spot_img
spot_imgspot_img

පිටසක්වළ ජීවීන් කතාව බොරුවක්

පුවත්

විදෙස්

පිටසක්වල ජීවීන්ගේ යැයි කියමින් මෙක්සිකෝ කොංග්‍රසයේ දී ප්‍රදර්ශනය කෙරුණේ මමීකෘත පිටසක්වල ජීවීන් දෙදෙනකුගේ සිරුරු නොව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද රැවටිලිකාර දෙයක් බව මේ වනවිට අනාවරණය  වී තිබේ.

මෙක්සිකෝවේ කොංග්‍රසයේ දී මෙම ඉදිරිපත් කිරීම කරන ලද්දේ එරට, මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන Tercer Milenio නැමති වීඩියෝ වැඩසටහනේ නිෂ්පාදකයකු වන Jaime Maussan විසිනි. ඔහු එරට ස්වයං ප්‍රකාශිතයකු (ufologist) ලෙස ප්‍රසිද්ධ අයෙකි. ඔහු රූපවාහිනී වැඩසටහන් සහ Youtube ඔස්සේ ව්‍යාජ විද්‍යා ක්ෂේත්‍රය ප්‍රචලිත කරන්නෙකු ලෙස හැඳින්වේ. ඔහු නිරන්තරව ම පිටසක්වල ජීවින් සම්බන්ධ සාක්ෂි කිසිම පදනමක් නොමැතිව ඉදිරිපත් කරමින් ස්වයං ප්‍රකාශිතයකු ලෙස කටයුතු කරයි. ඇතැම් පුද්ගලයන් පවසන්නේ පැහැදිළි කළ නොහැකි සංසිද්ධි අධ්‍යයනය කර ඇති රජයේ පර්යේෂණවල දත්ත පවා ඔහු වෙනස් ආකාරයෙන් විග්‍රහ කරන බවයි.

මෙක්සිකෝවේ කොංග්‍රසය අයවැයි, ආර්ථික කරුණු සහ නීති සම්පාදනය පිළිබඳ ඉදිරිපත් කිරීම් කළ හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුළයි.

Jaime Maussan පිටසක්වල ජීවීන් පිළිබඳ දැඩිව විශ්වාස කරමන් ඒ පිළිබඳ සාක්ෂි කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව ප්‍රසිද්ධියට පත්කිරීමට උත්සාහ ගන්නා අයෙකි. හඳුනානොගත් ආකාශ වස්තු සහ පිටසක්වල ජීවීන් පිළිබඳ තමන්, දරන මතය ස්වයංප්‍රකාශනයක් ලෙස සැප්තැම්බර් 12 වැනි දා මෙක්සිකෝවේ කොංග්‍රසයේ දී ඉදිරිපත් කරන ලද්දේ මුළු ලෝකයේ ම අවදානය දිනා ගනිමිනි. මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා රැසක් කිසිම විචාරයකින් තොරව පළ වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරාම එය ඉතා වේගයෙන් ප්‍රචලිත වී ගියේය. පිටසක්වල ජීවීන්ගේ යැයි කියමින් ඔහු පෙන්වූ සිරුරු බැලූ බැල්මට දිස් වූයේ මමීකෘත අමුතු ජීවීන් දෙදෙනකු බවයි.

ඔහු පසුගිය අඟහරුවාදා (12) මෙම ඉදරිපත් කිරීම කරමින් කියා සිටියේ 2017 වර්ෂයේ දී මේ මමීකෘත පිටසක්වළ ජීවීන්ගේ සිරුරු දෙක පේරු රාජ්‍යයෙන් හමු වූ බවයි. වර්ණයෙන් අළු පැහැති වූ මේ සිරුරු දෙක උසින් ඉතාමත් අඩු ය. ඒවායේ අත්වල ඇඟිලි තුනක් බැගින් වූ අතර මුහුණ විකෘති ස්වභාවයක් ගත්තේය. හැකිළීයාම නිසාම අස්ථි පද්ධතිය පවා පෙනෙන්නට තිබිණි.

Jaime Maussan අවධාරණය කළේ “මේවා අපේ භෞමික පරිනාමයේ කොටසක් නොවන මනුෂ්‍ය නොවන ජීවීන්. මෙහි ඩීඑන්ඒ පවා මිනිස් ඩීඑන්ඒවලට ගැලපෙන්නේ නැහැ.” යනුවෙනි.

ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියේ පේරු රාජ්‍යයෙන් හමු වූ මේ මමීවල කාබන් කාල නිර්ණය කළ විට ඒවා වසර 1,000ක් පමණ පැරණි බව මෙක්සිකෝවේ ජාතික විශ්වවිද්‍යාලය තහවරු කර ඇති බවයි.

Jaime Maussan පවසන පරිදි පේරු සිට මෙවැනි මමී ඔහුට ලැබුණේ කෙසේ ද යන්න පැහැදිළි නැත. එවැන්නක් ලැබූ නිශ්චිත ක්‍රමයක් තිබිය යුතුය. කෙසේ වෙතත් පේරු හි මාධ්‍ය වාර්තා කර ඇත්තේ සොහොන් කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගන්නා ලද මමී කිහිපයක නිදර්ශක 2017 වර්ෂයේ දී Jaime Maussan වෙත ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් ‍Jaime Maussan ගේ මෙම ඉදිරිපත් කිරීමට දේශපාලන සහයක් ද ලැබී තිබිණි.

එම ඉදිරිපත්කිරීමට පෙර මෙක්සිකෝවේ පාලක පක්ෂය වන කොරේනා හි නියෝජිත සර්ජයෝ ගුටිරෙස් ලූනා එම ස්ථානයේ සිටි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරමින් කියා තිබුණේ නැගී සිට මේ අද්විතීය සත්‍යය පැවසීමට දිවුරුම් දෙන ලෙසයි. එම පිරිස අතර එක්සත් ජනපද නාවික හමුදාවේ ලුතිනන්වරයකු වන රයන් ග්‍රේව්ස් සිටි අතර ඔහු හඳුනානොගත් වස්තූන් පිළිබඳ ඔහුගේ අත්දැකීම් විස්තර කළ අයෙකි. මීට පෙර එක්සත් ජනපද කොංග්‍රසයේ හඳුනානොගත් ආකාශ වස්තු පිළිබඳ කරුණු ඉදිරිපත් කළ හාර්වඩ් තාරකා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ තාරකා භෞතික විද්‍යාඥයකු වන ඒබ්‍රහම් ලෝබ් ද සිටියේය.

ඔවුන් එවැනි අත්දැකීම්  කොතෙක්  විශ්වාස කළ ද නාසා ආයතනය පවසන්නේ පිටසක්වළ ජීවීන් පිළිබඳ මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බවයි.

https://www.space.com/nasa-ufo-uap-study-team-first-results-revealed

‍Jaime Maussan තම අවස්ථාව පැමිණි විට කුඩා බහාලුම් දෙකක් විවෘත කරන ලෙස සංඥාවක් දුන්නේය. එවිට ඒ මංජුසා විවෘත කෙරිණි. එහි “මිනිසුන් නොවන ජීවීන්” දෙදෙනකුගේ සිරුරු ඇති බව කියමින් ඔහු සිය විස්තරය ඉදිරිපත් කළේය.

ලෝකයේ බො‍හෝ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මේ ඉදිරිපත් කිරීම වේගයෙන් ප්‍රචාරය කළ නමුත් විද්‍යාඥයෝ එය එකවර පිළිගැනීමට සූදානම් වූයේ නැත.

විද්‍යාඥයන් කියා සිටින්නේ මෙය ලෝකයම නොමඟ යැවීමට මෙය නිර්මාණය කර ඇති බවයි. නමුත් එය විශිෂ්ඨ නිර්මාණයක් බව ද ඔවුහු කියති.

‍පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද මමී භාවිතා කරමින් මෙය ප්‍රතිනිර්මාණය කර ඇති බව මමී අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර කමිටුව පවසයි. එම සංවිධානය කියා සිටින්නේ මෙය වගකීමක් නොමැතිව වැරදි තොරතුරු සමාජගත කරන සංවිධානාත්මක ව්‍යාපාරයක් විසින් සිදුරන ලද්දක් බවයි.

පේරු රාජ්‍යයේ පුරාවිදයාත්මක සාක්ෂි ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචාරයක් වන ඉන්කා ශිෂ්ඨාචාරය දක්වා විහිදී යයි. එම ශිෂ්ඨාචාරයේ නෂ්ඨාවශේෂ ලෙස හමු වූ මිලකළ නොහැකි මමී කොටස් පැහැරගෙන ඒවා විකෘති කර මේ නිර්මාණය සිදුකර ඇති බව පුරාවිද්‍යාඥයෝ කියති.

