spot_img
spot_imgspot_img

තොරතුරු ඉල්ලූ මාධ්‍යවේදියාට එරෙහිව, ජල සම්පාදනයෙන් පොලිසියට පැමිණිල්ලක්. පොලිසියත් බැරි වැඩකට අත ගසයි

පුවත්

විදෙස්

ධනංජය ජයසුන්දර විසිනි

ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත 2016 අංක 12 දරණ තොරතුර පනත යටතේ තොරතුරු අයදුම් පත්‍රයක් යොමුකළ මාධ්‍යවේදියකුට එරෙහිව එම කාර්යාලයේ නිලධාරීන් විසින් ගාල්ල මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර තිිබේ.

එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදියා facebook සමාජ මාධ්‍ය ඔස්සේ බොරු තොරතුරු ලියන බවයි.

ගාල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති විසින් මෙම පැමිණිල්ල විභාග කිරීමට 2023 මැයි මස 09 වැනි දා ගාල්ල මූලස්ථාන පොලිසියේ පෙනී සිටින ලෙස rata.lk සංස්කාරක මාධ්‍යවේදී සජීව වි‍ජේවීරට පෝද්දල පොලිසිය ඔස්සේ දැනුම් දීමක් ද කර ඇත.

පසුගිය අප්‍රේල් 26 වැනි දා ගාල්ල මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක ජලය විසන්ධි කිරීම සඳහා එහි නිවැසියන්ට දැනුම් දීමකින් තොරව අනවසරයෙන් ඇතුළු වී නොදන්වා ජලය විසින්ධි කිරීමේ දී 1974 අංක 2 දරණ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආඥා පනත උල්ලංඝනය වී ඇතැයි ද යන්න සොයා බැලීම සඳහා එම මාධ්‍යවේදියා කටයුතු කර තිබිණි.

ඒ අනුව ඔහු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට තොරතුරු අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් ජල සැපයුම අහිමිවූ පුද්ගලයා ගාල්ල මූලස්ථාන පොලිසියේ සුළු පැමිණිලි අංශයට ගොස් කිසියම් පිරිසක් තම වත්තට ඇතුළු වී නිවසේ ජල සැපයුම අවහිර කර ඇතැයි ද ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න යැයි ද ඉල්ලා තිබිණි. මේ පැමිණිල්ල ගැන දැනගත් ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියකු ඔහුට ඇමතුමක් දෙමින් කියා තිබුණේ අපේ නිලධාරීන් අතින් වරදක් සිදුව ඇති බව තමන් පිළිගන්නා බවයි. ඒ වෙනුවෙන් මන්ට සමාව දෙන ලෙස ද පැමිණිල්ල නිසා එම නිලධාරීන්ගේ රස්සාව පවා නැතිවිය හැකියැයි ද ඔහු කියා තිබිණි.

මේ අතර ගාල්ල ප්‍රාදේශීය කාර්යාල කළමනාකරු ද ඔහුට කියා තිබුණේ පුළුවන් ගණනක් ගෙවන්නේ නම් ජල සම්බන්ධතාව නැවත ඉක්මණින්ම ලබාදෙන බවයි.

කෙසේ වෙතත් පොලිසියේ පැමිණිල්ලට අමතරව මාධ්‍යවේදී සජීව විජේවීර ද මේ සිද්ධිය සහ ගාල්ල ප්‍රදේශයේ වෙනත් ජල සම්බන්ධතා විසන්ධි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු පනත යටතේ ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් ගාල්ල කළමනාකරු අවධානය යොමුකර තිබිණි.

ගෙවිය යුතු මුදලින් අඩක් සොයාගත් ජලය අහිමිවූ පුද්ගලයා ජල සම්පාදන කාර්යාලයට ගොස් එම මුදල ගෙවීමට සූදානම්වන විට එහි සිටි නිලධාරිනියක පවසා ඇත්තේ සම්පූර්ණ මුදල ගෙවනතුරු ජල සම්බන්ධතාව නැවත ලබා නෙ‍ාදෙන ලෙස ගාල්ලේ ජල කළමනාකරු උපදෙස් දී ඇති බවයි.

