spot_img
spot_imgspot_img

බුදු දහමට නිගා කරන, දුස්ශීල භික්ෂූන්

පුවත්

විදෙස්

මෑත කාලීනව ඇති වූ පාරිසරික ගැටලු අතර වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇතතේ ශබ්ද දූෂණයයි. ජනාකීර්ණ, කාර්මික ප්‍රදේශ. ගුවන්තොටුපොළවල්. මේ ගැටලුවට ප්‍රබලව දායකත්වය සපයයි. යම් වස්තුවක් කම්පනයට පත් වීමේ දී ශබ්ද තරංග මගින් ශක්තිය සම්ප්‍රේෂණය සිදු කරනු ලබන අතර, එම ශක්තියෙන් කුඩා ප්‍රමාණයක් එම වස්තුව කම්පනය වන මාධ්‍යයට මුදා හරියි. මෙසේ මුදා හරිනු ලබන ශක්ති ප්‍රමාණය ‘ශබ්ද’ යනුවෙන් හදුන්වනු ලැබේ. යම් හෙයින් එම ශක්ති ප්‍රමාණය අවට සිටින අයට දරාගත නොහැකි මට්ටමකට පත්වීමෙන් ශබ්දය දූෂණය සිදු වේ.

මෙම ශබ්ද දූෂණය හේතුවෙන් විවිධ වූ ව්‍යසනයන්ට ද පුද්ගලයා මුහුණ දෙයි. එ මගින් නිරෝගී සම්පත් අහිමි වී අවුල් වූ මානසික පසුබිමක් සියලු ක්‍රියාකාරීත්වයන් අවුල් වීමටත්, එසේ නොමැති නම් දීර්ඝකාලීන ආබාධයන්ට ද ගොදුරු විය හැකි ය. “අධික ශබ්ද ඇති ප්‍රදේශවල විසීමෙන් මතකය හීන වන බවත්, අධික කාංසාවට ලවන බවත්, ආතතියට ගොදුරු වන බවත් සොයා ගෙන ඇත.

ශබ්ද දූෂණය මනිනු ලබන මිණුම් ඒකකය හඳුන්වනු ලබන්නේ ඩෙසිබල්’ යනුවෙනි. ඩෙසිබල් 60කට වැඩි ප්‍රමාණය ශබ්ද දූෂණය සිදුවන අවස්ථාව ලෙස හැදින් වේ. නගරාශ්‍රිතවත්, කර්මාන්තපුරයන් ආශ්‍රිතවත් විවිධ යන්ත්‍ර සූත්‍ර මගින් මෙම ඩෙසිබල් ප්‍රමාණය ඉක්මවා ශබ්දය පිටවෙන අවස්ථා බහුලව දැක ගත හැකි ය. මේ පිළිබඳ ව අප රටේ පුරවැසියන් එතරම් දැනුම්වත් වීමක් දැක ගත නොහැක්කේ ඒ පිළිබඳ දැනුම පුළුල් නොවීම නිසා විය හැකිය. කළු ගල් කැඩීමේ දී වෙඩි බෙහෙත් බෝර පිපිරවීම ආදිය හේතුවෙන් ද, අධි බලැති සංගීත භාණ්ඩ මගින් අධික ලෙස ශබ්ද වාදනය කිරීම නිසාද, රූප වාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, කැසට් රෙකෝඩර් නො නවත්වා අධික ශබ්දයෙන් ක්‍රියා කරවීම ද ශබ්ද දූෂණය විෂයයෙහි බලපායි. මේ වනවිට පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන ආදී ආගමික ස්ථාවලින් විවිධ ආගමික වැඩසටහන් ප්‍රචාරය කිරීම ද ප්‍රබලව කතාබහට ලක්වන ශබ්ද දූෂණයක් බවට පත්ව ඇත. එමෙන්ම වාහන ශබ්ද, වාහනවල නළා ශබ්ද, සයිරන් නළා ශබ්ද, ගොඩනැගිලි ඉදිකිරීමේ ශබ්ද යනාදිය පරිසර දූෂණයට විශේෂයෙන්ම බලපානු ඇත. ”

