spot_img
spot_imgspot_img

කාලි අම්මාගේ පැමිණිල්ලෙන් මාමා අත්අඩංගුවට. අතවරයට පත් දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා සියල්ල හෙළිකරයි

පුවත්

විදෙස්

ගාල්ල කොට්ඨාසයේ එක්තරා පොලිසියක ළමා හා කාන්තා කාර්යාංශය තම මවත්, ආච්චිඅම්මාත් සමඟ පැමිණි පාසල් ශිෂ්‍යාවක් පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

ඇගේ පැමිණිල්ල ඉතාමත් කෙටි විය. පැමිණිල්ල ඉදිරිපත් කරද්දීත් ඇය මහත් බියට පත්වූ ආකාරයෙන් වරින් වර හඩා වැළපුණාය. ඒ සෑම අවස්ථාවක ම පසෙකින් සිටි ආච්චි අම්මා “ඔයා බය නැතිව පැමිණිල්ල දාන්න. ඔය මිනිහට හොඳ වැඩක් කරන්න ඔ්නේ.” යැයි කියන්නේ දැරිය දිරිමත් කරමිනි. මේ දැරියගේ අම්මා ද ඇය දිරිමත් කළාය.

පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කෙරිණි. ඉන් කියවුණේ එම දැරියගේ මාමා කෙනෙකු දැරිය අතවරටය ලක්කර ඇති බවයි.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනිය අගෙන් ඉතාමත් ආදරයෙන් ප්‍රශ්න රැසක් ඇසුවාය. ඒ ප්‍රශ්නවලට දැරියටත් වඩා පිළිතුරු දුන්නේ ආච්චිඅම්මාය.

පොලිස් පැමිණිල්ල ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කෙරිණි. පැමිණිල්ල අනුව වහාම එ් මාමා අත්අඩංගුවට ගන්නා ලෙසත් දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසත් උපදෙස් ලැබිණි.

මාමා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ජීප් රථයේ නැගී පිටත්ව ගියෝය. ඒ අතරතුර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් තවත් ප්‍රකාශ සටහන් කරගනිමින් ඉදීරි වැඩකටයුතු සැළසුම් කළේය.

හෝරාවක් ගතවීමටත් පෙර පොලිස් රථය ආපසු පැමිණියේය. මේ කියන මාමා පදිංචිව සිටියේ පොලිසිය ආසන්න ප්‍රදේශයකය.

“මෙයා ද මිනිහා. බැලුවහමනම් බොහොම අහිංසක පාටයි. තමුන් කරපු දේවල් දැන් ඔක්කොම හෙළි වෙලා තියෙන්නේ. ගෑනු දරුවෝ නැද්ද ? තමන්ගේ අක්කගේ දූ නේද අර ඉන්නේ. පවුකාර වැඩ කරන්නේ. බලමුකෝ තමුන්ට මොනවද වෙන්නේ කියලා.” පොලිසියෙන් ඔහුට ගෝරනාඩුවකි.

මාමා උඩ බිම බලයි. තම වැඩිමහල් සහෝදරිය ඇගේ දියණියත් ඇගේ නැන්දණියත් සමඟ පොලිසියට පැමිණ සිටියි.

“මහත්තයෝ මම මොකුත් දන්නේ නෑ. ඇයි මේ. මාව ජිප් එකේ දාගෙන ආවා. මම ආවා. මගේ නෝනා ළමයෙක් ලැබෙන්න ඉස්පිරිතාලේ. මම කෑම එක අරන් යන්න ලෑස්තිවෙලා හිටියේ.” ඔහු කියයි.

“අර ගෑනු ළමයා අඳුනනව ද ?”

“ඔවු අක්කගේ දූ. අර මගේ අක්කා. අනිත් පැත්තේ ඉන්නේ අක්කගේ මහත්තයාගේ අම්මා.”

“කට්ටියවම හොඳට දන්නවා නේ. තමුන් මොනව ද ඒ කෙල්ලට කරපු අපරාදේ. ඒ කෙල්ලව විනාශ කරලා. දැන් නෑ කම් කියනවා.” පොලිසියේ තවත් නිලධාරියෙක් උස් හඬින් කියයි. පොලිසියේ සිටින සැවොම බලා සිටියි.

“අනේ මහත්තයෝ මම මොනවත් දන්නේ නෑ. මගේ මේ අත්දෙකෙන් වඩාගෙන හදපු කෙල්ල. මගේ දරුවන් එක්කම ඉන්න මේ කෙල්ල මට මගේම දුවෙක් වගේ. මම කිසිම අපරාධයක් කරලා නෑ.” ඔහු බැගෑපත් වෙයි.

“ඒව බලාගමු උසාවියේ දී.” අපි දැන් තමුන්ව මහේස්ත්‍රාත් ගාවට දානවා.

