spot_img
spot_imgspot_img

හාමුදුරුවෝ “වික්ටෝරියා ලිලී” වවා නඩු පටලවා ගනිති ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ජලාශ සියල්ලට තර්ජනයක් විය හැකි යෝධ ඕලු හෙවත් වික්ටෝරියා ලිලී නමැති ජලජ ශාකය දැනට වගා කර ඇති සියලුම විහාරස්ථානවලට සහ ඒවා වගාකළ හිමිවරුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

rata.lk වෙබ් අඩවිය, දෙසැම්බර් 31 වැනි දා “ජලාශ වැනසිය හැකි ආක්‍රමණිකයෙක් ? පන්සලක වගාකරලා” යන සිරස්තලය යටතේ, ලෝකයේ දෙවැනි විශාලතම ජලජ ශාකය මහනුවර, කටුගස්තොට, කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරස්ථානයේ වගාකර ඇති බව හෙළිදරව් කෙරිණි. (එම ලිපිය මෙතැනින්) එම ලිපිය පළවීමෙන් පසු අප පාඨකයන් විසින් ද මෙම ශාකය වගාකර ඇති සහ එම ශාක විකිණීමට ඇති ස්ථාන කිහිපයක් ගැන තොරතුරු අප වෙත එවා තිබිණි.

එම තොරතුරු අප වෙත ලබාදුන් පාඨකයන් පවසන්නේ, මේ ශාකය  ලෝකයේ විශාලතම ජලජ ශාකය යැයි  පවසමින් (ලෝකයේ දෙවැනි විශාලතම ජලජ ශාකය මිස විශාලතම ජලජ ශාකය නොවේ) එය ශ්‍රී ලංකාව තුළ ඇත්තේ තමන්ගේ විහාරස්ථානයේ පමණක් යැයි ද කියමින් විහාරස්ථානය ජනප්‍රිය කර මුදල් ගැරීමේ ජාවාරමකට අර අදින බවයි.

කටුගස්තොට කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරාධිපති නුගවෙල සුමනදේව හිමියන් ද මෙරට මාධ්‍යවලට පවා එම ශාකය ඇත්තේ තමන්ගේ විහාරස්ථානයේ පමණක් යැයි පවසා තිබූ අතර ඒ සඳහා ඇතැම් මාධ්‍ය කිසිදු සොයා බැලීමකින් තොරව මෙම නීති විරෝධී කාර්යය සඳහා විශාල ප්‍රචාරයක් ලබා දී තිබිණි.

මෙවැනි වගකීම් විරහිත මාධ්‍ය ප්‍රචාරය හේතුවෙන් දැන් වික්ටෝරියා ලිලී නමැති ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර සියල්ලට දැඩි ආක්‍රමණකාරී විය හැකි ශාකය බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ වලංගු නීතිය අනුව වික්ටෝරියා ලිලී ශාකය බෞද්ධ විහාරස්ථානවල වගාකිරීමට හෝ ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වීමට හෝ අවසරයක් ලබා දී නැත. අවසරයක් ලබාදීමට ද හැකියාවක් නැත.

ශාක ආරක්ෂක පනතේ 12 වැනි වග්තිය යටතේ 1981 නොවැම්බර් මස 02 වැනි දිනැති අංක 65/02 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නියෝගයක් මගින් මෙරටට කිසිදු ජලජ ශාකයක් ආනයනය කිරීම, බීජ ගෙන්වා වගා කිරීම මුළුමනින්ම තහනම් කර තිබේ.  මෙම තහනම කලින් තිබූ 1924 අංක 10 දරන ශාක ආරක්ශක ආඥා පනත (Plant Protection Ordinance) යටතේ පනවන ලද්දකි. නමුත්,එම ආඥා පනත 1999 අංක 35 දරණ ශාක ආරක්ශක පනත (Plant Protection Act) මගින් අහෝසි වුවත් නව පනතේ 13 වන වගන්තිය අනුව කලින් ආඥා පනතින් පනවන ලද නියෝග දිගට ම බලාත්මකව පැවතීමට මෙන්ම නව පනත යටතේ පනවන ලද නියෝගයන් ලෙස බලාත්මක කිරීමටත් අවශ්‍ය නීතිමය තත්වයන් ලැබී තිබේ.

