spot_img
spot_imgspot_img

ඇඳක කොටසක් හිස මත වැටී තුන් හැවිරිදි දැරිය මරුට

පුවත්

විදෙස්

“දානය ඉවරවෙලා දරුවෝ සෙල්ලම් කර කර හිටියා. එක පාරටම ලොකු සද්දයක් ඇහුණා මම දුවගෙන ගිහින් බලනකොට බිත්තියට හේත්තු කරලා තිබුණු ඇඳ විට්ටම පෙරළිලා ගයුමි දුව ඒකට යටවෙලා හිටියා.” යැයි ආර්.එල්.රංජනී මැණිකේ (51) මහත්මිය ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් කීවාය.

ඇය මේ බව කියා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය මානවගේ ගයුමි එවිඥා පතිරණ නමැති උඩවළව, දකුණු ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 03ක දැරියකගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයේ දී ය.

හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් රංජනී මැණිකේ වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“මියගොස් සිටින්නේ මගේ ඥාති දියණියක්. පසුගිය මැයි 24 වැනි දා යාබද නිවසක දානයක් තිබුණා. දානය අවසන් වී දරුවන් දුව පැන ඇවිදිමින් සෙල්ලම් කරමින් සිටියා. මියගිය දියණියත් ඒ අතර සිටියා. සද්දය අනුව ගිහින් බලනකොට මේ දුව ඇඳ විට්ටමට යටවො හිටියේ. මම ඒක උස්සලා කෑ ගැහුවා. දරුවාව වඩා ගත්තේ වෙනත් පුතෙක්. ත්‍රී වීලර් එකකින් රෝහලට ගෙනයන අතරතුර 1990 ගිලන්රථයක් ඇවිත් ඒකට ගත්තා. රෝහලට යන අතරතුර දරුවා කතා කළේ නැහැ. දරුවා ඇඬුවා. ලේ ගලලා තිබුණෙත් නෑ. උඩවලව රෝහලෙන් කිව්වා දරුවාට අමාරුවක් නෑ ගෙදර අරන් යන්න කියලා. අපි ගෙදර ගෙනියන්නේ නැතිව ඇඹිලිපිටිය රෝහලට ගෙනිච්චා. එහේ දී පරීක්ෂණවගයක් කරලා කරාපිටිය රෝහලට මාරුකරලා යැව්වා. කරාපිටිය රෝහලේ දී සැත්කමක් කරලා තිබුණා.”

මෙම මරණය සම්බන්ධයෙන් සාක්ෂි දුන් මියගිය දරුවාගේ  මව වන ගුරුගම කොටලිගොඩගෙදර රවීෂා ශෙහානි ආරියරත්න (24) මහත්මිය මෙසේ කීවාය.

“මම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා. මියගොස් සිටින්නේ මගේ පළමු දරුවා. මම සති අන්තයේ විතරයි නිවසට එන්නේ. දරුවා මගේ අම්මලා සමඟ ඉන්නවා.  පසුගිය 24 වැනිදා දානයක් තිබුණා. මම ඒ දානයට ආවේ නැහැ. එදා සවස දැනගන්න ලැබුණා ගලවලා බිත්තියට හේතුතකරලා තිබුණු ඇඳක විට්ටම වැටිලා ඒකට මගේ දුව යටවෙලා කියලා. දුව ඇඹිලිපිටිය රෝහලෙන් කරාපිටිය රෝහලට යැවූ නිසා 25 වැනි දා මම දුව බලන්න කෙලින්ම කරාපිටිය රෝහලට ගියේ. එතකොට ඔළුවේ ශල්‍යකර්මයක් කරලා තිබුණා. යන්ත්‍ර සවිකරලා දැඩි සත්කාර ඒකකයට දාලා තිබුණේ. 04 වැනි දා සවස දරුවා නැති වුණා. මේ මරණය ගැන මට සැකයක් නෑ.”

අධිකරණ වෛද්‍ය නිලධාරී සී.පී.මහානාම මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍යවරයාගේ වාර්තාව සැළකිල්ලට ගත් ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා තීරණය කළේ ඇඳවිට්ටමට යටවීමේ දී හිස්කබල අභ්‍යන්තරයේ සිදු වූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!