මේ සිද්ධියෙන් පසු ජල සම්පාදන මණ්ඩලයට ඇමතුමක් ගෙන ජලය විසන්ධි වූ වෙනත් නිවසකින් කතා කරන ආකාරයක් හඟවමින් කතා කළ විට පෙර කී නිලධාරිනියම කියා සිටියේ ජල ගෙවිය යුතු මුදලින් භාගයක් ගෙවන්නේ නම් සම්බන්ධතාව ලබාදිය හැකි බවයි.

මෙය සම්පූර්ණයෙන් ම නිවැසියාගෙන් පළිගැනීමකි.

පසුගිය සෙනසුරාදා පැමිණිල්ල විභාග කිරීමට දෙපාර්ශවයට පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද කළමාණාකරු පැමිණියේ නැත. ඔහු දැනුම් දී තිබුණේ කොන්ෆරන්ස් ඇති බැවින් තමන්ට පැමිණීමට වේලාවක් නොමැති බවයි.

ඒ අනුව සජීව විජේවීර මාධ්‍යවේදියා විසින් සෙනසුරාදා පැවැත්වෙන කොන්ෆරන්ස් එක කුමක්දැයි ජලසම්පාදනයෙන් කරන ලද විමසීමක දී දැනගන්නට ලැබී ඇත්තේ එවැනි කිසිවක් නොමැති අතර කළමනාකරු එදින නිවාඩු බවකි.

මෙම තොරතුරු සඳහන් කරමින් මාධ්‍යවේදී සජීව විජේවීර තමන් විසින් පවත්වාගෙ යන facebook සමූහයක් වන People for People (අසාධාරණයට ලක් වූ මිනිසුන් වෙනුවෙන් මිනිසුන්) හි සිද්ධිය පිළිිබඳ සටහනක් තබා තිබිණි.

එදා පොලිසියට යාමට වේලාවක් නොමැතියැයි කියමින් පොලිසිය මඟ හැරි ජල සම්පාදන නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ගාල්ල මූලස්ථාන පොලිසියට ගොස් තම ආයතනයට තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඒ බව සඳහන් කරමින් Facebook සටහනක් තැබූ මාධ්‍යවේදියා අසත්‍ය ප්‍රචාර කරන බවත් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙසත් සඳහන් කරමින් ගාල්ල මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර තිබේ. ඒ අනුව මාධ්‍යවේදියාට ලබන 09 වැනිදා පොලිසියට පැමිණෙන්න යැයි කැඳවීමක් කර ඇත.

මේ අතර පෙර පැමිණිල්ල කළ ජල පාරිභෝගිකයා තමන්ට ජල සම්බන්ධතාව දින කිහිපයකට ප්‍රමාදයකින් පසු නැවත ලැබුණු බැවින් එම පැමිණිල්ල සම්න්ධයෙන් විභාගයක් කිරීමට අවශ්‍ය නැතැයි ද පොලිසියට දැනුම් දී තිබිණි.

Media Law Forum හි නීතිඥ විරංජන හේරත්ගෙන් අප මේ පිළිබඳ විමසීමේ දී ඔහු සඳහන් කර සිටියේ Facebook සටහනක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට කිසිම හැකියාවක් හෝ නීතිමය බලයක් හෝ නොමැති බවයි. ඒ අනුව ගාල්ල මූලස්ථාන පොලිසිය අදාල නැති වැඩකට මැදිහත් වී මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමට සූදානම් වන බවත් ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ද තොරතුරු ඉල්ලා විමසීම් කළ මාධ්‍යවේදියාට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීම තම රාජකාරිය හඳුනා නොගත්, වගකීම සහ වගවීම නොදන්නා නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනතාවට සිදුවන අසාධාරණ, අයුකිතිය සහ බලපෑම් පිළිබඳ වාර්තා කිරීම මාධ්‍යවේදියාගේ කාර්යභාරයක් බැවින් ඔහු අසත්‍ය තොරතුරු වාර්තාකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පියවර ගත හැකි ක්‍රමවේදයක් රටේ පවතින බව ද නීතිඥ විරංජන හේරත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!