මාසයක කාලයක් ඇතුළත අකුරණ නගරය පස් වතාවක් ගංවතුරින් යටවීම ඇතුළු ශ්‍රී ලංකාවේ ස්ථාන රැසක සිදුවන ආපදා තත්වයට හේතුව නිසි සුදුසුකම් සම්පූර්ණ නොකර ව්‍යාජ ලේඛන පෙන්වා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉහළම නිලයක වැජඹෙන නිලධාරිනියක් හේතුවෙන් බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ආපදා කළමනාකරණය පිළිබඳ අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නැති, එමෙන් ම ඒ පිළිබඳ විධිමත් පුහුණුවක් හෝ අත්දැකීමක් නොමැති මෙම කාන්තාව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආපදා අවම කිරීමේ ඉහළම තනතුරක් දරණ අතර ඇයගේ ක්‍රියාවන් හේතුවෙන් ආපදා අවම කිරීම නොව ආපදා වැඩි වීම සිදුවන බව එම විගණන වාර්තාව අනුව සනාථ වෙයි.
විගණන වාර්තාවේ දැක්වෙන්නේ අකුරණ ගංවතුර අවම කිරිමේ ව්‍යාපෘතිය අසාර්ථක වීම සහ එමගින් රුපියල් 18,465,950.00ක මුදලක් ද, ගංගාරගොල්ල ගල් පෙරළීමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් රුපියල් 18,912,660.00ක මුදලක් ද රජයට පාඩු කරදීමට සහ බලාපොරොත්තු වූ අරමුණු කරා ළඟාවීමට නොහැකි වූයේ සුදුසුකම් නොමැති නිලධාරිනියකගේ අත්තනෝමතික ක්‍රියාවන් සහ නොහැකියාවන් බවයි.
ඇය පමණක් නොව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරී නිලධාරිනියන් බොහොමයක් නිසි සුදුසුකම් සම්පූර්ණ නොකර අදාළ තනතුරුවලට යොදවා ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක් තනතුරු සඳහා බඳවා ගැනීමේ දී පළපුරුද්ද රජයේ හෝ රාජ්‍ය ආයතනයක කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර 15ක් සමඟ ඉතා යහපත් සේවා වර්තාවක් තිබීම අත්‍යාවශ්‍ය වෙයි. එම වසර 15න් අවම වශයේන වසර 03ක් පශ්චාත් උපාධි සුදුසුකම් ලබාගැනීමේන පසුව විය යුතුය.
නමුත්, අධයක්ෂ ආපදා අවම කිරිමේ තනතුර සඳහා බඳවාගැනීමේ දී එම තනතුරෙහි දැනට සිටින නිලධාරිනිය අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නැති බව ඉදිරිපත් කර ඇති තොරතුරු මගින් නිරීක්ෂණය වෙයි. ඇය ඉදිරිපත් කර ඇති සුදුසුකම් පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ ජල සම්පාදන මණ්ඩලයේ භූ විද්‍යා සහායක ලෙස වසර 03ක් ද, මාර්ග සංවර්ධන අධිකාරියේ පර්යේෂණ සහකාර ලෙස වසර 01ක් ද ඇති බවයි. නමුත් මෙම කාලය සනාථ කරන සේවා සහතික ආයතන ප්‍රධානීන්ගෙන් ලබාගෙන ඉදිරිපත් කර නැත. එමේන ම ඇය Nonikawa Engineering හි භූ විද්‍යා ඉංජිනේරු ලෙස වසර 01ක් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ සහායක ලෙස මාස 03ක් ද සේවය කර ඇති බවයි. එයට ද සේවා සහතික ඉදිරිපත් කර නැත. මෙයින් පෙනී යන්නේ ඇය අධ්‍යක්ෂ ආපදා අවම කිරීමේ තනතුරට බඳවාගෙන ඇතත් එම තනතුරට අවශ්‍ය වූ සුදුසුකම් සම්පූර්ණ කර නොමැති බවයි.
මෙම බඳවාගැනීම සිදුකර ඇත්තේ 2014 අප්‍රේල් 04 වැනි දින ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත්‍ර කැඳවා ජූලි 21 වැනි දින ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත කළ නිලධාරීන් තුන් දෙනකුගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් ලකුණු ලබා දීමෙනි. එම නිලධාරිනිය එම තනතුරට පත්කර ඇත්තේ අන්තර් කාලීන කළමනාකරණ කමිටුවේ අනුමැතිය සහ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ ආවරණ අනුමැතියට යටත්වය. ඒ බව දැක්වෙන පත්වීම් ලිපියට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්සන් යොදා තිබිණි.
