අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝත් අම්පිටියේ රාහුල ලොකු ස්වාමීන් වහන්සේත් දෙනම මහරගම ධර්මායතනය හැටේ දශකය අවසාන භාගයේ ආරම්භ කලේ සිල්වත් ගුණවත් ධර්මධර භික්ෂු පරපුරක් තැනීම වගේම ගුණවත් ගිහි පරපුරක් හැදීමත් අරමුණු කරගෙනයි. ඊට සුදුසු භික්ෂුන් වහන්සේ අලුතෙන් මහණ කරන්නට පුලුවන් උනත්, සිවු පසය සහ වෙනත් උදව් උපකාර සඳහා සුදුසු ගිහි පිරිසක් සොයා ගැනීම පහසු උනේ නැහැ. හැම ගිහි දායකයෙක් ම ප්‍රවේශමෙන් තෝරා ගත යුතු උනා.
උපතිස්ස කරුණාරත්න කියන තරුණ ව්‍යාපාරිකයා මේ දෙනමට මුණ ගැහෙන්නේ මේ අවදියේදී යි. ඒ 1973 විතර වකවානුවේ. එතුමාගේ උත්තුංග ගුණාංග සැනෙකින් වටහා ගන්නා උන්වහන්සේ සිරි වජිරඤාණ දහම් පාසලේ ආරම්භක ආචාර්ය මණ්ඩලයට බැඳෙන්නැයි එතුමාට ආරාධනා කරනවා. එතැන් පටන් මීට දවස් පහකට කලින් මියයන තෙක් එතුමාත් ධර්මායතනයත් අතර පැවැතියේ නොබිඳිය හැකි බැඳීමක්.
ඒ බැඳීම කොතරම් දීර්ඝ වීද යත් එතුමා අඛණ්ඩව අවුරුදු 53 ක් අපේ දහම් පාසලේ විවිධ තනතුරු දරමින් දැහැමි පරපුරක් ගොඩ නැගීමෙහිලා සිදුකළ නිහඬ මෙහෙය වචනයෙන් විස්තර කළ නොහැකිය. එතැනින් නොනැවතී ධර්මායතනයේ දායක සභාව වන ශාසන සේවක සමිතියේ සභාපතිත්වය අඛණ්ඩ වසර 22 ක් දරමින් කළ නිහඬ සේවාව ද අතිවිශිෂ්ටය.
මම මෙහිදී ‘නිහඬ මෙහෙය’ යන යෙදුම පාවිච්චි කළේ සැබැවින්ම එහි අරුතට කරුණාරත්න සර් වැඩි අගයක් එක් කළ නිසාවෙනි. එතුමා වැඩි කතා බහ ඇත්තෙකු නොවේ. නිතර මුවග රැඳුණු සිනහවත්, තියුණු බැල්මත් එතුමාගෙ කඩවසම් පෙනුමෙ විශේෂාංග විය. සුදෝ සුදු ජාතික ඇඳුමෙන් සැරසී මුහුණ සිනහවෙන් සරසාගෙන උදේ පාන්දර දහම්පාසලට එන කරුණාරත්න සර් එදා අප කාටත් නෙතට රසඳුනක් ම විය.
උපතිස්ස කරුණාරත්න මහතා දහම් පාසලේ සිසු සිසුවියන්ගේ තොරතුරු නිතර සොයා බලමින් ඔවුන්ගෙ පෞද්ගලික දියුණුවට ද හැකි උපරිමයෙන් උපකාර කළ ගුරුතුමෙකි. සිය පිය උරුමයෙන් ආ මරදානේ ගාමිණී ෆර්නිචර් පැලස් ව්‍යාපාරයේ ආදායමෙන් වැඩි කොටසක් වෙන් වුනේ මේ උදව් පදව් කිරීම් සහ පිංකම් කටයුතුවලට මය. මට එතුමා පෞද්ගලිකව කර ඇති එවන් උපකාර ලැයිස්තුවක් පිළියෙල කරන්නට පුලුවන.