සියල්ල සූදානම් කෙරිණි. පැය කිහිපයකින් සවස් වරුවේ මේ පැමිණිල්ලට අදාල සැකකරු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කෙරුණේ දැරිය කරන ලද පැමිණිල්ල අනුවය. මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස ද නියෝග කෙරිණි.

සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරයේය.

දැරිය රැගත් පොලිස් නිලධාරිනියන්, ඇගේ මවත් ආච්චිඅම්මාත් සමඟ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගියේය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මේ දැරියගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් පසු ඇය පරීක්ෂා කළේය.

“මේ දැරිය අතවරයට ලක්වෙලා නැහැ. මෙතන මොනවා හරි වරදක් වෙලා තියෙනවා.” ඔහු පොලිස් නිලධාරීන්ට කීවේය.

පොලිස් නිලධාරීන්ට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීම කඩිනමින් කිරීමට අවශ්‍යව තිබිණි. ආච්චි අම්මාත් මවත් පැත්තකින් තැබූ පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් ඇය පසෙකට කැටුව ගොස් නැවත වතාවක් කරුණු විමසන්නට වූ‌හ.

“ ඔයා බය නැතිව අපිට ඇත්ත කියන්න. ඔයාට මාමා මොනවද කළේ. මොනව ද වුණේ.” ඔවුන් අසයි.

දැරිය මොහොතක් හඬා වැටුණාය. ඉකි බිඳිමින් තම දුක වේදනාව පිට කරමින් හෙමින් හෙමින් යළි කටහඬ අවදි කළාය. නිලධාරීන් ඇයට ඉඩ දී ඉවසිල්ලෙන් බලා සිටියි.

“මාමා මට ගොඩක් ආදරෙයි. මාමගේ ගෙදර මම නිතරම යනවා. එහේ මල්ලිලා මාත් එක්ක තමයි සෙල්ලම් කරන්නෙත්. මට මාම කිසිම කරදරයක් කරලා නැහැ. මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ආච්චිඅම්මා තමයි මට මෙහෙම කිව්වේ. එයා කිව්වා මාම මර කරදර කරලා තියෙනවා කියලා. ඒත් මම කිව්වා මට කවදාවත් මාමා එහෙම කරලා නැහැ කියලා. ආච්චිඅම්මා එක් පිළිගත්තෙම නැහැ. ඉස්සෙල්ලා අම්මත් ආච්චිඅම්මට කිව්වා මාමා එහෙම කරන්න නැතුව ඇති කියලා. ඒත් ආච්චිඅම්මා නිතරම කියන්න ගත්තා මාමා මට කරදර කරනවා කියලා. ඒක මම හංගනවා කියලත් ආච්චඅම්මා කියනවා. අම්මත් මේක විශ්වාස කළා. ඒ දෙන්නා තමයි මට කිව්වේ මේ විදියට පොලිසියට ගිහින් පැමිණිලි කරමු කියලා. ආච්චිඅම්මයි අම්මයි කියපු නිසා මම මේ විදියට පොලිසියට පැමිණිලි කළේ.” ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන්ට පැහැදිලි වූයේ සැකකුරු නිර්දෝශී විය හැකි බවයි. නමුත් මෙය තවත් පැහැදිලි කරගත යුතුය.

අම්මාත් ආච්චඅම්මාත් කැඳවිණි.

“කවුද කිව්වේ මේ දරුවට අර මනුස්සයා අතවර කළා කියලා. ඒ ඔයාගේ මල්ලි නේද ?”

“මට අම්මා තමයි කිව්වේ ඒ බව.” දැරියගේ මව පැවසුවාය.

“තමුන්ට කවුද කිව්වේ ?” පොලිසිය තදින් අසයි

“මම දැන් කාලෙක ඉඳලා දේවාලයක් කරගෙන යනවා. මට කාලි මෑණියන්ගේ වරමක් තියෙනවා. ඉතින් කාලි මෑනියන් තමයි මට කිව්වේ මේ දුවට අර මිනිහා අතවර කළා කියාල. දිගටම අතවර කරනවා කියලත් කිව්වා. මට කාලි මෑණියන් විශ්වාසයි.”

පොලිස් නිලධාරීනියන්ට මුහුණට මුහුණ බැලිනි.

මොහොතකින් සියල්ල මහේස්ත්‍රාත් වරයාට වාර්තා කළ අතර දැරිය අතවරයට ලක්ව නැතැයි විශේෂඥ වෛද්‍ය රුවන් නානායක්කාර විසින් ලබාදුන් වෛද්‍ය වාර්තාවවත් පැමිණිල්ල කර ඇත්තේ කාලි මෑණියන්ගෙන් ලැබුණු තොරතුරක් මත පදනම්ව යන බවත් පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කරන ලදී.

සැකකරු වහාම නිදහස් කෙරිණි.

(සත්‍ය සිද්ධියක් ඇසුරෙනි)

සටහන – සජීව විජේවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!