spot_img
spot_imgspot_img

අනුරාධපුර නාගරික කොමසාරිස් අපරාධයකට පොලිසියෙන් අවසර ඉල්ලයි. සාමාන්‍ය පෙළ දරුවන් අමාරුවේ. නිල බලයෙන් පොලිසියටත් තර්ජන

පුවත්

විදෙස්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට කවර බාධක එල්ල වුව ද “පුරවර උදානය 2023” නමින් සංවිධනාය කර ඇති සැණකෙළිය පැවැත්වීමට අවශ්‍ය යැයි අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස් ඩබ්ලිව්.එම්.රුවන් විජේසිංහ පවසයි.

ශ්‍රී ලංකාවේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති නියෝගයක් සහ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛවල සඳහන් කරුණු පවා ඔහු උල්ලංඝනය කිරීමට සූදානම් වන අතර දරුවකුට නිදහසේ අධ්‍යාපනය ලැබීමේ ඇති අයිතිය ද අහිමිකිරීමට සැළසුම් සකස් කරමින් සිටියි.

රාජ්‍ය සේවකයකු වන නාගරික කොමසාරිස් රුවන් විජේසිංහගෙන් මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ මේ සැණකෙළියෙන් රුපියල් ලක්ෂ 400ක් පමණ නගර සභාවට ලැබෙන බවයි. නමුත් මේ වනවිටත් ඔහු ම පවසන පරිදි ලක්ෂ 100ක් වියදම් කර තිබේ.

මේ ලක්ෂ 400න් වැඩි කොටසක් අනුග්‍රාහකයන්ගෙන් උපයා ගැනීම ඉලක්කය වී ඇති අතර ඒවා බොහොමයක් විගණනය වන්නේ ද නැත. විගණනය නොවන මුදල් කෙරෙහි රාජ්‍ය නිලධාරීන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පවා පවාදෙන බව විභාගය මුහුණ දෙන දරුවන්ගේ දෙමාපියෝ කියති.

මෙම සැණකෙළිය පැවැත්වීමට ඉඩ නොදෙන්නේ නම් ඉදිරියේ දී අනුරාධපුර පූජා නගරයේ දෛනික පිරිසිදු කිරීම් පවා නවතා දමන බවට තර්ජනාත්මක කරුණු දක්වමින් අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, නාගරික කොමසාරිස්වරයා විසින් යැවූ ලිපියක පිටපතක් ද අපට ලැබී ඇත.

එම ලිපිය යොමුකර ඇත්තේ 2023 මැයි මස 17 දිනැතිවය. එම ලිපියේ දක්වා ඇත්තේ පුරවර උදානය වැඩසටහන නගර සභාවට ආදායම් ලබාගැනීම සඳහා පවත්වන සැණකෙළියක් බවයි. ඒ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරිම බලපත්‍ර ඉල්ලා ඇතත් පොලිසිය එම බලපත්‍ර ලබා දී නැතැයි මෙම ලිපියේ දක්වා ඇත.

අනුරාධපුර පොසොන් උත්සවයට සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරු දැරියන්ට ශබ්දයෙන් බාධා එල්ල වන්නේ නම් එම දරුවන්ට අනුරාධපුර මහජන පුස්තකාලයේ රාත්‍රී කාලය විවෘතව තබා පාඩම් කිරීමට ප්‍රවාහන පහසුකම් ද ලබාදිය හැකි බවයි.

අප දන්නා පරිදි රාජ්‍ය නිලධාරියකු වන නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ පාසල් ගිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිට ඒවායින් සමත් වූ අයකු විය යුතුය. එසේ නම් විභාගයක වැදගත්කම සහ දරුවකුට ඒ සඳහා පාඩම් කිරීමේ නිදහස් සහ නිශ්ශබ්ද පරිසරයක් තිබිය යුතුය යන්න ඔහු දන්නවා විය යුතුය.

