spot_img
spot_imgspot_img

ඖෂධ හොරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මකලා

පුවත්

විදෙස්

ව්‍යාජ ලේඛන සකස් කර රජයේ ඉහළම බලධාරීන්ගේ ආශිර්වාදය ඇතිව මෙරටට ගෙන්වන ලදැයි සැකකරන immunoglobulin නමැති ඖෂධය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ “ස්වස්ථා” දත්ත පද්ධතියේ ඇති සියලු තොරතුරු මකා දමා ඇතැයි වාර්තා වේ.

මේ බව පවසන්නේ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයයි. මෙම ඖෂධය රෝහල් වෙතින් ඇණවුම් කිරීමේ දී සහ රෝහල්වෙත ලබාදීමේ දී පවත්වාගෙන යන ලෙජර් දත්ත සියල්ල මේ වනවිට එම “ස්වස්ථා” දත්ත පද්ධතියෙන් ඉවත්කර තිබේ

සිරුරේ ඇතිවන ස්වභාවික ප්‍රතිදේහ අඩංගුකර සාදන මෙම ඖෂධය රෝගීන්ට ලබාදීමේ දී ඇති වූ සංකූලතා හේතුවෙන් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියට වාර්තා කර තිබිණි. ඒ අනුව මෙම ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් කරන ලද සොයාබැලීම් අනුව අනාවරණය වූයේ එම ඖෂධ සැපයීමට ව්‍යාජ ලේඛන සකසා ඇති බවයි. ඖෂධ සපයන සමාගම යැයි සඳහන් ලිපි ලේඛනවල සහ එහි අඩංගු ලිපිනයන් සම්බන්ධ සොයා බැලීමේ දී පෙනී ගොස් ඇත්තේ ඉන්දියාවේ එම ලිපිනයට ගොඩනැගිල්ලක් ඇතත් එවැනි සමාගමක් හෝ ඖෂධ නිෂ්පාදන ආයතනයක් හෝ එහි නොමැති බවයි.

ඒ අනුව එම සමාගම ලේඛනවලට පමණක් සීමා වූ ව්‍යාජ ආයතනයක් බවයි.

එමෙන් ම පසුගිය දා ඖෂධ නියාමන අධිකාරිය පවසා සිටියේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට අදාළ අත්සන ද මෙම ඖෂධ ගෙන්වීමේ ලේඛනවලට ව්‍යාජ ලෙස යොදාගෙන ඇති බවයි.

මෙම ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතු වූ අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ එම ඖෂධ බෝතල් 3,500ක් පමණක් ගෙන්වා ඒ සියල්ල මේ වනවිටත් අවසන්ව ඇති බවයි.

එසේ වුව ද ඒ වනවිට ස්වස්ථා දත්ත පද්ධතියේ අඩංගු තොරතුරු අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකරන දිනය වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග ගබඩාතුළ පමණක් එම ‍ඖෂධ බෝතල් 6,900ක් ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේය.

එමෙන් ම මේ ඖෂධය ගෙන්වීම සඳහා විටින් විට එම සමාගමට උපදෙස් ලබා දී ඇති බව පැවසෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ  අදාල නිලධාරීන් සම්බන්ධයෙන් මේ දක්වා නීතිය ක්‍රියාත්මක නොවීම ගැන ජනාධිපතිවරයා වහා සොයා බැලිය යුතු බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.

රාජ්‍ය ආයතනයක් තුළ ව්‍යාජ ලිපි සකසා ඉතාත් ඉහළ නිලධාරීන්ගේ මට්ටමින් සිදුකළ මෙවැනි වංචාවක්ක සම්බන්ධයෙන් රජය වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

මීට පෙර අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලට එහි ඉහළම නිලධාරීන් සම්බන්ධ බවට සාක්ෂි සහිතව කරුණු සනාථ තිබිය දී මෙතෙක් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැත.

මෙම ප්‍රශ්න සහගත සමාගම සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලිපි හුවමාරු කරගෙන ඇති බව පැහැදිලි වන බවත් ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසම්පාදන ක්‍රියාවලිය බාර අතිරේඛ ලේකම්වරුන්ද ඖෂධ සැපයුම බාර අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු   සියලු නිලධාරීන් මේ තත්ත්වය දැන සිටිය බවද ලිපි ලේඛන පෙන්වා දෙමින් වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද විමර්ශන ආරම්භ කර ඇති අතර එවැනි තත්වයක් තුළ ස්වස්ථා දත්ත පද්ධතියේ දත්ත මකා දමා තිබේ.

එයින් පැහැදිළි වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය හැසිරවීමේ බලය ඇති තැනැත්තන් ඇතුළු ඉහළම නිලධාරීන් මේ ඖෂධ ගෙන්වීමේ ජාවාරමට සම්බන්ධ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!