spot_img
spot_imgspot_img

දහඅටෙන් පසුව මහමගට වැටෙන ‘ලංකා කුඩම්මාගේ’ දරුවෝ

පුවත්

විදෙස්

චාන්දනී දිසානායක

වයස අවුරුදු 18ක පුතෙකු හෝ දියණියක ඔබට සිටිනවා යැයි සිතන්න. නීති පොතට අනුව ඔහු හෝ ඇය දැන් වැඩිහිටියෙකි. ඉතින් ඔබ, ඒ දරුවා ගෙදරින් එළියට දමනවාද? ඔබ කෙතරම් දිළිඳු වුවත්, එසේ නොකරන බවට කිසිම සැකයක් නැත. එහෙත් ඔබේ රාජ්‍යය හෙවත් ලංකා මාතාව, තමන්ගේ භාරයේ ඇති දැඩි වන දරුවන් එසේ මහමගට ඇද දමයි. එ් දරුවන්ට ඉන් පසුව කුමක් සිදු වේද? රජය ඒ පිළිබඳව සොයා බලන්නේ නැත! මේ මාධ්‍යවේදිනියක විසින් ඒ පිළිබඳව කළ සොයා බැලීමකි.

 “මගේ උප්පැන්න සහතිකයේ භාරකරුගේ නමට ඉදිරියෙන් තිබුණෙ පරිවාස දෙපාර්තමේන්තුවේ නම. ඒත් විවාහයේදී මට මගේ තාත්ත කෙනෙකුගෙ නම අවශ්‍ය වුණා. විවාහ වුණු තරුණියගේ පාර්ශ්වය ඉදිරිපිට තාත්ත විදිහට පෙනීහිටියෙ මගේ නිවාසයේ පාලකතුමා. එතුමා ඔහුගේ වාසගමත් මට දුන්නා. ඒ විතරක් නෙවෙයි එතුමාගේ බිරිද මගේ මව විදිහට පෙනී හිටියා. මගේ නෑදෑයන් විදිහට පෙනී හිටියේ එතුමාගේ නෑදෑයින්.” 

දෙවියන්ගෙන් ලද තිළිණයක් සේ හිමි වුණු සිය නම සහ වාසගම, මාධ්‍යයක පළ නොකිරීමේ එකඟතාව මත, සිය ජීවිතයේ බැරෑරුම්ම අත්දැකීම් අප හමුවෙහි හෙළි කරමින් ඔහු පැවසුවේය. මේ වන විට යුද හමුදාවේ සේවයේ නියුතු ඔහු, ළදරු වියේ සිටම ළමා නිවාසයක ඇතිදැඩි වූ අයෙකි.

ශ්‍රී ලංකාව තුළ රජයේ ලියාපදිංචි ළමා නිවාසවල ළමයින් දසදහසකට වැඩි පිරිසක් මේ වන විට රැකවරණය ලබන අතර ළමා රැඳවුම් නිවාස 13ක ළමයි  650ක් පමණ රැකවරණය ලබති. පවතින නීති රීති අනුව, ළමා නිවාසයක රැකවරණ සැලසිය හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වන තුරු පමණකි. ඉන් පසුව ඔවුන්, තමන්ට ළමයකු ලෙස සිටියදී රැකවරණයක් නොදුන් පොදු සමාජය වෙත පිවිස, තනිවම ජීවිතයට මුහුණ දිය යුතුය. දෙමාපිය රැකවරණය තුළ හැදී වැඩෙන දරුවන්ට පවා වයස අවුරුදු 18 සපිරුණු පමණින් වැඩිහිටියකුගේ තත්ත්වය හිමි වන්නේ නැත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව බහුතරයක් දෙනා ඒ වයස වන විටත් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අතර පූර්ණ වශයෙන් දෙමාපියන්ගෙන් යැපෙන තත්ත්වයක පසුවෙති. එසේ වුවද ළමා නිවාසවල හැදී වැඩෙන අයට, 18 විය සපුරන විටම වැඩිහිටිභාවය භාරගැනීමට සිදු වේ. එතැන් සිට ඔවුන්ට මුහුණපෑමට සිදු වන ගැටලු අපමණය. ඉහතින් දැක්වුණු උපුටනය, ඒ පිළිබඳ එක් සංවේදී උදාහරණයකි.

