. උදාහරණයක් ලෙස අද කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සේවය ලබාගත් අයකු ඊළඟ දිනයේ අපි බලපිටියට යොමුකරනවා. තවත දිනක ඔහු යොමු කරන්නේ තංගල්ලට. කෙසේ හෝ අපේ බලාපොරොත්තුව සියලුම දෙනාට රජයෙන් නොමිළයේ ලබා දෙන සේවාව උපරිමයෙන් ලබාදීමට.”

ඇය එසේ කීව ද රෝගීන්ට වෙනත් අදහසක් ද තිබේ. ඔවුන් පවසන්නේ ඇතැම් වෛද්‍යවරන් තමන් පුද්ගලික අංශයට උනන්දු කරන බවයි. වකුගඩු කාන්දු පෙරණ කටයුතු සඳහා පුද්ගලික රෝහල්වලට පැමිණෙන ලෙස ඇතැම් වෛද්‍යවරු තමන්ට සෘජුවම පවසන අතර රෝහලට පැමිණි විට වැඩි සැළකුම් ලැබෙන්නේ ද වෛද්‍යවරු චැනල් කර පැමිණෙන රෝගීන්ට බව ඔවුහු පවසති. එමෙන්ම රජයේ රෝහලින් සිදුකරගත හැකි පරීක්ෂණ පිටත රසායනාගරවලින් කරගැනීමට වෛද්‍යවරුන් විසින්ම උපදෙස් දෙන බවත් රෝහලෙන් ගත හැකි ඖෂධ වෙනුවට පුද්ගලික ඔසුසල්වලින් ඖෂධ ලබාගැනීමට පවසන බවත් රෝගීන්ගෙන් නැගෙන තවත් චෝදනාවකි.

මේ බව සනාථ කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසන්නේ වකුගඩු රෝගීන් රජයේ රෝහලට ගියවිට ඔවුන්ගේ මුහුණවත් නොබලන වෛද්‍යවරු එම රෝගියාම පුද්ගලික රෝහලට පැමිණිවිට දෙවියකු බවට පත්වන බවයි.

මාලිගාවත්ත ජාතික වෘක්කවේද කාන්දුපෙරීම සහ බද්ධකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඒ.සී.රිෆායි මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තම ආයතනයේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බැවින් දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් සිය උපරිමයෙන් කටයුතු කරමින් රෝගීන්ට සේවය සළසන බවයි.

”මම මේ රෝහලේ අධ්‍යක්ෂ ධූරයට පත්වෙලා වැඩි කාලයක් නැහැ. මට කලින් හිටපු අධ්‍යක්ෂතුමාතේ වෛද්‍ය ගැටලුව විසඳාගන්න විශාල  වෙහෙසක් ගත්තා. අපි හිතනවා ඉතා කඩිනමින් මේ ප්‍රශ්න විසඳාගත හැකිවේවි කියා. මාරුවීම් ලැබූ වෛද්‍යවරු ඒ් ඒ් තැන්වලට නොපැමිණීමේ ගැටලුවක් තමයි තිබෙන්නේ.

ජාතික වකුගඩු රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ බුද්ධි ලොකුකැටගොඩ මහත්මිය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වීම වැළැක්වීම සඳහා විශාල වැඩකොටසක් සිදුවෙමින් පවතින බවයි. නමුත් ජනතාව රෝගීවනතුරු මේ ගැන තැකීමක් නොකරන බවත් රෝගීබවට පත්වුවත් නිසි සෞඛ්‍යමය ක්‍රමවේදයන් අනුගමනය නොකරන බවත් ඇය පවසයි.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

”අපිට අවශ්‍ය වෙන්නේ නිරෝගී ජනතාවක්. රෝගීන් නොවෙයි. ඒ නිසා රෝගීන් නොවන්න ජනතාව දැනුම්වත් කරන්න සහ පහසුකම් ඇතිකරන්න අපි කටයුතු කරනවා. රෝගීන් වුණාට පසු කරන ප්‍රතිකාර ද වැඩිදියුණු කිරීම ගැන තමයි වැඩි පිරිසක් අවධානය යොමු කරන්නේ. තවමත් හඳුනානොගත් වකුගඩු රෝගය හඳුනාගැනීම සඳහා වසර පහක ව්‍යාපෘතියක් ආරම්භ කර පවත්වාගෙන යනවා. අඩුපාඩු තියෙනවා. ගැටලු නැහැ කියන්න බැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්වත් කිරීම්, පහසුකම් සැළැසීම්, ප්‍රතිකාර සහ සෞඛ්‍ය ආරක්ෂණය ලබාදෙමින් විශාල වැඩකොටසක් කරනවා.”

වකුගඩු රෝගගය ජාතික ගැටලුවක් වි තිබේ. මේ ගැටලුවකට විසඳුම් ඉදිරිපත් කිරීමේ දී ඒ විසඳුම්වලට නිසි සැළසුමක් තිබිය යුතුය. තැන තැන වකුගඩු ඒකක පිහිටුවා ගොඩනැගිලිවලට මුදල් වියදම් කිරීමෙන් පමණක් ප්‍රයෝජනක් නැත. මෙරට සිටින වකුගඩු රෝගීන් සංඛ්‍යාව හෝ තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති තත්ත්වයක් තුළ සැළසුම්සහගත නොවූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යාමයි. වකුගඩු රෝගය පිළිබඳ අඬබෙර ගසා දැවැන්ත ප්‍රචාරයක් දෙමින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ඵලදායී තත්ත්වයට පත්කිරීමට තවමත් කාලය ඉතුරුව තිබේ. අවශ්‍ය වන්නේ නිවැරදි සැළැස්ම පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here