spot_img
spot_imgspot_img

බාල ඖෂධ ගෙන මියගිය අයගේ සාක්ෂිය කැඳවයි. කෙහෙළිය අමාත්‍ය මණ්ඩලයට කියූ බොරු අධිකරණයට

පුවත්

විදෙස්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 09 දෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

මෙහීදී කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ ඖෂධ රට තුළ අවශ්‍ය ප්‍රමාණයට පැවතියද තුන්වන ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඖෂධ හිඟයක් ඇතැයි කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 09 දෙනා ම අද අධිකරණයට රැගෙනවිත් තිබිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විවෘත අධිකරණය හමුවේ මෙසේ කියා සිටියාය.

”ස්වාමීනි, මෙම ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ලැයිස්තු තුනක් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පළමුවැන්න ඖෂධ 182ක් සම්බන්ධවත්, දෙවැන්න ඖෂධ 285ක් සම්බන්ධවත්, තුන්වැන්න ඖෂධ 317ක ලැයිස්තුවක් සම්බන්ධවත් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක සහ දෙක යන ලැයිස්තු සම්බන්ධ විමර්ශන අවසන් කර මේ වෙද්දිත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ. 317කින් යුතු 3 වැනි ඖෂධ ලැයිස්තුව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව මෙසේයි”. 

“ස්වාමීනි, මෙම 317ක ඖෂධ ලැයිස්තුවෙනුත් ඖධෂ 92ක් හැරුණුකොට සෙසු සියලු ඖෂධ පළමු සහ දෙවැනි ඖෂධ ලැයිස්තුවල පැවති ඖෂධමයි. එම 92නුත් ඖෂධ 87ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික සැපයුම්කරුවන් මගින් ඒවන විටත් සපයාගෙන තිබුණ ඒවා. ඒවායේ තොග ඒ වනවිටත් රට තුළ ප්‍රමාණවත් පරිදි තිබුණා ස්වාමීනි.  ඒ අනුව රට තුළ ඖෂධ හිඟයක් පිළිබඳ තුන්වන ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට ඒත්තුගැන්වීම සහ ඖෂධ හිඟයක් පිළිබඳ හුවා දැක්වීම සාවද්‍ය කරුණක්.”

අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරියගෙන් නියෝග කිහිපයක් ඉල්ලා සිටියාය.

ඉන් පළමුවැන්න වූයේ 2022 නොවැම්බර් 30 සිට 2023 ජනවාරි 4 වැනිදා දක්වා කාලය තුළ මෙම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් නම් ඖෂධ වර්ග දෙක ලබාදුන් රෝහල්, එම රෝහල්වල වාට්ටු අංක සහ ඖෂධ ලබාදුන් රෝගීන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසයි. 

එමෙන්ම ඉන් අසාත්මිකතා මතුවී මරණයට පත්වූ අය පිළිබඳ හා ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම මෙම ඖෂධ ලබාගෙන ජීවතුන් අතර සිටින රෝගීන් පිළිබඳ වාර්තා 2024.05.30 දිනට පෙර ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලෙසද ඉල්ලා තිබුණි. 

මෙම එන්නත් වර්ග දෙක වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වුවාද? එම පරික්ෂණය සිදු කරනු ලැබුවේ කවුරුන්ද? විමර්ශන අවසන් නම් එම විමර්ශන මගින් මේ වනවිට යෝජනා කර තිබෙන නිගමන හෝ නිර්දේශ මොනවාද? යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවීමේ නියෝගයක් ලබාදීම අනෙක් ඉල්ලීම ය.

මෙම ඉල්ලීම් සඳහා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අවසර ලබාදුන්නාය.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 09 දෙනා අප්‍රේල් මස 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!