මේ ශබ්දයන් සමඟ නිතර ජිවත්වන පුද්ගලයින් තුළ විවිධ වූ ආබාධ ඇති වේ. දියුණු තාක්‍ෂණය යොදා ගෙන සිදු කරනු ලබන ක්‍රියාකාරිත්වයේ දියුණුවේ වේගයට සාපේක්ෂ ලෙස අතුරු ආබාධ ඇතිවීමට ද ඉඩ ඇත. කෙටි කාලීන ශබ්දයක් නිසා ජීවිතයේ දීර්ඝකාලීන ගැටලු ප්‍රභවය වීමේ අවස්ථා ද උදා විය හැකි

ශබ්ද දූෂණය අනුව ඒ ඒ ප්‍රභේද මගින් ඇතිකරන ශබ්දය

ශබ්ද මට්ටමඩෙසිබල් ප්‍රමාණයප්‍රභවය (උදාහරණ)
ඉතාමත් අඩු5-20ගසකින් කොළයක් වැටෙන ශබ්දය
අඩු20-40පුස්තකාලයක පවතින ශබ්දය
සාමාන්‍ය40-60ගෙදර සාලයක, සාමාන්‍ය කාර්යාලයක පවතින ශබ්දය
අධික60-80මුද්‍රණාලයකින් නිකුත්වන ශබ්දය
ඉතා අධික80-100ඩීසල් විදුලි ජෙනරේටරයක / ට්‍රක් රථයක ශබ්දය
වඩාත් අධික බිහිරිවීම100-120ශබ්ද විකාශන (හෝන්) / අහස ගෙරවීම
ඉතා අධික ශාරීරික දුබලතා ඇතිකරන120-200 ජෙට් ගුවන් යානයක ශබ්දය

මෙ මගින් අප සිටින සමාජයේ ශබ්ද ප්‍රමාණය සහ සිටිය යුතු ශබ්ද මට්ටම දැනගත හැකි ය. ගසකින් කොළයක් වැටීමෙන් සිට ජෙට් යානයක ශබ්දය දක්වා අප පරිසරයේ ශබ්ද ප්‍රමාණයන් තිබිය හැක.

අධික ශබ්ද තරංග සමග දිවි ගෙවන අය ස්නායු පද්ධතියේ යම් යම් ආබාධවලට ගොදුරු වීම පසුගිය දශකය තුළින් ඉතා ශීඝ්‍ර ලෙස දක්නට ලැබේ. ග්‍රාමීය ප්‍රදේශයේ දිවි ගෙවන පුද්ගලයන්ට වඩා නගරාශ්‍රිත ව ජිවත් වන පුද්ගලයන්ගේ ජීවිත බෙහෙවින් කලබලකාරී අසහනශීලී වූවකි. වෛද්‍යවරු පවසන්නේ මේ වනවිට සිරෝසිස් වැනි රෝගාබාධ වැඩිපුර වාර්තාවීම මෙවැනි ශබ්ද දූෂණවල ප්‍රතිඵලයක් විය හැකි බවයි.

ශබ්ද සංරක්ෂණය මගින් පුද්ගල ජීවිතයත්, සොබා දහමත් මැනවින් සුරක්ෂිත වෙයි. පුද්ගලයාගේ කායික මානසික සුවය විකෘති කරන අංශයක් ලෙස ශබ්ද දූෂණය හැදින් විය හැකිය.

” ශබ්ද දූෂණය මිනිසා තුළ බිහිරි බව, වෙහෙසකර බව, කෝපය, නුරුස්සනා බව ඇති කරවන අතර, ශරීර ශක්තිය හීන කරවයි. නියත වශයෙන්ම කාර්යක්ෂමතාව අඩු කරවයි.”

ආචරධර්ම ශික්ෂණය හා මානසික සංවරය මෙන් ම බුද්ධිමය ප්‍රබුද්ධත්වය ලෝකය පිළිබඳ මනා අවබෝධයක් ලැබීමට අතිශයින්ම අවශ්‍ය වූවකි.” මානසික ඒකාග්‍රතාව ගොඩනගා ගැනීමෙහි ලා ප්‍රබල දායකත්වයක් සපයනුයේ නිශ්ශබ්දතාවයි.