හිසට වහලක් නොමැති වීම

ළමා නිවාසවලින් පිට වන බොහෝ දෙනෙකු මුහුණපාන බරපතළම ගැටලුව ස්ථිර පදිංචිය යැයි කිව හැකි තැනක් නොමැති වීමය. එය, ලිපිනයක් නොමැති වීම, රැකියා හෝ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ග්‍රාම නිලධාරී සහතිකයක් ලබා ගැනීමේ මගක් නොමැති වීම, ඡන්ද අයිතිය අහිමි වීම ඇතුළු තවත් අවාසිදායක තත්ත්වයන් ජාලයකට මුල් වෙයි. පෙර කී අත්දැකීමට මුහුණ දුන් තරුණයාට පදිංචිය පිළිබඳ ගැටලුව විසඳාගත හැකි වූයේ වයස 27දී විවාහ දිවියට ඇතුළත්ව, බිරිඳගේ නිවසෙහි පදිංචියට යෑමෙනි.

කොවිඩි 19 වසංගතය පැතිර ගිය සමයේ කොළඹ වැනි තදාසන්න ප්‍රදේශවල තාවකාලික පදිංචිකරුවන් නිවෙස්වලට යා යුතු බවට රජයෙන් නිවේදනය කෙරිණි. ඒ අවස්ථාවේ වඩාත්ම අසරණ තත්ත්වයට පත් වූයේ, ළමා නිවාසවලින් සමාජගතවූවන්ය. ඒ ඔවුන් බහුතරයකට තාවකාලික වාසස්ථාන මිස ස්ථිර පදිංචියක් නොමැති බැවිනි. එමෙන්ම එබඳු සංකීර්ණ වාතාවරණයකදී ඔවුන්ට විශේෂයෙන් බලපාන ගැටලු රැසක් තිබේ. ජාතික හැඳුනුම්පතක් තිබුණත් එහි ලිපිනය වෙනත් ස්ථානයක තිබීම පවා ගැටලුකාරී වීමට ඉඩ තිබේ. 

බස, ජාතිය සහ ආගම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දමිළ ජාතික දැරියක ලෙස උපත ලද නිර්මලා දැන් පදිංචිව සිටින්නේ මීගමුව ප්‍රදේශයේය. මව සහ පියා හැරගිය ඇය ළමා නිවාසයක රැකවරණය සඳහා යොමු කරන්නේ අධිකරණයෙනි. එහෙත් ඇය හැදී වැඩුණු ළමා නිවාසය තුළ වැඩිදෙනෙකු සිංහල කතා කරන කිතුනු දැරියන් වීම නිසා ඇයද සිංහල නමක් සහිත කිතුනු දැරියක ලෙස වැඩුණාය.

“වයස අවුරුදු දහඅට පිරුණට පස්සෙත් මම හිටියෙ ළමා නිවාසය භාරයේ. ඔය අතරතුර මම පල්ලියට ගියා ආවා. එහිදී හදුනා ගත් තරුණයකු සමග යාළු වෙලා මම ඔහු සමග විවාහ වෙන්න තීරණය කළා. එහෙත් ඔහු  විවාහකයකු බව  දැන ගන්නකොට මම බොහෝ ප්‍රමාදයි. නැවත මට ළමා නිවාසයට යන්න හැකියාවක් නෑ. මම රස්සාවක් හොයමින් පාරවල් ගානෙ ගියා. එතකොටයි මට නිවසක ගෘහ සේවය කරන්න ලැබුණෙ. ඒත් ඒ අයට පෙන්නන්න මා ළඟ ලියකියවිලි තිබුණෙ නැහැ. මං ළමා නිවාසයේ හිටියට මට අයිඩින්ටි එකක් තිබුණෙ නෑ. ඒ හින්දා මට මේ වැඩ කරන ගෙදරින් දෙන මුදල් දාන්න බැංකු පොතක් නෑ. එයාලා කියනවා මගේ නමින් සල්ලි ඉතුරු කරලා තියෙනවා කියලා. 

මට මතක මං පුංචි කාලේ අම්මා තේ වත්තක වැඩ කරපු එකයි. කෝවිලට ගියපු එකයි. පස්සෙ කාලෙක මං නිවාස ළමයි එක්ක පල්ලි යන්න ගත්තා. දැන් මම කැමතියි මේ ආගමට.”

