spot_img
spot_imgspot_img

ක්ෂුද්‍ර ප්ලාස්ටික්, මුහුදු ජීවීන් සහ මිනිස් වර්ගයා විනාශ කර දමයි ? 

පුවත්

විදෙස්

(ඡායාරූපය – ඩොල්ෆින් මසකුගේ සිරුරේ පැටලී ඇති පොලිතීන් සහ ප්ලාස්ටික් කොටසක් iStock/eco2drew)

ප්ලාස්ටික් අපද්‍රවය විශේෂයෙන් සමුද්‍ර ක්ෂීරපායීන් ඇතුළු මුහුදු ජීවීන්ටත් මිනිස් වර්ගයාටත් සැලකිය යුතු ගැටලුවක් මතු කර ඇත. සාගර ක්ෂීරපායීන් ප්ලාස්ටික් බෑග්, ආහාර දවටන, ලණු සහ අතහැර දැමූ ධීවර ආම්පන්න වැනි දෑ වැරදීමකින් අනුභව කර ඇත. නැතහොත් ඔවුහු ධීවර දැල් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍යවල පැටලී සිටිති. මෙම අවස්ථා දෙකම තුවාල වීමට සහ බොහෝ අවස්ථාවලදී මරණයට හේතු විය හැක.

2019 දී ග්‍රීක වෙරළ තීරයේ අතරමං වූ ඩොල්ෆින් සහ තල්මසුන් 34 දෙනෙකුගේ මරණ පරීක්ෂණවල දී ඔවුන්ගෙන් නවයක් (විවිධ විශේෂ හතරකින්) මියගොස් ඇත්තේ  ප්ලාස්ටික් ශරීරගත වීමෙන් බව සොයා ගන්නා ලදී.

මෑතක දී එක්සත් ජනපදයේ කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වී ඇත්තේ සමුද්‍ර ක්ෂීරපායීන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් තර්ජනයට දැඩිව මුහුණ පා ඇති බවයි.

ප්ලයිමූත් සමුද්‍ර රසායනාගාරයේ ජ්‍යෙෂ්ඨ සමුද්‍ර පරිසර පද්ධති සේවා පර්යේෂකයකයකු වන Samantha Garrard මෙම පර්යේෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර එම පර්යේෂණ වාර්තාව  The Conversation නමැති ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත.

සාගරයේ, ක්ෂුද්‍ර ප්ලාස්ටික් (මි.මී. 5 ට අඩු කුඩා ප්ලාස්ටික් අංශු) සාමාන්‍යයෙන් සතෙකුගේ ආහාරවේලට පහසුවෙන් එක් වී ආහාර ජීර්ණ පද්ධතියේ එකතු වේ. කෙසේ වෙතත්, මෑත අධ්යයනය මගින් විවිධ තල්මසුන්, ඩොල්ෆින් සහ සීල් විශේෂ ගණනාවක වෙනත් පටකවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයා ගන්නා ලදී.

මෙයින් ඇඟවෙන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සතෙකුගේ ශරීරයේ එක් කොටසක සිට තවත් කොටසකට ගමන් කරන බවයි. මෙම සොයාගැනීම සාගර ක්ෂීරපායීන්ට පමණක් නොව මිනිසුන්ටද සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකිය.

දූෂිත පටක

පර්යේෂකයන් විසින් සාගර ක්ෂීරපායී විශේෂ 12 කට අයත්, තනි සතුන් 32 කින් පටක සාම්පල ලබා ගන්නා ලදී. 

එම සතුන්ගේ සිරුරේ විවිධ ස්ථානවලින් මේ සාම්පල ලබාගෙන ඇති අතර ආහාර මාර්ග පද්ධතියෙන් පමණක් නොව, මොළයෙන්, පෙනහළු තුලින්, සිරුරේ වෙනත් සියුම් ස්ථානවලින් මේ සාම්පල ලබාගෙන තිබිණි

සාම්පල විශ්ලේෂණයෙන් හෙළි වූයේ සෑම ඉන්ද්‍රියයකම, පටකයක ම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු වන බවයි. ලබාගත් සාම්පලවලින් 64%ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගැනීමට විද්‍යාඥයෝ සමත්වූහ. පටක සාම්පලවල අංශු ඉතා කුඩා (මයික්‍රෝන 24) සිට සාපේක්ෂ වශයෙන් විශාල (මයික්‍රෝන 1,387) දක්වා පරාසයක පවතී.

කුඩා අංශු, විශාල බලපෑමක්

කුඩා සාගර සතුන්ට ක්ෂුද්‍ර ප්ලාස්ටික් බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ මගින් අපට යම් අවබෝධයක් ලබා දී ඇත . Plymouth Marine Laboratory හි දී, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුවලට නිරාවරණය වීම මුහුදු ජලය හෝ ආහාර සඳහා අවසාදිත පෙරන සතුන්ගේ පෝෂණය, වර්ධනය සහ ප්‍රජනනය කෙරෙහි බලපාන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.

