spot_img
spot_imgspot_img

ලෝක වාර්තා දෙකකට සම අයිතිය ලබමින් ශ්‍රී ලංකාව අප්‍රිකාව හමුවේ පරදී

පුවත්

විදෙස්

දකුණු අප්‍රිකාව ලබාදුන් දැවැන්ත අභියෝගය බාරගත් ශ්‍රී ලංකා පිතිකරුවන් අවශ්‍ය වේගය රඳවාගත්ත ද කඩුලු ආරක්ෂා කරගැනීමට නොහැකිවීම නිසා ලකුණු 102ක පරාජයකට හිමිකම් කීවේය.

ඊයේ (10) දිල්ලිහි අරූන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ දී දකුණු අප්‍රිකාව ලබාදුන් 429ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ පන්දු ඕවර 44.5ක දී සියලු දෙනා දැවී ලකුණු 326ක් පමණි.

පිතිකරුවන්ගේ තරඟයක් වූ මෙම තරඟය වාර්තාගත තරඟයක් විය. ලෝක කුසලාන තරඟයක දී මෙතෙක් කණ්ඩායම් දෙකක් රැස්කර තිබූ ලකුණු 714 ක වැඩිම ලකුණු වාර්තාව දකුණු අප්‍රිකාව (428) සහ ශ්‍රී ලංකාව (326) එක්ව බිඳ දැමුවේ එය ලකුණු 754ක් දක්වා ඔසවා තබමිනි.

ලෝක කුසලාන තරගයක දී වැඩිම හයේ සහ හතරේ පහර වාර්තාව (93) අභිබවා යමින් එය 105ක් දක්වා වැඩි කිරීමට ද කණ්ඩායම් දෙක සමත්විය.

මුළු ලකුණු සංඛ්‍යාව 10ක්ව තිබිය දී දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල දවා ගැනීමට දිල්ෂාන් මධුශංක සමත්වුව ද එතැන් පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිස එසවීමට පිතිකරුවන් ඉඩ දුන්නේ නැත. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 204ක් රැස්කළ දකුණු අප්‍රිකානුවෝ ඒ සඳහා වැය කළේ පන්දු 174ක් පමණි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තෝරාගත්තේය.

ක්වින්ටින් ඩි කොක් 100, රාස් වැන්ඩර් ඩසන් 108 සහ ඒඩ්න් මාක්‍රම් 106 වාර්තා වූ ශතක තුන හේතුවෙන් දකුණු අප්‍රිකාව ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු වාර්තාව තමන් සතුකරගත්තේ ලෝක කුසලාන තරඟවල දී තුන්වැනි වතාවටත් ලකුණු 400 සීමාව ඉක්මවා යමිනි.

ඇති තරම් කඩුලු ඉතිරිකරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් පන්දුවාර 10 දී පමණක් ලකුණ 137ක් රැස්කළේ ඉතා පසුවෙන් ලකුණු 400 සීමාව පසුකර යමිනි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක දැවී ගය පසු කුසල් ජනිත්ට එක්වූ කුසල් මෙන්ඩිස් අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළේ දකුණු අප්‍රිකානුවන්ගේ දැවැන්ත අභියෝගය පැකිළීමකින් තොරව බාරගන්නා බව පෙන්වමිනි.

එසේ වුවත් වැඩිම ප්‍රහාරාත්මක වේගයකට හිමිකම් කියන කුසල් ජනිත් පෙරේරා එක් අන්තයක සිරවී සිටියේය. ඔහු දැවී යනවිට ලබා සිටියේ ලකුණු 07ක් පමණි.

කුසල් මෙන්ඩිස් පන්දු 42ක දී හයේ පහර 08ක් සහ හතරේ පහර 04ක් සමඟ ලකුණු 76ක් ලබා සිටිය දී දැවී ගියේය. ඉන් අනතුරුව චරිත් අසලංක ලකුණු වේගය රඳවා ගනිමින් ප්‍රහාරය දියත් කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 04ක් සහ හතරේ පහර 08ක් සමඟ පන්දු 65ක දී ලකුණු 79ක් ලබා සිටිය දී නිමාවට පත්විය.

දසුන් ශානක සුපුරුදු පරිදි පන්දු තෝරාබේරාගනිමින් අධිෂ්ඨානශීලී පිතිහරඹයක යෙදී ක්‍රමයෙන් වේගය වැඩි කරමින් සිටින අවස්ථාවේ දී පන්දු 62කට මුහුණ දී ලකුණු 66ක් ලබා සිටිය දී දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ අවසන් බලාපොරොත්තුවත් අහිමි කරමිනි. නමුත් ජයග්‍රහණය ලබාගැනීම අසීරු බව දැන දැන වුවත් කණ්ඩායමේ අවසන් ලකුණු සංඛ්‍යාව හැකිතරම් ඉහළ දැමීමට දැඩි වෙහෙසක් ගත් කසුන් රාජිත පන්දු 31කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 04ක් සමඟ ලකුණු 33ක් රැස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!