නමුත් අනුග්‍රාහක ආයතන සහ වෙනත් ක්‍රමවලින් ලැබෙන රුපියල් ලක්ෂ 400ක ලාභය සැළකූ විට ඔහුට දරුවන්ගේ අධ්‍යාපනය ගැන වගක් නැත. විභාගයකට නිවසට වී පාඩම් කරන දරුවන්ට නගර සභාවෙන් බස් රථ යොදා පුස්තකාලයට වී පාඩම් කරන්න යැයි මේ රාජ්‍ය නිලධාරිය‍ා යෝජනා කරන්නේ ඒ නිසා විය යුතුය.

ඒ වෙනුවෙන් ඔහු දරුවන්ට නිදහසේ විභාගයට මුහුණ දීමට ඇති අයිතිය අහිමි කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අනුරාධපුර නාගරික කොමසාරිස් ඩබ්ලිව්.එම්.රුවන් වීජේසිංහට ඇමතුමක් ගත් විට ඔහු මෙසේ කීවේය.

“මේක අනුරාධපුර නගර සභාවට ඉහළම ආදායමක් ලැබෙන අවස්ථාවක්. අපි සැණකෙළිය සංවිධානය කරනවිට සාමන්‍ය පෙළ විභාගයක් ගැන දැනගෙන හිටියේ නෑ. අපිට දැන් කරන්න දෙයක් නෑ. ශබ්ද විකාශන භාවිතා කරන්න ම ඕනා. සංගීත කණ්ඩායම්, ශබ්ද විකාශන හයර් කරන කණ්ඩායම්, බෑන්ඩ් ඒ මිනිස්සුන්ගේ රස්සාවල් නැති කරන්න බෑ. මේ කර්මාන්ත පවත්වාගෙන යන්න ඕනෑ. ඒ නිසා අපි විභාග කරන ළමයින්ට පුස්තකාලයට ඇවිත් රාත්‍රී පාඩම් වැඩ කරගන්න ඉඩ දෙනවා. අපි ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන්නේ පොලිසියෙන් බලපත්‍රයක් අරගෙන.”

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය අනුව ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර හැක්කේ සැණකෙළිය පවතින භූමියට පමණක් ඇසෙන පරිදි නේද යනුවෙන් විමසූ විට මේ රාජ්‍ය නිලධාරියා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කවරක් වුව ද මේ සැණකෙළිය පැවැත්විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අපි ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සංවිධානයේ ලේකම් නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායකගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

“පොලිසියෙන් බලපත්‍රයක් නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්න බෑ. ලයිට්කණුවල ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරනවානම් ඒ සඳහා එක් එක් හෝන් එකකට වෙන වෙනම බලපත්‍ර ගත යුතුයි. හෝන් 200ක් සවිකරනවානම් බලපත්‍ර ‍200ක් ගන්න ඕනෑ. ඒ වගේම ඒ ඒ එක් එක් හෝන් එක වෙනුවෙන් වෙන වෙනම පදිංචිකරුවන් 05 දෙනා බැගින් සාක්ෂි සටහන් කරගෙන ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයටත් මේ බව දැනුම් දිය යුතුයි. කොහොම වුණත් කිසිම කෙනෙකුට දරුවන්ගේ විභාගයට බාධා වන ආකාරයෙන් නෙවෙයි සැණකෙළි භූමියෙන් පිටතට ශබ්දය ඇහෙන විදියට ශබ්ද විකාශනය කරන්න බෑ. ඒකට බලපත්‍ර දුන්නත් ශබ්දය පිටතට විස්තාරණය වෙනවානම් බලපත්‍රය අවලංගු කරලා අදාල උපකරණ අත්අඩංගුවට ගෙන පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. මේවා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් මේ බොහොම මෑතක අනුරාධපුර පොලිසියට නිර්දේශ කිහිපයක් දීලා තියෙනවා. අපි කොහොමත විභාග කොමසාරිස් ජනරාල්ටත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනවා. විභාග කාලයේ දී උපකාරක පන්ති තහනම් කරනවා වගේම මේ ආගමික සහ සැණකෙළි කරච්චලයත් නතර කිරීම ඔහුගේ වගකීමක්.”

