spot_img
spot_imgspot_img

“අරගලය” ජනතා අභිලාෂය, ඉටු කර නෑ

පුවත්

විදෙස්

ගාලු මුවදොර පැවැත්වූ අරගලය ඉවත්කර වසරක් ගත වූ 2022 අගෝස්තු මස 10 වැනි දා වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 60%කගේ අදහස වී ඇත්තේ අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ බවයි.

මේ බව අනාවරණය වන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන ලද සමීක්ෂණයකිනි.

එමෙන් ම එම සමීක්ෂණය අනුව ජනතාවගෙන් 51%ක් පිරිසක් පවසන්නේ  රට ගොඩනැගීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කළ යුතු බවයි.  

ගාලු මුවදොර අරගලය ආරම්භ වූයේ එවකට පැවති පාලනයට විරෝධය දක්වමින් 2022 අප්‍රේල් මස 09 වැනි දා ය. අරගලය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කෙරුණු අතර රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්ව පසුව විධායක ජනාධිපතිධූරයට ද පත්විය. ඉන් පසු 2022 වර්ෂයේ ම අගෝස්තු මස 10 වැනි දා ගාලු මුවදොර පිටියේ එතෙක් සිටි සියලු අරගලකරුවෝ එම භූමියෙන් ඉවත්ව යමින් අරගලය අවසන් කළහ.

ඒ අනුව අරගලය අවසන් වී ඊයේ (අගෝස්තු 10) දිනට වර්ෂයක් ගත වී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය අරගලය අවසන් වී වසරක් ගත වූ විට ජනතාව අරගලය සම්බන්ධයෙන් දක්වන අදහස් විමසමින් කරන  ලද සමීක්ෂණයේ දී අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු,අභිලාෂයන්, සිතුම් පැතුම් ඉටු වූයේ ද, නැති ද, යැයි ඇසූ විට ‘බොහෝදුරට නැත’ යැයි බහුතරයක් ජනතාව පිළිතුරු දී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 60%කි. එම බලාපොරොත්තු, අභිලාෂයන්, සිතුම් පැතුම් බොහෝදුරට ඉටු වූ බව පවසා ඇත්තේ 11%ක ප්‍රතිශතයකි. 29%ක් ‘අදහසක් නැත’ යැයි ප්‍රතිචාර දක්වා ඇත.

රට ගොඩගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක්දැයි යන්න ජනතාවගෙන් විමසා බැලීම ද මෙම ජනමත විමසුමේ දී සිදුකෙරුණු අතර, ඒ සඳහා ප්‍රකාශ 03ක් යොදා ගැනිණ.

එම ප්‍රකාශයන් අතරින්, රට යළි ගොඩනැගීමට නම් දූෂිත, අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍යයයි යන ප්‍රකාශයට ඉහළම ප්‍රතිචාර හිමිව ඇත. එය ප්‍රතිශතයක් ලෙස 51%කි.

දෙවනුවට වැඩිම ප්‍රතිචාර හිමිව ඇත්තේ රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යයයි යන ප්‍රකාශයටය. එය 34%කි.

තුන්වෙනි ප්‍රකාශය වූ රට යළි ගොඩනැගීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ස්ථාවරත්වයට මුල් තැන දීම අවශ්‍යයයි   යන්නට ලැබී ඇති ප්‍රතිචාරය 15%කි.

සමීක්ෂණය සිදුකරන ලද ආකාරය

රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ  නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදුකර ඇත. දත්ත එකතු කිරීම සිදුකර ඇත්තේ 2023 ජූනි මාසයේ ය. දත්ත එකතු කිරීමේ සහාය වෑන්ගාර්ඩ් සර්වේ (පුද්ගලික) ආයතනයෙනි. ප්‍රතිඵලවල වැරදි ආභිතය ±3% ක් වේ. විශ්වාස මට්ටම 95%කි.

වෙරිටේ රිසර්ච් සතු Syndicated Survey නම් ජනමත විමසුම් සිදුකිරීමේ ක්‍රමවේදය යටතේ මෙම සමීක්ෂණය දියත් කර තිබේ. වෙනත් ආයතන සහ සංවිධානවලට ද, මෙම ක්‍රමවේදය භාවිතා කර රටේ ජනමතය විමසීමට අවස්ථාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!