5.2 C
New York

IMF තුන්වැනි වාරිකය ලැබේ ද ? නොලැබේ ද ?

Published:

මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වී ඇත.

එසේ වුව ද IMF විසින් ලබාදෙන තුන්වෙනි ණය වාරිකයට එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇතැයි විශ්වාසයක් පවතී.  

වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2023 දෙසැම්බර් මාසයේ අලුත් කරන ලද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ 2024 මැයි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබූ කැපවීම්වලින් 25%ක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත. එසේ ඉටුකළ යුතුව තිබූ කැපවීම් 63න්, 32ක් ‘ඉටුකළ’ ලෙසත්, 16ක් ‘ඉටුකර නැති’ ලෙසත්, 15ක් ‘නොදනී’ ලෙසත්, IMF මීටරය වර්ග කර ඇත. ‘නොදනී’ යන්නේ අර්ථය අදාළ කැපවීමේ ප්‍රගතිය තහවුරු කිරීමට අවශ්‍ය දත්ත සහ තොරතුරු නොමැත යන්න වේ.

ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත්වන බව පෙනී යන්නේ ඉටු නොකළ කැපවීම් 16 කෙරේ අවධානය යොමුකළ විටය. මෙම කැපවීම් 16න්, 07ක් මූල්‍ය කළමණාකරනයටත්, 06ක් මූල්‍ය විනිවිදභාවයටත්, 03ක් දූෂණ මර්දන ක්‍රියාමාර්ගවලටත්, අදාළ වේ. රටේ වර්තමාන ආර්ථික අර්බුදයට මූලිකම හේතූන් ලෙස නිශ්චිත ලෙසම හඳුනාගෙන ඇත්තේ විනිවිදභාවයේ, කළමණාකරනයේ සහ දූෂණ මර්ධන කටයුතුවල ඇති දුර්වලතාය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙන් එම දුර්වලතාවලට පිළියම් ඉදිරිපත්ව ඇතත්, ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත්තේ ද, එකඟ වූ අයුරින් පිළියම් නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමටය. ණය මුදලේ දෙවනි වාරිකය ලබාගන්නා අවස්ථාවේ ඉටුකර නොතිබූ කැපවීම් බොහෝමයක් ද, විනිවිදභාවයට සහ දූෂණ මර්දනයට අදාළ ඒවා වුණි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නායකත්වයෙන් සිදුකෙරුණු සහ 2023 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරුණු ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව, IMF මැදිහත්වීමෙන් ආසියාතික රටක සිදුකෙරුණු එවැනි පළමු ඇගයීම වේ. එම ඇගයීමේ නිරීක්ෂණයන් සහ නිර්දේශයන්, මෙරට සිවිල් සමාජය මැදිහත්වී වෙනම සම්පාදනය කර ප්‍රකාශයට පත්කළ ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාවේ අන්තර්ගතය හා බොහෝ දුරට සමාන වේ. සියලුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වර්තමාන 17 වැනි IMF ණය වැඩසටහන යටතේ දූෂණයෙන් සහ අයහපත් ආණ්ඩුකරණයෙන් පැසවා තිබුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යාධියට නිසි පිළියම් ලැබෙනු ඇති බව වුවත්, ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ‘ඉටුකර නැති’ ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවයි.

ඒ වෙනුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැඩි අවධානයක් යොමුකර ඇති සාමාන්‍ය මූල්‍ය අවශ්‍යතා මීට පෙර පැවති IMF වැඩසටහන් 16හි ද, පැවතිණ. වර්තමාන වැඩසටහන ඒවායින් වෙනස් වන්නේ විනිවිදභාවය වර්ධනය කිරීමට සහ දූෂණ මර්දන කටයුතුවලට අදාළ අර්ථවත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම කෙරේ ඉන් අවධානය යොමුකර ඇති බැවිනි. මෙම ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ අත්තිවාරම නොවන්නේ නම් එය රටට අත්හැරුණු අවස්ථාවක් වනු ඇත. එවන් තත්ත්වයක, එක් IMF වැඩසටහනක් අවසන් කර වසර 5කින් තවත් වැඩසටහනකට පිවිසෙන ශ්‍රී ලංකාවේ වර්තමාන චක්‍රය අදින් – අනාගතයටත් යනු ඇත.

Related articles

Recent articles

spot_img