ප්‍රාග් කොලොම්බියානු මමී පිළිබඳ පර්යේෂණ කළ භෞතික මානව විද්‍යාඥ ගයිඩෝ ලොම්බර්ඩි පවසන්නේ මමීකෘත වූ මිනිස් අස්ථි කොටස්, සම සහ සත්ව අස්ථි කොටස් රැගෙන මේ ව්‍යාජ මමී නිර්මාණය කර තිබෙන බවයි.

පිටසක්වල ජීවීන්ගේ යැයි පවසන මෙම මමී විශ්ලේෂණය කළ අධිකරණ වෛද්‍ය පේරු හි රාජ්‍ය අමාත්‍යාංශයේ නීති වෛද්‍ය හා අධිකරණ වෛවද්‍ය විද්‍යා ආයතනයේ පර්යේෂක ෆ්ලේවියෝ එස්ට්‍රාඩා පවසා ඇත්තේ පිටසක්වල ජීවීන්ගේ මමීකෘත සිරුරු යැයි පවසන ලද මේවා “කෘතිම මැලියන් මගින්, මිනිස් අස්ථි සහ සතුන්ගේ අස්ථි එකතු කර ඇති නිර්මාණයක්” බයි. එය ව්‍යාජ සමකින් ආවරණය කර ඇති බව ද සඳහන් කර ඇත.

Maussan තම ඉදිරිපත් කිරීම සිදුකරමින් කියා සිටියේ 2017 වර්ෂයේ දී සොයාගන්නා ලද මේ පිටසක්වල ජීවී මමී මෙක්සිකෝ විශ්වවිද්‍යාලය මගින්  කාබන් 14 කාල නිර්ණය කිරීමෙන් අනතුරුව ඒවා වසර 1,000ක් පැරණි බවට තහවරු කළ බවයි.

නමුත් එම විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් කිසිම අවස්ථාවක මෙවැනි මමියක් හෝ එහි නිදර්ශකයක් හෝ පරීක්ෂාවට ලක්කර නැති බවයි. නමුත් Maussan විසින් 2017 වර්ෂයේ දධී ලබාදුන් කිසියම් අස්ථි සාම්පලයක් පරීක්ෂා කර ඇති බවත් එ් සම්බන්ධ  කාබන් 14 කාල නිර්ණය වාර්තාවක් නිකුත් කර ඇති බවත් එම විශ්වවිද්‍යාලය පවසයි.

තාරකා විද්‍යාඥවරියක වන Julieta Fierro මෙසේ කියයි.

“පිටසක්වල ජීවය සොයන අය මෙන්ම ජානමය මානව විද්‍යාව කරන අය සහ මෙවැනි දේ පිළිබඳ පර්යේෂණ කරන්න කැමතියි. නමුත් මෙතැන දී එවැනි පර්යේෂණ දත්තයක් ඉදිරිපත් කර නැහැ. මොනවා වුණත් මේ ඉදිරිපත් කිරීම සිදුකරන අවස්ථාවේ දී පේරු තානාපතිතුමාටත් ආරාධනා කරන්න තිබුණා. පිටසක්වල ජීවීන්ගේ මමී ගෙඩගත්තේ ඒ රටෙන්නම්. ඒවා මෙක්සිකෝවට ගෙනවිත් ප්‍රදර්ශනය කරන අවස්ථාවේ පේරු බලධාරීන්ට ආරාධනා නොකිරීමට හේතු අපට සිතාගත හැකියි. මේ සිරුරු ඇත්තටම පේරුවලින් ගොඩගෙන රේගුව හරහා ගෙන ආ ඒවා නම් එය කළයුතුව සහ කළ හැකිව තිබුණා. පේරු රාජ්‍යය මෙතරම් වටිනා සොයාගැනීමක් කිසිම නීත්‍යානුකූල පදනමක්  නැතිව Maussan වෙත ලබාදුන්නා ද ? තවත් දෙයක් තිබෙනවා. ඇත්තටම මේ පිටසක්වල ජීවීන්නම් මුළින්ම කළ යුත්තේ ඒ මමීකෘත සිරුරු හුදකළා කිරීම. මොකද එය වෙනත් ලෝකයක සිට දරුණු වයිරස සහ වසංගත අරගෙන ඇවිත් තිබෙන්න පුළුවන්.”  