බුදුවරුන්, පසේ බුදුවරුන්, රහත් උතුමන් ආදී විරාගී උතුමෝ ශබ්ද සංරක්ෂණය උදෙසා ම අවවාද අනුශාසනා ලබා දෙති.

“බුදුරජාණන් වහන්සේ දුකෙහි සංසිඳීම ලෙස දක්නා ලද්දේ මිනිස් ජීවිතයේ යථාර්ථය වටහා ගෙන සන්සුන් මනසින් නිවී සැනසීමයි. “

ස්වකීය චරිතය හැඩ ගැන්වීමෙහි ලා නිරතුරු ව නිසල පරිසරයම ඇසුරු කර තිබෙනු දැක ගත හැකිය. නොවිසිරුණු මානසික පසුබිමක් ගොඩනගා ගැනීම විෂයයෙහි ශබ්ද සංරක්ෂණය ප්‍රබල දායකත්වයක් සපයයි. බුදුරදුන් හැම විට ම නිසල පරිසරයේ ආශ්වාදය ලබමින් වැඩ විසූ ස්ථාන රාශියක තොරතුරු ත්‍රිපිටකයේ අන්තර්ගතය. ඒ සෑම ස්ථානයක දී ම නිශ්ශබ්දතාව බෙහෙවින් අගේ කොට තිබේ. නොකැළඹුණ විලක් පිවිතුරු ලෙස පවතින්නාක් මෙන් නොවිසිරුණු සිතක් සමාධිගත කර ගැනීම විෂයයෙහි ශබ්ද සංරක්ෂණයේ මෙහෙය ප්‍රබල ව දැනෙනු ඇත.

 “කෙලෙස් දහම් නමැති මඩදියෙන් මොහොතින් මොහොත මිනිස් මනස කිළුටට පත් වෙයි. එම කෙලෙස් මළ සෝදා හැර මනස පිවිතුරුව තබා ගත හැකි නම් එහි අධ්‍යාත්ම සුන්දරත්වය පිරි පවතියි. ”

බුදුරදුන් ස්වකීය චරිතයෙන් ආදර්ශය සපයමින් සිය ශ්‍රාවකයන් සංවරය සඳහා මෙහෙය වූයේ ඝෝෂා කිරීමේ ඇති ප්‍රතිවිපාක ගෙනහැර දක්වමිනි. බුදුරදුන් තම ශ්‍රාවකයින් සඳහා විනය ප්‍රඥප්ති පණවමින් නිහඬ බවේ අගය පෙන් වූ ශාස්තෘවරයෙකි.

“න උජ්ජග්ඝිකාය අන්තර ඝරේ ගමිස්සාමිඬති සික්ඛා කරණීයා“ මහ හඬින් සිනාසෙමින් ඇතුළු ගමෙහි නොහිඳිමියි හික්මිය යුතු ය. සිවුපසයෙන් උපස්ථාන කරන දායකයින් වෙසෙන ගමෙහි වැඩමකරන විට භික්ෂූන් වහන්සේ නමක් සිනහවෙන් වැළකී සංවර වීම පිණිස මෙය පනවා තිබේ. භික්ෂුවක් ශ්‍රමණ තත්ත්වයට ගැලපෙන පරිදි සකසා සෙසු අයට ආදර්ශයක් සපයන චරිතයක් බවට පත් කිරීමට මෙම ශික්ෂා පදය පාදක වෙයි. දකින්නන්ගේ නෙත් සිත් ප්‍රසාදයට පත් කිරීම මෙන් ම සුරක්‍ෂිතතාව ද මෙ මඟින් තහවුරු වෙය. මෙ ලෙස සිනහව මනා ව පාලනය කර ගනිමින් ඇතුළු ගමෙහි වැඩම කරවන යම් භික්‍ෂුවක් වැඩ හිදිමින් ද එය සංවර කර ගැනීම විෂයයෙහි අනුදැන තිබේ.