ළමා නිවාස වලින් වයස අවුරුදු 18 සම්පූර්ණ කර සමාජගත වුණ, දිස්ත්‍රික්ක හතරක වයස අවුරුදු අතර දොළොස් දෙනෙකු අපට මුණගැසිණි. වැඩිපුරම ළමා නිවාසවලට ඇතුළත් වන්නේ ගැහැනු දරුවන් වුවත් අපගේ සමීක්ෂණයට ලක්වූයේ කාන්තා පාර්ශ්වයේ පස් දෙනෙකු සහ පිරිමි පාර්ශ්වයේ 8 දෙනෙකි. ඔවුන් අතරින් නම හෙළි කිරීමට තිදෙනෙකු කැමැත්ත පළ කළ අතර, ඡායාරූප පළ කිරීමට කැමැත්ත පළ කළේ දෙදෙනකු පමණි. එහෙත් ඔවුන් සියලු දෙනාම අප සමග ඉතා කැමැත්තෙන් අදහස් පළ කළේ, පොදුවේ ඔවුන් මුහුණපාන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ඒවා විවෘතව සංවාදයට ගැනීම වැදගත් වේය යන අපේක්ෂාවෙනි.

අපට මුණගැසුණු 12 දෙනාගෙන් දෙදෙනෙකු (ගැහැනු හා පිරිමි) උපාධිධාරීන්ය. ඉතිරි අය අතරින් 6 දෙනෙකු උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර, තවත් දෙදෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත. ඉතිරි දෙදෙනා සාමාන්‍ය පෙළට පෙනී සිට නැත. එමෙන්ම ඔවුන් දොළොස් දෙනාගෙන්  6 දෙනෙකුටම ස්ථිර පදිංචියක් නොතිබුණි. ස්ථිර පදිංචියක් ලබා ඇති හයදෙනෙකුගෙන් දෙදෙනෙකුටම එම අවස්ථාව ලැබී ඇත්තේ විවාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. 

පදිංචිය කොහේ කියලා කියන්නද

නිම්මු කුමාරි, විවාහ දිවියට ඇතුළත් වුවද ස්ථිර පදිංචියක සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වූ තරුණියකි.

“පදිංචිය කොහේ කියලා කියන්නද? ළමා නිවාසෙකට යන කොට මට අවුරුදු 10ක් විතර ඇති. මගේ දැන් වයස අවුරුදු 34යි. තවමත් හැඳුනුම්පතේ තියෙන්නෙ මං දෙවනියට හිටපු ළමා නිවසයේ ලිපිනය. අද එතැන ළමා නිවාසයක් නෑ. මම ළමා නිවාස තුනක හිටියා. වයස දහඅට වුණාට පස්සේ ළමා නිවාසෙන් පිට වුණත්, තාමත් මගේ හැඳුනුම්පතේ ලිපිනය වෙනස් කරගන්න බැරි වුණා.

මම මහනුවර දිස්ත්‍රික්කයේ ඉපදිලා තියෙන්නෙ. දැන් වැඩ කරන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ. මම විවාහ වුණාට පස්සේ තාවකාලිකව පදිංචියට සර්වෝදයෙන් මට නිවසක් ලැබුණා ගාල්ල ප්‍රදේශයෙන්. මගේ ස්ථිර පදිංචිය කොහෙද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.

මෙන්න මේ ගැටලු නිසා අපි සංවිධානයක් පිහිටුවා ගත්තා. ඒ සංවිධානයේ නම තමයි 

“කිසිදා අත් නොහරින පරපුර” (generation never give up) මම එහි ආරම්භක සාමාජිකාවක්.”

සිය පරපුර මුහුණපාන ගැටලු ගැනත්, ඊට ඔවුන් ඉදිරිපත් කරන යෝජනා ගැනත් ඇය ඇය තවදුරටත් විස්තර කළාය.

