2024 ජනාධිපතිවරණයේ අපේක්කෂයින් 39 දෙනකුගෙන් සමන්විත දීර්ඝ ලයිතුව තුළ කාන්තා පාර්ශවයෙන් කිසිදු අපේක්ෂකයෙකු නොමැති වීම ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තාවන් මුහුණ දෙන අභියෝග ඉස්මතු කරන බව බොහෝ විචාරකයෝ පවසති.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නීතිමය ප්‍රතිපාදන තිබියදීත් මෙම අවස්ථාවේ කිසිදු කාන්තාවක් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී නොතිබීම පුරුෂ මූලික පක්ෂ දේශපාලනයේ ප්‍රථිපලයක් බව බොහෝදෙනාගේ මතයයි.
දේශපාලනයේදී කාන්තාවන්ගේ සමාන සහභාගිත්වයේ වැදගත්කම පිළිගන්නා කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත. කෙසේ වෙතත්, රටේ වත්මන් දේශපාලන යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් චිත්‍රයක් මවාපායි.
නීතියෙන් සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලබාදී ඇති නමුත් කාන්තාවන් ප්‍රායෝගිකව දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකනු ලැබේ. ජාත්‍යන්තර කාන්තා දිනය වැනි වේදිකාවල කාන්තා අයිතීන් ගැන දිගින් දිගටම සාකච්ඡා කෙරුණද ශ්‍රී ලංකාවේ දේශපාලනය ආධිපත්‍යය දරන පුරුෂාධිපත්‍යවාදී මානසිකත්වය බොහෝ විට කාන්තාවන් පසෙකට තල්ලු කරයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇත්තේ කාන්තාවන් තිදෙනකු පමණි.
දිවංගත ගාමිණී දිසානායකගේ වැන්දඹු බිරිඳ වන ශ්‍රීමා දිසානායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. එහිදී චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරිය බවට පත් විය.
ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ තෙවන කාන්තාව වන්නේ ආචාර්ය අජන්තා පෙරේරා ය. ඇය 2019 දී ජනාධිපතිවරණ සටනට පිවිසි නමුත් සැලකිය යුතු බලපෑමක් කිරීමට අපොහොසත් විය.
සංඛ්‍යාලේඛණ දත්ත අනුව පෙනී යන්නේ ආසියානු රටවල පාර්ලිමේන්තුවලට තේරීපත්වූ කාන්තාවන් සංඛ්‍යාවේ මෑතකාලීන ප්‍රගතියක් තිබුණද, ඉහළ තනතුරුවල ඔවුන්ගේ පැමිණීම තවමත් අඩු බවයි.
මේ අතර අද(15) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කාන්තා හා ළමා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ පවසා තිබුණේ, කාන්තා නියෝජනයක් නොමැති මෙවර ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි බවයි. පාර්ලිමේන්තුවේදී පවා පක්ෂ නායකයින් කාන්තාවන්ට නිසිතැන හා සමතැන දියයුතු යැයි කථා කළද පාර්ලිමේන්තුවේ පවා කාන්තා නියෝජනය 6% කට අඩු බවද ඇය සඳහන් කළාය. ඇය වැඩි දුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණයේදි කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කණගාටුවට කරුණක් බවයි.