spot_img
spot_imgspot_img

කැමිලස්ගේ තෙළිතුඩ, නිසල වෙයි

පුවත්

විදෙස්

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පියකු වූ කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වූයේ ය.

ඔහුගේ නිර්මාණ අතර ‘ගජමෑන්’ අතිශය ජනප්‍රිය කාටූනයක් විය. කැමිලස් මියයනවිට 84 වැනි වියේ පසුවූයේය.

1939 දෙසැම්බර් 01 වැනි දා මීගමුවේ දී උපතලබා ඇති කැමිලස් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මීගමුව ශාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාඨශාලාවෙනි. ඉන් අනතුරුව මාරිස්ටෙලා විද්‍යාලයටත්, පසුව  ශාන්ත මරියා විද්‍යාලයටත් ඇතුළු වූ ඔහු පුවත්පත් කලාවට සම්බන්ධ වූයේ ලේක්හවුස් ආයතනයේ සරසවිය පුවත්පතෙනි. ඒ 1964 වර්ෂයේ දී ය.

1965 වර්ෂයේ සිට දවස පුවත්පතේ දිනපතා කාටූනයක් නිර්මාණ්‍ය කිරීමේ අවස්ථාව හිමිකරගත් කැමිලස් පෙරේරා “තෙපානිස්” නමැති කාටූනයක් නිර්මාණය කළේය. ඔහු පසුකාලයක පවසා ඇත්තේ තමන් වසර ගණනක් මේ කාටූනය නිර්මාණය කළත් දවස පුවත්පතෙන් තමන්ට කිසිදු දීමනාවක් ඒ සඳහා නොලැබුණු බවයි.

1966 වර්ෂයේ දී දිනපතා දහවල් ජනතා පුවත්පතට කාටූනයක් නිර්මාණ්‍ය කිරීමට අවස්ථාව ලැබිණි. එය ‘දොන් සේතන්’ නමින් නිර්මාණය කළ ඔහු සේතංගේ බිරිය සිමෝනා, දියණිය මෙරයා සහ බාල සහේාදරයා  ලපයා, දියණියගේ පෙම්වතා වූ ගොඩ්වින් අයියා ද සමාජයට හඳුන්වාදුන්නේය.

පසුව සිළුමිණ පුවත්පතට ‘සිරිබිරිස්’ නිර්මාණය කළ කැමිලස් 1968 දී දැක්කොත් පද්මාවතී නමැති චිත්‍රකතාව සරසවිය පුවත්පත වෙනුවෙන් නිර්මාණය කළේය. එමෙන් ම සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ “මිස්ටර් ලව්රිස්”නමින් ඉංග්‍රීසි තීරු කාටූනයක් ද ඔහු නිර්මාණය කළේ කාටූන් කලාවේ නව මානයක් ඇති කරමිනි.

1972 වර්ෂයේ දී ලංකවේ බිහි වූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වූ සතුට පුවත්පතට නිර්මාණය කළ ‘ගජමෑන්’ කාටූන් චරිතය මෙරට පුවත්පත් පාඨකයන් අතර බෙහෙවින් ජනපිය විය.

මිහිර පුවත්පතට ටික්කා නමින් කාටූනයක් නිර්මාණය කළ කැමිලස් ක්‍රීඩා පුවත්පත වෙනුවෙන් “සෙල්ලං සේන” නිර්මාණය කළේය.

සතුට පුවත්පතින් ඉවත්ව මල්ටි පැක්ස් ආයතනය සමඟ එක්වූ කැමිලස් සිත්තර පුවත්පතට හ සම්බන්ධ විය. පසුව 1982 වර්ෂයේ දී මල්ටිපැක්ස් ආයතනයෙන් ඉවත්ව ඔහුගේම ආයතනයක් පිහිටුවා කැමිලස්ගේ ගජමෑන් සමඟ සත්සිරි පුව්තපත එළිදැක්වූවේය. එම පුවත්පත විශාල සාර්ථකත්වයක් දරමින් පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

පසුකාලීන ව තමන්ගේ ම ප්‍රකාශන ආයතනයක් පිහිටුවාගත් කැමිලස් පෙරේරා එම ආයතනය මගින් විවිධ අධ්‍යාපන ප්‍රකාශනය ද එළිදැක්වූවේය.

2002 වර්ෂයේ දී ගජමෑන් ගේ 30 වැනි උපන්දිනය සමරමින් ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්වූ අතර පසුව රිවිර පුවත්පතට සම්බන්ධ වී දේශපාලන කාටූනයක් ද නිර්මාණය කිරීමට කටයුතු කළේය.

කැමිලස්ගේ “මගෝඩිස්තුමා” කාටූනය පසුකාලීනව ඔහු නිර්මාණය කළ කාටූන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!