spot_img
spot_imgspot_img

පාසල් දැරියක් මවක වූ බව සඟවන්න, විශේෂඥ වෛද්‍යරයා වාට්ටුවේ දී යකා නටයි

පුවත්

විදෙස්

බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී එය සැඟවීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු උත්සාහ ගෙන ඇතැයි වාර්තා වේ.

දරුවා බිහිකළ බාලවයස්කාර මව වයස අවුරුදු 15ක් වූ බණ්ඩාරගම, රජ්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14දී වන අතර ඇය විසින් බිහිකළ දරුවා අඩුබර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමුකර ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.

නේවාසිකව ප්‍රතිකාර ලබන බිළිඳා සමඟ රෝහලේ නැවතී සිටි මව තවමත් බාලවයස්කාරියක බව දැනගත් රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලය එම ළමා මව පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ ම අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී තිබිණි. මෙවැනි මවක සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට ද දැනුම් දිය යුතු බැවින් ඒ සම්බන්ධ අදාළ කටයුතු සිදුකරමින් සිටිය දී ළමා මව ප්‍රතිකාර සඳහා යොමුකරන ලද විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ තිබේ.

ඔහු පැමිණ වාට්ටුවේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කරමින් පවසා ඇත්තේ එම ළමා මව සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බවයි. ඇය තමන්ගේ රෝගියකු බවත් අනවශ්‍ය වැඩ නොකරන ලෙසත් පවසමින් එම විශේෂඥ වෛද්‍යවරයා විසින් ම පසුගිය සෙනසුරාදා (26) මෙම ළමා මව බලහත්කාරයෙන් වාට්ටුවෙන් ඉවත්කරගෙන ගොස් ඇත.

ළමා මව සහ බිළිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ හෙද නිලධාරී නිලධාරිනියන් පවසන්නේ ළමා මව බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා සිදුකර ඇත්තේ සිදුව ඇති අපරාධමය වරදක් සැඟවීම බවයි. ඔහුට එම වාට්ටුවේ රෝගීන් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැති බවත් වෛද්‍යවරුන්ගේ නිර්දේශමත රෝගියකු බැහැර යැවීමේ වගකීම ඇත්ත් ප්‍රධාන හෙදියට බවත් ඔවුන් පෙන්වා දෙයි.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංගගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම සිද්ධිය සත්‍යයක් බවයි.

ළමා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිළිඳකු සහ ළමා මවක වෙනත් වාට්ටුවක විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි වාර්තාවන බව ද අධ්‍යක්ෂවරයා කීවේය. එම ළමා මව සම්බන්ධයෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කලින්ම දැනුම් දී තිබූ බවත්, පසුව ඊයේ (28) ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දුන් බවත් අධ්‍යක්ෂවරයා කීවේය. එමෙන්ම ළමා මව පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ද මේ බව දැනුම් දුන් බව අධ්‍යක්ෂවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!