spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරඟාවලිය සමකරති

පුවත්

විදෙස්

දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ඇෆ්ඝනිස්තානය ලකුණු 132කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සම කරගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලබාගත් ලකුණු 323ට පිළිතුරු වශයෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 42.1ක දී ලකුණු සියලු දෙනා දැවී ලකුණු 191ක් පමණි.

ආරම්භක පිතිකැරුවන් වූ දිමුත් කරුණාරත්න (52) සහ පැතුම් නිශ්ශංක (43) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 92ක දී ලකුණු 82ක් රැස්කරමින් සවිමත් අඩිතාලමක් ලබාදුන්නේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ට තරඟයට කඩා වැදීමට ඉඩ නොතබමින් සිත්සේ පහර කරා ගියේ ලකුණු ලබාගැනීමේ වේගය ද වැඩිකරමිනි.

කුසල් මෙන්ඩිස් පන්දු 75කින් ලකුණු 78ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ  පහර 07ක් එල්ල කරමිනි. ඔහුට අනගි සයක් ලබාදුන් සධීර සමරවික්‍රමට සිය අර්ධ ශතකය පෙනි පෙනී අහිමිවුව ද ඔහුගේ ලකුණු 44 ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 ඉක්මවා යාමට මනා අඩිතාලමක් විය. මේ දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල සඳහා සබඳතාව ලකුණු 88කි.

පළමු තරඟයේ ශ්‍රී ලංකා පිළේ කොඳු නාරටිය වූ චරිත් අසලංක ලකුණු 06කට දැවී ගිය ද ඉන් පසු ධනංජය ද සිල්වා (නොදැවී 29), දසුන් ශානක (23) සහ වනිඳු හසරංග (29) රිසිසේ වේගවත් පහර කරා යමින් අවසන් පන්දුවාර 10 දී ලකුණු 109ක් රැස්කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුළු 06කට ලකුණු 323ක් ලෙස නිමා කරමිනි.

ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස රමනුල්ලා ගුර්බාස් ලකුණු 02කට පිටියෙන් ඉවත්කළ දුෂ්මන්ත චමීර එල්ල කළ පීඩනයෙන් මිදීමට ඊබ්‍රහිම් සද්රාන් සහ රහමත් ෂා දෙදෙනා උත්සාහ ගනිමින් සිටිය දී පන්දුව අතට ගත් නායක දසුන් ශානක රහමත් ෂා ලකුණු 36කට දවා ගත්තේය. ඉන්පසු ඊබ්‍රහිම් සද්රාන් (54), නජිබුල්ලා සද්රාත් (02) සහ හෂ්මතුල්ලා ශහිදි (57) තිදෙනාම පිටියෙන් ඉවත්කළ ධනංජය ද සිල්වා ඇෆ්ගන් පිතිකරුවෝ පසු පාදයට ඇද දැමුවේය. ඉන් පසු වනිඳු හසරංග පන්දු ඕවර තුනක් ඇතුළත දී පිතිකරුවන් තිදෙනකුම දවා ගැනීම හේතුවෙන් ඔවුන්ට නියත පරාජයක් අත්කර දෙමිනි. ඒ අනුව ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 191කට සීමා විය.

ඉනිම අවසන්වනතුරු නොදැවී ලකුණු 29ක් සහ පන්දු යැවීමේ දී සිය පන්දුවාර 10 තුළ ලකුණු 39කට මුල්පෙළ කඩුළු 03ක් දවාගත් ධනංජය ද සිල්වා තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!