වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු හදිසියේ රෝගාතුර වී කාන්තාවක මිය යාම සම්බන්ධයෙන් අභ්යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
එම කාන්තාවගේ සැමියා චෝදනා කරන්නේ වැලිකඩ පොලිසිය විසින් තම බිරිඳ අත්අඩංගුවට ගෙන පහරදී ඇති බවයි. පහදරීම හේතුවෙන් තම බිරිඳ මියයන්නට ඇතැයි ඔහු පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, දෙමෝදර ප්රදේශයේ පදිංචි ආර්.රාජ්කුමාරි නමැති 42 හැවිරිදි තිදරු මවකි. ඇය කොළඹ ගෘහ සේවයේ නිරතව සිටින කාන්තාවකි.
මෙම කාන්තාව ශ්රී ලංකාවේ ප්රකට ටෙලි නාට්ය නිෂ්පාදකවරියක වන බිරිද සුදර්මා නෙත්තිකුමාරගේ නිවසක සේවයේ යෙදී සිටියදී රන් මුදුවක් සොරාගන්නා ලදැයි වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. එම පැමිණිල්ල අනුව ක්රියාත්මක වූ වැලිකඩ පොලිසිය මෙම කාන්තාව වෙනත් නිවසක සිටිය දී පසුගිය 11 වැනි දා අත්අඩංගුවට ගත් බවත් ඇගෙන් ප්රශ්න කිරීමේ දී හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත් වාර්තා විය.
මියගිය කාන්තාවගේ සැමියා සෙල්ලදුරේ යේසුරාජාය. මේ යුවල තම දරුවන් දෙදෙනා සමඟ බදුල්ලේ පදිංචියැයි පැවසුව ද යේසුරාජා අම්පාර දිස්ත්රික්කයේ උක්වගා බිමක උක් නෙලීමේ යෙදී සිටියේය. බිරිඳ රාජකුමාරි කොළඹ ගෘහ සේවයේය.
යේසුරාජා පවසන්නේ පසුගිය 11 වැනි දා තමන් බිරිඳගේ දුරකථනයට කතා කරන විට ඇය වැලිකඩ පොලිසියේ අත්අඩංගුවේ සිටි බව කියයි. ඒ මොහොතේ ඇය ඉතා අපහසුවෙන් කතා කළ බවත් තමන්ට පොලිසියෙන් පහර දුන්නා යැයි කී බවත් ඔහු පවසයි. තමන්ට ඒ අවස්ථාවේ කිසිවක් කරගත නොහැකි වූ බවත් පසුව දා නැවත පොලිසයිට කතා කරන විට බිරිඳ මියගියා යැයි කියූ බවත් යේසුරාජන් කීවේය.
යේසුරාජන්ගේ මේ චෝදනාව සම්බන්ධයෙන් නීතිඥ මංජුල පතිරණ, නීතිඥ නාමල් රාජපක්ෂ සහ නීතිඥ ප්රබෝද රත්නායක යන පිරිස අලුත්කඩේ අංක 04 උසාවියට ද දැනුම් දී තිබේ.



