spot_img
spot_imgspot_img

මාධ්‍යවේදියාට පහර දී අත්අඩංගුවට ගත් බිංගිරිය පොලිසිය අධිකරණයේ දී අසරණ වෙයි

පුවත්

විදෙස්

අනවසරයෙන් පොලිසිය අභ්‍යන්තරයේ වීඩියෝ දර්ශන ගත් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත්, ජාතික රූපවාහිනියේ කුලියාපිටිය, උඩුබද්දාව වාර්තාකරු දිනෙත් කුමාර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට හෙට්ටිපොළ මහේස්ත්‍රාත් දුලංගිකා ජයසිංහ නියෝග කළාය.

පොදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බිංගිරිය පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි පිරිසකගේ ප්‍රකාශ වීඩියෝ කිරීමෙන් අනතුරුව පොලිසියේ නාම පුවරුව වීඩියෝ කරමින් සිටි මාධ්‍යවේදී දුලාන් වෙත පැමිණි බිංගිරිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මාධ්‍යවේදියා බලහත්කාරයෙන් ඇතුළට රැගෙන ගොස් ඔහුට පහර දී කැමරා ආම්පන්නවලට ද හානි සිදුකර ඔහු ඊයේ (30) අධිකරණයට ඉදිරිප් කර තිබිණි. පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මාධ්‍යවේදියා පැමිණ පොලිසියේ අවි ගබඩාව අනවසරයෙන් වීඩියෝ කළ බවයි. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මාධ්‍යවේදියා ඇප ලබාදිය නොහැකි වරදක් කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේ වුව ද මාධ්‍යවේදියා කියා සිටියේ මෙම චෝදනාවලට තමන් නිවැරදිකරු බවයි. තමන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මාධ්‍යවේදියකු බවත් රාජකාරී සඳහා පැමිණි අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් තමන්ට එම කාර්යය ඉටුකිරීමට ඉඩ නොදී පහර දී ‍අසත්‍ය චෝදනා නගන බවත් තම කැමරා උපකරනවලට ද හානිකර තමන් ලවා බලහත්කාරයෙන් අවි ගබඩාව වීඩියෝ කරවා පසුව එම චෝදනාව ඉදිරිපත් කරන බව ද මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේය.

ඊයේ (30) වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට මාධ්‍යවේදී දිනෙත් කුමාර ඉදිරිපත් කර තිබූ බැවින් අද (01) දිනය දක්වා ඔහු රිමාන්ඩ් කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් කටයුතු කර තිබිණි.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතිඥ ලක්මාල් වික්‍රමාරච්චිගේ උපදෙස් මත මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටි පුෂ්පා හේරත් ඇතුළු නීතිඥ කණ්ඩායම කියා සිටියේ පොලිසිය අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය ද පොලිසියෙන් හරස් ප්‍රශ්න ඇසුවාය. මාධ්‍යවේදියා අවි ගබඩාව වීඩියෝ කරනතුරු පෙලිස් නිලධාරීන් දුටුවේ නැද්ද යන්නත් ඔහු වීඩියෝ කළේ එළියේ සිට ද යන්නත් ඇසූ විට පොලිසිය කියා සිටියේ ඇතුලට පැමිණ වීඩියෝ කළ බවයි. ‍දිනෙත් කුමාර මාධ්‍යවේදියකු බව නොහඳුනන්නේ දැයි අසමින් ප්‍රශ්න කළ විට ද පොලිසියට ඔහු මීට පෙර දී ද මාධ්‍යවේදියකු ලෙස හඳුනන බව පිළිගැනීමට සිදුවිය.

මේ අවස්ථාවේ දී පොලිසිය කියා සිටියේ ඔහු අවිගබඩාව වීඩියෝ කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අතර ඔහුට ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇති වී උද්ඝෝෂණ පවා සිදුවිය හැකි බවයි.

නමුත්, එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් එය ස්ථානාධිපතිවරයා විසින් විසඳාගත යුතු ප්‍රශ්නයක් බවයි. එමෙන්ම උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත්, එමෙන් ම මාධ්‍යවේදියකුට සිද්ධියක් වාර්තා කිරීමේ සහ ප්‍රකාශනය කිරීමේ අයිතිය ඇති බවත් එය අහිමිකළ නොහැකි දෙයක් බවත් කියා සිටියාය.

ඒ අනුව පොලිසියේ ඉල්ලීම ඉවතලූ මහේස්ත්‍රාත් දුලංගිකා ජයසිංහ මාධ්‍යවේදී දිනෙත් කුමාර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

මාධ්‍යවේදියා වෙනුවෙන් අධිකරණ්‍යට ඉදිරිපත් වූ සියලු නීතිඥවරු ගාස්තු අයකිරීමකින් තොරව ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වීම විශේෂත්වයකි.

(ධම්මිකා බාලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!