“රංග මොකෝ මේ දවස්වල ටිකක් බර කල්පනාවක වගේ?” එතුමා දවසක් මා නිරීක්ෂණය කළේය. මා ඒ උසස් පෙළ කරන කාලයයි. මා ඒ වෙනකොට පොඩි පොඩි කණ්ඩායම්වලට ටියුෂන් පංති පැවැත්වූයෙමි.
“ගෙදර ඉස්සරහ කාමරේ පොඩි පංතියක් පටන් ගන්න කියලා කල්පනා කරනවා සර්.”
“ආ ඒක හොඳ අදහසක්. ඔය තැන් තැන්වල ගිහිං කළා මදෑ. ගෙදර පොඩියට පටන් ගන්න. මොනවාද අඩු පාඩු?” එතුමා නිකමට මෙන් ඇසුවේය.
“ලබන සතියේ ඩෙස් බංකු ටිකක් හදාගෙන ලබන මාසෙම පටන් ගන්නවා,” මම කීවෙමි.
“බොහොම හොඳයි. එහෙම තමයි දියුණු වෙන්න ඕනෙ.” කරුණාරත්න සර් කිව්වේ එපමණකි. දවස් දෙක තුනකට පස්සෙ හවසක ලොරියක් අපේ ගේ ඉදිරිපිට නැවැත්විණි. අගේට හදා නිම කළ ඩෙස් බංකු ජෝඩු පහක් ඉන් පිටතට බෑවිණි.
“කරුණාරත්න මහත්තයා ඔබතුමාට මේ ටික දෙන්න කිව්වා,” කී සේවකයො දෙන්නෙක් ඩෙස් බංකු ගෙදරින් දමා පිටත්ව ගියහ. මා හනික කරුණාරත්න සර් ඇමතුවෙමි. “අනේ සර් මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ.”
“ඒක හොඳයි බලාපොරොත්තු වෙච්චි නැති එක. දැන් ඔක්කොම හරිනෙ. ලබන සතියේ ඉඳන් පංති පටන් ගන්න. දැනුම දෙන ගමන් ම ළමයින්ට ගුණ දහමත් කියා දෙන්න. සම්පූර්ණ මිනිහෙක් හැදෙන්නෙ එතකොටයි.” දශක තුනකටත් එපිට දී කරුණාරත්න සර් මට දුන් අවවාදය තවමත් දෝංකාර දෙයි.
මිහිපිට දෙවිවරුන් යැයි කියන්නේ මෙවැනි චරිතවලටය. දෙව්ලොව සුරවිමන් ඔහු එනතෙක් බලා සිටි බව අමුතුවෙන් කිව යුතු නොවේ. දැන් ඒවා පරිවාර සේනාව ද සමග අතුරු සිදුරු නැතිව පිරී ඇති. එතුමා එහෙ අයටත් නොමසුරුව උදව් පදව් කරනවා ඇති. ධර්මය කියා දෙනවා ඇති. සාදු…! සාදු….!
ආචාර්ය රංග කලන්සූරිය
මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ ආදි ශිෂ්‍ය
රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්
“ද්වේමේ, භික්ඛවේ, පුග්ගලා දුල්ලභා ලොකස්මිං. කතමේ ද්වේ? යො ච පුබ්බකාරී, යො ච කතඤ්ඤූකතවේදී – ඉමේ ඛො, භික්ඛවේ, ද්වේ පුග්ගලා දුල්ලභා ලොකස්මින්ති.
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව කළගුණ දන්නා,කළගුණ සිහි කරන පුද්ගලයා සහ ඒවගේම කළ ගුණ සිහි කරමින් ප්‍රති උපකාර කරන පුද්ගලයා මේ ලෝකයේ දුර්ලභය.
අප ගෞතම භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට උපකර කල ඇසතු බෝධීන් වහන්සේටද කෘතගුණ දැක්වූවෝමය. කළගුණ දන්නා බව, ඒ ගැන සිහි කිරීම, ප්‍රතිඋපකාර කිරීම යන කතඤ්ඤු කතවේදී ගුණය බුද්ධ ගුණයක්මය. බෝධිසත්ව ගුණයක්මය.
තෙරුවන් සරණයි!!