මෙක්සිකානු කොංග්‍රසයේ Maussan විසින් සිදුකරන ලද්දේ ව්‍යාජ මවාපැමක් බව මේ වනවිට තහවරු වී තිබේ. සත්‍යය බවට තහවරු කළ නොහැකි තොරතුරු පෘථිවියෙන් පිටත ඇති ජීවයක් පිළිබඳ තහවරු කිරීමට වඩා මාධ්‍ය සංදර්ශනයක් සහ දේශපාලන වාසි මතුකරගැනීම සඳහා උමතුවාදයේ නිෂ්පාදනයක් ලෙස එය හැඳින්විය හැකියැයි Raul Trejo Delarbre පවසයි. ඔහු සමාජ පර්යේෂණ ආයතනයේ පර්යේෂකයෙකු සහ දේශපාලන හා සමාජ විද්‍යා පීඨයේ සමාජවිද්‍යා ආචාර්යවරයෙකි. 

හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවන, විශ්‍රාමික එක්සත් ජනපද නාවික හමුදා නියමු ලුතිනන් රයන් ග්‍රේව්ස් ඔහුගේ බලාපොරොත්තු සුන්වීම ප්‍රකාශ කළේ “මෙය අපගේ විශ්වාසයන් පියවර කිහිපයක් පසුපසට ගෙන යන සත්‍ය නොවන ප්‍රයෝගයක්” යැයි කියමිනි. පිටසක්වල ජීවීන් ගැන තරයේ විශ්වාස කරන ඔහු පවා Maussan  ගේ මේ ව්‍යාජ ඉදිරිපත් කිරීමෙන් විස්සෝපයට පත්ව සිටියේය.

“කොංග්‍රසය පවතින්නේ නීති සම්පාදනය කිරීමටයි. මෙක්සිකානු රාජ්‍යය මෙම ප්‍රදේශයේ නීති සම්පාදනය කිරීමට යන්නේ කුමක්ද? එය සම්පූර්ණයෙන්ම හාස්‍යජනකයි,” Trejo Delarbre පවසයි. 

“මෙක්සිකානු කොංග්‍රසය ආධිපත්‍යය දරන බහුතර පක්ෂයේ, එනම් මොරීනා සහ එහි මිත්‍ර පාර්ශ්වයේ දැවැන්ත වැරදි මඟ පෙන්වීමේ සන්දර්භය තුළ මෙම ඉදිරිපත් කිරීම තේරුම් ගත යුතු බව අපි විශ්වාස කරන්නෙමු. කොන්ග්‍රස් සභික සර්ජියෝ ගුටෙරෙස් ලූනාගේ අතිශය වගකීම් විරහිතභාවය අපි තේරුම්ගත යුතුයි. කොංග්‍රසයේ තම නියේාජනය ඔහු තම පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා භාවිතා කර තිබෙන බව පැහැදිළියි. මෙයින් ලාභ ලබන්නේ දශක කිහිපයක් තිස්සේ ව්‍යාජ ලෙස හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ සමාජ උනන්දුවක් ගොඩනගා එමගින් පුද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන Maussan ය.

මෙක්සිකානු කොන්ග්‍රසය වෙත Maussan ගේ මාවත ආරම්භ වූයේ එක්සත් ජනපදයෙන්, එක්සත් ජනපද කොන්ග්‍රසය හඳුනානොගත් ආකාශ වස්තු පිළිබඳ තමන්ගේම ඉදිරිපත් කිරීමක් පවත්වා මෙක්සිකෝවේ ද එය සිදුවීමට දොර විවර කළ විට ය. 

Maussan ට අනුගාමිකයෝ විශාල පිරිසක් සිටිති.  ඔවුන් අතර Gutiérrez Luna, රටේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය එක් ප්‍රබලයෙකි. මෙම ඉදිරිපත් කිරීමේ දී Gutiérrez Luna පැවසුවේ “මහජනයාගේ පැත්තෙන් විශාල, ශ්‍රේෂ්ඨ, ශ්‍රේෂ්ඨ, විශිෂ්ඨ එමෙන්ම විශාල විශාල උනන්දුවක් අවදි ඇති තොරතුරු රැසක් අසා දැක බලා ගත හැකියි” යනුවෙනි.

“Jaime Maussan යනු අප වෙත පැමිණි කීර්තිමත් මාධ්‍යවේදියෙක් සහ පර්යේෂකයෙක්,” ඔහු පැවසීය. 