“න උජ්ජග්ඝිකාය අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා“ මහ හඬින් සිනා සෙමින් ඇතුළු ගමෙහි නොහිඳිමි යි නික්මිය යුතුය. “අප්පසද්දෝ අන්තරඝරේ ගමිස්සාමී’ති සික්ඛා කරණීයා” නිශ්ශබ්දව ඇතුළු ගමෙහි යමි යි හික්මිය යුතුය. “අප්පසද්දෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා“ නිශ්ශබ්දව ඇතුළු ගමෙහි හිඳිමියි හික්මිය යුතුය. මෙ ලෙස චාරිකාවේ වැඩම කරවන විටත්, වැඩ හිඳින විටත් භික්ෂු ජීවිතයේ සංවරය පිණිස ශබ්ද සංරක්‍ෂණය යොදා ගෙන තිබෙන අතර, එය පාරිසරික සුභසිද්ධිය උදෙසා මාර්ගෝපදේශකත්වයක් සපයයි.

භික්ෂු ප්‍රාතිමෝක්ෂයේ සඳහන් සේඛියා මගින් භික්ෂුවක් ශික්ෂණයට පත්විය යුතු අයුරු පෙන්වා දී තිබේ. චාරිකාවේ වැඩම වීමේ දී, වැඩ හිදීමේ දී සහ දානය වැළදීමේ දී ද නිශ්ශබ්දතාව සුරක්ෂිත කිරීමට අනුදැන තිබේ. දානය වළඳන අවස්ථාවේ දී ‘චපු, පචූ ‘ යන ශබ්දය නොඇසෙන ලෙස වැළදිය යුතු බවත්, (න චපු චපු කාරකං භුඤ්ජිස්සාමී’ති සික්ඛා කරණීයා), පැන් පානය කරන විට සුරු, සුරු හඩ නොඇසෙන ලෙස වැළදීමටත් (න සුරු සුරු කාරකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා”) අනුදැන තිබේ.

මෙ වැනි අප්‍රසන්න ශබ්ද වලින් වැළකි එමඟින් පුද්ගල සුචරිතයත්, පරිසරයේ සුබ සිද්ධියත් ඇති කොට තිබේ. සුළු ශබ්ද ගැන පවා මෙ වැනි ශික්ෂණයක් උගන්වා ඇති බුදුදහම ශබ්ද දූෂණයෙන් පරිසරය ගලවා ගැනීම විෂයයෙහි ප්‍රබල දායකත්වයක් ලබා දෙයි.

නමුත් අද සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

අධික ශබ්දයක් නිකුත් කරමින් පුද්ලයන්ට බිහිරිබව පවා ඇතිකරන ශබ්ද විකාශන යන්ත්‍ර පන්සලේත්, පල්ලියේත් කෝවිලේත් ක්‍රියාත්මක කරති. පාර අයිනේ බුදු පිළිම අටවා එතැනත්, පාරක් පාරක් අයිනේ ඇති බෝධි රුක්ෂ අසළත් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කරති.

එය බුදුන්ගේ ධර්මයට සම්පූර්ණයෙන් ම පටහැනි ක්‍රියාවකි. බුදු දහම යනු නිශ්ශබ්දතාව අගය කළ, පරිසරයේ ආරක්ෂාව සුරක්ෂිත කළ දහමක් විනා මහා ඝෝෂාකාරී ශබ්දයෙන් මිනිසුන්ට, සතුන්ට පීඩා කළ දහමක් නොවේ.

ඒ අනුව කිසිම භික්ෂුවකට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට අයිතියක් නැත. ගමට, පාරට, අවට නිවැසියන්ට ඇසෙන පරිදි කිසිම ශබ්ද විකාශනයක් භාවිතා කිරීමට අනුදැන වදාරන්ට භික්ෂූන්ට කිසිම අවසරයක් නැත. යම් භික්ෂුවක් එසේ කරන්නේ නම් ඒ භික්ෂුවක් නොවේ. භික්ෂූත්වයට නිගා දෙමින් බුදු වදනට පිටින් කටයුතු කරන ශික්ෂාපද කඩ කරන්නෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය

එළමල්දෙණියේ සාරානන්ද හිමි ලියූ ලිපියක් ඇසුරින් සකස්කරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!