“ගොඩක් සහෝදර සහෝදරියෝ එක්ක නිවාසයේ සතුටින් ජීවත් වුණත්, අවුරුදු 18න් පස්සෙ අපි එළියට යා යුතුයි. එහෙම ගියපු ගොඩක් සහෝදර සහෝදරියන්ට යන්න එන්න තැනක් නෑ. නෑදෑයො නෑ. ජීවත් වෙන්න විදිහක් නෑ. ගොඩක් අයට තියෙන්නෙ අනුමාන වයස් තියෙන උප්පැන්න සහතික. ඒවගෙන් වටිනාකම් ලැබෙන්නේ නෑ. ග්‍රාම නිලධාරී සහතිකයක් ගන්න තැනක් නෑ . ජාතික හැඳුනුම්පත් නෑ. ලියාපදිංචි ස්ථානයක් පෙන්නන්න තැනක් නෑ. මේ නිසා අපිට බැංකු ණයක් වත් ගන්න විදිහක් නෑ. පාස්පෝට් හදාගන්න බෑ. පෞද්ගලික ආයතනවල රැකියා කරන ගොඩක් අය, සීයට 90ක් විතරම ඉන්නේ බෝඩිං කාමවල. කොවිඩ් නිසා පසුගිය කාලේ ඇඳිරි නීතිය දැම්මාම අපේ සහෝදර සහෝදරියෝ ගොඩක් අසරණ වුණා. එයාලට බෝඩිං කාමරවලින් යන්න කිව්වත් යන්න තැනක් තිබුණෙ නෑ. මේ නිසා ගොඩක් අය කරන්නේ සල්ලි හම්බ කරන්න මොනවා හරි රැකියාවක්  කරන එක. ඒ අයගේ අරමුණ ස්ථිරවම ඉන්න තැනක් හදාගැනීම. මේ නිසා අපේ සමහර සහෝදරියෝ සමාජ ශාලාවල පවා වැඩ කරනවා. එහෙම අය ගොඩක් ගැටලුවලට මුහුණපානවා. ළමා නිවාසයෙන් එළියට යන අයට යම්කිසි වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. මම හිතන්නේ එළියට යන සෑම කෙනෙකුටම රජය මගින් පර්චස් 5ක් වත් දෙන්න පුළුවන්නම් මේ අයගේ ගොඩක් ගැටලුවලට විසඳුම් ලැබෙනවා.”

කිසිදා අත් නොහරින පරපුර” 

ළමා නිවාසවලින් සමාජගතවන අය ඒකරාශීව ගොඩනැගුණු “කිසිදා අත් නොහරින පරපුර” සංවිධානය තුළ එවැනි අය පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් සාමාජිකත්වය දරති. රජයේ මැදිහත් වීමෙන් ඉටු නොවන ඇතැම් කාරණා නිරාකරණය කර ගැනීමට එම සංවිධානය කටයුතු කරමින් සිටී. එය දැනට ආසියානු කලපයේ ඇති එවැනි එකම සංවිධානයයි. ඇතැම් අය ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වුවද මෙම සංවිධානය හා එක්ව සිටින පිරිස අතර සමාජයේ ඉහළ තනතුරු දරන වෘත්තිකයන්ද සිටී. 

ඔවුන් දැනට ඒකරාශී කර ඇති තොරතුරුවලට අනුව වයස අවුරුදු 18 සපුරා ළමා නිවාසවලින් සමාජගත වූ දසදහසකට වැඩි පිරිසක් ලංකාව පුරා විසිරී සිටිති. එම සංවිධානයේ සාමාජිකත්වය ලද 500 දෙනා අතුරින් භාරකරුවන් නැතිව සමාජගත වූ පිරිස 150කි. ඒ අය අතරින් 250ක්ම ජීවත්වන්නේ බෝඩිං කාමරවලයි. එම සංවිධානයේ පවසන ආකාරයට ඔවුන්ගෙන් සියයට පනහක් වත් ඡන්දය පාවිච්චි කර නැත. ඊට මූලිකම හේතුව පදිංචිය පිළිබඳ ගැටලුවයි.

සංවිධානයේ සභාපති ධනුෂ්ක ජයරත්න ද ළමා නිවාසක රැකවරණය ලබා සමාජගත වුවෙකි.

ගාල්ලේ පදිංචිව සිටින ඔහු සංවිධානයේ කටයුතු කෙරෙහි කැප වී සිටියි. මෙතෙක් ආ ගමනේ ප්‍රගතිය පිළිබඳව ඔහු මෙසේ පැවසුවේය.

