spot_img
spot_imgspot_img

ශබ්ද විකාශන බලපත්‍ර නැතිව අනුරාධපුර සැණකෙළිය නවතා දමයි

පුවත්

විදෙස්

“පුරවර උදානය 2023” නමින් අනුරාධපුර මහ නගර සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ සැණකෙළිය අත්හිටුවීමට තීරණය කර තිබේ.

නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීම සඳහා අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා විසින් අවසර ඉල්ලීම ඒ සඳහා ප්‍රධාන හේතුව වී ඇත. අනුරාධපුර නගරය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමටත් සැණකෙළිය පැවැත්වෙන සෑම දිනයක දී ම රාත්‍රී කාලයේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමටත් අවසර ඉල්ලා තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් සහ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ අනුව කිසියම් ස්ථානයක ශබ්දය උත්පාදනය කරන්නේ නම් එම පරිශ්‍රයෙන් පිටතට ශබ්දය විකාශ කිරීමට කිසිම අයුරකින් අවසර නොලැබෙන අතර යම් පරිශ්‍රයක සවිකරන ශබ්ද විකාශන යන්ත්‍රයක් සඳහා ම එක් එක් උපකරණයක් සඳහා වෙන වෙනම අධිකරණයෙන් අනුමැතිය ලබාගත යුතු වෙයි. එසේම සවිකරන ශබ්ද විකාශන යන්ත්‍ර පරිශ්‍රය ඇතුළට හරවා සවිකළ යුතු අතර ඒවා පොළොවට අංශක 45ක ආනතියකින් තිබිය යුතුය.

මෙම කොන්දේසි අනුව කටයුතු කළ නොහැකි බව දැනුම් දෙමින් නාගරික කොමසාරිස් ඩබ්ලිව්.එම්.රුවන් විජේසිංහ ශබ්ද විකාශන බලපත්‍ර ඉල්ලා තිබිණි. එලෙස බලපත්‍ර ලබා නොදෙන්නේ නම් පූජා භූමියේ කැළි කසළ ඉවත්කිරීම නතර කරන බවට ද මේ රාජ්‍ය නිලධාරියා පොලිසිය වෙත ලිපියක් යොමුකරමින් තර්ජනයක් ද කර තිබිණි. (එම ලිපිය පහතින් අමුණා ඇත)

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබාදිය නොහැකි බව පොලිසියෙන් දැනුම් දීමෙන් අනතුරුව නාගරික කොමසාරිස්වරයා ඉල්ලා තිබුණේ ප්‍රධාන විෂයයන් 06 අවසන් වූ පසු ඒ සඳහා අවසර දෙන ලෙසයි. ශබ්ද විකාශනය විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් නොවන බව සඳහන් කරමින් විදුහල්පතිරවරු කිහිප දෙනකු ද ප්‍රකාශ ලබා දී තිබිණි.

කෙසේ වෙතත් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සංවිධානයේ ලේකම් නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක ඇතුළු හතර දෙනකු අද (29) අනුරාධපුර මූලස්ථාන පොලිසියට මෙම සැණකෙළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාදීම නීත්‍යානුකූළ නොවන බවත් එමගින් දරුවන්ගේ අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළහ.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඔවුන්ට පවසා තිබුණේ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් ද මෙම සැණකෙළිය සම්බන්ධයෙන් විරෝධතාවක් ඇති බව දැනගන්නට ලැබී ඇති බැවින් කිසිසේත්ම ඒ සඳහා අවසර ලබා නොදෙන බවයි.

ඒ අනුව මේ වනවිට “පුරවර උදාන 2023” සැණකෙළිය නවතා දැමීමට නගර සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කළේ එම සැණකෙළිය අවලංගු කරන්න යැයි අගමැතිවරයා අනුරාධපුර මහ නගර සභාවට නියෝග කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!