spot_img
spot_imgspot_img

අයවැය යෝජනාවලින් 71%කට සිදු වූ දෙයක් නෑ. රාජ්‍ය ආයතන තොරතුරු සඟවයි

පුවත්

විදෙස්

2022 අතුරු අයවැයේ රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළම වටිනාකම් සහිත වියදම් යෝජනාවලින් 71% ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බව වෙරිටේ රිසර්ච් හෙළි කරයි.

2022 අතුරු අයවැය යෝජනා බොහොමයක් සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ කරන ලද ඉල්ලීම් සඳහා පවා අදාල රාජ්‍ය ආයතන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. වෙරිටේ රිසර්ච් 2017 වර්ෂයේ සිට අයවැය පොරොන්දු ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කරන අතර, මෙසේ තොරතුරු ප්‍රතිෂේප කිරීම  2017 සිට පැවතෙන අඛණ්ඩ ප්‍රවණතාවක් බව එම ආයතනය පවසයි. 2017 – 2021 අතර කාලය තුල අධීක්ෂණයට ලක් කළ වියදම් යෝජනාවලින් සාමාන්‍යයක් ලෙස ගත් කල 38% පමණ යෝජනාවල ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු අදාළ ආයතන ලබා දී නැත.

පෙර කාල වලට සාපේක්ෂව තොරතුරු හෙළිදරවු නොකළ යෝජනාවලින් වැඩිම ප්‍රතිශතයක් ඇත්තේ 2022 අතුරු අයවැයෙහිය. 2022 අතුරු අයවැය තක්සේරුව මගින් අයවැය කතාවේ දී ඉදිරිපත් කරන ලද වියදම් යෝජනා 24 ක් නිරීක්ෂණය කරන ලද අතර, ඒ සඳහා මුළු වෙන්කිරීම් රුපියල් බිලියන 50.5 කි. ප්‍රගතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබෙන්නේ යෝජනා 7ක් සඳහා පමණි. ඒ අතරින් 2022 දෙසැම්බර් 31 වන විට ඉටු වී ඇත්තේ එක යෝජනාවක් පමණක් බව අදාළ තක්සේරුවෙන් අනාවරණය විය.

මෙම සොයාගැනීම් වෙරිටේ රිසර්ච්හි publicfinance.lk වේදිකාව යටතේ පවතින අයවැය පොරොන්දු ඩෑෂ්බෝඩය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු රාජ්‍ය ආයතනය පිළිබඳ පවතින අපැහැදිලිතාව, මෙම යෝජනාවල ප්‍රගතිය දුර්වල වීමට බලපාන ප්‍රධාන හේතුවක් බව මෙතෙක් කල අධ්‍යනයන්ගෙන් පෙනී යයි. මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු ආයතනය වන  නමුත් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතන මොනවාද යන්න පිළිබඳව  එම දෙපාර්තමේන්තුව   සම්පූර්ණයෙන් දැනුවත් වී නැත. උදාහරණයක් ලෙස අධික්ෂණය කල යෝජනා 24න් 17ක් ක්‍රියත්මක කිරීමට වගකිවයුතු ආයතන බවට ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති ආයතන, එම යෝජනා ක්‍රියාත්මක කිරීම තමන් සතු වගකීම නොවන බවට පවසා සිටියේය.

මෙසේ වීමට කාරණා දෙකක් හේතු විය හැක.

1) රාජ්‍ය මූල්‍ය සම්පත් ඇස්තමේන්තු කිරීම සහ විසර්ජනය කිරීමේ වගකීම දරන ජාතික අයවැය දෙපාර්තමේන්තුව (NBD), මෙම යෝජනා ක්‍රියාත්මක කරන ආයතන මොනවාද යන්න නොදැන සිටීම  හෝ  2) මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් වගකිව යුතු බව අදාළ රාජ්‍ය ආයතන නොදැන සිටීම වේ. මෙම කාරණා දෙකෙන්ම ඉස්මතු වන්නේ ජනතාවට ලබා දෙන වැය පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ වගවීම සම්බන්ධයෙන් පවතින ඉතා කණගාටුදායක තත්ත්වයයි. 

2022 අතුරු අයවැය ඉදිරිපත් කරනු ලැබුවේ නිදහසින් පසු ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන තීරණාත්මක අවස්ථාවකය.  එම අයවැය ඉදිරිපත් කිරීමෙන් රජය බලාපොරොත්තු වුයේ රටේ ආර්ථික ගමන් මග වෙනස් කිරීමට අවශ්‍ය පදනම දැමීමය.

රටේ ආර්ථික ගැටළු වලට මුලික හේතුවක් වන්නේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහ වගවීමක් නොමැති වීමයි. 2022 අතුරු අයවැය ක්‍රියාත්මක කිරීම පිළබඳ කල මෙම අධ්‍යයනයේ සොයා ගැනීම් වලින් පෙනී යන්නේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පිළිබඳ තවමත් විශාල ගැටළු පවතින බවයි. අර්බුදයට තුඩු දුන් මූලික ගැටලුවට විසඳුම් ලබා නොදී ශ්‍රී ලංකාවට සිය ආර්ථික ගමන් පථයේ තිරසාර වෙනසක් සැබෑ ලෙසම අපේක්ෂා කළ හැකිද යන සැකය මෙම සොයාගැනීම් හරහා මතු වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇති කරගත් කැපවීම් තුළින් දූෂණ අවදානම අවම කිරීම සහ දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා මූල්‍ය කළමනාකරණය පිළිබඳ විනිවිදභාවය ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කර ඇත. රජය මහජන මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ විනිවිදභාවය වැඩි කිරීම මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගත හැකි තීරණාත්මක පියවරකි.

නිරීක්ෂණය කරන ලද යෝජනා, වගකිවයුතු ආයතන සහ අනෙකුත් අනාවරණය කිරීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා, https://dashboards.publicfinance.lk/budget-promises/ වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!