විශාල සතුන්ට ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල බලපෑම පිළිබඳ සාක්ෂි, සංසන්දනය කිරීමට ඇත්තේ සීමිත සාක්ෂි කිහිපයකි. මෙයට හේතුව අපගේ අවබෝධය බොහෝ දුරට මරණයට පත් වූ සතුන් නිරීක්ෂණය කිරීමෙනි.

එසේ වුවද, අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් මුහුදු පක්ෂීන්ගේ ආමාශයේ පටක තුවාල සෑදීමට හේතුවන බවයි. සමුද්‍ර ප්ලාස්ටික් කසළවල අඩංගු රසායනික ද්‍රව්‍ය ශරීරගත වූ විට සාගර ක්ෂීරපායීන්ගේ පටකවලට කාන්දු විය හැකි බවට ද මතයක් පවතී.

එබැවින් මුහුදු ජලය සහ ගොදුරු ද්‍රව්‍ය වලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සමුද්‍ර ක්ෂීරපායින්ගේ පටක තුළට ගමන් කිරීම ඔවුන්ගේ සෞඛ්‍යයට බලපානු ඇත. වඩාත්ම දරුණු අවස්ථාවෙහි දී, මෙම අංශු තැන්පත් වීම මෙම පටකවල තීරණාත්මක කාර්යයන් අහිමි වීමට හේතු විය හැක. කෙසේ වෙතත්, ශරීර පටකවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් පැවතීමේ ඇඟවුම් පිළිබඳ වැඩිදුර අවබෝධයක් අවශ්‍ය වේ.

මානව සෞඛ්‍ය පිළිබඳ සැළකිල්ලක් අවශ්‍යයයි

ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීර පටකවල එකතු විය හැකි බැවින්, දැනට සිතනවාට වඩා ප්ලාස්ටික් අංශු වැඩි ප්‍රමාණයක් ආහාර දාමයෙන් ඉහළට මිනිසුන් වැනි ඉහළ විලෝපිකයන් වෙත ගමන් කරනු ලබයි.

ආහාර මාර්ග පද්ධතියෙන් හෝ ශ්වසන පද්ධතියෙන් රුධිරයට ගමන් කළ හැක්කේ ඉතා කුඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් (මයික්‍රෝන 100ට අඩු අංශු) පමණක් බව සාමාන්‍යයෙන් විශ්වාය විය.  එබැවින් මිනිසා විසින්  තම ආහාරයට සාගර ජීවීන් ආහාරයට ගැනීමේ දී මිනිස් ශරීරයට එකතුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය සීමා වනු ඇතැයි අදහසක් තිබිණි.

නමුත් එක්සත් ජනපද අධ්‍යයනයෙන් ජීරණ නොවන පටකවල විශාල වශයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඇති බව සොයාගෙන තිබේ. පර්සියානු ගල්ෆ් සහ කළු මුහුදේ වෙනම අධ්‍යයනයන් මගින් වාණිජ මසුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන පටකවල ඇති විවිධ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයන් ද අනාවරණය වී ඇත.

මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මුහුදු ආහාර හරහා මානව සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ලකරනු ඇති බවයි. සමුද්‍ර ක්ෂීරපායී මස් යනු ඇතැම් ආදිවාසී ප්‍රජාවන් තුළ වැදගත් ආහාර ප්‍රභවයකි. එමෙන්ම ලෝක ජනගහණයෙන් අති විශාල පිරිසක්  තම ආහාර වේලෙහි කොටසක් ලෙස මාළු පරිභෝජනය කරයි.

මුහුදු ආහාර වේලකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීමේ අවදානම දැනට බෝතල් කළ ජලය පානය කිරීමට වඩා අඩුය. නමුත් සාගර පරිසරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, මෙම අංශු සතුන්ගේ සහ මිනිසුන්ගේ රුධිර ප්‍රවාහයට ද ඇතුළු විය හැකි බව දැන් පැහැදිලිය. පර්යේෂණ මගින් මිනිස් රුධිර සාම්පලවල ඇතුළු ශරීර පටකවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සොයාගෙන ඇත.

කුඩා මත්ස්‍යයන් සහ අපෘෂ්ඨවංශීන් මත ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිරාවරණයේ සාමාන්‍ය ඍණාත්මක බලපෑම් ඉස්මතු කිරීමට රසායනාගාර අධ්‍යයනයන් සමත් වී ඇත. කෙසේ වෙතත්, තල්මසුන්, ඩොල්ෆින් සහ මිනිසුන් වැනි විශාල ක්ෂීරපායින් සඳහා ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීමේ ප්‍රතිවිපාක පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් අපට තවමත් නොමැත.

සමුද්‍ර පරිසරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් බහුලව පවතින බව පැහැදිළි කරුණකි. අපේ සාගර දැන් ප්ලාස්ටික් අංශු ට්‍රිලියන 170කට වඩා පිරී ඇත. සාගර පරිසරයට ප්ලාස්ටික් ගලා ඒම නැවැත්වීමට උත්සාහ කිරීම වහා අවශ්‍ය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!