එහෙත් අදාල නිලධාරිනිය ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තනතුරට පත්වීම් ලැබීමට පෙර සේවය කර තිබූ ආයතනවල ගණනය කළ හැකි කළමනාකරණ මට්ටමට අයත් සේවා කාලය අවුරුදු 02ක් සහ මාස 09කි. ඉතිරි සේවා කාලය කළමනාකරණ මට්ටමේ තනතුරු ලෙස සැළකිය නොහැකි බව විගණකාධිපති වාර්තාවේ දක්වා ඇත.
ඇය 2000 නොවැම්බර් 15 සිට 2008 නොවැම්බර් 18 දක්වා වසර 08ක් ජල සම්පත් මණ්ඩලයේ භූ විද්‍යාඥ තනතුර දැරූ බව කීව ද එය කණිෂ්ඨ කළමනාකරණ මට්ටමේ තනතුරකි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව එම තනතුර කළමනාකරණ මට්ටමේ තනතුරක් නොවන බව සනාථ කර තිබේ. එසේ නම් ඇය වංචනික ලෙස රාජ්‍යසේවයේ නිලයක් ලබාගැනීම සඳහා තොරතුරු ඉදිරිපත් කර ඇත.
මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආපදා අවම කිරීම භාරව කටයුතු කරන අධ්‍යක්ෂවරිය එම තනතුරට අදාල සුදුසුකම් දැක්වෙන කාලයෙන් වසර 12ක් සහ මාස 03ක අඩු සුදුසුකම් සහිතව එම තනතුරට පත්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විගණන අධිකාරීවරයා 2015-09-04 වැනි දින විගණන විමසුමකින් කරුණු විමසා තිබිණි. එම ලිපියට ලැබුණු පිළිතුරු ලිපියෙන් ද ඇය අදාළ තනතුරට සුදුසුකම් සපුරා නැතැයි තහවරු වි තිබේ.
එම තැනැත්තියට ලබා දී ඇති පත්වීම් ලිපියේ කොන්දේසි අනුව සාවද්‍ය හෝ ව්‍යාජ තොරතරු ලිපි ලේඛන හෝ සපයා ඇති බව පත්වීම් භාරගත් පසු කුමන අවස්ථාවක හෝ තහවරු වුවහොත් පත්වීම ශුන්‍ය හා බල රහිත සේ සළකා පත්වීම නිෂ්ප්‍රභා කරන බව සඳහන් කර තිබුණ ද 2015 විගණන විමසුමෙන් පවා ඇයගේ පත්වීම පිළිබඳ කරුණු අනාවරණය වී තිබිය දී තවමත් ඇය තම තනතුරෙහි සේවය කරන්නීය.
මෙම නිලධාරිනියගේ පත්වීම් පිළිබඳ ඇත්තේ එම ගැටලුව පමණක් නොවේ 2011 මැයි මස 28 වැනි දින ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තනතුරු පිරවීම සඳහා අයදුම් පත්‍ර කැඳවමින් ප්‍රසිද්ධියට පත්කරන ලද පුවත්පත් දැන්වීමක සහකාර අධ්‍යක්ෂ (දැනුම්වත් කිරීම) යන තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවා නොතිබුණ ද 2011 ජුනි මස 06 වැනි සම්මුඛ පරීක්ෂණයකින් පත් වූ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2011 ජුනි 29 දිනැති ලිපියක් මගින් මෙම තැනැත්තිය ජූලි 01 වැනි දින සිට සහකාර අධයක්ෂ (දැනුම්වත් කිරීම්) තනතුරට පත්කරමින් පත්කර ඇත.
ඉන්පසු 2011 ජූලි 26 දිනැති ලිපියෙන් පුරප්පාඩුව පවතින සහකාර අධ්‍යක්ෂ (අවම කිරීම) තනතුර පිරවීමට අදාල නිලධාරිනිය පත්කළ නොහැකි බව දන්වා තිබිය දී ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ ආවරණ අනුමැතියට යටත් ව 2011 සැප්තැම්බර් 22 වැනි දින එම තනතුරට ඇය පත්කරමින් ලිපියක් ද නිකුත් කර තිබේ.
විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වංචා සහගතව පත්වීම ලබාදීම හේතුවෙන් මෙම නිලධාරිනිය අදාල තනතුරට පත්කර පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධියක් ලබා තිබූ එමෙන් ම සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවකුට සහකාර අධ්‍යක්ෂ (අවම කිරීම) තනතුර අහිමි වී ඇති බවයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත්තේ මෙම තනතුරට සුදුසුකම් සම්පූර්ණ නොකළ අයකු පත්කිරීම හේතුවෙන් ආපදා අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සංවර්ධනයේ ප්‍රධාන ප්‍රවාහය තුළට ඒවා අන්තර්ග්‍රහණය කිරීම, ව්‍යාපෘති පරීක්ෂා කිරීම මඟහැරීමෙන් විශාල ගැටලු මතු වී ඇති බවයි. එමෙන්ම වැඩි වටිනාකමක් සහිත ව්‍යාපෘතීන් අසාර්ථක වී රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත්, රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය අහිමි වී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්ය.
සහකාර අධ්‍යක්ෂ තනතුරේ සිටි ඇය අධ්‍යක්ෂ (අවම කිරීම්, පර්යේෂණ හා සංවර්ධන) තනතුර සඳහා 2014 පෙබරවාරි මස 11 දිනැති ලිියක් මගින් පත්කර තිබිණි. ආයතන සංග්‍රහයේ 13.1.2 වගන්තිය අනුව වැඩ බැලීමේ තනතුරට පත්වීම සඳහා නිර්දේශ කරනු ලබන නිලධාරියාට අනුමත බඳවා ගැනීමේ පටිපාටිය අනුව සෑඹ අතින් ම සුදුසුකම් තිබිය යුතු අතර 13.4 වගන්තිය අනුව එම තනතුර දැරීමට පූර්ණ සුදුසුකම් නැති නිලධාරියකු පත් නොකළ යුතුය.
මෙම තනතුරට ඇය නුසුදුස්සකු බව, ඇය අයදුම් කළ තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් ද ගම්‍ය වෙයි.
එමෙන් ම ඇය ජාතික ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අදාල තනතුර ලබාගැනීම සඳහා විද්‍යාපති / හාස්ත්‍රපති උපාධි සහතික ඉදිරපත් කර තිබූ අතර එම උපාධි සහතික ප්‍රදානය කළ ආයතනය විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් ද යන්න පිළිබඳ සහතික කර නැති බව ද පෙනී ගොස් ඇත.
මෙම නිලධාරිනියට පත්වීම් ලබා දීමේ දී ඇයට එම පත්වීම ලබාදෙන්නේ ව්‍යසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ ආවරණ අනුමැතියට යටත්ව බවට සඳහන් කර ඇතත්, මේ දක්වා ම එවැනි අනුමැතියක් ලැබී නොමැති බව ද විගණනයේ දී නිරීක්ෂණය වී තිබේ.
ජාතික ආපදා කළමනාකරණ මධයස්ථානය සම්බන්ධ විගණන විමසුම්වල දී මෙන් ම විගණන වාර්තාවලින් ද මෙම නිලධාරිනිය සම්බන්ධ ගැටලුව සාක්ච්ඡා කර තිබිය දී එම නිලධාරිනියගේ පත්වීම බලරහිත නොකරන ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇයට දිගින් දිගට ම වැටුප් වර්ධක සහ විදේශ පුහුණුවීම් ඇතුළු සියලු වරප්‍රසාද ලබා දී ම සිදුකරති.
මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවේ ආපදා අවම කිරීමේ ව්‍යාපෘති අසාර්ථකවීමට සුදුසුකම් නොලත් නිලධාරීන් අදාල තනතුරුවල කටයුතු කිරීම හේතු වී ඇති බවයි.
මෙවැනි නිලධාරිනියන් සම්බන්ධයෙන් වහාම පියවර නොගන්නේ නම්, ඇගේ මෙහෙයවීමෙන් සිදු වූ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා මාසයකට 05 වතාවක් වතුරෙන් යට වූ අකුරණ ජනතාව ඇයගෙන් වන්දි ඉල්ලා නඩු මගට බැසීම හැර වෙනත් කරන්නට දෙයක් නැත.