spot_img
spot_imgspot_img

දොස්තර හංඟන්න හැදූ ළමා මව ගැන, පොලිස් පරීක්ෂණයක්

පුවත්

විදෙස්

කරාපිටිිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ළමා මවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී එම බාලවයස්කාර මව සහ දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ගාල්ල පොලිස් කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් rata.lk මගින් හෙළිදරව් කිරීමෙන් පසු ඒ ගැන විශේෂ අවධානය යොමුකරමින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

බණ්ඩාරගම, රජ්ගම පදිංචි 15 හැවිරිදි දැරියක් විසින් දරුවකු බිහිකර ඇති අතර එම දරුවා අඩු බර දරුවකු වීම නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් වී තිබිණි. බිළිඳාගේ මව ද රෝහලේ නේවාසිකව සිටින අතරතුර මෙම මව බාලවයස්කාර මවක බව දැනගත් අදාල වාට්ටුවේ කාර්ය මණ්ඩලය ඊට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයට මේ ලාබාල මව පිළිබඳ දැනුම් දී තිබූ අතර ළමා ආරක්ෂණ අධිකාරියට ද පසුගිය සෙනසුරාදා (26) දරුවා පිළිබඳ දැනුම් දීමට කටයුතු කරමින් සිටිය දී වෙනත් වාට්ටුවක රාජකාරියේ නිරත විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු පැමිණ එම බාලවයස්කාර මව සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම වැළැක්වීමට කටයුතු කර තිබිණි.

එම අවස්ථාවේ දී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවේ කාර්ය මණ්ඩලයට බැනවදිමින් පවසා ඇත්තේ මේ බාලවයස්කාර මව තමන්ගේ රෝගියකු බවයි. ඇය පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අනවශ්‍ය බවත් එවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙසත් කාර්ය මණ්ඩලයට බැන වැදුණු වෛද්‍යවරයා එම බාලවයස්කාර දැරිය බලහත්කාරයෙන් වාට්ටුවෙන් ඉවතට රැගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අප රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංගගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම බාලවයස්කාර මව වාට්ටුවෙන් බලහත්කාරයෙන් ඉවතට රැගෙන ගොස් ඇති බව සත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබලන බවත් එම බාලවයස්කාර මව සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට සහ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දී ඇති බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් ළමා වාට්ටුවෙන් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී තිබූ බැවින් ඇය වාට්ටුවෙන් රැගෙන යාමට පෙර රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා විසින් එම මව පරීක්ෂාකර තිබිණි.

එම අවස්ථාවේ දී බාලවයස්කාර මව කියා ඇත්තේ තම දරුවාගේ පියා වයස අවුරුදු 21ක් වන තම පෙම්වතා බවයි. පෙම්වතා සමඟ තමන් දෙමාපියන් සමඟ ජීවත්වන බවත්, නිසි වයස සම්පූර්ණ වූ පසු ඔහු සමඟ විවාහවීමට බලාපොරොත්තු වන බවත් ඇය පවසා ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරන්නේ බාලවයස්කාර මව මෙන්ම ඇය බිහිකර ඇති දරුවා සම්බන්ධ නීතිමය වගකීමක් ඇති බැවින් ඔවුන්ට ආරක්ෂාව සහ රැකවරණය සැළසීම රටේ නීතිමය වගකීමක් බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!