spot_img
spot_imgspot_img

ලෝක වාර්තා සමඟින් ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරදවයි

පුවත්

විදෙස්

තම අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තවත් ජයග්‍රහණයකින් වැඩිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම  ඊයේ (09) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී බංග්ලාදේශ කණ්ඩායම කුණු 21කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේ ව‍ටයේ මුහුණ දුන් පළමු තරඟය ජයගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟින් අඛණ්ඩව පැවැති තරඟ 13ක දී ප්‍රතිවාදී කණ්ඩායම සම්පූර්ණයෙන් ම දවා ගැනීමේ අලුත්ම ලෝක වාර්තාව ද තවත් තරඟයකින් ඉහළ දමාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩ ජයග්‍රහණ සංඛ්‍යාව ද 13ක් දක්වා ඉහළ දමා ගනිමින් එම ලෝක වාර්තාවේ දෙවැනි තැනට පත්වූයේය. එහි පළමු ස්ථානයේ සිටින්නේ අඛණ්ඩව තරඟ 21ක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවයි. ඊයේ තරඟය ජයගන්නා තුරු ශ්‍රී ලංකාව පකිස්තානය සහ දකුණු අප්‍රිකාව සමඟ සමව සිටියේය.

කාසියේ වාසිය අහිමිවීමෙන් පළමුව පන්දුවට පහරදීමට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සධීර සමරවික්‍රම පන්දු 72කින් ලබාගත් ලකුණු 93 හේතුවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 257ක් ලබාගත්තේය.

ඉනිමේ අවසන් පන්දුවත් හතරේ සීමාවට ඉහළින් යැවීමට උත්සාහ ගත් සධීර තමන් මුහුණ දුන් පන්දු 72න් පන්දු 10ක් හතරේ සීමාවෙන් එපිටට යැවූයේ ඉන් දෙකක් ඉහළින්ම එල්ල කරමිනි.

දිමුත් කරුණාරත්න මුළු ලකුණු සංඛ්‍යාව 34ක්ව තිබිය දී ලකුණු 18කට දැවී ගිය පසු පැතුම් නිශ්ශංක සමඟ එක් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 50කට දැවී ගියේ තුන්වැනි කඩුල්ල වෙනුවෙනි කුසල් සහ පැතුම් (40) අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු74ක් විය. චරිත් අසලංක (10) සහ ධනංජය සිල්වා (06) දෙදෙනාට දිගු ඉනිම්වලට යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ නොදුන්න ද පස්වැනි කඩුල්ල ලකුණු 164 දී අහිමිවීමෙන් පසු පිටියට පිවිසි නායක දසුන් ශානක සහ සධීර සමරවික්‍රම අවසන් පන්දු වාර කිහිපයේ දී ප්‍රහාරයට ඉඩ තබා ගනිමින් සම්බන්ධතාවක් ගොඩනැගුව ද එම සම්බන්ධතාව ලකුණු 60කට සීමා වූයේ දසුන් 24කට දැවී යාමෙනි.  නමුත් සධීර අවසන් මොහොතේ ප්‍රහාරය දියත් කරමින් තමන් මුහුණ දුන් අවසන් පන්දු 32 දී ලකුණු 54ක් උදුරා ගත්තේ තරඟයක් දිය හැකි ලකුණු පුවරුවක් වෙත කණ්ඩායම ඔසවා තබමිනි.

ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම අභියෝගය සාර්ථකව බාරගත් බවක් පෙන්නුම් කළේ පළමු කඩුල්ලට ලකුණු 55ක සම්බන්ධතාවක් පවත්වමිනි. නමුත් ඉන් අනතුරුව ලකුණු පුවරුව කඩුලු 04කට ලකුණු 83ක් විය. හතරවැනි කඩුල්ල ලෙස ලිටන් දාස් දැවීයාමෙන් පසු තව්හීද් රිදෝයි (82) සහ මුෂ්ෆිකූර් රහීම් (29) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ බංග්ලාදේශ ඉනිම නැවත සවිමත් කරමිනි. නමුත් මුෂ්ෆිකූර් ලකුණු 29ක් රැස්කිරීමට පන්දු 48ක් වැය කර තිබිණි. ඔහුගේ ඉනිමට එකම හතරේ පහරක් හෝ ඇතුළත් වූයේ නැත.

දසුන් ශානක පන්දු ඕවර 09ක් යවමින් ලකුණු 28කට කඩුලු 03ක් දවාගත් අතර මහීෂ පතිරණ ලකුණු 58කට කඩුලු 03ක් ද මහීෂ් තීක්ෂණ ලකුණු 69කට කඩුලු 03ක් ද දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවරු කළහ. වෙල්ලාල‍ගේ මනා පාලනයකින් පන්දු යවමින් සිය ඕවර 10 ලකුණු 26කට සීමා කරගත්ත ද ඔහුට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

මෙම පරාජයත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයෙන් ඉවතට විසිවීමේ අවදානමකට මුහුණ දී සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!