“දැනට සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ගෙන් සියයට 75කගේ පෞද්ගලික ලිපි ලේඛන ආශ්‍රිත ගැටලුවලට විසඳුම් සොයා අවසානයි. ඒ වගේම සියයට 90ක්ම රැකියා කරන අය. වයස 18 සම්පූර්ණ වී ළමා නිවාසවලින් සමාජගත වන පිරිස ගැන සොයා බැලීමට රජයට වැඩපිළිවෙළක් නැහැ. අපි උත්සාහ කරන්නේ ඔවුන් සමඟ කිසිදා අත් නොහරින සම්බන්ධයක් ගොඩනැගීමටයි.”

රජයේ ළමා නිවාසවලින් සමාජගත වන දරුවන් පිළිබඳව සොයාබැලීමේ ක්‍රමවේදයක් නොමැති වුවද

සර්වෝදය sos වැනි රාජ්‍ය නොවන සංවිධාන මගින් රැකවරණය ලැබෙන ළමා නිවාසවල දරුවන් සමාජගත වීමෙන් පසුවද ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමේ, ඔවුන් රැකියාගත කිරීමේ සහ ඔහුගේ ගැටලුවලට මැදිහත් වීමේ වැඩපිළිවෙළක් එම ආයතන ක්‍රියාත්මක කරයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුනුවර පදිංචි චන්දන එදිරිසිංහ සහ චමින්ද එදිරිසිංහ යන දෙසොහොයුරන් යුද සමයේදී එවැනි ළමා නිවාසෙක රැකවරණය ලබා සමාජගත වූවන්ය. ඔවුන්ට කිසිදු ගැටලුවකින් තොරව නියමිත වයසේදී පුද්ගලික ලිපි ලේඛන සකස් කර දීමට ළමා නිවාසයේ පාලනාධිකාරිය කටයුතු කර ඇත. ඒ නිසා ඔවුන් දෙදෙනාම සාර්ථකව සමාජගතව සිටී.

මානුෂීය මෙහෙවරක්

ළමා නිවාස වල රැකවරණය එක් පිරිසකට ලිපි ලේඛන තිබීමත්, තවත් පිරිසකට නොතිබීමත් පිළිබඳව වසර පනස් හතක කාලයක් ළමා නිවාසයක පරිපාලකවරයකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්.බී.  දිසානායක මහතා මෙසේ අදහස් පළ කළේය.

“මගේ සෙවණේ වැඩුණු දරුවන් හැමෝම අවුරුදු 18න් පස්සෙ සමාජ ගත කළාමත් ඔවුන් පිළිබඳව සොයා බලනවා. රැකියාවක් සොයා දීලා ස්ථාවර වෙනතුරු ඉඳලයි එයාව නිවාසෙන් නිදහස් කරන්නෙ. ඒ වෙද්දි ඒ අයට අධ්‍යාපනය, ආකල්ප, ජීවිතය, හැමදේම කියා දෙනවා. ආත්ම ආරක්ෂක සටන් පුහුණු කරනවා. ඒ නිසා මගේ දරුවො සියල්ලන්ම හොඳ රැකියාවන් කරනවා. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිඥවරු, ව්‍යාපාරිකයන්, ඉන්නවා. ඒ හැමෝටම විවිධ ප්‍රශ්න තිබුණ අය. මම ඒ අයගෙ ලියකියවිලි හදලා ඔවුන්ට ඒ සහනය අරගෙන දුන්නා.

ඒත් මගේ ළඟ හැදුණු දෙන්නෙක් මේ වෙද්දි දුක් විඳිනවා. ඒ වරද සිදු වුණේ අපේ ආයතනයෙන් නෙවෙයි. පරිවාස දෙපාර්තමේන්තුව මගින් දරුවෙකු ලෙස හදාවඩා ගැනීමට භාර දීමෙන් පස්සේ ඒ අය පිළිබදව පසු විපරමක් නොකරන නිසයි එහෙම වුණේ.”