නීතිවේදීන් පෙන්වා දෙන්නේ නාගරික කොමසාරිස්වරයා ශබ්ද විකාශන බලපත්‍ර ඉල්ලා සිටින ආකාරය ම නීති විරෝධී බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ පොලිස්පතිවරයාගේ 2031/2007 චක්‍රලේඛය අනුව එය අපරාධමය වරදක් වෙයි.

පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර බලත්‍රයක් ලබාදෙන 103 අංක දරණ පෝරමයේ පසුපිටෙහි දැක්වෙන කොන්දේසි අනුව ම පොදු ස්ථානවල ශබ්ද විකාශන බලපත්‍ර භාවිතා කළ නොහැක. එසේනම් මේ අපරාධමය වරදක් සඳහා පොලිසියෙන් නීති විරෝධී ලෙස අනුමැතිය ඉල්ලන නාගරික කොමසාරිස් වරයා ඒ සඳහා අවශ්‍ය සහයෝගය නොදෙන්නේ නම් පූජා භූමියේ කසළ බැහැර කිරීම ද නවතා දමන බවට තර්ජනය කිරීම තම නිලබලය අනිසි ලෙස භාවිතා කිරීමක් බව නීතිවේදීහු පෙන්වා දෙති.

2 COMMENTS

  1. 19 වන සියවසේ පැවති පුරාවෘත්තයකට අනුව, දිනක් සත්‍යය සහ බොරුව එකිනෙකා හමුවෙති.

    බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

    “අද හරිම පුදුමාකාර දවසක් !”

    සත්‍යය අහස දෙස බලා සුසුමක් හෙළන්නී ය. මන්ද, ඒ දවස ඇත්තෙන් ම සුන්දර එකක් වීම නිසා ය. බොහෝ වේලාවක් එකට ගත කරන ඔවුහු අවසානයේ නොගැඹුරු ළිඳක් අසලට පැමිණෙති.

    බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

    “මේ වතුර ටික හරිම පිරිසිදුයි, අපි දෙන්න ම ළිඳට බැහැල නාමු ?”

    නැවත වරක් සැක උපදවා ගත් සත්‍යය, ජලය පරීක්ෂා කර එය ඇත්තෙන් ම ඉතා හොඳ බව දැන ගන්නී ය. ඔවුහු ඇඳුම් ගලවා තබා ළිඳට බැස ස්නානය කිරීමට පටන් ගනිති.

    හදිසියේ ම, ළිදෙන් එළියට පැමි⁣ණෙන බොරුව, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යන්නී ය.

    මෙයින් කෝපාවිෂ්ඨ වන සත්‍යය ළිඳෙන් එළියට පැමිණ තමාගේ ඇඳුම් ආපසු ලබා ගැනීමට බොරුව සොයාගෙන සෑම තැනක ම දුවන්නී ය. නිරුවතින් දිවයන සත්‍යය දකින ලෝකයා අවඥාවෙන් හා කෝපයෙන් ඉවත බලා ගනිති.

    ලජ්ජාවට පත්වන අහිංසක සත්‍යය නැවත ළිඳට පැමිණ එහි සැඟව සදහට ම අතුරුදන්ව සිටින්නී ය.

    සැඟව සිටින නිරුවත් සත්‍යය දැකගැනීමට ලෝකයා කිසිදු කැමැත්තක් නොදක්වන හෙයින්, එතැන් පටන් සත්‍යය ලෙස සැරසුණු බොරුව ලොව පුරා සංචාරය කරමින්, සමාජයේ සැරිසරයි. ෴

    (උපුටා ගැනීමක් )

  2. අද 05/26 අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ අලුත් කලාවක් ෂෝ එක දැන් තියෙනවා. ඔය ශබ්දයට එරෙහි චූන් කට්ටිය ඒකටත් විරුද්ධ වෙලා නවත්තන්න තිබ්බේ. සාමාන්‍ය පෙළ 05/29 තියෙන්නේ. අන්න අනුරාධපුර මූලස්ථාන පොලිසිය එතන මුර.

Leave a Reply to Anuradhapura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!