spot_img
spot_imgspot_img

ක්‍රිකට් අර්බුදය ගැන වාර්තාව, ජනපති අතට දෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව අද (01) ජනාධිති රනිල් වික්‍රමසිංහ වෙත බාරදෙනු ලැබීය

අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් 06 වැනි දින ගත් තීරණයක් අනුව මෙම අනුකමිටුව පත්කරන ලදී. එහි සභාපතිවරයා‍ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කටයුතු කළ අතර සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා  අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරු කටයුතු කළහ. 

එහි ලේකම් ලෙස ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් කටයුතු කළාය.  

ශ්‍රී ලංකා ක්‍රිකට්හි සංයුතිය හා ව්‍යුහය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා, ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, 19 න් පහළ සහ 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණු කිරීම සහ සමස්ත යහපැවැත්ම සඳහා වන රාමුව, ටෙස්ට්  ක්‍රීඩාවේ නියුතු රටවල මනා ලෙස ක්‍රියාත්මක වන සංසන්දනාත්මකව නැවත සකස් කිරීමේදී විනිවදභාවය, වෘත්තීයභාවය සහ වගවීම සහතික කිරීම පිණිස අනුගමනය කළ හැකි සුදුසු භාවිතයන්, කුසලතාව, සමානාත්මතාව සහ සාධාරණතාව වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පෝෂණ ව්‍යුහය පාසල්, දිස්ත්‍රික්, පළාත් සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම යන ක්ෂේත්‍ර හතර කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කෙ‍රිණි. 

එහිදී වත්මන් අර්බුදයට පාදක වූ සැබෑ හේතූන් විශ්ලේෂණය කිරීම සඳහා වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරුන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් (කාන්තා / පිරිමි) පුහුණුකරුවන්, විනිසුරුවරුන්, ක්‍රිකට් තේරීම් කමිටුව, 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්, තාක්ෂණ උපදේශක කමිටුව, වනිදු හසරංග ඇතුළු වත්මන් ක්‍රිකට් කණ්ඩා‍යමේ සාමාජිකයින්, ශ්‍රී ලංකා විනිසුරු සංගමය,  ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විගණන හා ගණකාධිකරණ ආයතන, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් චිත්‍රසිරි කමිටුව, විගණාකාධිපති, ආදි පාර්ශව රැසක අදහස් විමර්ශනය කරමින් මෙම වාර්තාවේ නිර්දේශ සකස් කර ඇත. 

මේ සම්බන්ධයෙන් සිදු කෙරුණ පර්යේෂණ කටයුතු සඳහා නීතීඥ ෂමිර් සවහිර් සහ නීතිඥ සම්හන් මුන්සිර් යන දෙදෙනාගේ සහාය හිමි වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු කටයුතු අංශය විසින් වාර්තාව සකස් කරනු ලැබීය. 

මෙම වාර්තාව බාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් ක‍ළේ  වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදී ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!