එබැවින් 1981 නොවැම්බර් 02 වැනි දා සිට ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල ලෙස කිසිඳු ජලජ ශාකයක් ආනයනය කරන්නට නොහැක​. ඒ අනුව කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරයේ සහ අපට ඡායාරූප සාක්ෂි ලැබී ඇති ත්‍රිකුණාමලයේ කින්නියා ආසන්නයේ ඇති විල්ගම්වෙහෙර නම් විහාරස්ථානයේ වගාකර ඇති වික්ටෝරියා ලිලී ශාකය මෙරටට ගෙන්වා ඇත්තේ නීති විරෝධී ආකාරයෙනි.

එසේ නීති විරෝධී ආකාරයෙන් ආනයනයන් සිදු වන විට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි ද යන්නට පිලිතුරු දීමට හැක්කේ පනත බලාත්මක කිරීමේ බලය ලත් රාජ්‍ය ආයතනය වන කෘෂිකර්ම දෙපාර්තමේනුවට සහ රේගු දෙපාර්තමේන්තුවටය​.

මෙම ශාකය ආක්‍රමණකාරී යැයි දැන්ම කිව නොහැකියැයි ඇතමකු තර්ක කළ හැකිය. කොණ්ඩදෙණියේ දේවමිත්ත විහාරාධිපති නුගවෙල සුමනදේව හිමියන් මේ ශාකය තම පොකුණට පමණක් සීමා කරන බවට පොරොන්දු දෙනු ඇත. නමුත්, මේ ශාකය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ නීති විරෝධී ලෙසය. රුපියල් 30,000.00ක් වැය කර ඊට වඩා සිය දහස් ගුණයක් මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් නීති විරෝධී කාර්යයක නිරතවන මේ භික්ෂූන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුය.

අපි මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන ඒකකයේ අතිරේක අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්තගෙන් විමසූ විට ඔහු කියා සිටියේ වික්ටෝරියා ලිලී නම් ශාකය සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබුණු බවයි. ඒ අනුව එය ගෙන්වා තිබෙන්නේ නීති විරෝධී ආකාරයෙන් බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි කිහිප දෙනෙක් යවලා දැනටමත් මේ ස්ථානය ගැන සොයා බලා තියෙන්නේ. කොහොම ගෙනාවද කියලා තවම අනාවරණය වුණේ නැහැ. කොහොම ගෙනාවත් මෙවැනි ආගන්තුක ජලජ පැලෑටියක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා නම් ඊට එරෙහිව අපිට නීතිමය පියවර ගන්න පුළුවන්. නමුත් අපිට මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් අවශ්‍ය වෙනවා. එවිට අපි නීතිය ක්‍රියාත්මක කරනවා.”

ඔහු දැනුම් දුන් පරිදි අපි එම ලිඛිත පැමිණිල්ල සිදු කළෙමු.

කටුගස්තොට කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරස්ථානයේ සහ ත්‍රිකුණාමලයේ කින්නියාහි විල්ගම්වෙහෙර නමැති ස්ථානයේ වගාකර ඇති ආගන්තුක වික්ටෝරියා ලිලී ශාක මෙරටට ගෙන්වා ඇත්තේ නීති විරෝධී ලෙස ශාක ආරක්ෂණ පනත උල්ලංඝනය කරමින් බැවින් එම ශාක ගෙන්වන ලද සහ වගාකරන ලද එම හිමිවරුන්ට සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාාට ලිඛිත පැමිණිල්ලක් යොමු කළෙමු.

මේ රටේ නීතිය ක්‍රියාත්මක වනතුරු අපි විමසිල්ලෙන් සිටින්නෙමු.

(ඡායාරූපයේ ඇත්තේ ත්‍රිකුණාමලයේ කින්නියාහි විල්ගම්වෙහෙර නමැති විහාරස්ථානයක වවා ඇති වික්ටෝරියා ලිලී ශාකයයි)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!