spot_img
spot_imgspot_img

රට රැකියා අරන්, ඇමති මනූෂ වව්නියාවේ

පුවත්

විදෙස්

විදේශ රැකියා අවස්ථා රැගෙන “ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන අද (29) සහ හෙට (30) දෙදින වව්නියාව ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක් මත මෙම වැඩසටහන පැවැත්වෙයි.

මෙම දින දෙකේදී තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් සහ අඩු ආදායම්ලාභී පවුලක සාමාජිකයෙක් බවට වන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ නිර්දේශයද සහිතව පැමිණ ලියාපදිංචි කිරීම් සිදුකරගත හැකිය.

මෙම වැඩසටහන මීට පෙර මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබිණි. එහි දී රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්, විදේශගත ශ්‍රමිකයින්, විදේශගත වීම අපේක්ෂාව කර ගත් උපදේශනය සහ දිරිගැන්වීම් අවැසිවූවන් මෙන්ම පාසල් දූ දරුවන් සහ රජයේ නිලධාරීහු පැමිණියහ.

අවිධිමත් අංශයේ රැකියාවල නියුක්ත පිරිස් සඳහා සිය කුසලතා සහතික කරගැනීමට අවශ්‍ය සහතික ලබා ගැනීමට එහිදී පහසුකම් සලසා දී තිබිණි. එදින සවස්භාගයේ ‘ජයගමු ශ්‍රී ලංකා – ගරුසරු’ අදියර පැවැත්විණි. සමස්ත ශ්‍රම බලකායට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අපේක්ෂාව ය. සිය වෘත්තීයට හිමි වැටුපේ පටන් සියල්ල අවිධිමත්ව පවතින තත්ත්වයක පසු වන අවිධිමත් අංශයේ රැකියා සඳහා නිසි වටපිටාව, ප්‍රායෝගික සුදුසුකම්, අසීරුතාව, ස්ථාවරභාවය, වෘත්තීය හිමිකම් පමණක් නොව ඒ සඳහා හිමි විය යුතු ගරුත්වයද බොහෝ විට අහිමිය. එවන් රැකියා කිරීම ම අසාර්ථකත්වයක්, අඩු වරප්‍රසාදිත තත්ත්වයක් නිර්මාණය කරයි නම් එම රැකියාවට හිමි හැඳින්වීම වෙනස් කිරීමද ඉතා වටිනා සංකල්පයකි. අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලු දෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් ලබා දීම පිණිස ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහනද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එවැනි තවත් එක් වැඩසටහනකි.

‘ශ්‍රම වාසනා’ අරමුදල් වැඩසටහන මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල පාසල් දූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ලබා දීම සිදු කෙරුණු අතර මාතලේ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන් 1200ක් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම එහිදී සිදු කෙරිණි.

‘ජයගමු ශ්‍රී ලංකා’ මාතලේ වැඩසටහනේ දින දෙකෙහිදිම විදෙස් රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට අධික සංඛ්‍යාවක සේවයද වැඩසටහනට සහභාගි වූවන් සඳහා සැපයුණ අතර තරුණ ප්‍රජාව වෘත්තීමය වශයෙන් සවිබල ගැන්වෙන උපදෙස් ලබා දීම, ජනාධිපති අරමුදලේ අනුග්‍රහයෙන් සිදු වන දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණුව සඳහා ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කිරීමට අවකාශ සලසා දීම සිදු විය.

එම දිනයේ ‘ජයගමු ශ්‍රී ලංකා ස්මාට් යූත් ක්ලබ්’ තරුණ ප්‍රජාව දිරිගැන්වීමේ දේශනයේදී අමාත්‍යවරයා විශේෂයෙන් අවධාරණය කළේ ‘ඊශ්‍රායලයෙන් රස්සා මල්ලක් රැගෙන තමන් එන විට කයිවාරු රතු රැළිවල විදෙස් රැකියා දීම ගැන විවේචන සිදු වන බවත් තාරුණ්‍යය වළ පල්ලට රැගෙන යාමට එම පාර්ශ්ව කටයුතු කරන’ බවත්ය.

විදේශ රැකියාවල නිරත වී මෙරටට පැමිණ සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතුවල නිරත වන පස් දෙනෙකු විශේෂ ඇගයීමකට ලක් කිරීම පිණිස එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ මුදල් තෑගි පිරිනැමීම, විගමණික ශ්‍රමිකයන් 11 දෙනෙකු හට මුදල් ආධාර ලබා දීම, විගමණික ශ්‍රමික පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබාදීම, එවැනි පවුල්වල පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් දරුවන් 70 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීමද සිදු කෙරුණු අතර මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 11ක් සඳහා සුහුරු පන්ති කාමර පිහිටුවීමට ස්මාට් බෝඩ් ලබාදීම සිදු විය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව, රැකියා සඳහා පිටත් වු 40 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි.

විගමණික සේවක සේවිකාවන් ඇගයීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අමාත්‍යාංශයේ ‘ගරුසරු’ වැඩසටහනට සමගාමීව අසංවිධිත වෘත්තීන්වල ජාතික මණ්ඩල පත්කිරීම, කම්කරු දෙපාර්තමේන්තු නීති වෙනස් කිරීම හා මිනිස් වෙළඳාම යනාදී කාරණා පිළිබඳව දැනුම්වත් කිරීම, මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම, බලපත්‍රලාභී රැකියා ඒජන්සි සමග සම්බන්ධ වීමේ අවස්ථා ලබාදීමද මෙම දෙදින තුළදී සිදුකෙරිණි.

අනුරාධපුරයේ අද පැවැත්වෙන වැඩසටහනට පෙර, අනුරාධපුරයෙන් ආරම්භ කර අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ “ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!