පරිවාසගත වන දරුවන් සමාජගත කිරීමේදී පවතින ගැටලු පිළිබඳව “කිසිදා අත් නොහරින පරපුර” සංවිධානය විසින් පළාත් කොමසාරිස්වරුන් දැනුවත් කර ඇත. පරිවාසගත දරුවන් සමාජයට වැඩදායී පුරවැසියන් ලෙස හැඩගැස්වීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙන්ද ඉල්ලා ඇත. එසේම විශේෂ වෘත්තීය පුහුණු වැඩසටහන් හරහා මෙම දරුවන් පුහුණු ශ්‍රමිකයන් ලෙස සමාජගත කිරීම, මාධ්‍ය තුළ වින්දිත දරුවන් නිරාවරණය වීම වැළැක්වීමේ අවශ්‍යතාව වැනි කරුණු ද එම  සංවිධානය විසින් පෙන්වා දී තිබේ.  

විමධ්‍යගත කළ වගකීම

ජාතික පරිවාස දෙපාර්තමේන්තුවේ පරිවාස කොමසාරිස් නාමල් ලියනගේ මහතා පවසන ආකාරයට  ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන් වයස අවුරුදු 18න් පසුව සමාජගත කිරීම ඒ ඒ පළාත් පරිවාස දෙපාර්තමේන්තු කොමසාරිස්වරුන් හරහා සිදු වේ. ඒ දරුවන් ස්ථිර රැකියාවල නිරත කරවීම, නේවාසික පහසුකම් සහිත ස්ථාන ලබාදීම, පුණ්‍ය ආයතනවලට භාරදීම වැනි කටයුතු සිදු කරන්නේද පළාත් පාලන කොමසාරිස් වරුන් හරහාය. 2023 වන විට රජයේ ලියාපදිංචි ළමා නිවාස 355ක ළමුන් 10,900ක් පමණ රැකවරණය ලබමින් සිටී. ඊට පෙර 2022 වසරේ දී දරුවන් දොළොස් දහසක් ඉක්මවා රැකවරණය ලබා ඇත. දෙමාපිය රැකවරණය යනු දරුවකුට ලොව කොතැනකදී වුව ලැබිය හැකි ඉහළම රැකවරණය බවට විවාදයක් නැත. එහෙත් ඉහත සංඛ්‍යාලේඛනවලින් පැවසෙන්නේ ප්‍රායෝගික තලයේදී එය එලෙසම සත්‍ය නොවන බවය. එමෙන්ම, මා පියන් ඇසුරෙහි නිසි රැකවරණයක් නොලබන දරුවන් පිළිබඳ උදාහරණ අපට නිරන්තරයෙන් ඇස ගැසේ. ඒ අනුව, රාජ්‍යයක රැකවරණය මත හැදී වැඩෙන දරුවකුට දෙමාපිය රැකවරණය මත වැඩෙනවාටත් වඩා යහපත් ජීවන තත්ත්වයක් සහතික විය යුතුය. එය වයස අවු. 18 සම්පූර්ණ වූ පමණින් අත්හැර දමන නාමික වගකීමක් නොවිය යුතුය. ළමා නිවාසවල නිල වගකීම් දරන ඇතැම් යහපත් මිනිසුන්ගේ පුද්ගලික කැපවීම් සහ අධ්‍යාපනයේ සාර්ථක ප්‍රතිඵල ලැබූ අතිශය සුළුතරයක ජයග්‍රහණ හුවා දක්වමින් හිත් රවටාගැනීමට අපට පුළුවන්කමක් නැත. රාජ්‍යයක් ලෙස මෙන්ම පුරවැසි සමාජයක් ලෙසද මෙම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් බරපතළ මැදිහත්වීමක් සිදු කළ යුතුව තිබේ.

3 COMMENTS

  1. මේ රටතුළ මෙවැනි දරැවන් සංඛ්‍යාවක් සිටිම යහපත් රටක් පෙරනිමිත්තක් නොවේ.

    • යහපත් පෙරනිමිත්තක් නොවුනත් එහෙම දරුවන් ඉන්නවනෙ.. අපි මොනවද ඒ තත්වය වෙනස් කරන්න කල යුතු වෙන්නෙ?? අපට වගකීමක් නැද්ද ඒ අපේ දරුවන්ට ජීවිතය ගොඩ නගලා දෙන්න? ඒ පෙරනිමිත්ත යහපත් කල යුතු වෙන්නෙ අපේ අතින් නෙමෙයිද?

  2. මෙම කිසිදා අත් නොහරින පරපුර සංවිධානය හා සම්බන්ධ වීමට දුරකථන අංකයක් ලබා දිය හැකිද.. ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!