spot_img
spot_imgspot_img

මාතර සහ ගාල්ලේ ගංවතුර තත්වය මෙන්න. බද්දේගම සහ පානදුගම මහ ගංවතුර

පුවත්

විදෙස්

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්වලට දින ගණනක් පුරා ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ සහ ගිං ගඟ ඇතැම් ස්ථානවල දී මහා ගංවතුර මට්ටමකට ආසන්න වී තිබේ.

නිල්වලා සහ ගිං ගංඟා ද්‍රෝණිවල පහත්බිම් සියල්ල මේ වනවිට ජලයෙන් යට වී ඇති අතර බොහෝ ස්ථානවල දී ගංඟා දෙක ම පිටාර ගලා තිබේ.

නිල්වලා ගඟේ ජල මාපකයක් ස්ථාපිත කර ඇති පිටබැද්දර ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටම දැක්වෙන්නේ මීටර 05ක් ලෙසිනි. ඊයේ (06) රාත්‍රී 11.00 පමණ වනවිට එම ජල මාපකයේ ජල මට්ටම මීටර 4.9ක් ලෙස දැක්වුණු අතර අද (07) දහවල් 11.00 වනවිට වතුර බැස යාම නිසා ජල මට්ටම මීටර 3.5ක් දක්වා අඩු වී තිබිණි.  එය ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කරන මීටර 4.0ටත් වඩා අඩු මට්ටමකි.

පිටබැද්දර එසේ වුව ද නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශවලට ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලය පහළට ගලාඒම නිසා පානදුගම ජල මාපකයේ තවමත් මහා ගංවතුරක් ඇතිවීමේ දැඩි අවදානම් තත්වයක පවතී.

පානදුගම ජලමාපකය අනුව සුළු ගංවතුර මට්ටම දැක්වෙන්නේ මීටර 6.0ක් ලෙස වන අතර මහා ගංවතුර මට්ටම දැක්වෙන්නේ මීටර 7.5ක් ලෙසිනි. ඊයේ රාත්‍රී 11.00 වනවිට පානදුගම ජල මාපකයේ ජල මට්ටම දැක්වුණේ මීටර 7.0ක් ලෙසිනි. එය අද (07) දහවල්වන විටත් තවදුරටත් ඉහළ යමින් දවල් 12.00 වනවිට සඳහන් වූයේ මීටර 7.2ක් ලෙසිනි.

පානදුගම ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙන ආකාරය

මේ අතර ගිං ග‍ඟේ ඉහළ ප්‍රදේශවලට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් අද (07) අලුයම 2.00 වනවිට තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර 5.00ක් ලෙස සදහන් වූ අතර එම ජලය වේගයෙන් පහළට බැස යාම හේතුවෙන් අද (07) දහවල් 12.00 වනවිට ජල මට්ටම දැක්වෙන්නේ මීටර 3.6ක් ලෙසිනි. තවලම ජල මාපකයේ ජල මට්ටම අනුව සුළු ගංවතුර මට්ටම මීටර 6.00ක් වන අතර, මහ ගංවතුර මට්ටම මීටර 7.5කි.

බද්දේගම පිහිටි ජල මාපකයට අනුව ගිං ග‍ඟේ එම ප්‍රදේශයේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය වේ. ඊයේ (06) රාත්‍රී 11.00 වනවිට මීටර 4.6ක් ලෙස තිබූ ජල මට්ටම අද (07) දහවල් 11.00 වනවිට මීටර 4.8ක් දක්වා වැඩි වී තිබේ. බද්දේගම ජල මාපකය අනුව මහා ගංවතුර මට්ටම මීටර 5.0කි.

බද්දේගම පිහිටි ජල මාපකයේ ජල මට්ටම වැඩිවෙමින් පවතින අයුරු

ඉහළ ප්‍රදේශවල ජලය ගිං ගඟ ඔස්සේ වේගයෙන් පහළට පැමිණීමත් සමඟ බද්දේගම සහ ඒ අවට ප්‍රදේශවල මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව එයින් පැහැදිලි වෙයි.

ඡායාරූපය – Matara Hot News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!