spot_img
spot_imgspot_img

ඉඟිනියාගල ‍OIC සාමාන්‍ය පෙළ සිසුන්ගේ කන පලයි. ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරලා

පුවත්

විදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට පවා පටහැණිව යමින්, පොලිස්පති චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඉඟිනියාගල පොලිසියේ ස්ථානාධිපතිවරයා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා කරන බව වාර්තාවෙයි.

ඔහු මෙලෙස දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කරන්නේ අම්පාර නාමල්ඔය වැව අසළ මාර්ගය අයිනේ තනා ඇති බුදු පිළිමයක් අසල අසළ ඊයේ (31) සවස සිට අද (01) අලුයම දක්වාත් ඉදිරි සතියක කාලයක් සඳහාත් පිරිත් ඇතුළු වෙනත් ආගමික වැඩසටහන් විකාශය කිරීමට මාර්ගය පුරා ශබ්ද විකාශන සවිිකිරීමට බලපත්‍ර ලබාදීමෙනි.

මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් මෙය පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දැඩි බාධාවක් වන අතර නිරවුල් මනසකින් විභාගයට මුහුණ දීමට යහපත් මානසිකත්වයක් අහිමිවීමේ කරුණක් ද වෙයි.

මේ සම්බන්ධයෙන් අප ඉඟිනියාගල ස්ථානාධිපතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති නිල ජංගම දුරකථනයට කතා කළ විට ඔහු කීවේ අඩි ගණනක් උස විශාල බුදු පිළිමයක් සාදා විවෘත කරන බැවින් ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාදුන් බවයි. එමෙන්ම ඊයේ රාත්‍රී පුරා ආගමික වැඩසටහන් විකාශය කළ බව ඇත්තක් වුව ද රාත්‍රී කාලයේ විභාගය නොපැවැත්වෙන බවත් විභාග පැවැත්වෙන්නේ දිවා කාලයේ දී පමණක් බවත් ස්ථානාධිපතිවරයා කීවේය.

ඔහුගේ අදහස වන්නේ විභාගයට පෙනී සිටින දරුවන් රාත්‍රී කාලයේ කන්වලට පීඩාකාරී ශබ්දය අසාගෙන සිට පසු දා විභාගයට පෙනී සිටිය යුතු බවයි.

මෙවැනි ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාදීමේ දී ඒ සඳහා අධිකරණයට කරුණු වාර්තා කළ යුතු නේදැයි අපි විමසූ විට ඔහු එවැනි අවසරයක් අධිකරණයකින් ගත් බව කීවේ නැත. ඔහු කියා සිටියේ බලපත්‍රය ලබාදුන්නේ ආගමික වැඩකට බවයි.

ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාදීමේ දී එය පුද්ගලික ඉඩමකට මිස පොදු ස්ථානයක් සඳහා ලබාදීමට පොලිස් චක්‍රලේඛ අනුව හැකියාවක් නැත. ශබ්ද විකාශන බලපත්‍රය ලබාදෙන පොලිස් පෝරාම 503 පසු පිටෙහි ‘ඉ’ අකුරෙන් දැක්වෙන කොන්දේසිවල ඒ බව දැක්වෙයි. ඒ අනුව මාර්ගවල ඇතිි බුදුපිළිම සඳහා ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාදීමට පොලිසියට කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැත.

තව ද, යම් පරිශ්‍රයකට ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාදෙන්නේ නම් එම ශබ්ද එම පරිශ්‍රයෙන් පිටතට විස්ථාරණය නොවිය යුතු අතර ශබ්ද විකාශන යන්ත්‍ර අංශක 45ක් පොළොව දෙසට ආනතියකින් සවිකළ යුතු අතර ඒවා පරිශ්‍රය දෙසට හරවා සවිකර තිබිය යුතුය. මේ අනුව මාර්ගය අයිනේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට කිසිවෙකුට අවසරයක් ලබාගැනීමට හැකියාවක් නොමැති අතර යම් අවස්ථාවක දී ශබ්ද විකාශන යන්ත්‍ර එසේ සවිකරන්නේ නම් සහ රාත්‍රී 10.00 පසු ශබ්ද විකාශනය කරන්නේ නම් ඒ සඳහා ළඟම ඇති අධිකරණයෙන් අවසර ගත යුතුව තිබේ. නමුත් එම කරුණු කිසිවක් සම්පූර්ණ කර නැත.

මේ පිළිබඳ කියූ විට ඉඟිනියාගල ස්ථානාධිපති “මම නෙවෙයි බලපත්‍ර දෙන්නේ. ඒක දෙන්නේ සහකරා පොලිස් අධිකාරී තුමා. මට කරන්න දෙයක් නෑ” කියා දුරකථනය විසන්ධි කළේය.

ඒ ඔහු කළේ ඇඟ බේරාගැනීමකි.

ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍රයක් ලබාදනේනේ ‍අදාල පොලිස් බලප්‍රදේශයේ ස්ථානාධිපතිවරයාගේ නිර්දේශය අනුවය.‍ මෙවැනි බලපත්‍රයක් ලබාදීමට නම් ස්ථානාධිපතිවරයා ස්ථානීය පරීක්ෂණයක් සිදුකර, අවට පදිංචිකරුවන් අවම වශයෙන් පස් දෙ‍නකුගෙන් සාක්ෂි සටහන් කරගෙන, මේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා යම් විරෝධතාවක් ඉදිරිපත් කර ඇති අයකු සිටීනම් ඔහුගේ කැමැත්ත හෝ අකමැත්ත අනිවාර්යයේන ම විමසා ඒ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කර අවසර ගත යුතුය.

නමුත් ඉඟිනියාගල පොලිස් ස්ථානාධිපතිවරයා මේ ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ දී ඒ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර නැත.

මෙම ස්ථානයේ මීට පෙර ද ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ද පැමිණිල්ලක් විභාග වී තිබිණි.

‍ශබ්ද විකාශන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඇති අතර එම නියෝගයට අනුව පොලිස්පතිරවරයා විසින් 2031/2007 චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එසේ නීතිමය කරුණු පැහැදිළිව සඳහන්ව තිබිය දී ඉඟිනියාගල පොලිස් ස්ථානාධිපතිවරයා මේ ආකාරයෙන් ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වන අතර පොලිස්පති චක්‍රලේඛ නොතකමින් තම රාජකාරිය පැහැර හැරීමක් ද වෙයි.

ඉගිනියාගල පොලිස් බලප්‍රදේශය බාරව සිටින සහකාර පොලිස් අධිකාරී එස්.පී.එච්.සෙනෙවිරත්න අමතා අප මේ පිළිිබඳ විිමසූ විට ඔහු මෙම බලපත්‍රය ලබාදීමේ ගැටලුව තේරුම්ගන්නා බව ඉතාමත් නිහතමානීව කියා සිටියේය.

“මම වහාම මේ වැඩේ නවත්වන්න කියන්නම්.” ඔහු කීවේය.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳ විභාග කොමසාරිස් ජනරාල්වරයාට සහ මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කරන බවයි.

එමෙන් ම ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සංවිධානයේ ලේකම් නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායකගෙන් අප මේ පිළිබඳ විමසූ විට කියා සිටියේ මාර්ගවල ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට අවසරයක් නොමැති බැවින් මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.

1 COMMENT

  1. රටේ නීතියක් නැහැ කිව්වාට නීති ඇතිපදම් තියෙනවා. ප්‍රශ්නය නම් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවී මහජනතාවට පීඩා පැමිණවීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!