“මෙක්සිකානු කොංග්රසයට සමාජය දැනුවත් කිරීම සහ මඟ පෙන්වීම සඳහා ඕනෑම කාරණයක් සමඟ කටයුතු කිරීමට බලය ඇත, නමුත් සියල්ලටත් වඩා මූලික වශයෙන් නීති සම්පාදනය කිරීමට බලය තිබෙනවා. මෙම ඉදිරිපත් කිරීම කැඳවා තිබුණේ විෂම සංසිද්ධි නියාමනය සඳහා මජහන විමසීමක් ලෙස ඒක විකාරයක්. විෂම සහ හඳුනා නොගත් දේ නියාමනය කළ නොහැකියි. මේ මාතෘකාව පවා බැරෑරුම් ලෙස නොගත යුතු දෙයක්” Trejo Delarbre පවසයි. 

Jaime Maussan මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2016 දී, තවත් දේශපාලන පක්ෂයක් වන PRI හි නියෝජ්‍ය නිලධාරියෙකුගේ ආරාධනයකට අනුව, නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයට පැමිණි ඔහු විශාල වගාබිම්වල ඇතිවන බෝග කව (Agroglif)පිළිබබඳ ඉදිරිපත් කිරීමක් කර තිබිණි.  

Maussan පිටසක්වල ජීවීන්ගේ මමීකෘත සිරුරු යැයි පවසමින් කරන ලද ඉදිරිපත් කිරීමෙන් පසු  තාරකා විද්‍යා ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, බොහෝ අධ්‍යයනයන් සහ අභ්‍යවකාශයේ ක්‍රියාකාරකම් නිරන්තර අධීක්‍ෂණය තිබියදීත්, “අද වන විට එහි පැවැත්ම පිළිබඳ සාක්ෂි සපයන නිරීක්ෂණ හෝ පර්යේෂණ වාර්තාවක් නොමැත. පෘථිවියෙන් ඔබ්බට ජීවිතය පිළිබඳ මෙතෙක් සාක්ෂි ලැබී නැත.”  යනුවෙනි.

එම ආයතනය මෙන් ම ලොව පුරා විශ්වවිද්‍යාල සහ නාසා ආයතනය පවා කියා සිටින්නේ ඕනෑම දෙයක් පිළිබඳ පර්යේෂණයක් විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව පර්යේෂණ ආයතනවල සහය ඇතිව සහ සදාචාරාත්මක ප්‍රමිතීන් අනුගමනය කරමින් කළයුතු බවයි.

එමෙන් ම පිටසක්වළ ජීවීන් සෙවී‍ම ලෝකයේ ප්‍රමුඛ පර්යේෂණ කාර්යයන් අතර පවතින බවත්, ඒ නිසා පර්යේෂණවලට උදව්කිරීමට සහ දායක වීමට ආයතන බොහොමකයක් උනන්දුවෙන් පසුවන බව ද තාරකා විද්‍යා ආයතනය පවසයි.



“විද්‍යාවට ක්‍රියාවලි, චර්යාවන් සහ තමන්ගේම නිගමන ප්‍රශ්න කිරීමට ආශාවක් ඇත. වෙනත් ග්‍රහලෝකවල ජීවයක් පැවතිය හැකි බව කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරයි. මහජන සාකච්ඡාවේදී මෙම අවධානය අපතේ යාම සහ සම්පත් නාස්තිය ගැනද මම සැලකිලිමත් වෙමි,” Trejo Delarbre පවසයි. 

“එය මෙක්සිකානු කොංග්‍රසයට තිබිය යුතු බැරෑරුම්කම සහ විද්‍යාව කෙරෙහි ඇති කැපවීම ඉතා නරක පූර්වාදර්ශයක් ඉතිරි කරපු ලැජ්ජාසහගත ඉදිරිපත් කිකරීමකි.  එය වත්මන් මෙක්සිකානු රජයේ විද්‍යාත්මක විරෝධී ආකල්පය සමඟ පෙළගැසී ඇති සංදර්ශනයක්” යැයි ඔහු තවදුරටත් පවසයි.

WIRED en Españolවිසින් ප්‍රකාශයට පත්කරන ලද ලිපියක් ඇසුරින් සකසන ලදී.

https://www.wired.com/story/mexico-congress-aliens-fake/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!